රජිව් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට ඇප


ඒ.ජී. පෙරාරිවලන්හට ඇප හිමිවීමත් සමඟ රජිව් ගාන්ධි ඝාතන සිද්ධියේ සෙසු සැකකරුවෝ තම බලාපොරොත්තු අලු‍ත් කරගනිති.

පසුගිය මාර්තු මස 09 වන දින ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජිව් ගාන්ධි ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඒ.ජී. පෙරාරිවලන්හට ඇප ලබා දී ඇත. මෙම ඝාතන සැකකරුවන් නිදහස් කරගැනීම උදෙසා තමිල්නාඩු මන්ත්‍රණ සභාව මෙන්ම කැබිනට් මණ්ඩලයේ යෝජනා ගණනාවක් සමඟ පසුගිය වසර කිහිපය පුරාවටම අඛණ්ඩ සහ ශක්තිමත් ඉල්ලීම් නිරතුරුවම නැගෙන්නට විය.   


57 හැවිරිදි පෙරාරිවලන් අරිවුහට ඇප ලබා දීම, මෙම ඝාතනයට සම්බන්ධව වසර 32ක් සිරගතව සිටි සෙසු අපරාධකරුවන් වන නලිනි ශ්‍රී හරන්, මුරුගන්, ශාන්තන්, රවිචන්ද්‍රන්, ජයකුමාර්, රොබර්ට් පයාස්ගේ සිත් තුළ යළිත් නව බලාපොරොත්තු ඇති කර ඇත.   


එසේම, ගෙවුණු දශක තුන පුරාවට පෙරාරිවලන් විසින් දියත් කරන ලද දීර්ඝ නෛතික අරගලයේ විශේෂ සංධිස්ථානයක් බවට ද මෙය පත් ව ඇත. “අයදුම්කරු වසර 30 කට වඩා වැඩි කාලයක් සිරගතව සිටීම යන කරුණු සැලකිල්ලට ගැනීමේ දී, මධ්‍යම රජයේ දැඩි විරුද්ධත්වය නොසලකා ඔහු ඇප මත නිදහස් වීමකට හිමිකම් කියන බව අපේ මතයයි.” එල්. නාගේශ්වර රාඕ සහ බී.ආර්. ගවායි යන විනිශ්චයකාරවරු පැවසූහ.   
ඇප මත නිදහස් වීම පෙරාරිවලන්ගේ දශක තුනක නෛතික සටනේ අවසන් ප්‍රතිඵලයයි. 2005 වර්ෂයේදී AIADMK (All India Anna Dravid Munnetra Kazhagam) රජය විසින් මන්ත්‍රණ සභාවේ දී යෝජනාවක් සම්මත කරගත් වහාම පෙරාරිවලන් විසින් තමිල්නාඩු ආණ්ඩුකාරවරයා ඉදිරියේ ක්ෂ්මාදානීය ඉල්ලීමක් ගොනුකර තිබිණි. කෙසේවෙතත්, මධ්‍යම රජය අපරාධකරුවන් නිදහස් කිරීමට විරුද්ධත්වයක් දැක්වූ හෙයින් පෙරාරිවලන් නැවතත් නෛතික ක්‍රියාමාර්ග තෝරාගෙන ඇත. ඔහුගේ ක්ෂ්මාදානීය ඉල්ලීමට ප්‍රතිචාරයක් නොලද විට ඔහු ​ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ අතර, 2018 වසරේ දී එය නිදහස් කිරීමට සුදුසු නඩුවක් සේ සලකා එම කරුණ සම්බන්ධයෙන් තීරණය කිරීමට ආණ්ඩුකාරවරයා වෙත නැවත එවා ඇත. කැබිනට් මණ්ඩලය විසින් පෙරාරිවලන් ඇතුළු සයදෙනකු නිදහස් කිරීම නිර්දේශ කරමින් යෝජනාවක් සම්මත කරගත් නමුත් ආණ්ඩුකාරවරයා යළිත් වරක් නඩුව ගොනුකර ඇත.   


කෙසේ වුවත්, වසර දෙක හමාරක් ගතවන තුරු මේ සම්බන්ධ කිසිදු ප්‍රගතියක් දක්නට නොමැති විය. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුකාරවරයාට විවේචන එල්ල කළ අතර, අපරාධකරුවන් නිදහස් කිරීමට විරෝධතා දැක්වීම සහ කාලීන තීරණයක් ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් රජයට ද චෝදනා එල්ල කළේ ය. එසේම, මධ්‍යම රජය විසින් CBI (Central Bureau of India) ආයතනය වෙත වරද පැවරීම සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මධ්‍යම රජය වෙත විවේචන එල්ල කර ඇත.   


CBI ආයතනය විසින් මෙම ඝාතනය පිටුපස සැඟව ඇති කුමන්ත්‍රණය පිළිබඳ විමර්ශනය කිරීමෙහි ලා සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට අසමත් වී ඇතැයි මධ්‍යම රජය විසින් එම ආයතනය වෙත චෝදනා එල්ල කොට තිබිණි.   


නෛතිකමය වශයෙන් කිසිම දඬුවම් අත්හිටුවීමකින් තොරව පෙරාරිවලන් සහ සෙසු අපරාධකරුවන් සයදෙනා තවමත් බන්ධනාගාරගතව සිටී. “මේ අවස්ථාවේ දී ඇප නියම කිරීම වැරදි තීරණයක්. මොකද, මේ වන විටත් පෙරාරිවලන් දඬුවම් ලැබීමට නියම වෙලා ඉවරයි.” මැඩ්‍රාස් මහාධිකරණයේ හිටපු විනිසුරු කේ. චන්දෘ මහතා THE WEEK වෙත පැවසුවේ ය. “මේ මොහොතේ දී දඬුවම අත්හිටුවීමට ඇති එකම මාර්ගය වෙන්නේ වාචික ප්‍රතිඥාවක් ලබාදීම හෝ පොදු සමාවක් ලබා දී දඬුවම් අවසාන කිරීමයි.” චන්දෘ මහතාට අනුව මෙම තීරණය දීර්ඝ කාලයක් පුරා අතින් අතට මාරු වෙමින්’ පැවති කරුණකි. මෙවර රජය විසින් යෝජනාවක් සම්මත කොට ආණ්ඩුකාරවරයා වෙත යවා ඇත්තේ තෙවන වරටයි. “භාරතීය ජනතා පක්ෂයටත් කොංග්‍රසයේ න්‍යාය පත්‍රයට නොදෙවෙනි න්‍යාය පත්‍රයක් මේ නඩුව සම්බන්ධයෙන් තියෙනවා කුමන හෝ හේතූන් නිසා රාජ්‍ය පාලනය කරන ස්වෛරී ආණ්ඩුවක් මේවා අනුගමනය කිරීම යහපත් දෙයක් නෙමෙයි” චන්දෘ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.   


කෙසේ වුවත්, පෙරාරිවලන්හට නම් ඇප ලබා ගැනීමට හැකි වීම විශාල මානසික නිදහසක් ව ඇත. “ඇප ලැබීම නිදහස් වීමට සමාන නැහැ තමයි, නමුත් අඩු තරමේ දැන් මගේ පුතාට ඔහු කැමති විදියට ජීවත් වෙන්න හරි පුළුවන්.” පෙරාරිවලන්ගේ මව, අර්පුදම් අම්මාල් THE WEEK සඟරාව වෙත පවසා ඇත.   
පෙරාරිවලන්හට ඇප හිමි වන විට ඔහු මාස නවයක් පුරා වාචික ප්‍රතිඥාවකට යටත්ව සිට ඇත. චෙන්නායි සිට කිලෝමීටර දෙසිය විස්සක් උතුරින් පිහිටා ඇති ජොලාර්පෙට්ටි හි ඇති කාමර දෙකකින් සමන්විත ඔහුගේ නිවස පෙරාරිවලන්හට සිරගෙයක් නොවන සිරගෙයක් බවට පත්ව තිබී ඇත. ඔහුව තම නිවසේ පළමු මහල වෙත සීමාකොට ඇත්තේ සමීපතම ඥාතීන් හැරුණු කල අන් කිසිවකුටත් ඇතුළු විය නොහැකි අයුරිනි. මෑතකදී පෙරාරිවලන් මුත්‍රාශය ආශ්‍රිත ආසාදනයකට ප්‍රතිකාර ද ලබා ගෙන ඇත. ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මේ මොහොතේ අවශ්‍ය වන්නේ පෙරාරිවලන් විවාහ කරදීමට වුව ද, ඔහු ඒ පිළිබඳ නැවත වතාවක් කල්පනා කරමින් සිටින්නේ ඇප ලබා දීම අතුරු සහනයක් පමණක් වන බැවිනි. 

 
“අපි අවුරුදු තිස්දෙකක් තිස්සේ ඉවසීමෙන් සටන් කළා. අපි තවමත් ඔහු වෙනුවෙන් සාධාරණත්වය ඉෂ්ට වන තුරු බලා ඉන්නවා. ඔහු අහිංසකයි, ඔහුට ඇප ලැබුණෙත් බන්ධනාගාරයේ දී යහපත් විදියට ජීවත් වුණු නිසයි. අවුරුදු තිස්දෙකක් පුරාවට මාත් එක්ක එකට හිටපු සියලු‍ දෙනාටම මම ස්තුති කරනවා. මට දැන් අවශ්‍ය ඔහු නිදොස් වෙනවා දකින්නයි.” පෙරාරිවලන්ගේ මව පවසා ඇත.   


පෙරාරිවලන්හට ඇප හිමිවීමත් සමඟ සෙසු අපරාධකරුවන් සයදෙනා ද ඇප අපේක්ෂාවෙන් අධිකරණය වෙත යෑමට අපේක්ෂාවෙන් සිටී. චෙන්නායි හි සිටින නලිනි සහ මදුරාසියේ සිටින රවිචන්ද්‍රන් විසින් වෙන වෙන ම ගොනු කරන ලද ඇප අභියාචන දැනටමත් මැඩ්‍රාස් මහාධිකරණය හමුවේ විභාගවෙමින් පවතී. මොවුන් දෙදෙනාම දැනට වාචික ප්‍රතිඥාවකට යටත් ව සිටී.   


“රවි මීට මාස හතරකට කලින් වාචික ප්‍රතිඥාවට යටත් කළා,” රවිචන්ද්‍රන්ගේ මව වන පී. රාජේස්වරී THE WEEK සඟරාව වෙත පවසා ඇත. “අධිකරුධිර පීඩනය නිසා ඇති වුණු පපුවේ අමාරුවකට ඔහු ප්‍රතිකාර ගත්තා. ඒ වගේ ම දිගු කාලයක් බන්ධනාගාරගත ව සිටීම නිසා ඇති වුණු මානසික ආතතියටත් රවි ප්‍රතිකාර ලබාගත්තා.” 

 
මෙම ඝාතන සිද්ධියේ දහසය වන චූදිතයන් වූ රවිචන්ද්‍රන් අලියාස් රවී ඔහුගේ පියා මියයාමට වසර කිහිපයකට පෙර වාචික ප්‍රතිඥාවට යටත් වූ අපරාධකරුවන් සත්දෙනාගෙන් මූලිකයෝ වූහ. පසුගිය මාස තුන පුරාවට ඔහු වාචික ප්‍රතිඥාවට යටත් ව සිට ඇත. එබැවින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙරාරිවලන්හට ඇප නියම කළා සේ මහාධිකරණය ඉතා ඉක්මනින් තමාට ද ඇප ලබා දෙනු ඇතැයි ඔහු අපේක්ෂාවෙන් සිටී.   
“වාචික ප්‍රතිඥාවකට යටත් වීම කියන්නේ සිරගත වෙලා ඉන්නවා වගේම දෙයක් තමයි,” රාජේස්වරී පැවසුවා ය. “ඒක හරියට සිරගෙදරින් පිට සිරගෙදරක් තියෙනවා වගේ.”   


54 හැවිරිදි නලිනි ද නිදහස ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසු වේ. ඇය විවාහ වී සිටින්නේ මෙම ඝාතන සිද්ධියේ සැකකරුවකු වන ශ්‍රී ලාංකික ජාතිකයෙකු වන මුරුගන් අලියාස් ශ්‍රී හරන් සමඟ ය. රජීව් ඝාතනයට ලක් වූ බෝම්බ පිපිරීම සිදු වූ ස්ථානයේ සිට ජීවිතය බේරාගත් එකම කුමන්ත්‍රණකාරිය වන්නේ නලිනි ය. ඇය ගතකර ඇත්තේ සැබැවින්ම විස්මයජනක ජීවිතයකි: වයස අවුරුදු 25 පිරීමට මත්තෙන් ඝාතන ස්ථානයේ දී තම කොටස ඉටු කර, රජීව් සහ තවත් 21 දෙනෙකු ඝාතනය කළ බෝම්බ පිපිරීමෙන් දිවි ගලවාගෙන, මරණ දඬුවමට නියම වී, එම ඝාතන සිද්ධියේ ම සැකකරුවකු සමඟ ප්‍රේමකොට විවාහ වී තනිවම කාලය ගත කිරීමට නියම කරන ලද බන්ධනාගාරයේ දී ම දරුවෙකු බිහිකර, අවසානයේ තොණ්ඩුවෙන් ද බේරීමට සමත් වූවා ය.   
THE WEEK සඟරාවේ පළ වූ ලිපියක් ඇසුරෙනි.   


පරිවර්තනය   
ඉෂානි උපේක්ෂා ධර්මපාල