මැයි මාසය මැද ආහාර හිඟයක්


මිල පාලනය කරන්න බෑ

 

පාරිභෝගික අධිකාරියට වැටලීම් කරන්න බලයක් නෑ

මේ වෙන විට අපේ රට දැඩි ආහාර හිඟයකට මුහුණ දී ඇත. ඊට නිසි පිළියමක් මෙතෙක් සොයා දීමට බලධාරීන් ක්‍රියා කර නැත. ඊට හේතු ලෙස ඔවුන් පෙන්වන්නේ පවතින ආහාර හිඟයට පිළියම් යෙදීමට ඩොලර් නොමැතිකමය. මේ නිසා ජනතාවට සල්ලි දීලා ගන්න කෑම බීම අද වෙළෙඳපොළේ නැත. විදේශයෙන් ගෙන්වූ ආහාර නැව් මුහුදේ නැංගුරම් දා තිබුණ ද ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් නැති නිසා මේ වෙන විට අත්‍යවශ්‍ය ආහාර බොහොමයක් වෙළෙඳපොළේ දක්නට නැත. මේ නිසා ජනතාවට ජීවත්වීමට සිදුව ඇත්තේ ගැටලු‍ රැසක් මැද ය. අපි මේ ගැන “ඉරිදා ලංකාදීප” පුවත්පත හරහා ද මීට පෙර වාර්තා කළෙමු.

සුදු ලූනූ, ලොකු ලූනූ, මුං ඇට, කව්පි, කඩල, පරිප්පු, පොල් තෙල්, කිරිපිටි, කරවල, මාළු, මස් වර්ග, බඩ ඉරිඟු, තිරිගු පිටි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර මේ වෙන විට හිඟයක් පවතියි. පවතින ඩොලර් අර්බුදය හමුවේ මෙම භාණ්ඩ ආනයනය කළ ද දිනෙන් දින මිල ඉහළ යාමක් දක්නට පුළුවන. මේ වෙන විට මුං ඇට කිලෝවක් රුපියල් දහසකි. සහල් කිලෝව රුපියල් දෙසීය පන්නලාය. පොල්තෙල් රුපියල් අටසීයයත් දහසත් අතර මිලක් ගනී. පරිප්පු කිලෝව රුපියල් හයසියය දක්වා මිල වැඩිවීමක් සිදුව ඇත. ආනයනික කිරිපිටි කිලෝව රුපියල් දෙදහසකට ආසන්නය. පසුගියදා නැවත තිරිඟු පිටි මිල වැඩි කිරීම නිසා පාන් ගෙඩියක මිල රුපියල් එකසිය පනහකි. ගැටලු‍ව ඇත්තේ වැඩි මිලට හෝ අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීමට නැති වීමය.


වෙළෙන්දන් භාණ්ඩ ආනයනය කරන අය ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වූවා කියමින් වැඩි මිලට ආහාර ද්‍රව්‍ය ගෙනාවා කියමින් දිනෙන් දින මිල වැඩි කරයි. පාරිභෝගික අධිකාරිය හෝ රජයේ වගකිව යුතු අය මේවා දැක දැක නොදැක්කා වාගේ සිටිති. මේ නිසා රට පුරා වෙළෙඳසල්වල ආහාර හිඟයක් ඇත. ජනතාව ආහාර සොයා පෝලිම්වල සිටිති. අලු‍ත් අවුරුද්දට අත්‍යවශ්‍ය ආහාර සහන මල්ලක් සතොස හරහා දීමට සැලැසුම් කළ ද එහි ජනතාවට අවශ්‍ය ආහාර තිබුණේ නැත. මෙවන් තත්ත්වයක් හමුවේ මැයි මාසය වෙන විට අත්‍යවශ්‍ය ආහාර හිඟය දැඩිව දැනෙනු ඇත.

කෑම බීම ගන්න ඩොලර් නෑ
ජාවාරම්කාරයින්ගේ වුවමනාව මත ආණ්ඩුව ක්‍රියා කරනවා 
 
- තුෂාන් ගුණවර්ධන

මේ ගැන අදහස් දක්වන පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ලෝක වෙළෙඳපොළේ ද ඇති වී තිබෙන බවය. නමුත් අපේ රටේ ප්‍රශ්නය වන්නේ තිබෙන ආහාර මිලදී ගැනීමට ඩොලර් නැතිකමය. ඉල්ලු‍ම් කළ අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීමට බොහෝ දෙනෙකුට බැංකු මගින් ඩොලර් නිකුත් නොකිරීම මීට හේතු වී තිබේ. මේ නිසා පොඩි පොඩි වෙළදාම් කරන අයට ආහාර ගෙන්වීමට නොහැකි වී ඇත. නමුත් මහා පරිමාණයෙන් ආහාර ගෙන්වන සමහර අයට ජාවාරකාරයින්ට නැති ඩොලර් ලබා දී අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීම සිදු වෙයි. මේ අර්බුදය හමුවේ සමහර දෙනා බලන්නේ තමන්ට ලැබෙන කොමිස් මුදල පමණක් බව තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
මහා පරිමාණයෙන් වෙළෙඳාම් කරන අය ඒ අයගේ ඩොලර් ලංකාවට ගෙන එන්නේ නැත. ඒ අය සිංගප්පූරුව වැනි රටවල ආයතන හා එකතු ව සල්ලි ඒවායේ තබා එම සමාගම් හරහා ගෙවීම් කොට භාණ්ඩ ගෙන්වයි. මේ හරහා අත්‍යවශ්‍ය ආහාර ඒකාධිකාරයක් ඇති වෙයි. ඉදිරියේදී දැඩි භාණ්ඩ හිඟයක් රටේ ඇතිවීම වැළැක්විය නොහැකිය. ලබන මැයි මැද වෙන විට කෑම බීම හිඟයක් රටේ ඇති වෙන බව තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මුදල් ලබා දුන්නත් ඒවා කෑම බීම සඳහා යොදාගත නොහැකිය. ඒවා ලබා දෙන්නේ බැංකු ගැරන්ටියක් ලෙසිනි. ආහාර ගෙන්වීමට මුදල් අප සොයා ගත යුතුය. නමුත් වත්මන් ආණ්ඩුවට ඒ සඳහා නිසි සැලැසුමක් තවම නැත. මේ තත්ත්වය උදා වෙන බව බොහෝ දෙනෙක් පෙන්වා දුන්හ. නමුත් ජාවාරම්කාරයින් කිහිප දෙනෙකුගේ වුවමනාව මත පමණක් ආණ්ඩුව ක්‍රියා කළ බව තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

ගැටලු‍වට විසඳුම් සොයනවා වෙනුවට කබ්රාල්වාදීන් කළේ සල්ලි අච්චු ගැසීම පමණය. ජනතාව උද්ඝෝෂණ කර පාරට බැස්සේ නැත්නම් මේ අය මේ ජාවාරම දිගටම කරගෙන යති. එසේ වූවා නම් මෙහි ප්‍රතිඵල මීට වඩා දරුණුවීමට ඉඩ තිබුණි. නමුත් මෙහි ප්‍රතිඵල මැයි මාසය මැද වෙන විට ලැබෙයි. දැනටත් ආහාර ද්‍රව්‍ය නිපදවන බොහෝ කර්මාන්ත ශාලා අවුරුද්දෙන් පසු විවෘත කොට නැත. ඒ අයට එම ආහාර ද්‍රව්‍ය නිපදවීමට අමුද්‍රව්‍ය නොමැති වීම නිසාය. මෙම ආයතන වැසි ගියොත් රැකියා අවස්ථා බොහොමයක් නැති වෙනු ඇත. ඒ අනුව තදබල ගැටලු‍ රැසකට අපට මුහුණ දීමට සිදුවෙයි. මේ අනතුර රාජ්‍ය නිලධාරින් මෙන්ම පාලකයින්ද නොදැක්කා යැයි කීම පිළිගත නොහැකිය. මේ අය කරන්නේ දරුණු අපරාධයක් බවත් ඒ අයට අපරාධ නීතිය යටතේ දඬුවම් දිය යුතු බවත් තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
 

මේ වෙන විට පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයා ආරක්ෂා කරන වැඩක් කරන්නේ නැත. එක් එක් අයගේ බලපෑම් හමුවේ දත්ත එකතු කළා පමණි. මේ වෙන විට පාරිභෝගික අධිකාරියට කළ හැකි වෙන්නේ වැරැදි ක්‍රමවලට භාණ්ඩයක් විකුණන විට දී ඇති වෙන ගැටලු‍වලට හා හාණ්ඩ සැඟ වූ විට මැදිහත්වීම පමණි. මිල පාලනය කිරීමට ගසා තිබූ ගැසට් ඉවත් කිරීම නිසා පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරියට ලබා දී තිබූ මැදිහත්වීම දැන් නැත. දැන් තිබෙන තත්ත්වය හමුවේ මිල පාලනය කළොත් භාණ්ඩ හිඟ වී නැති වී යයි. මේ නිසා අපට දැන් තියෙන්නේ විකෘති ආර්ථිකයකි. ඒනිසා සල්ලි අතේ තියාගෙන බොහෝ දෙනා දුක් විදිති. අද වෙන විට වෙළෙඳසල්වල ආහාර නැත. මේ නිසා නාගරිකව ජීවත්වෙන මධ්‍යම පංතික ජනතාවට කෑම නැති වෙනු ඇත. ගමේ ඉන්න කෙනා කොස් ගෙඩියක් හෝ කඩාගෙන කති. සල්ලි ඇති කෙනා රටින් ගෙනත් හෝ කෑම ගනිති. එනිසා ඉදිරි මාසය අපට තීරණාත්මකය. මැයි මැද වෙන විට මෙරට ජනතාවට කන්න බොන්න නැති වෙයි. දැනටමත් එහි පෙර නිමිති දැකීමට පුලු‍වන. අද ජනතාව පාරට බැස උද්ඝෝෂණ කරන්නේ තම පවුලේ අයට කන්න බොන්න දේ නැතිකම නිසාය. පාලකයෝ ඒවා තේරුම් නොගනිති. අද මෙරට ඉන්න බොහෝ ඇමැතිවරුන් කියන්නේ ප්‍රාථමික කතාය. අද පවතින ආර්ථික අර්බුදය ජනතාවට දරා ගැනීමට නොහැකිය. මෙසේ ගිය විට රටේ අනාගතය ගැන සිතා ගැනීමට බැරි බවද තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
 
 
අද තියෙන්නේ කළුකඩ මාෆියාවක්
තොග වෙළෙන්දන් ගාව ඕන තරම් සඟවාගත් කෑම බීම තියෙනවා 
 
- අසේල සම්පත්

මේ ගැන අදහස් දක්වන සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පෙන්වා දෙන්නේ.

ජාවාරම්කාරයින් කිහිප දෙනෙකු වසර දෙකකට පමණ අත්‍යවශ්‍ය ආහාර ගෙනවිත් ගබඩා කර ඇති බවය. එම ගබඩා පරීක්ෂා කළ හොත් ඒවා සොයාගත හැකි බව අසේල සම්පත් මහතා පවසයි. මේ තත්ත්වය උදා වූයේ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක තීරු බදු අඩු කිරීම නිසාය. එහිදී තමන්ගේ ව්‍යාපාරිකයින්ට ඇති තරම් භාණ්ඩ ආනයනය කිරීමට ඉඩ දුන් බව අසේල සම්පත් මහතා පෙන්වා දෙයි.

ඊට පස්සේ ආනයනික සීමා දැම්මා. දැන් තීරු බදු සහනය යටතේ ගෙනා ආහාර ද්‍රව්‍ය එයාලගේ ගබඩාවල තියෙනවා. බදු සහන යටතේ ගෙනාපු පරිප්පු අපි රුපියල් හය සියයට කනවා. අඩු ගාණට ගෙනාපු සහල් රුපියල් දෙසීයට කනවා. අඩු ගාණට ගෙන ආපු තුනපහ, කෑලි මිරිස්, මිරිස් කුඩු අපි රුපියල් එක්දහස් හාරසීයයට කනවා. ලංකාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මොනවාද මාස හයකට කොපමණ වුවමනාද? වසරකට කොපමණ වුවමනාද කියා කිසිම සංබ්‍යා ලේබනයක් වගකිව යුතු කා ගාවත් නෑ. ඒක තමයි වංචාවේ අංක එක. එනිසා මේ වෙලාවේ කළ යුත්තේ ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වන සියලු‍ දෙනාගේ ගබඩා පරීක්ෂා කරන එක. එහෙම කළොත් මේ කළු කඩ මාෆියාව කඩන්න පුළු‍වන්. අපි රුපියල් තුන්සිය පනහට කාපු පරිප්පු ගෝනියේම ඒවා දවස් දෙකකට පස්සේ රුපියල් පන්සියයට හය සීයයට විකුණනවා. එහෙම වුණේ කොහොමද? මෙතන තියෙන්නේ කළුකඩ මාෆියාවක්. සීනී වංචාව, සුදු ලූනූ වංචාව සිදුවුණේ එහෙම තමයි. මේක බරපතළ මාෆියාවක්. ආණ්ඩුවට හිතවත් කළුකඩ වෙළෙන්දන් මේ තත්ත්වය නිර්මාණය කරලා. මින් අසරණ වෙන්නේ මේ රටේ අහිංසක ජනතාව. දැන් ඉන්ධන මිල වැඩියි. පාන් පිටි මිල වැඩියි. ලු‍ණු කැටේ ඉඳන් මස් මාළු බිත්තර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගිහින්. එනිසා අකමැත්තෙන් වුවත් අපටත් කෑම මිල ඉහළ දාන්න වෙනවා. බත් පැකට් එකේ, ෆ්‍රයිඩ් රයිස් මිල සියයට විස්සකින් ඉහළ දාන්න වෙනවා. කොත්තුව, ආප්ප, බේකරි කෑමවල මිල ඉහළ යනවා. මේ තත්ත්වය තව දුරටත් යන්න බෑ. ලබන මාසේ වෙන කොට මේ රටේ ජනතාවට කන්න බොන්න දෙයක් නැති වෙයි. මේ තත්ත්වය නැති කරන්න නම් කළුකඩ මාෆියාව නැති කරන්න ඕන. කිසිදු ආහාර හිඟයක් නැතිව කන්න බොන්න දේවල් කළුකඩ වෙළඳාමේ යෙදෙන අයගේ ගබඩාවල තියෙනවා. ඒවා පරීක්ෂා කළොත් සෑහෙන බඩු ප්‍රමාණයක් හොයාගන්න පුලු‍වන් යැයි අසේල සම්පත් මහතා කියා සිටියි.
 
සහල් කිලෝව රුපියල් 400ක් වෙයි

දැඩි ආහර හිඟයක් එන එක වළක්වන්න බෑ 
 
- කේ. බී. ගුණරත්න
 

මේ ගැන අදහස් දක්වන හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙන්නේ මෙවර යල කන්න වගා කිරීමට රසායනික පොහොර හෝ කාබනික පොහොර ගෙන්වීමට තවම නිසි වැඩ පිළිවෙළක් නැති බවය. එනිසා යල කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න එළවළු අස්වැන්න නොලැබී යාමෙන් දැඩි ආහාර හිඟයක් ඇති වීම වැළැක්විය නොහැකි බවය. එසේ වුවහොත් ලබන සැප්තැම්බර් ඔක්තෝබර් මාසය වෙන විට සහල් කිලෝව රුපියල් හාරසීයේ සීමාවට එනු ඇති බව ගුණරත්න මහතා පෙන්වා දෙයි.
 
මිනිස්සු සිල්ලර කඩ කඩලා බඩු බලෙන් ගනියි
ඩොලර් එක කළු කඩේ 404යි
ඉදිරියේදී කිරිපිටි මිල තවත් වැඩිවෙයි 
 
- බන්දුල ජයමාන්න

මේ ගැන අදහස් දක්වන සමස්ත ලංකා ආහාර තොග සහ සිල්ලර වෙළෙඳ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න පවසන්නේ මෙවැන්නකි.

රුපියල් එකසිය අසූවට තිබුණු ඩොලර් එක අද කළු කඩේ රුපියල් හාරසිය හතරයි. ඩොලර් නැති වෙනකොට බ්ලැක් මාර්කට් එකෙන් වැඩි ගාණට ඩොලර් අරගෙන බඩු ගන්න කොට බඩු මිල වැඩි වෙනවා. වෙළඳාමේ දී අද කළු කඩ නෑ. ලාබ නෑ. කිරිපිටි මිල වැඩි වුණාට සුළු වෙළෙන්දට ලාබයක් නෑ. අඩු මිලට බඩු ගෙනත් තොග තියාගෙන ඉන්න වෙළෙන්දෝ ඉන්නවා. ඒ අය කරන්නේ වෙ​ෙළඳාමක්. ඒ අය අඩුවට බඩු අරගෙන ලාබයක් තියාගෙන විකුණනවා. ඩොලරය වැඩි වුණ නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉස්සරහට පරිප්පු හයසියයක් වෙයි. කිරිපිටි මිල ආයිත් වැඩි වෙනවා. මෙහෙම යන කොට ලබන මාසේ වෙනකොට කන්න බොන්න නැති වෙයි. මිනිස්සු සිල්ලර කඩ කඩලා බඩු ගන්න තැනට පත් වෙයි. ගොවිතැන විනාශ කරලා කාබනික පොහොර සහ නැනෝ පොහොරවලට සහල් ගෙන්වන්න කොච්චර ඩොලර් පිට රටට ගියාද? මේවා ගැන කවුරුත් බලන්නේ නෑ. මේවා හරහා කළේ කොමිස් ගහන එක විතරයි. ගොවියට පොහොර දීලා කන්න බොන්න ටික දුන්නා නම් මෙහෙම ගහන්න බෑ. එනිසා ඉදිරි මාසය වෙනකොට මිනිස්සුන්ට කන්න බොන්න නැතිව මරා ගන්න තැනට පත්වෙයි යැයි බන්දුල ජයමාන්න මහතා කීය.
 
ඩොලර් ලැබෙන විදියට ආහාර ගෙන්වනවා
- වෙළෙඳ අමාත්‍යාංශය
 
මේ ගැන වෙළඳ අමාත්‍යාංශයෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයකු කියා සිටියේ රටේ ආහාර අවශ්‍යතාව ප්‍රමුඛතාව පදනම් කරගෙන ඩොලර් ලැබෙන විදියට ගෙන්වන බවය. කිසිදු විටෙක ආහාර හිඟයක් නොවෙන බවත් එම ප්‍රකාශකයා කීය. ආහාර ගෙන්වීමේ ප්‍රමාදය මත ටික දවසක් පමණක් පමා වුවත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට ඉක්මණින් කටයුතු කරන බව ද එම ප්‍රකාශකයා කියා සිටියේය.
 
 
 
 
සටහන :
ප්‍රගීත් සම්පත් කරුණාතිලක