රෙබෙකාගේ ජීවිතයට තවත් අවස්ථාවක් තිබුණා ?


​‘වෙද හාමිනේ’ ටෙලිනාට්‍යයෙන් කලා ලොවට පා තබා එතැන් සිට දුර ගමනක් ගිය රෙබෙකා නිර්මලී ජීවිතයෙන් සමුගන්නේ අකාලයේය. එනම් වයස අවුරුදු 49 දීය. 

 
දරුණු පිළිකා රෝගයට ගොදුරුව ජීවිතයේ අවසාන දවස් මහරගම අපේක්ෂා රෝහලේ ගෙවු ඇගේ රුව කෙමෙන් වැහැරී යමින් තිබිණ. රුවට ආභරණයක් වූ ඇගේ දිගු කෙස් කළඹ කෙටි කර කපා දමා තිබුණේ ප්‍රතිකාර නිසා කෙස් හැලීයාම නිසා විය යුතුය.   


එහෙත් සියලු වේදනා සඟවාගෙන ඇය හා දුක බෙදා ගන්නට එන හිතවතුන් සමග වෙනදා මෙන් කතා කරන්නට උත්සාහ කළාය.   
ඇය ප්‍රධාන චරිතයක් රඟ පෑ අවසන් චිත්‍රපටය වූයෙ මා අධ්‍යක්ෂණය කළ ‘ඉර සේවය’යි. ඉන් පසුව ඇය ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ සහාය චරිතයක් රඟපෑවාය. එය සම්පූර්ණ කිරීමට හැකි වූවාදැයි නොදනිමි.   


විමල් අලහකෝන්ගේ අදහසක් අනුව ඉතා හදිසියේ පටන් ගත් ‘ඉර සේවය’ට පරිපූර්ණ තිරකතාවක් හෝ නොවීය. එහෙත් මා කියු චරිතය හොඳින් රඟපෑවා මිස ඇය චරිතය ගැන අසන්නට ​නොගියාය.   


එය ලොරේන් නමැති පීඩනයට පත් ගැහැනියකගේ චරිතයයි.   


රත්නපුරේ පලාබද්දල දී රූ ගත කළ දර්ශන සඳහා ඇගේ වෙස් ගැන්වීම් කර ගත්තේත් ඇයමය. ඒ කාලයේ ඇය වේෂ නිරූපණ කටයුතුවලද යෙදී උන්නේ සිනමා රඟපෑම්වලට අමතරව රූපලාවන්‍යාගාරයක් පටන් ගැනීමේ අරමුණින් ද විය යුතුය.   
ඇයට අවශ්‍යව තිබු​ණේ ඉතා ඉක්මනින් චිත්‍රපටයේ වැඩ කටයුතු නිමා කොට ඊළඟ ටෙලි නාට්‍යයේ හෝ චිත්‍රපටයට යන්නටය. රෙබෙකා මීට කලින් මගේ නිර්මාණයක රඟපෑවේ කුමාර කරුණාරත්නගේ තිර පිටපතකට අනුව නිපද වූ ‘වනපස මල්’ ටෙලි නාට්‍යයේය.   
ඇය අමරසිරි කලංසූරියගේ බිරිඳ ලෙස තරුණ හා මහලු අවධිය නිරූපණය කළාය. ඇයගේ පුතුන් දෙදෙනා ලෙස රඟපෑවේ ජගත් චමිල හා කුමුදු නිශාන්ත පෙරේරාය. ඉර සේවය චිත්‍රපටය සඳහා වසර ගණනාවකට පසු සහභාගිවෙද්දී ඇය බොහෝ සේ රූමත්ව සිටියාය.   
රත්නපුරේ නැවතී සිටි අප දිනපතාම පාහේ උදෙන්ම නැගිට පලාබද්දලට යා යුතුවිය. කොළඹට වඩා සීතලෙන් යුතු එම ප්‍රදේශ​යේ රූ ගත කිරීමේ දී ඇය කිසිදු රෝගී බවක් නොපෙන්නුවාය.   


එහෙත් ඇතැම් රාත්‍රි කාලවල ඇය රාත්‍රී ආහාරය වෙනුවට ගත්තේ පුහුල් කැඳ වැනි ආහාරයකි. ඇයිදැයි ඇසු විට ඇය කීවේ වකුගඩුවල රෝගී තත්ත්වයක් නිසා කෑමෙන් බීමෙන් පරිස්සම් වන බවය.   


“වකුගඩු අමාරුවලට මේ වගේ කැඳ වර්ග හොඳයි කියල කියනවා” ඇය කීවේ සිනාසෙමිනි. ඒ වන විටත් ඇය ඇගේ රෝගී තත්ත්වය දැනගෙන නොසලකා හැර තිබුණා යැයි දැන් මට සිතෙයි. මේ අතර ලන්ඩන් නගරයේ ඇය රූපගත දර්ශන පෙළක් ද රූපගත කිරීමට සැලසුම් කෙරිණි.   


ශ්‍රී ලංකාවේ රූගත කිරීම් මදකට නවතා අපි ලන්ඩන් රූගත කරීම්වලට සැරසුනෙමු. ඇය ඒ සඳහා සහභාගි වූයේ ද දැඩි ආශාවකිනි. එය ඇගේ ප්‍රථම ලන්ඩන් සංචාරය විය. රෙබෙකා එයට සහභාගි වූයේ සිය දියණිය ඈන් සමගය. එය ඇගේ අවසන් විදේශ චාරිකාව ද විය.   
රූගත කිරීම්වලට අමතරව අපට විවිධ ස්ථානවලට යෑමට අවස්ථාව ලැබිණි. ෂේක්ස්පියර් නිවස, අයිල් ඔෆ් වයිට් දූපත ඒ අතර ප්‍රධානය. ප්‍රධාන වශයෙන් රූගත කිරීම් තිබුණේ ලන්ඩන් නගරයේ උමං දුම්රිය ස්ථානවලය. ලන්ඩන් කැමරා ශිල්පියා වූයේ කපිල තිලකරත්නය.   
හැම තැනම සී.සී.ටී.වී. කැමරා සවිකර තිබීම නිසා අපගේ කැමරා ශිල්පියා දර්ශන රූගත කිරීමට බිය වූයේය. එහෙත් බොහෝ පෙරැත්ත කිරීම මැද සියල්ල අපහසුවෙන් සිදු කළ ද අපට පොලිස් නිලධාරින්ගෙන් කිසිදු බාධාවක් එල්ල නොවීය.   
ඊට අමතරව බකිම්හැම් මාලිගය අවට පරිශ්‍රයේ ද දර්ශන ගැනීම් ගණනාවක් සිදු කෙරිණ. සාමාන්‍යයෙන් බකිංහැම් මාලිගාව නරඹන්නට දින පතා බොහෝ පිරිස් ඇදී එති. එනිසා එය හරියටම ලංකාවේ වෙසක් කාලයට තොරණක් නරඹන්නට මෙන් විශාල පිරිසක් එහි නිරතුරුව රොක් වී සිටිති.   


එදින විශේෂයක් වූයේ මහ රැජින එදින මාළිගාවෙන් පිටතට යන බවට රාවයක් යාම නිසා බොහෝ දෙනා ඇය යනතුරු බලා සිටීමය.   
ඒ අතර තුර සුපුරුදු පරිදි දිනපතා දැකිය හැකි අශ්වාරෝහක කණ්ඩායම් තූර්ය වාදන හමුදාවේ ක්‍රියාකාරකම් ආදිය චාරිත්‍රානුකූලව කෙරිණ. ඒ සියල්ල පටිගත කිරීමට අපට අවස්ථාව ලැබිණ. ලන්ඩන් නගරයේ ජනාකීර්ණ ස්ථානවල ඇගේ දර්ශන ගණනාවක් රූගත කෙරිණ. එහිදී ඇය සිටියේ දැඩි ප්‍රීතියෙනි.  


ලන්ඩන් සංචාරයට සති තුනක් පමණ ගතවීම නිසා ඉතිරි රූගත කිරීම් තවත් කල් ගියේය.   
ලන්ඩන් ගමනින් පසුව යළිත් චිත්‍රපටයේ රූ ගත කිරීම නිම කළ යුතුවිය.   
රත්නපුර ප්‍රදේශයේ ‘ඉර සේවය’ චිත්‍රපටයේ බොහෝ දර්ශන රූ ගත කළේ මුල් රූ ගත කිරීමේ සැලස්මේදීය. එහෙත් එහිදී කළ යුතුව තිබූ රෙ​බෙකා මිය යන දර්ශනය කළ නොහැකි වූයේ ඇය වෙනත් නිර්මාණයක් සඳහා දින දීම නිසා කල්වේලා මදිවීම නිසාය.   
ලන්ඩන් චාරිකාවෙන් පසු චිත්‍රපටයේ රූගත කිරීම් කළ ද ඇය මිය යන දර්ශනය පසුවට කල්දමා රූපගත කිරීම්වල ඉතිරි වැඩ කළේ කොළඹ කැලණි ගඟ අසබඩදීය.   


රත්නපුරේ භූමි දර්ශනවලට හරියන විධියේ දර්ශන තලයක් අපට කැලණි ගඟ අසබඩින් හමුවීම සහනයක් විය. ඊට අමතරව රෙබෙකාගේ නිවස ලෙස අප යොදාගනු ලැබුවේ ද කඩුවෙල නිවසකි. එහෙත් කතාව දිව ගියේ රත්නපුර ආශ්‍රිතවය. මේ අයුරින් ඉර සේවයේ දර්ශන රූගත කළ ද ඇය මිය යන දර්ශන රූගත කිරීම දිනෙන් දිනම පමා විය. එ් සඳහා අප යළි රත්නපුර පලාබද්දලට යා යුතුවිය.   
ඉතා අපහසුවෙන් එම දර්ශන පෙළට සූදානම් වූ අපි ඇයට දුරකථන ඇමතුම් කීපයක් දුනිමු. එහෙත් ඒ කිසිවකට පිළිතුරු නොලැබිණ.   
වටින් පිටින් විමසීම් කර බලද්දී අපට දැන ගනන්ට ලැබුණේ ඇය රෝගී තත්ත්වයෙන් පෙළෙන බවය.   
ඉර සේවය චිත්‍රපටයේ ඇය මිය යන අයුරින් කතාව නිම කළේ ඇයි දැයි මම තවමත් සිතමි. එහෙත් ඇය මිය යන දර්ශන රූ ගත කරන්නට අපට නොහැකි විය. 

 
කැලෑව මැද අබිරහස්ව ලෙස ඇය මියගොස් සිටින රූප රාමුවක් ලෙස රූගත කිරීමට අපට අවස්ථාව ලැබුණේ නම් කතාව මීට වඩා සාර්ථකව ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණා යැයි සිතෙයි. ඒ හැරුණු විට තවත් දර්ශන කීපයක් ද රූගත කිරීමට ඉතිරිව තිබිණ.    
දිනෙක පාන්දර දෙකට පමණ

මගේ ජංගම දුරකතනය නාද විය. එහි තිබුණේ ඉර සේවයේ රඟපෑ ලන්ඩනයේ වෙසෙන විමල් අලහකෝන්ගේ අංකයයි.   
“රෙබෙකා දැන් නැති වුණා” විමල්ගේ කටහඬ ටෙලිෆෝනයෙන් ඇසිණ.


“ඉර සේවයේ රෙබෙකා මිය යන දර්ශනය රූ ගත කළ නොහැකි අපට ඇයගේ සැබැ මරණය දැක ගත හැකි විය.
2014 සැප්. 15 දින ඉර සේවයේ මංගල දර්ශනය පැවත් වූයේ නේපාලයේ කත්මන්ඩු නගරයේය. එය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් පැවැත් වූයේ රුසියානු සංකෘතික මධ්‍යස්ථානයේ රංග ශාලාවේදීය.   
ඊට හරියටම මසකට පෙර මෙ​ලොවින් නික්ම ගිය රෙබෙකා වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්විණි. ඊට සහභාගි වූ රුසියානු තානාපතිවරයා නිශ්ශබ්දතාවයෙන් පසුව මගෙන් ඇසුවේ ඇය මිය ගියේ කුමක් නිසා ද කියායි.   
මා පිළිතුරු දුන්විට ඔහුගේ මුහුණ වෙනස්වී ගියේය. “හරිම කනගාටුදායකයි” ඔහු කීවේය.   
චිත්‍රපටය දිගහැරී මුලින්ම රෙබෙකාගේ රුව තිරයේ ඇඳී යද්දී ප්‍රේක්ෂකාගාරයෙන් ‘‘ෂ්’’ ශබ්දයක් නැගිණ. එය බලාපොරොත්තු නොවු දුක්ඛදායක සිදුවීමක් දැනුණ විට නැගෙන ප්‍රතිචාරයකි.   


ශ්‍රී ලංකා නේපාල තානාපති කාර්යාලයේ බොහෝ ශ්‍රී ලංකිකයන් පිරිසක් සේවය කරමින් සිටි නිසා ඔවුහු ඇය හොඳින් හඳුනති. චිත්‍රපටය නැරඹීමට පැමිණි අය අතර සුප්‍රකට නිෂ්පාදකවරුන් වන උඩ්හබ් පවුච, නිරක් පවුඩල් හා සම්මානනීය නේපාල නළු නිළියෝ ද වූහ.   
එකල ශ්‍රී ලංකා තානාපති වූ ඩබ්ලිව්.එම්. සෙනෙවිරත්න මහතා රේබේකා ගැන සැබවින්ම දුක් වු අතර ඊළඟට ඇහුවේ මුල් වරට චිත්‍රපටයක රඟපෑ ඉෂාර වික්‍රමසිංහ ගැනය.   


ඉෂාර එහි හොඳට රඟපෑ බව මා සමග කීවේය.   
කිත්සිරි ජයසේකර ගැයූ පසුබිම් ගීතය ගැන ඊළඟට ඔහු මගෙන් ඇසුවේය.   
2015 ජුනි 19 දා ‘ඉරසේවය’ චිත්‍රපටය තිරගත වුයේ සිනමාහල් කීපයක ‘‘ගැප් රිලීස්‘’ ක්‍රමයටය. එනම් චිත්‍රපට දෙකක් අතර ලැබෙන අතර කාලයේය.   


එතරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් නොලද එම චිත්‍රපටයේ සුවිශේෂම සිදුවීම වූයේ ප්‍රථම වරට චිත්‍රපටයක රඟපෑ ඉෂාර වික්‍රමසිංහ 2016 වසරේ පැවැත්වූ සරසවි චිත්‍රපට උළෙලෙදී වසරේ හොඳම නැගී එන නළුවා ලෙස සම්මාන ලැබීමය.   
එහි ​හේතු පාඨයේ ලියා තිබුණේ ජීවිතයේ අවස්ථා කීපයක් සාර්ථකව නිරූපණය කළ නිසා එම සම්මානය ඔහුට හිමිවන බවය. සාමාන්‍ය තරුණයකු ලෙසත් සාමනේර නමක ලෙසත්  කළ ඔහුගේ රගපෑම සම්මානයට පාත්‍ර වී තිබිණ.   
තම රෝගය ගැන සැලකීලිමත් නොවී කලා කටයුතුවලට එය බාධාවක් වේ යැයි සිතු සුප්‍රකට කලාකරුවෝ කීප දෙනෙක්ම ජීවිතක්ෂයට පත්වූහ.   


 සුප්‍රකට නළුවකු තම හෘදයාබාධ තත්ත්වය හෙළි නොකිරීම නිසා හදිසියේම රෝගාතුර වී මෙලොව හැර ගිය බව ප්‍රසිද්ධ කතාවකි.   
රෙබෙකා ද කලා කටයුතු වෙනුවෙන් තම රෝගය ගැන ද නොසලකා හැරියා ද?   


දැන් ඒ කිසිවක් ගැන සෙවීමෙන් පලක් නැත. 1964 නොවැම්බර් 26 දා උපන් ඇය මෙලොවින් නික්ම ගියේ 2014 අගෝස්තු 13 වැනිදා වසර 7 කට පෙරය. කෙසේ හෝ දක්ෂ රංගන ශිල්පිනියක කලා ක්ෂේත්‍රයට අහිමි වුවා පමණි.   


කලාකරුවන් තම ජීවිතයටත් වඩා කලා කටයුතුවලට ඇළුම් කරන්නේද යන්න මෙයින් මතුවන පැනයයි.

 

 

රොඩ්නි විදානපතිරණ