මියගිය ඇතකු සංරක්ෂණය කරන හැටි


 

වසර ගණනාවක් තිස්සේ මහනුවර ඇසළ පෙරහැරට සහභාගි වෙමින් දළද‌ා වහන්සේ වැඩම කරවූ නැඳුන්ගමුවේ රාජා ඇතා පසුගියද‌ා සිය දිවිසැරිය නිමාකළේය. මෙරටේ ජාතික වස්තුවක් ලෙස රජය විසින් නම් කරන ලද රාජා ඇතු ගමන් බිමන් යන විට පොලිස් ආරක්ෂාව ද සපයනු ලැබිණි.   


1988 වසරේදී මියගිය දළද‌ා මාළිගාවේ රාජා ඇතු ද ජාතික වස්තුවක් ලෙස නම් කරනු ලැබිණි. ඒ රාජා මියගිය විට ඒ සිරුර සංරක්ෂණය කර දළද‌ා මාළිගාවේ ප්‍රදර්ශනය කළ යුතු යැයි එවක සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ රජය තීරණය කළ අයුරින්ම නැඳුන්ගමුවේ ඇතාගේ සිරුර ද සංරක්ෂණය කිරීමට තීරණය කර ඇත.   


දළද‌ා මාළිගාවේ රාජා ඇතාගේ සිරුර විශේෂ කුටියක මේ වන විටත් සංරක්ෂිතව ඇති අයුරු අපූරුය. දළද‌ා වහන්සේ වැඳ පුද‌ා ගන්නට යන සියළු බැතිමත්හු අවසානයේ රාජා ඇතුගේ සංරක්ෂිත සිරුරද නැරඹීමට අමතක නොකරති. එහෙත් මියගිය සතෙකුගේ සිරුරක් ජීවමාන ආකාරයෙන්ම සංරක්ෂණය කරන්නේ කෙසේදැයි ඒ වැඩි දෙනෙක් දන්නේ නැත.   


‘හමට පුළුන් පුරෝලා’   
ඒ ගැන කවුරුත් කියන්නේ එසේය.   


 එහෙත් සිරුරක් ජීවමාන ආකාරයෙන් පෙනෙන පරිදි සංරක්ෂණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. වසරක පමණ කාලයක් ගතවන භාරධූර කාර්යයකි. ඒ බව කියන්නේ ජාතික කෞතුකාගාරයේ හිටපු චර්ම ශිල්පී ගාමිණී කුමාර විතානය. දළද‌ා මාළිගාවේ රාජාගේ සිරුර අදටත් ජීවමාන කරන්නට මුල්වූ පිරිස අතර ඔහු ප්‍රධානියාය.   


 එබැවින් ඇත් සිරුරක් ජීවමාන ලෙස සංරක්ෂණය කරන්නේ කෙසේදැයි දැනගන්නට අපි ගාමිණී කුමාර විතාන මහතා ඇමතුවෙමු. 

 
ඇතෙකුගෙ සිරුර සංරක්ෂණය කරද්දී කළ යුතු මුල්ම කටයුත්ත උගේ සිරුරේ මිනුම් ගැනීම, ඇතෙක් කියන්නේ යෝධ සතෙක් නිසා මේ කටයුත්තෙදි ක්‍රේන් එකක් වගේම මිනිසුන් පනහක පමණ පිරිසකුත් සිටිය යුතු වෙනවා. මිනුම් ගැනීමේදී ඇතාගේ සිරුරු එහා මෙහා පෙරළීමට සිදුවන නිසයි ක්‍රේන් එකක් අවශ්‍ය වෙන්නෙ. කොහොම හරි අපිට ඇතාගේ   


1. සිරුරේ දිග - හොඬවැළේ කෙළව​රේ සිට වලිගයේ කෙළවර දක්වා.   
2. පසුපස කකුල් දෙකේ දිග සහ ඉදිරිපස කකුල් දෙකේ දිග.   
3. කකුල්වල වට ප්‍රමාණ   
4. හොඬවැළේ දිග   
5. කන්වල දිග සහ පළල   
6. බෙල්ල   
7. දල හයිවෙන තැන වටප්‍රමාණ   
8. තල්ල   
9. කඳ   
10. ශිෂ්නය 

 

කියන සියලු අවයව වල මිනුම් නිසි පරිදි ඉතා නිවැරැදිව සාවධානව ගත යුතු වෙනවා. එහිදීත් ඇතකුගේ ඉදිරිපස කකුල් සහ පසුපස කකුල්වල උස එකිනෙකට වෙනස්. මේ නිසා මිනුම් ගැනීමේදී පාද හතරෙම මිනුම් ගතයුතු වෙනවා. කකුලකුත් උඩ සිට පහළට එනතුරු තැන් කීපයක මිනුම් ගතයුතු වෙනවා. එසේ ගන්නා මිනුම් දෙවැනි වතාවකදී යළිත් අරගෙන පළමුව ගත් මිනුම් හරිද කියලා බලන්න වෙනවා. මොකද පුංචි හරි වැරදීමක් වුණොත් අපේ කාර්යය වරදිනවා.

   
දෙවෙනි පියවර වෙන්නෙ චර්ම විච්ජේදනයයි. ඒ කියන්නෙ හම ගැලවීමේ කාර්යය. මේ සඳහා පාවිච්චි කරන්නේ සර්ජිකල් බ්ලේඩ්. සිරුර උඩබැලි අතට හරවා හොඬවැලේ කෙළවරේ සිට හරි මැදින් කැපීම ආරම්භ කළ යුතු වෙනවා. ඊළඟට උදරය ශිෂ්නය හරහා ගුද මාර්ගය දක්වාත් එතැන සිට වළිගයේ කෙළවර දක්වාත් කැපිය යුතුයි. පාදයේ කෙළවර සිට සිරස් කැපීම් කළයුතු වෙනවා. 

 
මේ විදිහට යටිතල්ල සහ උඩුතල්ලට අයත් සම කපද්දී ඇතුළෙන් කැපිය යුතුවෙනවා. මොකද තල්ලෙ හම වැරදියට කැපුනොත් අපට ඇතා සංරක්ෂණය කරන්න බැරිවෙනවා. ඒ වගේම ඇස ළඟත් යටින් හාරලා තමයි යට කපන්න වෙන්නෙ. හොඬවැලේ කෙළවරත් එහෙමයි. එතන තියෙන මස් එක්ක ගැඹුරින් කපන්න වෙනවා. කකුල්වල පතුල කොළපතක් වගේ. එතැන කපන්න වෙන්නෙ පිහිවලින්. ඔය විදිහට කපන හම ගැලවිලා වැටෙනවා. හරියට කෝට් එකක් ගැලෙව්වා වගේ.  


ඊළඟට මේ හම තුනී කිරීමේ කටයුතු පටන්ගන්න වෙනවා. ඒ සඳහා භාවිතා කරන රසායන ද්‍රව්‍යය තමයි පොටෑසියම් ඇලුමිනියම් සල්ෆේට් සහ දිය ලුණු. හැබැයි මේ සඳහා විශාල ටැංකියක් හද‌ාගන්න වෙනවා. ඇතාගේ උසට ඇතාගේ දිගට සහ පළලට ගැලපෙන විදිහට. මේ මුළු ටැංකියම අර කියපු රසායන ද්‍රව්‍යයෙන් පුරවලා හම ඒ තුළ දැමිය යුතුයි. දවස් දෙකේ ඉඳලා සතියක් පමණ කාලයක් දක්වා මේ විදිහට පොඟවන හමෙන් ජලය ඉවත්වෙලා අර රසායන ද්‍රව්‍යය තැන්පත් වෙනවා. ඒ වගේම මස් කුණු වෙලා හම විතරක් ඉතිරි වෙනවා.  


ඊළඟට හම වේළා ගැනීම කළ යුතු වෙනවා. යකඩ සැකිල්ලක් හදලා ඒ සැකිල්ලෙ එල්ලලයි හම වේළන්න පටන් ගන්නෙ. පොළවෙ ගෑවුනොත් හම කුණු වෙන්න ගන්නවා. ඉහඳ පනුවන් මේ හමට බෝවන එක වළක්වන්නත් ඕනැ. ඒකට කරන්න ඕනැ විදුලි පංකා මහ ගොඩක් පාවිච්චි කිරීම. එතකොට මැස්සන්ට හමේ වහන්න බැරිවෙනවා. ඒ වගේම මේ කාලයේදී නිතරම හම ගැන බලන්න වෙනවා. මයිල් ගැලවෙනවද පනුවෝ එනවද කියන කාරණය වැදගත්. එහෙම වෙනව නම් ඊට පිළියම් යොදන්න වෙනවා. හමේ දෙපැත්තම වේළුණාට පස්සේ නිකම් පපඩමක් වගේ වෙනවා.  


 ඔය අතරෙ ඔලුවෙන් දළ දෙක ඉවත් කරන්න වෙනවා. ඒක බොහොම පරිස්සමට කළ යුත්තක්. දළ වල පතුරු නොගැලවෙන විදිහට බොහොම පරිස්සමටයි දළ ගැලවිය යුත්තෙ. ඊළඟට ඔලුව වළ ද‌ානවා. කාලෙකදි ආපහු මේ ඔලුව ගොඩගන්න වෙන නිසා එය වළ දැමිය යුත්තේ උඩින් ටකරමක් වගේ දෙයක් ද‌ාලා. 

 
දල දෙකත් ෆෝමලින් ද‌ාලා සුද්ද කරල තියාගන්න ඕනෑ.  


 ඊළඟ පියවර තමයි ඇතාගේ සැකිල්ල හදන එක. කකුල්වලට කොඳු ඇට පේළියට කම්බි සවිකරලා හදන සැකිල්ලට ඊළඟට පිදුරු ආදිය පුරවන්න ඕනැ. ඒ මත ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් අලියගේ සිරුර නෙළන්න වෙනවා. ඒ කටයුත්තෙදි මුලින්ම ගත්තු මිනුම් වගේම අලියගෙ ඡායාරූප වීඩියෝ එහෙමත් බලන්න වෙනවා. මොකද අලියගෙ සිරුරේ ප්‍රමාණය හැඩය නිවැරැදිවම අවශ්‍ය වන නිසා. ඒ වගේම මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් හදන ඇතා, කලින් ගත්තු මිනුම්වලට වඩා තරමක් කුඩා විය යුතු වෙනවා. නැතිනම් හම හරි ආකාරයට ඊට පොරවන්න බැරි වෙනවා.  


දැන් ඉන්නෙ සුදු අලියෙක්. නමුත් අපි මේ සුදු අලියට කළුපාට ගාන්න පස්සෙ ඕනැ. නැත්නම් හම පෙරෙව්වම හමේ කැපීමේදී සිදුවන පුංචි අඩුපාඩු එහෙම පේන්න ගන්නවා.  


 ඊට පස්සෙ තමයි හම පොරවන්න පටන් ගන්නෙ. හම ගානට තියලා පුංචි ඇන ගහලා සවිකරලා තමයි ඇතාට ජීවමාන පෙනුමක් ලබා දෙන්නෙ.  


 අන්තිමේදි දළ දෙකත් සවිකරලා මියගිය ඇතාට පන දෙනවා.  


විස්තර කිරීමේදී මේ කටයුත්ත පහසු දෙයක් සේ පෙණුනත් එය අතිශයින් බැරෑරුම්ය. මන්ද යත්, හමට පුංචි හෝ ඇදක් පලුද්දක් සිදුවුවහොත් ඒ වැරැද්ද නිවැරැදි කරන්නට නොහැකි වන නිසයි.  


වාසනාවකට මෙන් දළද‌ා මාළිගාවේ රාජා ඇතාගේ සිරුර සංරක්ෂණය කිරීමේදී ලොකු ලොකු වැරදීම් සිදුවූයේ නැහැ. එය ලංකාවේදී ඇතකුගේ සිරුරක් සංරක්ෂණය කළ පළමු අවස්ථාව විය. නැඳුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කරද්දී කලින් ලද අත්දැකීම් ප්‍රයෝජනවත් ​ෙවනු ඇත.  

 

 

 

 ශාන්ත කුමාර විතාන