ලෝකයේ ලොකුම අන්තර්ජාල පුස්තකාලය


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

  • නෙට්ෆ්ලික්ස් බිහිකිරීමට  පුරෝගාමී වූයේ පරිගණක විද්‍යාඥයකු වන  මාක් රැන්ඩෝල්ෆ් සහ ගණිතඥයකු වන රීඩ් හේස්ටින්ග්ස්
  • නෙට්ෆ්ලික්ස් වටා රොද බැඳි ග්‍රාහක පිරිස  මිලියන  222 ක්

ලොව පුරා ඇති පුස්තකාල පරිශ්‍රයන්හි ඇත්තේ මොනවා දැයි ඇසුවොත්? පොත්පත් යැයි ඕනෑම අයෙක් කියාවි. පොත්පත් සඳහා වූ පුස්තකාල පරිශ්‍ර වෙත ගොස් තමා කැමැති විෂයයට අද‌ාළව පොත් පරිශීලනය කළ හැකි මෙන්ම තමා කැමැති පොතක් රැගෙන ගොස් නිශ්චිත කාල සීමාවකදී නැවත පුස්තකාලයට බාර දිය යුතුය. සාමාන්‍ය පුස්තකාලයක ස්වභාවය එලෙසින් සිදුවේ. නමුදු අද අප විස්තර කිරීමට සූද‌ානම් වන්නේ පොත්පත් පරිශීලනය කිරීමට ඇති පුස්තකාලයකට වඩා වෙනස් ස්වරූපයක් ගත් පුස්තකාලයක් ගැන කරුණු කීමටය. මෙය ෆිල්ම්ස් සහ ටෙලිවිෂන් නිර්මාණ ඇතුළත් පුස්තකාලයකි. චිත්‍රපට සහ ටෙලිවිෂන් නිර්මාණ සතු ලොව ලොකුම පුස්තකාලය කිව්වොත් වඩා නිවැරදිය.

මෙම පුස්තකාලය වෙතින් මුදලක් ගෙවා තමුන්ට කැමැති ඕනෑම චිත්‍රපටයක්, ටෙලිවිෂන් නිර්මාණයක් නැරඹිය හැකිය. අද ලෝකයේ බොහෝ සිනමා රසිකයින් පුරුදු වී සිටින්නේ මෙම ‘ඇප්’ එකට ගොස් එලෙසින් තමුන් කැමැති චිත්‍රපටයක් නැරඹීමය. මෙලෙසින් චිත්‍රපට නැරඹීමට සහ ටෙලිවිෂන නිර්මාණ නැරඹීම සඳහා නිර්මාණය කළ ලොව ලොකු අන්තර්ජාල වේදිකාව හෙවත් ලොකුම පුස්තකාලය එක වන්නේ ‘නෙට්ෆ්ලික්ස්’ (NETFLIX) ය. අලුතින් නිර්මාණය වූ සහ ඊට පෙර නිර්මාණය වූ ඕනෑම නිර්මාණයක් නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹිය හැකිය. අද ලෝකයේ බොහෝ දෙනාගේ නිවෙස්වල සිනමා තිර මෙන් විශාල ටෙලිවිෂන සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය තාක්ෂණ පද්ධති තිබේ. ඒ නිසා සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් නැරඹීමට වඩා ලෝකයේ බොහෝ දෙනා නෙට්ෆ්ලික්ස් වෙතින් කැමැති නිර්මාණයක් නිවසේ සිටම නැරඹීමට රිසිය. නෙට්ෆ්ලික්ස් වටා ඒකරාශී වී සිටින ග්‍රාහක පිරිස 2022 වන විට මිලියන දෙසිය විසි දෙකකට ආසන්නය.   


නෙට්ෆ්ලික්ස් (Netflix)   


‘නෙට්ෆ්ලික්ස්’ හි විශේෂත්වය වන්නේ. බොහෝ විට ඔවුනගේම නිෂ්පාදන ලෙසින් චිත්‍රපට හා ටෙලිවිෂන කතා නිර්මාණය වී තිබීමය. ඔවුනගේම නිෂ්පාදන පුස්තකාලයක් යැයි කීම වඩා නිවැරදිය. මෙහි මූලස්ථානය පිහිටා ඇත්තේ කැලිෆෝර්නියාවේ ලොස් ගැටෝස්හි සැන්ටා ක්ලේරා ප්‍රාන්තයේය. ‘නෙට්ෆ්ලික්ස්’ බිහිවූයේ 1997 දීය. ආරම්භයේ සිට 2006 දක්වා ඔවුනගේ ස්වභාවය වූයේ විද්‍යුත් හා තැපැල් මාර්ගිකව ව්‍යාපාරික සේවා සැලැස්වීමය. නෙට්ෆ්ලික්ස් නිර්මාණය කළ මහ මොළකරුවන් දෙදෙනා වන්නේ පරිගණක විද්‍යාඥයකු වන මාක් රැන්ඩොල්ෆ් සහ ගණිතඥයකු වන රීඩ් හේස්ටින්ග්ස්ය. මේ දෙදෙනාගේ පරිගණක විද්‍යාඥාණය සහ ගණිතඥාණයේ අග්‍ර ඵලය ලෙස නෙට්ෆ්ලික්ස් බිහිවූයේ කැලිෆෝර්නියාවේ ස්කොට්ස් නිම්නයේදීය. මේ දෙදෙනාගේ හමුව එක්තරා විදියක අරුමැසි සිදුවීමකි. එවකට පියෝ ඇට්‍රියා (Pura Atria) මෘදුකාංග සමාගමේ සම නිර්මාතෘවරයා වූයේ රීඩ් හේස්ටින්ග්ස්ය. රේෂනල් සොෆ්ට්වෙයාර් කෝපරේෂන් නමැති සමාගමේ රැන්ඩෝල්ෆ් අලෙවිකරණ අංශයේ කටයුතු කරමින් සිටියේය. පසුව රැන්ඩෝල්ෆ් සේවය කළ සමාගම, හේස්ටින්ග්ස් සතු පියෝ ඇට්‍රියා විසින් අත්පත් කරගත්තේ සිලිකන් නිම්නයේදී එතෙක් සිදුවූ විශලතම අත්පත්කර ගැනීමේ වටිනාකම වූ ඩොලර් මිලියන 700 කටය. ඒ සමගම රැන්ඩෝල්ෆ් පියෝ ඇට්‍රියා හි අලෙවිකරණ අධ්‍යක්ෂවරයකු ලෙස සේවයට එක්විණි. ඊට පෙර තවත් ප්‍රකට සමාගම් කීපයක නිලතල දරා අත්දැකීම් රැසක් ලබා සිටි තැනැත්තකු ලෙස රැන්ඩෝලිෆ් නම් කළ හැකිය.   


කවුද මේ රැන්ඩෝල්ෆ් (Randolpa)   


මාක් බර්නේස් රැන්ඩෝල්ෆ් උපත ලැබුවේ 1958 අප්‍රේල් 29 ද‌ා නිව්යෝර්ක් හි චැපකුවාහිදීය. රැන්ඩෝල්ෆ් යනු යුදෙව් ජාතිකයෙකි. ඔහුගේ පියා ඔස්ට්‍රියානු සම්භවයක් ඇති න්‍යෂ්ටික ඉංජිනේරුවරයකු වූ ස්ටීවන් බර්නේස් රැන්ඩෝලිෆ්ය. මාක්ගේ මව ඇමරිකානු ජාතික කාන්තාවක වන මියුරියල් ලිප්චෙක්ය. මනෝ විද්‍යා අංශයේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු වූ සිග්මන් ෆ්‍රොයිඩ්ගේ ලේ ඥ‌ාතිත්වයක් ඇති අයෙක් මෙන්ම, ඔස්ට්‍රියානු සහ ඇමෙරිකානු මහජන සබඳතා අංශයේ පුරෝගාමී චරිතයක් වූ එඩ්වඩ් බර්නේස්ගේ ලේ ඥ‌ාතීත්වය නිසාම දෝ ‘මාක්’ කුඩා කළ සිටම ඉගෙනුමට විශිෂ්ට දක්ෂතා දැක්වූ අයෙක් විය. ගිම්හාන කාලය ඔහු ගත කළේ අනෙක් ළමයින් මෙන් විනෝද ගමන් යාමට නොවීය. උසස් පාසලේ විවිධ අංශවලට සම්බන්ධ වී ළාබාලතම උපදේශකයකු ලෙස කටයුතු කළේය. හැමිල්ටන් කොලේජ් වෙතින් ඔහු උපාධිය ලබා ඇත්තේ භූවිද්‍යා අංශයෙනි. උපාධියෙන් පසුව ඔහු සේවයට එක්වූයේ ‘චෙරි ලේන් මියුසික්’ ආයතනයේ ඇණවුම් ලබා ගන්නා සේවකයකු ලෙසය. සේවයට පමණක් සීමා නොවූ ඔහු ඒ ලද අවස්ථාවෙන් අලුත් ක්‍රමවේදයත්. න්‍යායත් සොයා යාමට උනන්දු විය. විවිධ සමාගම්වලට සේවය ලබා දුන්නේ නව සොයා ගැනීම් ද කරමිනි. ලොව මුල්පෙළේ ධනවතකු වන ජෙෆ් බේසෝස් සතු ඇමසෝන් මෙන් අන්තර්ජාලය ඔස්සේ වෙළඳ සාප්පුවක් පවත්වාගෙන යාම මේ මාක් රැන්ඩෝල්ෆ්ගේ අදහස වී තිබිණි. නෙට්ෆ්ලික්ස් ආරම්භ වූයේ 1997 දී වුව ඒ වෙනුවෙන් එනම් නෙට්ෆ්ලික්ස් නිර්මාණය කිරීමට අත්තිවාරම යොද‌ාගෙන තාක්ෂණික ඥ‌ාණයෙන් සන්නද්ධ වූයේ අසූව දශකයේ මැද භාගයේ සිටමය. නෙට්ෆ්ලික්ස් නිසා අද ප්‍රකෝටිපති චරිතයක්ව සිටින මාක් රැන්ඩෝල්ෆ් විවාහ වූයේ 1987 දී ලොරේන් කීර්නන් සමගය. මේ දෙපළට දරුවන් තිදෙනෙකි. ‘නෙට්ෆ්ලික්ස්’ බිහිකිරීමට සම ද‌ායකත්වය සැපයූ අනෙක් මිනිසා වන රීඩ් හේස්ටින්ග්ස් කවුද කියා මීළඟට බලමු.   


විල්මට් රීඩ් හේස්ටින්ග්ස්   


එලෙසින් සම්පූර්ණ නාමය හැඳින්වෙන රීඩ් උපන්නේ බොස්ටන් මැසචුසෙට්ස්හි 1960 ඔක්තෝබර් 8 වැනිද‌ාය. රීඩ්ගේ පියා කටයුතු කළේ සෞඛ්‍ය හා අධ්‍යාපන සුබසාධන අංශයේ නීතිඥවරයකු ලෙසය. මව එරට සාමාන්‍ය පන්තියේ පවුලකට අයත් කාන්තාවක වූ ජොආන් අමෝරි ලුමිස්ය. මැසචුසෙට්ස්හි කේම්බ්‍රීජ් බකිංහැම් බ්‍රවුන් නිකොලස් උසස් පාසලට ඇතුළත් වීමට පෙර එහි ප්‍රවේශය සඳහා වසරක කාලයක් රැඳී සිටීමට රීඩ් හට සිදුවුණි. එම වසරක කාලයේදී ඔහු කළේ ගෙයින් ගෙට ගොස් ‘වැකුම් ක්ලීනර්’ අලෙවි කිරීමය. 1983 දී බෝව්ඩොයින් කොලේජ් වෙතින් උපාධිය ලබා ගත්තේ ගණිතය පිළිබඳව වූ ශාස්ත්‍රවේදියකු ලෙසය. උපාධිය ලබා ගැනීමෙන් පසුව ඔහු පුහුණුව ලැබුවේ සාගර (නාවික) ක්ෂේත්‍රයේය. මෙය එතරම් සාර්ථකව නිම කිරීමට ඔහුට නොහැකි වීම නිසා. නිලධාරියකු ලෙස සේවය කිරීමට නොහැකි වූ අතර, රීඩ් ස්ටැන්ෆර්ඩ් සරසවියට ගොස් නැවතත් අධ්‍යාපනය ලැබීමට උනන්දු විය. 1988 දී පරිගණක විද්‍යා අංශයේ උපාධිය ලබා ගැනීමට එහිදී ඔහුට හැකි විය. පසුව ඔහුගේ ප්‍රථම රැකියාව වූයේ සමාගමක මෘදුකාංග අංශයේය. එහි සිටියදී මෘදුකාංග දෝෂහරණය සඳහා වූ මෘදුකාංගයක් නිර්මාණය කිරීමට ද ඔහු සමත්විණි. එලෙසින් ආ ගමන නතර වූයේ පියෝඇට්‍රියා මෘදුකාංග සමාගමේ සම හිමිකාරිත්වයට උරුමකම් දරමින්ය.   


‘නෙට්ෆ්ලික්ස්’ බිහිකිරීමට සම ද‌ායකත්වය සැපයූ, රීඩ් හේස්ටින්ග්ස් වෙනත් ආයතන සඳහා සහ ව්‍යාපාර වෙනුවෙන් ආයෝජන කිරීමට ද පෙළැඹිණි. 2011 සිට ​‘ෆේස්බුක්’ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ 2016 වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක පමණ කොටස් හිමිකර ගත් බව සඳහන් විය. කැලිෆෝර්නියාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් උනන්දු වූ ඔහු දේශපාලනිකව යම්කිසි සමාජ මෙහෙවරකද නිරත වූ බව කිව හැකිය. අධ්‍යාපනය වෙනුවෙන් වඩාත් පරිත්‍යාගශීලී වූ චරිතයක් ලෙස නම් කළ හැකිය. කැලිෆෝර්නියාවේ සැන්ටා කෲස් හි වෙසෙන රීඩ් විවාහ වී සිටින්නේ පැට්‍රීෂියා ඈන් ක්විලින් සමගය. මේ යුවළට දරුවන් දෙදෙනෙකි. COVAX එන්නත නිෂ්පාදනය කිරීමේ පර්‌යේෂණ කටයුතු වෙනුවෙන් රීඩ් සහ පැට්‍රීෂියා යුවළ ඩොලර් මිලියන 30 ක් පරිත්‍යාග කළේ සමාජ සත්කාරයකට එහා ගිය පරිත්‍යාගශීලීත්වය උදෙසාය. මෙම මාර්තුවේදී යුක්රේනයේ ඇති රාජ්‍ය නොවන සංවිධානයකට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළේ වෛද්‍ය හා සෞඛ්‍ය උපකරණ ලබා ගැනීම මෙන්ම යුක්‍රේන යුද්ධයේදී තුවාල ලබන මිනිසුන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීම වෙනුවෙනි.   

 


 නෙට්ෆ්ලික්ස් බැලූ බැල්මට   


• නෙට්ෆ්ලික්ස් සතුව ග්‍රාහක පිරිස මිලියන 200 ක් පමණ දැනට සිටිනවා යැයි සිතමු. නෙට්ෆ්ලික්ස් ගිණුමක් ඇති පුද්ගලයකු හට බහු පරිශීලකයින් සමග හුවමාරු කරගත හැකිය. මේ නිසා පරිශීලකයින් ගණන දැනට සිටින පරිශීලකයින් ගණනට වඩා දෙතුන් ගුණයකින් ඉහළ යැයි සඳහන් කළ හැකිය.   


• ව්‍යාපාර කොටස් දර්ශකයේ, එනම් කොටස් වෙළඳපොළේ හොඳ වටිනාකමක් ඇති නාමයක් ලෙස නෙට්ෆ්ලික්ස් සඳහන් කළ හැකිය.   


• වතාවක මහජන කොටස් නිකුතුවේදී එක් කොටසක් ඩොලර් 15 කට මිලදී ගැනීමට ග්‍රාහකයින්ට හැකි විය.   


• නෙට්ෆ්ලික්ස්හි වර්තමාන වටිනාකම ඩොලර් බිලියන 230 ඉක්මවා ඇතැයි සඳහන් වේ.   


• ලෝකයේ ඇති අන්තර්ජාල ක්‍රියාවලි තාක්ෂණයේ යෙදෙන විශාල සමාගම් අතරින් නෙට්ෆ්ලික්ස් දසවැනියට විශාලතම සමාගම ලෙස සඳහන් වේ.   


• නෙට්ෆ්ලික්ස්, 2018 දී මුල් අන්තර්ගතය වෙනුවෙන් ඩොලර් මිලියන 12 ක් වියදම් කළ බව වාර්තා වුණි.   


• දිනපතා නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹීම් පමනක් සිදුකරන පිරිස 25% ක් පමණ වේ.   


• 2022 අප්‍රේල් මාසය වන විට නෙට්ෆ්ලික්ස් හා බැඳී සිටින ග්‍රාහක සංඛ්‍යාව මුදල් ගෙවා නෙට්ෆ්ලික්ස් ලබාගත් පිරිස මිලියන 222 ක් ලෙස සඳහන් විණි.   


• නෙට්ෆ්ලික්ස්ලා නිෂ්පාදනය කළ ‘ද ක්‍රවුන්’ (Tha Crown) ටෙලිවිෂන නාට්‍ය මාලාව යනු වැඩිම පිරිවැයක් දැරූ නාට්‍ය මාලාව ලෙස සඳහන් වේ. එය බ්‍රිතාන්‍ය රජ පවුල වටා ගෙතුණු කතා මාලාවක් විය.   


• නෙට්ෆ්ලික්ස් නිෂ්පාදනය කරන චිත්‍රපට හා ටෙලිවිෂන නිර්මාතෘ භාෂා 18 කින් පමණ නිෂ්පාදනය සිදුකිරීම විශේෂත්වයකි.   


• 2017 දී වාර්තා වූ පරිදි ලෝකයේ වෙබ් පිටු අතරින් ජනප්‍රිය ස්ථානයේ ඇති වෙබ් නාම 50 අතරට නෙට්ෆ්ලික්ස් අයත්ය.   


• එම සම්මාන උළෙලේදී නෙට්ෆ්ලික්ස් නිෂ්පාදනය කළ සිනමා නිර්මාණ ද්විත්වයක් සහ ටෙලිවිෂණ නිර්මාණ ද්විත්වයක් නිර්දේශ වීම තවත් විශේෂිත අවස්ථාවක් විය.   


• 2017 දී ලෝකයේ වඩාත් වටිනාම වෙළඳ නාම අතරින්, නෙට්ෆ්ලික්ස් 79 වැනි ස්ථානයේ පසුවිය.   


• 2017 දී රීඩ් හස්ටින්ග්ස්ගේ වත්කම සඳහන් වූයේ ඩොලර් බිලියන 1.7 ක් වශයෙනි.   


• නෙට්ෆ්ලික්ස් ගෙයින් ගෙට ලබා දෙන DVD තාක්ෂණය සඳහා වූ මෙහෙයුම (ක්‍රියාවලිය) රහසිගතය (එය සිදුකෙරෙන විදිය)   


• බොහෝ දෙනාගේ අරමුණ නෙට්ෆ්ලික්ස්හි රස්සාවක් ලබා ගැනීමටය. ඊට හේතුව සෑම සේවකයකු හටම හොඳ වැටුපක් සහ බෝනස් (අමතර වාසි) ලබා දීමය. 2017 දී පැයකට එක් සේවකයකුට හට ගෙවූ මුදල ඩොලර් 18 ක් විය. අද දවසේ හැටියට පැය අටක් සේවකයකු වැඩ කළේ නම් ලංකා රුපියල් වලින් දවසේ වැටුප රුපියල් 50,000 කට වඩා වැඩිය. මෙච්චර මුදලක්? යැයි ඔබට හීන් ද‌ාඩිය දමන්නට තරම් එය කරුණක් වනු ඇත. එහෙත් එය සැබෑවකි. 

 
• 2022 වන විට වැඩියෙන්ම නැරඹූ නෙට්ෆ්ලික්ස්ලගෙ ෆිල්ම්ස් මොනවාද කියා බැලුවොත් ‘ඩෝන්ට් ලුක් අප්’ චිත්‍රපටය නැරඹූ වාර පැය 389,580,000 ලෙස සඳහන් වේ.   


• දි ඇඩම් ප්‍රොජෙක්ට්’ නැරඹූ පැය ගණන 209,490,000 කි. දී වීක් එන්ඩ් අවේ, ත්රූමයි වින්​ඩෝ, දි ​රෝයල් ට්‍රිට්මන්ට්, බ්ලැක් ක්‍රැබ් යනු එලෙසින් ඉහල නැරඹුම් වාර ගණනක් නතුකර ගත් නිර්මාණය.   


• චීනය, උතුරු කොරියාව, සිරියාව, මියන්මාරය සහ ක්‍රිමියාව හැර ලෝකයේ අනෙකුත් සෑම රටකම පාහේ ‘නෙට්ලික්ස්’ භාවිතා කරන බව කිව හැකිය. විසි වසරක් ඇතුළතදී නෙට්ෆ්ලික්ස් ගිය දුර ලෝක සිනමාව සහ ලෝක ටෙලිවිෂන අංශයට වඩා දුර ගිය සාර්ථක ගමනකි. හෙට දින මේ නෙට්ෆ්ලික්ස්ලා හට අභියෝග කරන එනම් ඔවුනගේ ෆ්ලැට්ෆෝර්ම් එක අබිබවා යන තවත් පරිගණක ජගතෙකු බිහිවීම වැළැක්විය නොහැක්කේ පරිගණක විද්‍යාව හා තාක්ෂණය දිනෙන් දින දියුණු වන බැවිනි.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ  
[email protected]