යුග දෙකක් එක් කළ සිනමා වීරයා ඩොමී


එදා තිරයේ ඩොමී ජයවර්ධන දකින විට ඔබට සිතෙන්නේ කුමක්ද?   


කතා නායකයාට හෝ කතා නායිකාවට උගුලක් ඇටවීම, මත් පැන් වීදුරුවක් අතේ තබාගෙන රූමතියන් පිරිවරාගෙන ගතකරන සෙල්ලක්කාර ජීවිතය, සරාගී පෙනුම, මේ එදා දුෂ්ටයා වූ ඩොමීගේ මූලික අංගයන්ය.   
ඩොමීට ‘සුජාතා’ චිත්‍රපටයේ පටන්ම ලැබුණේ මෙවැනි දුෂ්ට චරිතය. ඔහු ‘සැමියා බිරිඳගේ දෙවියාය’ චිත්‍රපටයේ පමණක් පිළිකාවකින් පෙළෙන සැමියකු ලෙස ප්‍රේක්ෂක අනුකම්පාව දිනාගත හැකි චරිතයක් රඟපෑවේය. ඔහුගේ බිරිඳ ලෙස රඟපෑවේ රුක්මණී දේවියයි. ඇයට පෙම් කළ වෛද්‍යවරයා වූයේ අශෝක පොන්නම්පෙරුමය.   


මෙය ‘නෙන්ජිර් ඕර් ආලයම්’ නැමැති දෙමළ චිත්‍රපටයේ ආභාෂය ලැබූ බව කියැවෙයි.   


බොහෝ විට යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටින ඩොමී මේ චිත්‍රපටයේ පමණක් සාමාන්‍ය ඇඳුමෙන් සැරසී රඟපෑවේය. “මට සියුම් මානසික ගැටුමකට මැදිව සිටින මානුෂික චරිතයක් ලැබුණේ ‘සැමියා බිරිඳගේ දෙවියා’ චිත්‍රපටයේයි. එය ඩබ්ලිව්.එම්.එස්. තම්පෝගේ නිෂ්පාදනයක්” ඩොමී මේ බව පැවසුවේ 1978 වසරේ අගදීය.   
ඩොමීගේ සිනමා ජීවිතයට වසර 25 ක් පිරීම නිමිත්තෙන් ඔහුට උපහාර පිදීම සඳහා 1978 නොවැම්බර් 28 වැනිදා සුගදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මියැසි සාදයක් පවත්වන්නට සංවිධායනය කෙරිණි.   
ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 51ක් විය. දයාරත්න රටගෙදර විසින් ලියන ලද ලිපියක් අනුව ඩොමී පවසා තිබුණේ ඒ වන විටදී ඔහු චිත්‍රපට 60ක පමණ චරිත නිරූපණය කර තිබූ බවයි. 

 
ඒ කාලයේ තිරගත වීමට නියමිතව තිබූ චිත්‍රපට වූයේ ‘හිඟන කොල්ලා’, ‘අනූෂා’, ‘දිවි, තිබෙනතුරු’, ‘මොණරතැන්න’ හා ‘ටක් ටික් ටුක්’ය.   
මේ ඔහුගේ අවසන් චිත්‍රපට පෙළය. ඔහු අවසන් වරට රඟපෑවේ යසපාලිත නානායක්කාරගේ ‘ටක් ටික් ටුක්’ චිත්‍රපටයේය.   


ඩොමීගේ සිනමා ජීවිතයට වසර 25ක් පිරෙද්දී ඔහු වරින් වර රෝගී විය.   
ඔහු පවසා තිබුණේ ඔහුගේ තවත් එක් බලාපොරොත්තුවක් ඇති බවය.   
“මම හිතාගෙන ඉන්නෙ හොඳ කලාත්මක චිත්‍රපටයක් කරන්න. යම් දවසක ඊට අවශ්‍ය කළමනා ලැබුණොත් මගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවි.... එදාට මට හිතෙනවා මගේ පියාගේ සියලුම බලාපොරොත්තු මම ඉෂ්ට කළා කියලා.”   


 එහෙත් ඒ බලාපොරොත්තු ඔහුට ඉෂ්ට කර ගන්නට නොහැකි විය. හරියටම ඊට වසරකට පසු 1979 දෙසැම්බර් 28 වැනිදා ඩොමී මෙලොව හැර ගියේය.   
එමෙන්ම කිසිම දිනෙක සාමාන්‍ය බස් රථයක නොගිය නළුවා ලෙස හැඳින්වෙන්නේද ඩොමීය.   
මොනතරම් ප්‍රශ්න තිබුණත් ඔහු ගමන් කළේ මෝටර් රථයකය. නැතහොත් ටැක්සියකය කොණ්ඩය කපන්නට බාබර් සාප්පුවක් වෙත නොගියේය. ඔහුගේ ගෙදරට කොණ්ඩය කපන්නට කරණවෑමියෙක් ආවේය.   


ඩොමී සාමාන්‍ය මිනිසුන් අතරට ආවේ විශේෂ අවස්ථාවල පමණකි.   
ඩොමී ඉපදුණේ 1927 ජූලි 25 වැනිදා අම්බලන්ගොඩ මීටියාගොඩය. ඔහු පවුලේ වැඩිමලා විය. ඊළඟට සොහොයුරියකි.   
සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාට්‍යයේ සිංහබාහුට රඟ පෑ චාලි ජයවර්ධන ඩොමීගේ බාල මල්ලීය. චාලි ඩොමීට වඩා වසර 14කින් බාලය.   


ඩොමීගේ පියා ඉඩම් හිමි වැවිලිකරුවකු නිසා අම්බලන්ගොඩ සිට පැමිණ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ඇරඹීය. ඉන්පසුව කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ඇතුළත් විය.   
පරිපාලන නිලධාරියකු වූ ඩොමීගේ සොහොයුරු චාලි ජයවර්ධන මහතා පවසන්නේ එකල දෙවනි ලෝක යුද්ධය පැවැති නිසාත් ජපනුන් කොළඹට බෝම්බ දැමීම නිසාත් පසුව තම සොහොයුරු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ඇතුළත් වූ බවය. එකල එහි විදුහල්පතිවරයා වූයේ ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා බව පවසන්නේ චාලි මහතාය. චාලි මහතාට දැන් අවුරුදු 80කි. ඩොමී ජීවත්ව සිටියා නම් වසර 94කි. එහෙත් ඔහු මෙලොවින් සමු ගත්තේ අවුරුදු 52 දීය.   
ඩොමී කොළඹ ෆෙම්බ්‍රොක් විද්‍යාලයේ ද අධ්‍යාපනය හදාරා ඇත.   
අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව ඔහු පොල් පරීක්ෂණාගාරයේ සේවය කළේය. ඔහුගේ එකම දියණිය නාලනී පවසන්නේ පප්පා (ඔවුන් තම පියා ඇමතුවේ පප්පා කියාය) බත්තුලුඔය, හෙට්ටිපොළ යන පොල් වතුවල පාලකවරයා වශයෙන් එකල සේවය කළ බවයි. 

 
පොල් පරීක්ෂණාගාරයේ සේවය කරද්දී සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, තිර නාටක හා දෙබස් රචකයකු වූ සිරිල් පී. අබේරත්න නිෂ්පාදනය කළ ‘සිහිනය’ වේදිකා නාට්‍යයේ ඔහු රඟපෑවේය. ඉන්පසුව සිරිල් පී. ගේ ‘සංසාරේ’, ‘පිටිසර අම්මා’ යන නාට්‍යවලටද ඔහු සම්බන්ධ බව කියැවෙයි.   
ඉන් පසුව ඔහු වේදිකා නාට්‍ය ගණනාවකම රඟපෑවේය. ඒ අතර ටවර් හෝල් නාට්‍යයද වෙයි.   
‘සිහිනය’ ඩොමීට සිනමා තිරයේ දොරගුළු හැර දුන්නේය.   
‘සුජාතා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට දී තිබුණේ සිරිල් පී. අබේරත්නට බව පවසන්නේ සිරිල් පී. ගේ දියණිය වන ස්වර්ණා අබේරත්නය. එහෙත් ඉන්දියාවේදී මතභෝදාත්මක තත්ත්වයක් නිසා සිරිල් පී. ට චිත්‍රපටයෙන් ඉවත්වන්නට සිදුවිය.   


ඉන්පසුව සියල්ල සිදු කෙරුණේ සේලම් චිත්‍රාගාරයේ සිටි ඉන්දියානුවන්ට අවශ්‍ය පරිදිය. මේ නිසා අධ්‍යක්ෂණය පමණක් නොව තිර කතා දෙබස් රචනයේද අයිතිය සිරිල් සී.ට අහිමි විය. මේ නිසා සිරිල් පී. දැඩි කලකිරීමකට පත්වීය.  සිරිල් පී. ට සිලෝන් තියටර්ස් සමාගමෙන් ‘සුරංගනී’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ලැබුණේ ඉන් පසුවය.   
එකල ඩොමී සිරිල් පී. හමුවන්නට නිතර තම නිවසට යන එන බව පවසන්නේද ස්වර්ණා අබේරත්න මහත්මියයි. ඒ හැඳුනුම්කම ඩොමීට නළුවකු වන්නට මඟ පෑදුවේය.   
‘සුජාතා’ ප්‍රේම් ජයන්ත්, ශාන්ති ලේඛා සිනමාවට හඳුන්වා දුන් චිත්‍රපටයක් වන අතර එහි ශාන්ති ලේඛා ඩොමී සමඟ රඟපෑවේ නාන ඇඳුමකින් සැරසී, පෙම් රැල්ල නැගී ගල් තැල්ලේ වදී ගීතය ගයමිනි. එකල නාන ඇඳුමකින් සැරසී නිළියක චිත්‍රපටයක රඟපෑම ආන්දෝලනාත්මක විය. ඩොමී රඟපෑවේ විකී යන දුෂ්ටයාගේ චරිතයයි.   


ඩොමී නළුවකු මෙන් ගායකයකුද වෙයි. ඔහු ‘සිහිනය’ චිත්‍රපටයේ ‘පැදපල්ලා හිතට අරන් ඔරුව අපේ නිල් දියේ’ ගීතය ගායනා කර ඇත. සුජාතා ‘සුහද්‍රා’, ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටවලද ඩොමී ගී ගැයුවේය.   
චාලි පවසන්නේ කුඩා කල ඩොමී අයියා ඔහුට ගී ගයන්න කියා දුන් බවයි.   
එකල චිත්‍රපට රූ ගත කිරීම් පමණක් නොව ගීත, දෙබස් පටිගත කිරීම් සියල්ලම සිදු වූයේ දකුණු ඉන්දියාවේය. එදා එහිදී සිදුවූ සිදුවීම් අතර එක් කතාවක් වන්නේ දිනක් චිත්‍රාගාරයේ ඩොමී පුවත් පතක් බලමින් සිටින විට වූ සිද්ධියකි.   


එකල ජනප්‍රියම නිළියක ගායිකාවක හා චිත්‍රාගාර හිමිකාරියකද වන පී. වරලක්ෂ්මී එදින උදේ චිත්‍රාගාරයට ආවාය. විත්‍රාගාර හිමිකරු හා විවාහ වී සිටි ඇය චිත්‍රාගාරයේ දී මුලින්ම උදෑසන පුවත්පත බලයි. පුවත්පත බලමින් සිටි ඩොමීට සේවකයකු පැමිණ කියා ඇත්තේ පුවත්පත වරලක්ෂ්මීට දී පසුව ඉල්ලාගෙන කියවන ලෙසයි. එහෙත් ඩොමී කියා ඇත්තේ ඔහු කියවූ පසු ඇයට කියවන ලෙසයි.   
කෙසේ හෝ මේ සිදුවීම් නිසා ඇය ඔහු හා කිසියම් මතභේදයක් නොව බැඳීමක් ඇතිකර ගත් බව කියැවෙයි.   
දිනෙක වරලක්ෂ්මී උදේ බන්දේසියක තබා රතු රෝස මලක් හා සිගරට් පැකට්ටුවක් සේවකයකු අත ඩොමීට යවා තිබේ. එහෙත් ඩොමී ගත්තේ සිගරට් පැකට්ටුව බව කියැවෙයි.   
කෙසේ හෝ ඔවුන් අතර සමීප සම්බන්ධතාවක් ඇති වි ඇති බව සත්‍යයකි.   
ඔහු එකල ඒ තරමට ආකර්ෂණීය නළුවකු විය.   
ඩොමී ගේ බිරිඳ නෝනා සුබෙයිදාය. ඇයද ටවර් හෝල් නිළියකි. ඔවුන් ආදරයෙන් බැඳුණේ නාට්‍යවල රඟපෑමට යෑම නිසාය.   


ඩොමීගේ වැඩිමහල් පුතු ජනප්‍රිය ගායකයකු, නළුවකු හා හඬ කැවීම් ශිල්පියකු වූ නිහාල් ජයවර්ධනය. බාල පුතු රෝයි ජයවර්ධනද එකල ප්‍රකට හඬ කැවීම් ශිල්පියෙකි. ඔවුන් දෙදෙනාම අද ජීවතුන් අතර නැත.   
චාලි ජයවර්ධන මහතාද මුල් කාලයේ ඩොමී ඉන්දියාවේ සිටියදී ලිපි ලියා ඇත්තේ සිනමා නළුවකු වන්නට අවස්ථාවක් දෙන මෙල් ඉල්ලා සිටිමිනි. එහෙත් ඩොමී ඔහුට කියා ඇත්තේ මුලින්ම හොඳින් අධ්‍යාපනය හදාරා උපාධිධරයකු වී දිලිප් කුමාර් වැනි නළුවකු වන ලෙසටය. දිලිප්ද උපාධිධාරියෙකි.   
චාලි විශ්ව විද්‍යාලයට තේරුණු පසු සරච්චන්ද්‍රගේ හමුවීමෙන් ‘සිංහබාහු’ හි සිංහබාහු වී පුණ්‍යසේන ගුණසිංහගේ ‘කාලගෝල’ නාට්‍යයේ දිප්පිටියා ලෙසත් ‘ශ්‍රී වික්‍රම’ (ප්‍රේම රංජිත් තිලකරත්න නිෂ්පාදනය) නාට්‍යයේත් රඟපෑමෙන් පසු සිනමා රඟපෑමේ ආශාව නැතිවී ගියේය. එහෙත් ඔහු ‘සුජාතා’ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපා ඇත.   
ඩොමිගේ මල්ලි චාලි හැරුනු විට නිහාල් ගේ දියණිය වූ බුද්ධිනීද කලාවට සම්බන්ධ වී සිටියි.    
1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දේශපාලන කටයුතු වලට සහාය දුන් ඩොමී හෙළ නළු නිළි හවුලේ සභාපතිධුරය ඉසිලීය.   


එහිදී ඔහු බණ්ඩාරනායක මැතිනිය දිව්රුම් දුන් පසු චිත්‍රපට සංස්ථාව පිහිටුවන බවට ලිඛිත පොරොන්දුවක් ලබාගෙන ඇත. බුද්ධිනී පවසන්නේ ඒ ලිපිය තවමත් සුරැකිව තමා ළඟ තිබෙන බවය.   
එමෙන්ම රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ ප්‍රථම ක්‍රියාකාරී අධ්‍යක්ෂ වන්නේද ඩොමීය.   
තවත් සුප්‍රසිද්ධ කතාවක් වන්නේ සිනමාස් සමාගම හා ගිවිසුම් අත්සන් කර ‘වරද කාගේද’ චිත්‍රපටය කරන අතරතුර ඩොමී ටී. සෝමසේකරන්ගේ ‘සැඩ සුළං’ චිත්‍රපටයේ රඟපෑමයි.   
මෙහිදී ඉන්දියාවේදී ඩොමීට විරුද්ධව නඩු පැවරුණි. මෙයින් සිනමාවේ අධිපති කේ. ගුණරත්නම් ඩොමී හා අමනාප විය. එහෙත් ඩොමී එම නඩුව ඉවත්කර ගැනීමට සමත් විය.   
වරක් ඩොමී පවසා තිබුණේ එඩී ජයමාන්න හා රුක්මණී ඉන්දියාවේදී ආදායම් බදු ප්‍රශ්නයකට මැදිව සිටියදී ඒ සඳහා ඉදිරිපත් වී ලංකාවට එන්නට උදව් කළේ ඔහු බවයි.   


සිංහල දෙබස් කැවූ ‘අංගුලිමාල’ චිත්‍රපටයේ භාරත් භූෂාන් වෙනුවෙන් ඩොමී සිංහලෙන් දෙබස් කැවූ අතර නිම්මි වෙනුවෙන් කටහඬ දුන්නේ අපේ සුප්‍රකට ගායිකා ලතා වල්පොලයි. එම දෙබස් පටිගත කිරීම් පවා එකල සිදුකළේ ඉන්දියාවේ චිත්‍රාගාර වලදීය.   
‘දරු දුක’ (1967) හා ‘සිංගප්පූරු චාලි’ නම් වූ චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළ ඩොමීට 1967 සරසවි චිත්‍රපට උළලේදී ජනප්‍රියම සහාය නළුවා ලෙස ‘පුංචි බබා’ හි රඟපෑ චරිතයට සම්මාන ලැබිණ.   
1968 සරසවිය උළෙලේදී ඩොමීගේ ‘දරු දුක’ පාඨක ඡන්ද අනුව 1967 ජනප්‍රිය චිත්‍රපටයක් ලෙසද සම්මානයට පාත්‍ර වී ඇත.   


වසර 52ක් වැනි කෙටි කාලයක් ජීවත් වුවද ඩොමී තිරයේ මැවූ දුෂ්ටයාගේ චරිතය අදටද ජීවමාන වන්නෙකි. ඔහු මෙලොවින් නික්ම ගොස් මෙම දෙසැම්බර් 28 වැනිදාට වසර 42ක් ගත වුවද ශ්‍රී ලංකා සිනමා ඉතිහාසය පවතින තුරු ඩොමී රංගනයෙන් පමණක් නොව සිංහල සිනමාවේ අභිවෘද්ධිය පතා චිත්‍රපට සංස්ථාව පිහිටුවීමට දුන් දායකත්වයද නොමැරී පවතිනු ඇත.

 

 

 

රොඩ්නි විදානපතිරන