මිණිපේ ලොවට හෙළි කල සුදු ජාතිකයෝ


හෙළ දෙරණ ඉතිහාසයේ පිටු අතරින්  සැඟවුණු අපූරු සිදුවීම් පෙළක්  

උඩරට මහ කැරැල්ල පරාජය කළ ඉංග්‍රීසින් ක්‍රි.ව. 1848 දී මුහුණ දෙන්නේ මහා වියවුලකටය. ඒ මුළු මහත් ලක් ජන සමාජයම රැක බලා ගැනීමේ වඩාත් භාරදූර වගකීමටය. රාජ්‍යය තව දුරටත් පීඩකයෙකු නොව පියගුණ සහිත මතවාදී ප්‍රජාතන්ත්‍රීය මෙහෙයුමක් බවට පත්ව තිබුණි. මේ නව තත්ත්වයට වේගයෙන් බ්‍රිතාන්‍යයන් පත්වීම නිසා ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුවට ද ඒ මගම යන්නට සිදුවිය. එමෙන්ම 1848 දී උඩරට කැරැල්ල පරාජය කිරීමට භාවිත කළ කෲර පිළිවෙතින් බිඳි ගිය දේශීය ජන හදවත් කුල්මත් කොට සනහා ගැනීමට සිදුවී තිබුණි. මේ තත්ත්වය තවත් තීව්‍ර වන්නේ කි.ව 1851 දී ඉන්දියාවේ ඇතිවන බිහිසුණු සාගතය නිසාය. එම සාගතයෙන් ඉන්දීය ජාතිකයෝ දෙලක්ෂයකට අධික ප්‍රමාණයක් නිරාහාරව මිය ගියහ. මෙම ජන විපතේ වගකීම පැටවුණේ බ්‍රිතාන්‍ය අධිරාජයාටය. එයින් බ්‍රිතාන්‍යයේ මානවවාදින් කුපිතව නැඟී හිටියේ එරට පාර්ලිමේන්තුව වටලමිනි. එක්සත් රාජධානිය තුළ බලගතු දේශපාලන නැගී සිටීමකට ආසියාවේ හාමතේ මියයන ජනතාව හේතුවක්ව තිබුණේය. ඉතින් අධිරාජ්‍යය පවත්වා ගැනීමේ මග තම මවුරටේ ජනතාව දෙස හෙලන බැල්මින් යටත් විජිත ජනතාව දෙස ද බැලීම බවට තදබල මතයක් පැතිරේ. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයෙහි ලිබරල් මතවාදීන් සමාජවාදීන් හා මානව වාදීන් ද මෙරට සිටි දේශප්‍රේමී සුදු වියතුන් හා සිවිල් සේවකයන් තම රටට බලපෑම් කරන්නට පටන් ගත්තෝය. ඒ සියල්ල සමග ලක් ඉතිහාසය දෙසට එංගලන්ත රජ ගෙදරට ද පාර්ලිමේන්තුවට ද හැරෙන්නට සිදු වන්නෝය.  

ඒ අනුව හියු නෙවිල් හා බේල් මෙන්ම ටර්නට් වැනි පඬිවරුන්ගේ ඉතිහාසය හැදැරීම ලක්දිව ඉංග්‍රීසි ආණ්ඩුවේ මතවාදී හැසිරීම බවට වහා පෙරළෙන්නේය. එවකට හීන කතාවක් මනෝරාජික ලියවිල්ලක් ලෙස සිතා තිබූ මහාවංශය හැබෑවක් දැයි මුල සිට අගට බලා විමසීමට පටන් ගන්නේය. මේ අනුව මොනව නැතත් ලක් ජන සමාජය තුන්වේල කන ජනතාවක් ලෙස පවත්වා ගැනීමට මුල පිරීම සඳහා ඉංග්‍රීසින් ගුරුපොත කර ගත්තේ මහා වංශයය. ඒ ගුරුපොත දෙස බලමින් ගොවිකම හා බැඳී ලියවී තිබූ විස්මිත වාරි කලාව සොයන්නට මෙහෙයුමක් දියත් වේ. මහාවංශයේ වාරි කතා අතරින් ඉංග්‍රීසි ආණ්ඩුවේ සිත්ගත් මහා විරුවා වූයේ මහා පරාක්‍රමබාහුය. ඒ ඔහුගේ විස්කම් කථාවේ තෝතැන්න වන්නේ මණිමේකලාව හෙවත් මිණිපේය.  


මිණිපේ ඇළ සොයා ගෙන මුල සිට අගටත් අගින් මුලින් රට වටේ පැතිරුණු ඇළ වේලි විල් වැව් හා දිය කඩති. ඔයවල් සහ ගංඟා දොළ දිය පිරන්නට ඉංග්‍රීසීහු පටන් ගත්හ. පටන් ගත් දේ කරන්නට ලක්දිව ඉංග්‍රීසි ආණ්ඩුව තුන් ඈදුණු මිතුරු ප්‍රේමින් තුන් දෙනකු ගෙන්වා ගත්තේ ක්‍රී.ව. 1851 දී ය. මේ තුන් ඈදුණු තුන් දෙනා ලක්බිමට ගොඩ බසින්නේ තම මව් රටින් විනෝද ජනක සංචාරයක් ලද්දා විලාසින්ය. මේ කතාව ගැන මේ ගජ මිතුරන් තිදෙනා ලියා තබා ඇති තතු විත්තිය ලාංකීය ලේඛනාගාරයේත් බ්‍රිතාන්‍ය රාජකීය ලේඛනාගාරයේත් ඇති එහෙත් අප නොකියවන ඒත් කියවිය යුතුම අගනා ලියවිල්ලකි.  


මණිමෙඛලා ඇළ ගැන ඉංග්‍රීසි ආණ්ඩුව පුදුම වන්නේ මහාවංශ තතු විත්තිය හැබෑ කරවන පුවතක් හමුවීමෙනි. ඒ. ක්‍රි.ව. 1606 දී ඕලන් ද ජාතික ‘‘විස්මන්’’ තබා ඇති තතු පුවත කියවීමෙනි. අතීත මිණිපේ නුවර ක්‍රි.ව. 1606 දී ත් තිබූ සශ්‍රීක සරුසාර බව එහි ලියැවී තිබුණි. අතීත කාලයේ ලක් රාජධානිය යෝධ සංවර්ධන පිම්මක් ගත්තේ මිණිපේ ඇළ ඇළහරින් හරවා සිදුකළ සොබාවාදී තාක්ෂණික විප්ලවයෙනි. ඒ අනුව සිරිලකට සැපත් ‘‘ඇලෙක්ස් යන්ග් ඇඩම්ස් සහ​ ජොන් ඇෆ්. චර්චිල් හා සී.ඊ.ජේ. බේල්’’ යන තුන් මිතුරන් සොයා යන්නට පටන් ගන්නේ මේ මහඟු මිණි මේකලා ඇළය. මිණිපේ සොයා සිවු වසරක් ඇවිදින ඔවුන් තුන් දෙනාගේ කථාව විටෙක රසාලිප්ත ලංකා අන්දරයේ අතුරු කථාවක් තරමට රහය. රහට ලියවුණු මේ මිණිපේ කථාව ලංකාව නිදහස කරා කැඳවන මහා මාරුතය වන්නේ නිදහසට පාරමී පිරූ ඩී.එස්. සේනානායකට මේ තුන් දෙනා හමු වූ නිසාය. ලංකාවේ නිදහස් අරගලයේ යට ඇති ඇත්ත කථාවේ නිදාන කතාව බවට ඇලෙක්ස්, චර්චිල් සහ බේල් ද පත් වන්නේ ඔ​හොමය.  


නිමක් කොනක් තබා අඟ මුලවත් හරි හැටි සොයා ගත නොහැකි මිණිපේ විශ්මය ගැන නිවැරදිව සොයා යන්නට මේ තුන්දෙනාට සිංහල ඉතිහාසය සොයා ගන්නට සිදු වන්නේය. ඉතිහාසවේ දී ඉංග්‍රීසි ජාතිකයන් ද පාලි භාෂාව දත් දේශීය විදේශීය පඬිවරුන්ද ජන අන්දර දන්නා කැලෑ ගම්වල ශේෂව සිටි අතීත මුල්වලින් පැවතගෙන එන ජන විඥානයන් එකට එක් කළ මේ කතාව පුදුම කතාවකි. සෙල්ලක්කාර මිතුරු ප්‍රේමීන් තුන්දෙනා ගැඹුරු සහිත වාරි නිපුනයක් බවට පත් කළේ මිණිපේ සොයා යෑමේ කතාවය. මේ කතාව විටෙක මනස්කාන්ත පරිසර හා භූ චාරිකාවක් සේම ආගන්තුකයන්ගේ සංචාරක ප්‍රීතියක උද්දාමයකි. තවත් අතකින් ලක් ඉතිහාසය නැවත පුනර්ප්‍රබෝදයක් ලැබු ශාස්ත්‍රීය ව්‍යායාමක් ද වැනිය. අන් අතකින් පුදුමය දනවන්නේ මිණිපේ ඇළේ දත්ත නිසි ලෙස කිසිම සිංහලයෙකු ළඟ හෝ ඒ වන විට ශේෂව නොතිබුණු සැටියය. මිණිපේ විහිදී ගිය භූමියක් ඉන් පිටටත් හුන් හැම ලක් වැසියෙකුම දැනගෙන හිටියේ කොටසක් හෝ මිණිපේ ගැන අතීත කතාවක් පමණි. ඒත් ඇලෙක්ස් චර්චිල් හා බේල් වාසනාව වන්නේ තැනින් තැන පුද සත්කාර ලැබු ලක් රජුන් හා බැඳී යක් රකුස් නාග දේව දෙවි දේවතාවුන්ය. යකුන් හා ප්‍රේතයන්. මේ දේව, යක්, ප්‍රේත විමානවලට පුදසත්තාර කළ ජනතාව මිණිපේ ගැන ටික දුරක් ​සොයා දුන් අතර ටිකින් ටික දුර සොයාගෙන තවත් නම් බැරි බව කියමින් තුන්දෙනා ගමන නවත් වන්නේය. ඒ. ක්‍රි.ව. 1855 සැප්තැම්බර් 9 වෙනිදාය.  


සිවු වසරක මිණිපේ සොයාගෙන ගිය ගමන ගැන මේ තුන්දෙනා තබන සමූහ ලියවිල්ල රජයට භාර දී ඔවුන් මෙහෙම කථාවක් කියා ලංකාවට සමු දී ඇත්තේය. ‘‘මේ ගමන විශ්මයක් විතරක් නොවේ. පුදුමය ත්‍රාසය හා භීතියට දැනුම එක් කොට තැබූවකි. ලක්දිව අතීතය සොයා ගන්නට අපි කුඩා යැයි සිතේ. මිණිපේ හැකි තරමට පාදා ගත් අතර මෙය ජීවමාන කර ගත් හැක්කේ ලක්ෂයකට අධික ශ්‍රම හමුදාවක් භාවිත කරගෙන යැයි සිතමි. එසේ සිදු කළ වහාම ලංකාව සුඛිත මුදිත වන බව කිව යුතුය. අපේ ආණ්ඩුවට ඇති එකම මාවත මිණිපේ නැඟිටුවා ගැනීමය. මිණිපේ ජීවමාන කරගත් විට ආසියාවේ ගෞරවය බ්‍රිතාන්‍යයට හිමිකර ගැනීමට හැකි වන්නේය.’’ මේ කියමන හැබෑවක් කර ගැනීමට බ්‍රිතාන්‍යයන් පටන් ගත් ගමන නිමා වන්නේ ක්‍රි.ව. 1982 දී වික්ටෝරියා මහා වැව ඉදිකිරීමෙන්ය. දෙවැනි එළිසෙබෙත් රැජින මාග්‍රට් තැචර් අගමැතිනිය සමඟ එක්ව මේ සිදු කරන්නේ ඉතිහාසයෙන් ලද ඒ ඉවය. ඉතිහාසය එතරම් සහවාසි බව කිව යුතුය.

 

 

සුජිත් අක්කරවත්ත