රටම ලයිට් නැතිව අඬද්දී කැලෑවට ගිය බලාගාරය


නිවාස පනහක ජනතාවට පැය විසිහතරම විදුලිය දුන්නා

අක්‍රීයව පවතින ජලය ගෙන යන මාර්ගය

  • අද අලුත්වැඩියා කළොත්  වැඩි විදුලිය ජාතික පද්ධතියටත් දෙන්න පුළුවන් 

 

බුලත්සිංහල

ලක්මි කුඩලිගම

 

එදා බුලත්සිංහල නාගහදොළ ගම්මානයේ නිවාස 50ක ජනතාවට දවසේ පැය විසිහතර පුරා නොමිලේ විදුලිය ලබාදුන් නාගහදොළ ජල විදුලි බලාගාරය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා වසර දහයක් ගතවීම හේතුවෙන් විදුලි ජනක යන්ත්‍රය ඇතුලු‍ දේපල විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.  

රටේ විදුලිය අර්බුදයක් මතුව තිබෙන මෙවන් මොහොතක මෙවැනි කුඩා ජල විදුලි බලාගාරවල අවශ්‍යතාව වැඩි වැඩියෙන් දැණුනත් රටේ වගකිවයුතු බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් පැය විසි හතර පුරා ගමකට නොමිලේ විදුලිය ලබාදී ජාතික පද්ධතියටද යම් දායකත්වයක් ලබාදිය හැකිව තිබූ බුලත්සිංහල නාගහදොළ 821 සී අමරගෙදර දකුණ ග්‍රාම නිලධාරි වසමේ ඉදිකළ ජල විදුලි බලාගාරය දශකයක් තිස්සේ කැලෑවට ගොස් ලක්ෂ ගණනක් වටිනා දේපල විනාශවන්නට අතහැර දමා තිබීම අපරාධයකි.  


මේ නිසා අද නාගහදොළ ගමේ ජනතාවටත් රටේ සෙසු ප්‍රදේශවල ජනතාවටත් දිනකට පැය ගණනක් අඳුරේ සිටීමට සිදුව ඇත. බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අධික්ෂණයෙන් බස්නාහිර පළාත්සභාවේ ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 15 ක් සහ ප්‍රදේශයේ ජනතාවගේ ශ්‍රමය සහ සම්පත් දායකත්වය ඇතුව 2007 දෙසැම්බර් 27 වැනිදා බුලත්සිංහල නාගහදොළ ගම්මානයේ පවුල් 50 කගේ ගේ දොර මෙමගින් එළිය කෙරුණි.  


නාගහදොළ ඉහත්තාවෙන් පූර්ණ පරිසර හිතකාමී ආකාරයෙන් ඉහළම ඉංජිනේරු තාක්ෂණයෙන් ගමේ පූර්ණ ජනතා ආශිර්වාදය මත ගඟේ අඩක් හරස් කර ජලය රැගෙන මෙගාවොට් 20 ක විදුලි බලයක් උත්පාදනය කළේය. තවදුරටත් වැඩි දියුණු කිරීමෙන් ගමේ පරිභෝජනයෙන් පසු අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට ලබාදීමේ උදාර බලාපොරොත්තුවක්ද මෙයට තිබිණි. එහෙත් නාගහදොළ ජල විදුලි බලාගාරයට කණ කොකා හඬා අද ගමේ මිනිසුන්ට දිනකට පැය කිපයක් අඳුරේ සිටීමටද සිදුව ඇත.   

 

 අක්‍රීයව පවතින ජල විදුලි බලාගාරය

 

නාගහදොළ ගම්මානයේ ජනතාවට පැය විසි හතර පුරා සීමාවකින් තොරව නොමිලේ විදුලිය ලබාදී බලාගාරයේ නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් මාසිකව නිවසකින් රුපියල් 200 ක මුදලක් අයකළ නාගහදොළ බලාගාරය අතහැර ජාතික පද්ධතියේ විදුලියෙන් එළිය බලන්නට යාමෙන් අද සිදුව ඇත්තේ විශාල මුදලක් වැය කොට විදුලි බිල ගෙවා අර්බුදකාරී මෙවැනි අවස්ථාවල අඳුරේ සිටීමටය.  
නාගහදොළේ ඉහළ සිට මීටර් 500 ක් පමණ දුර කොන්ක්‍රීට් ඇළ මාර්ගයක ගෙනෙන ජලය බලාගාරයට ඉහළින් ඉදිකළ ටැංකියක ගබඩා කර එතැන් සිට භූගත නළ දෙකක් ඔස්සේ බලාගාරය වෙත රැගෙනවිත් විදුලිය උත්පාදනය සිදුවිය. නාගහදොළේ සහ අවට පරිසරය ආරක්ෂා කර ගනිමින් සිදු කෙරුණු මෙම ජල විදුලි බලාගාරය වසර හතකට ආසන්න කාලයක් පළාතේ පාසල් දරුවන්ට, තරුණයින්ට ආදර්ශ ජල විදුලි බලාගාරයක් බවටද පත්විය.   


 නමුත් 2012 වර්ෂය වනවිට නාගහදොළ ප්‍රදේශයට ජාතික පද්ධතියේ විදුලිය පැමිණීමත් සමග නාගහදොළ බලාගාරයේ “ටර්බයින්” යන්ත්‍රයේ ඇති වූ සුළු අලුත්වැඩියාව වෙනුවට බලාගාරය තාවකාලිකව නතර කර ජාතික පද්ධතියෙන් එළිය බලන්නට ජනතාවද තීරණය කිරීමේ ප්‍රතිඵලය වූයේ බලාගාරය කැලෑවැදීමය.  

 

මේ පිළිබඳව අදහස් දක්වන ජයවර්ධන වීරක්කොඩි මහතා  


මේ ව්‍යාපෘතියේ ආරම්භක සාමාජිකයෙකු විදිහට මා කටයුතු කළා. මේ දොළ මාර්ගයේ විශාල ජල කඳක් අපතේ යනවා. අධික වියළි කාලෙකට හැර ජල හිඟයක් ඇති වෙන්නෙ නැහැ. රටේම ලයිට් කැපුවත් අපට ලයිට් තිබුණා. මේක නැවත ආරම්භ කළොත් මේ ගමට ලයිට් දීල ජාතික පද්ධතියටත් යම් ප්‍රමාණයක් විදුලිය දෙන්න පුළුවනි. ඒ නිසා ඉන්ධන ගැටලු තියෙන මේ වගේ කාලෙකවත් මේ බලාගාරය නැවත පණ ගන්වන්න කියල ඉල්ලනවා. 

 
 බුලත්සිංහල ජාතික පාසලේ සිසුවකු වන පුන්සර පියුමාල්  


 “මම ඉගන ගන්නෙ බුලත්සිංහල ජාතික පාසලේ නවය වසරේ. මේ දිනවල පැය ගණන් විදුලිය කැපිල්ල නිසා අපට පොත් පාඩම් කරන්න, “ඔන්ලයින්“ පන්තිවලට සම්බන්ධ වෙන්න විදියක් නැහැ. මේ බලාගාරය තිබුණා නම් අපේ ගමේ අයට වගේම ජාතික පද්ධතියටත් යම් දායකත්වයක් දෙන්න තිබුණා. මේක ආයෙත් හදනව නම් අපට හොඳ අත්දැකීමක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඒ නිසා වගකිවයුතු මාමලාට කියන්නේ මේ බලාගාරය අපට ආයෙ හදල දෙන්න’’  


නාගහදොළ ජල විදුලි බලාගාරයේ නඩත්තු භාරව කටයුතු කළ - කේ.ඩී. රංජිත් උපාලි මහතා.  


 මේක 2001 දී පටන්ගෙන 2007 දී විවෘත කළා. ගමටම විදුලිය දුන්නා. රුපියල් 200 ක් නඩත්තුවලට ගත්තා. සුළු අලුත්වැඩියාවක් තිබුණා. ඒක කළේ නැහැ. ඒ කාලයේ මේ පිළිබඳ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට දැනුම් දුන්නත් වැඩක් වුණේ නැහැ. මේක ආයෙත් පණ ගන්වන්න පුළුවනි. මෝටරය ඇතුළු අනෙත් උපාංග අලුත්වැඩියා කළ හැකියි. “නාගහදොළ ගම්මානයට ජාතික පද්ධතියේ විදුලිය දෙන්න බැහැ කියල පළාත් සභා ප්‍රතිපාදන වැය කරල මේ බලාගාරය හැදුවා. නමුත් මේක හදල අවුරුද්දක් ගියේ නැහැ ජාතික පද්ධතියේ විදුලිය දුන්නා. ඊට පසු මේ බලාගාරයේ නඩත්තු, අලුත්වැඩියාව කළේ නැහැ. ජාතික පද්ධතියේ විදුලිය දුන්න වගේම මේ බලාගාරයේ විදුලිය ජාතික පද්ධතියට ගන්න ක්‍රමයක් හදන්න තිබුණා. නමුත් ඒක කළේ නැහැ. එදා හිටිය දේශපාලනඥයන්ගෙ අත්තනෝමතික වැඩවලට උඩගෙඩි දීපු නිලධාරීන් කළ අපරාධයේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නෙ. දැන් විශාල ජල කඳක් අපරාදේ අපතේ යනවා.’’ ඒ මහතා පැවසීය.