මෝටර් රථයට කොටස් හද‌ා ජීවිතය ජයගත් පාකිස්ථානුවා


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • සරසවියට ගිය මුල්ම දවසේ නිදා ගත්තේ ඩොලර් 2ක් ගෙවා තරුණ ක්‍රිස්තියානි සංගමයේ කාමරයක.
  • අද ඔහු හට සුපිරි ජෙට් යානා, යාත්‍රා, මෝටර් රථ රැසක් තිබේ.
  • ඇ​ෙමරිකාවේ ක්‍රීඩා සමාජ කීපයකම හිමිකරුවා ​ෙවන්නේද ෂාහිඩ් ඛාන් ය.

 

‘ෂාහිඩ් ඛාන්’ උපත ලැබුවේ පාකිස්ථානයේ පන්ජාබයට අයත් ලාහෝර් නුවරදීය. 1950 ජුලි 18 වැනිදා එලෙසින් උපත ලැබූ ෂාහිඩ් ඛාන් අද වනවිට පාකිස්ථානු සම්භවය ඇති ඇ​ෙමරිකානු ප්‍රකෝටිපති ව්‍යවසායික චරිතයකි. අද එසේ වුවද, ඇ​ෙමරිකාවට සංක්‍රමණය වූ ඔහු එදා මුලින්ම කළේ ‘කෝප්ප, පිඟන්’ සේදීමේ රස්සාවය. ඒ වෙනුවෙන් එදා ඔහුට ලැබුණේ පැයකට ඩොලර් 1.20ක වේතනයක් පමණි. අද ඔහු ඇ​ෙමරිකාවේ සිටින තනි පුද්ගල ව්‍යාපාරයක් හිමි ලෝ ප්‍රකට චරිතයකි. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ ෂාහිඩ් ඛාන් ජීවිතය ජයගත් හැටි සහ ඔහුගේ ව්‍යාපාර ස්වාභාවයේ කතාව අද අපි කියවමු.   

කවුද මේ ෂාහිඩ් ඛාන්?   


ෂාහිඩ් ඛාන්ගේ කෙටියෙන් හැඳින්වෙන අන්වර්ථ නාමය වන්නේ ෂාද් ඛාන් ය. ‘ෆ්ලෙක්ස් එන් ගේට්’ ගැන ඔබ අසා තිබේද? ඇ​ෙමරිකාවේ ස්ථාපිත මෝටර් රථ උපාංග නිෂ්පාදන සමාගමකි. මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන සමාගම් අතරින් ඇ​ෙමරිකාවේ ඇති මුල් පෙළේ සමාගම් දහය අතරට ‘ෆ්ලෙක්ස් එන් ගේට්’ අයත් වේ. එම අංශයේ ලොව විශාලතම සැපයුම්කරුවන් අතරින් 33 වැනි ස්ථානයේ පසුවන්නේ මෙම ‘ෂාහිඩ්ගේ’ සමාගම ලෙස ව්‍යාපාරික පුවත් උපුටා දක්වයි. ඇ​ෙමරිකාවේ විවිධ ක්ෂේත්‍රවලට අයත් සමාගම් අතරින් 46 වැනි ස්ථානයේ පසුවන ඇ​ෙමරිකාවේ විශාලතම සමාගම වන්නේද ෂාහිඩ්ගේ මෙම ෆ්ලෙක්ස් එන් ගේට්ය. ෆෝබ්ස් වාර්තාවේ ඒ බැව් සඳහන් වේ. 2020 දී පමණක් ඔහුගේ මෙම සමාගම ඩොලර් බිලියන 8.9ක ආදායමක් උපයා ඇති වග සඳහන් වේ. විනෝද උද්‍යානවලදී කුඩා ළමුන් මෙන්ම වැඩිහිටියන් විනෝදවන බම්පර් කාර් ගැන ඔබ දන්නවා නේද? බොහෝ විනෝද උද්‍යානවලදී විදුලියෙන් ක්‍රියාත්මක කරවිය හැකි මෙම බම්පර් කාර් ඔබට දැකගත හැකිය. මෙම ‘බම්පර් කාර්’ වැඩි වශයෙන් නිපදවන සමාගමක් මෙන්ම විවිධ වර්ගයේ මෝටර් රථ සහ ට්‍රක් රථ වර්ග සඳහා අමතර කොටස් (උපාංග) නිෂ්පාදනය කරන සමාගමක් ලෙස ඉහළින්ම ලැයිස්තුගත වී ඇති සමාගමකි.   


‘ෂාහිඩ් ඛාන්’ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදී මෙම ෆ්ලෙක්ස් එන් ගේට් කෝපරේෂන් යනු ඔහුගේ සමාගමක් නොවීය. ඔහු එහි සේවය කළ සේවකයෙක් පමණක් විය. ඊට පෙර විශ්වවිද්‍යාල අධ්‍යාපනයට එළැඹි මුල් කාලයේදී පැයකට ඩොලර් 1.20ක් ලැබුවේ කෝප්ප පිඟන් සේදීමේ රස්සාව කරමින්ය. ඒ සියල්ලටත් පෙර ඔහු ඇ​ෙමරිකාවට ගිය අතීතය දෙස ද අපි විපරම් කර බලමු.   


1967 දී ‘ෂාහිඩ්’ ඇතුළු ඔහුගේ මව්පියන් ඇ​ෙමරිකාවට සංක්‍රමණය වනවිට ෂාහිඩ් පසු වූයේ 16 වැනි වියේය. ෂාහිඩ් අයත් වූයේ ලාහෝරයේ මධ්‍යම පාන්තික පවුලකටය. ඔහුගේ පරපුර පැවත එන්නේ ඉදිකිරීම් කර්මාන්තයට සම්බන්ධ පවුලක් ලෙසය. මව ගණිත අංශයේ මහාචාර්යවරියක වූවාය. දැන් ඇය විශ්‍රාම ගොස් සිටින්නීය. පියා රෆීක් ඛාන් හට චිත්‍ර ඇඳීමේ උපකරණ අලෙවි කළ සාප්පුවක් තිබිණි. ගොඩනැගිලි නිර්මාණ සැලසුම් සඳහා භාවිත කළ උපකරණද එම සාප්පුවේ අලෙවි කෙරිණි. ෂාහිඩ් හට සිටියේ එක් සහෝදරයකු පමණි. තාරික් රෆීක් ඛාන් වූ ඔහු 20 හැවිරිදි වියේදී මියගිය බව සඳහන් වේ.   


මව්පියන් සමඟ 1967 දී ඇ​ෙමරිකාවට සංක්‍රමණය වූ ‘ෂාහිඩ්’ ඉලිනොයිස් හි අර්බානා සරසවියට ඇතුළත් වී සරසවි අධ්‍යාපනයට ප්‍රවේශ විය. එම සරසවිය අර්බානා සහ කැම්පේන් නගර දෙකට අයත් වූ එකකි. එහි සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට එළැඹි ඔහුට පළමු රාත්‍රිය ගත කිරීමට සිදු වූයේ එම සරසවියේ තරුණ ක්‍රිස්තියානි සංගම් ගොඩනැගිල්ලේ කාමරයකය. ඒ වෙනුවෙන් ඩොලර් 2ක මුදලක් ගෙවීමට ඔහු හට සිදුවිය. බේටා-තේවා පාසලෙන්ද එහිදී අධ්‍යාපනය ලැබූ ෂාහිඩ්, ඉහත කී ඉලිනොයිස් අර්බානා සරසවියෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගත්තේ, කර්මාන්ත අංශයේ හෙවත් ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියරින් අංශයේ උපාධියකි. පසුව 1999 දී පමණ යාන්ත්‍රික විද්‍යා හා ඉංජිනේරු අංශයේ කීර්තිමත් ආදි ශිෂ්‍යා හට පිරිනැමෙන සම්මානයද එම සරසවියෙන් හිමිවීම මගින් ෂාහිඩ්ගේ තරම මැනගත හැකිය. 


ව්‍යාපාරික අංශයට ආ හැටි   


සරසවි අධ්‍යාපනය ලැබූ සමයේ ෆ්ලෙක්ස් එන් ගේට් හි සේවකයකු ලෙස කටයුතු කරමින් සිටි ෂාහිඩ් හට එම සමාගමේ ඉංජිනේරු අධ්‍යක්ෂ ධුරයක් හිමිවූයේ උපාධිය ලබා ගැනීමෙන් පසුවය. එලෙසින් තනතුරක් ලැබූ ඔහු 1978 දී පමණ ‘‘බම්පර් කාර්’ නිෂ්පාදන ක්‍රියාවලියට අත ගැසීය. ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම සහ ඇණවුම්වලට අනුව ඒවා නිෂ්පාදනය කරදීම සිදුකළ අතර ට්‍රක් රථ ඇතුළු රථ වර්ග කීපයක අලුත්වැඩියා කටයුතු සිදු කිරීමටද ඔහු නායකත්වය ලබා දුන්නේය.   


එයින්ද නොනැවතී මෝටර් රථ සඳහා වූ ‘බම්පර්ස්’ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ණය මුදලක් ලබාගෙන, කුඩා පරිමාණ ණය ආධාර ව්‍යාපෘතිය යටතේ ව්‍යාපාරය තවත් පුළුල් කිරීමට දායකත්වය ලබාදීමට කටයුතු කළේය. ඒ වෙනුවෙන් ඩොලර් 50,000ක් අවශ්‍යව තිබූ අතර ඔහු සතුව ඩොලර් 16,000ක් තිබිණි. එම මුදලට අවශ්‍යව තිබූ අනෙකුත් 36,000ක මුදල ණය ලෙස ලබාගෙන මෝටර් රථ අමතර ​උපාංග සහ බම්පර්ස් නිෂ්පාදන ක්‍රියාවලිය ඇරැඹියේ සාර්ථක ගමනක් යාමේ අභිප්‍රාය ඇතිවය. මේ ගමන නතර වූයේ ෆ්ලෙක්ස් එන් ගේට් හිමි චාල්ස් ග්ලේසන් බට්ෂෝව්ගෙන් සමාගම මිලදී ගෙනය. ඉනික්බිතිව ෂාහිඩ් යටතේ කාර් බම්පර්ස් නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරිණි. ඕනෑම කෙනෙක් තම මෝටර් රථයේ ආරක්ෂාව ගැන උනන්දු වෙයි. මෝටර් රථයක් සාමාන්‍ය අනතුරුවලදී ඇතිවන සීරීම් සහ තැලීම්වලින් වළක්වා ගැනීමට මෙම ‘බම්පර්ස්’ අමතර උපාංග ලෙස යොදා ගනී. එනිසා මෝටර් රථයේ බඳට සිදුවන හානිය අවම කර ගත හැකිය. ෂාහිඩ්ගේ මෙම අමතර උපාංග වැඩේ හරි හරියට නැගලා ගියේය. එනම් දියුණුවෙන් දියුණුවට පත්විය. ඛාන්ගේ නිෂ්පාදන මිලදී ගත්තේ, ජෙනරල් මෝටර්ස්, ක්‍රයිස්ලර්, ෆෝඩ් වැනි මහා පරිමාණ මෝටර් රථ නිෂ්පාදන සමාගම් පමණක් නොවේ. ලෝ ප්‍රකට ටොයෝටා නිෂ්පාදන හට ද අමතර උපාංග නිෂ්පාදනය ලබා දීමට ඔහුට අවස්ථා ලැබිණි. 1989 වනවිට ඇ​ෙමරිකාවේ සියලුම ටොයෝටා මෝටර් රථ වෙනුවෙන් බම්පර්ස් ඇතුළු උපාංග නිෂ්පාදනය වූවේ ඛාන්ගේ සමාගමෙන්ය.   


ඛාන් ගිය දුර   


බම්බර්ස් ඇතුළු මෝටර් රථ උපාංග නිෂ්පාදනය කරන ලොව තනි පුද්ගල විශාලතම සමාගම තම සමාගම බවට පත්කරගත් ඛාන් ඇ​ෙමරිකාවේ ක්‍රීඩා සමාජ කීපයකම හිමිකරුවා බවට පත්වීමෙන් අනතුරුව ලෝකයම කතා කරන චරිතයක් වුණි. 2019 වනවිට ඔහුගේ නායකත්වය සහ හිමිකාරීත්වය යටතේ ෆ්ලෙක්ස් එන් ගේට් සමාගමේ සමස්ත සේවක සංඛ්‍යාව 25,000කින් සමන්විත වූ අතර ඇ​ෙමරිකාවට අමතරව නිෂ්පාදනාගාර චීනයේ, ආර්ජන්ටිනාවේ, ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය, මෙක්සිකෝව, කැනඩාවේ ස්ථාපිත කෙරිණි. 

 
දඩ ගෙවීම් 

 
ෂාහිඩ් ඛාන්, ඇ​ෙමරිකාවේ සිට එලෙස ඉදිරියට ගිය ගමන මල් මාවතක් ඔස්සේ ගිය ගමනක් නොවීය. විවිධ දුෂ්කරතාවලට නිරන්තරයෙන් මුහුණදීමට ඔහුට සිදුවිය. වෘත්තීය සුරක්ෂිතතාවය සහ සෞඛ්‍ය නීති උල්ලංඝණය කළේ යැයි චෝදනා මත ඩොලර් 57,000ක දඩයක් ගෙවීමට සිදු විය. ෆ්ලෙක්ස් එන් ගේට් සමාගමට එරෙහිව විවිධ බලවේග ක්‍රියාත්මක වී එලෙසින් විවිධ චෝදනා එල්ල කෙරිණි. එහෙත් ඛාන් ඒවාට මුහුණ දුන්නේ තම නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වීමෙනි.   


ඛාන් ක්‍රීඩා සමාජ ආක්‍රමණය කිරීම   


පාකිස්තානයේ ඉම්රාන් ඛාන් අද එරට අගමැති ය. එකතකට මේ ෂාහිඩ් ඛාන් ගියේද ඉම්රාන් ඛාන් ගිය ගමනට සමාන වූ ගමනකි. ක්‍රීඩා සමාජ මිලදී ගැනීම, නොඑසේ නම් හිමිකාරීත්වය ලබාගැනීම ඊළඟට ෂාහිඩ්ගේ අරමුණ වී තිබූ අතර ජැක්සන්විල් ජගුවර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ලැබුවේ, ඇ​ෙමරිකාවෙන් පිටත රටකින් පැමිණි චරිතයක ලෙස එම ඇ​ෙමරිකානු පාපන්දු කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගනිමිනි. ෂාහිඩ් ක්‍රීඩකයකු නොවූවද ඇ​ෙමරිකානු ක්‍රීඩා සමාජවල හිමිකාරිත්වය ලබමින් වෙනස්ම ගමනක් ගියේය. ඒ ගමන කෙතරම් ශක්තිමත් කර ගත්තේද යත්, නැෂනල් ෆුට්බෝල් ලීග් පදනමේ සාමාජිකයකු බවට පවා පත්විණි. ‘පාපන්දු’ ක්‍රීඩා සමාජවල හිමිකාරිත්වයෙන් ඔබ්බට ගිය ඛාන්, ඇ​ෙමරිකාවේ අතිශය ජනප්‍රිය වූ ක්‍රීඩාවක් වන මල්ලවපොර ක්‍රීඩාවට අවතීර්ණ වූයේ ක්‍රීඩකයකු ලෙස නොවේ. ඕල් එලයට් කණ්ඩායමේ හිමිකරුවා බවට පත්වීමෙනි.   


සුපිරි ජීවිතයක් ගත කරන පාකිස්ථානයෙන් ඇ​ෙමරිකාවට ගිය ඛාන්   


ෂාහිඩ් ඛාන් මුස්ලිම් ජාතිකයෙකි. බොහෝ විට මුස්ලිම් ජාතිකයින් විවාහ වන්නේ මුස්ලිම් කාන්තාවන් සමගය. එහෙත් මේ ඛාන් විවාහ වූයේ ඇ​ෙමරිකානු ජාතික ඈන් කාල්සන් සමගය. ඔහුට ඇය හමුවූයේ සරසවියේ අධ්‍යාපනය ලැබූ කාලයේදීය. සරසවියේදී බැඳි ඒ පෙම වසර දහයක් යන තෙක් ආදරණීයව ගලා ගියේය. ඔහුට ඇයද ඇයට ඔහුද නැතුවම බැරි වූ තැන 1977 දී දෙදෙනා යුගදිවි ගමන් ඇරැඹූහ. ෂාන්තා ඛාන් දියණිය සහ ටෝනි ඛාන් මේ යුවළගේ දියණිය සහ පුතුය. පවුලේ උදවිය සමග සුපිරි ජීවිතයක් ගත කරන ඛාන් හට ස්වාභාවයෙන්ම ඇ​ෙමරිකානු නිත්‍ය පුරවැසි බව හිමිවූයේ 1991 දීය.   


ෆ්ලොරිඩාහි, නේපල්ස්හි ඇති මන්දිරයෙහි වටිනාකම මීට වසර කීපයකට පෙරදී සඳහන් වූයේ ඩොලර් මිලියන 11ක් වශයෙනි. පාක් ටවර් හි ඇති සුපිරි මහල් සංකීර්ණයට අයත් නිවසෙහි වටිනාකම ඩොලර් මිලියන 8 කි. මෙමි නිවස චිකාගෝහි ඇති විශාලතම නිවසකැයි සඳහන් වේ.   


ඔහු සතු සුපිරි යාත්‍රාවේ නිර්මිතය ලෝකෙටම එකක් වූ එකකි. මෙහි සිනමා ශාලාවක්, දොළොස් දෙනකුට පමණ සෑහෙන අවන්හලක් අයත්ය. මෙම සුපිරි යාත්‍රාව මහල් පහකින් සමන්විත අපූරු නිර්මාණයකි.   
සුපිරි යාත්‍රාවට අමතරව අධිසුඛෝපභෝගී ජෙට් සහ මෝටර් රථ කීපයක්ම ඔහු සතුය. 2011 නිෂ්පාදිත ලියර්ජෙට්, 2013 නිෂ්පාදිත බොම්බාඩියර්, ඔහු සතු පෞද්ගලික ජෙට් යානාය. සුපිරි මෝටර් රථ අතරින් Pagani Huayra රථයෙහි වටිනාකම ඩොලර් මිලියන 1.5කි. ඇස්ටන් මාටින් රථයෙහි වටිනාකම ඩොලර් 200,000ක් යැයි සඳහන් වන අතර ලැම්බෝගිනි වෙනීනෝ රථයෙහි වටිනාකම ඩොලර් මිලියන 4.5කි.   
එලෙසින් සුපිරි ජීවිතයක් ගත කරන ෂාහිඩ් ඛාන්, දානපතියකු ලෙසද ප්‍රකටය. ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන ඛාන් මෙහෙම වුණාට ඔහුගේ ‘සීයා’ ගැන කතා කළ යුතුම අයෙක් වේ. වාර්තාවල සඳහන් වන පරිදි සීයා හට දූ දරුවන් 50 දෙනෙක් පමණ සිටියහ. ඒ බිරින්දෑවරු සත් දෙනකුට අයත්වය. එම දූ දරුවන් අතරින් බාලම දරුවා වූයේ ෂාහිඩ් ඛාන්ගේ මවය. ෂාහිඩ් ඛාන් මෙන්ම ඔහුගේ ඇ​ෙමරිකානු බිරිඳ වන ඈන් කාල්සන් යනු ඛාන්ට එහා ගිය දානපතිනියකි. පරිත්‍යාගශීලීත්වයට ඇය වඩාත් ලැදිය.   


සුන්දර ලාහෝරයේ ඉපිද වයස 16 දී ඇ​ෙමරිකාව බලා ගිය ෂාහිඩ් ඛාන්, යාන්ත්‍රික ඉංජිනේරු විෂය හදාරා තමාගේම මෝටර් රථ උපාංග නිෂ්පාදන සමාගම වෙතින් ජීවිතය ජය ගත්තේ එක් රැයකින්, එක් දිනකින් නොවීය. අලුත් අලුත් දේ තනන මිනිසකු ලෙස ඔහු ලෝකය ජය ගත්තෙකි. මෝටර් රථ සඳහා ආරක්ෂණ උපාංගයක් ලෙස බම්පර් නිපදවීමේදී මුලින්ම ඔහු ඒ ගමන පටන් ගත්තේ ට්‍රක් රථයක් සඳහා ‘බම්පර්’ එකක් නිපදවීමෙනි. පොඩියට සිතූ ඔහු හට ලොකු දැක්මක් තිබිණි. ඒ දැක්ම ඔහු යථාර්ථයක් බවට පත් කළේ මුළු මහත් පාකිස්තානයටද ගෞරවයක් ලබා දුන් අභිමානවත් පාකිස්තානුවකු ලෙසය.

 

 

පරිවර්තන සටහන  
සඳුන් ගමගේ  
[email protected]