මරාගෙන මැරෙන්න දිවුරූ සහරාන් කල්ලියේ කාන්තාවෝ


 

මේ කියනා පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් “සාරා ජෙස්මින්” යනු කවුරුන්ද? කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් හස්තුන් ගේ බිරිය වූයේ ඇයයි. “සරා” මිය ගියේද? නැද්ද? ඈ ඉන්දියාවට පලා ගියාද? යන්න සම්බන්ධයෙන් සමාජයේ මතුවූ කතා බහ තවමත් ඒ ආකාරයෙන්ම පවතියි.

 

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සිදුවී දින 1000ක් ඉක්ම ගොස් ඇත. තම ආදරණීයයන්ගේ වියෝව දරාගත නොහැකිව වැළපෙන එහි වින්දිතයන් අදටත් අපට දක්නට ලැබෙයි. මතක එතරම්ම අමිහිරිය. ඒ මතක අලුත් කරමින් පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව යළි යළිත් සිහිපත් වෙමින් තිබුණේ, බොරැල්ලේ සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ පිපිරෙන්නට ගිය අත්බෝම්බය නිසාය. පසුගිය සති දෙක පුරාම කියැවුණේ ඒ සිද්ධිය ගැනය. මේ කියන්නේ ඒ පාස්කු ඉරිදාව අඳුරු කරන්නට මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ශක්තිය වුණ කාන්තාවන් ගැනය.   

“ඉස්ලාම් රාජ්‍යයක් උදෙසා” දිවුරුම් දෙමින් පාස්කු ඉරුදිනට පෙර දින තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහ්රාන් යන අය සමඟ මරාගෙන මැරුණු බෝම්බකරුවන් වීඩියෝවක් එළි දක්වා තිබිණි. මෙම වීඩියෝව සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ එකක් වූ අතර, එය පැය 2යි විනාඩි 15කින් යුක්ත වීඩියෝ පටයකි. බෝම්බකරුවන් මෙම වීඩියෝව පටිගත කර ඇත්තේ ඉකුත් 2019 අප්‍රේල් මස 20 වැනිදා පස්වරු 1.12 සිට පස්වරු 3.32 දක්වා කාලය තුළ ගල්කිස්ස ස්පැන්ට් ටවර් මහල් නිවාස සංකීර්ණයේ නව වැනි මහලේ තුන්වැනි නිවසේ බව විමර්ශකයන් තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. මේ වීඩියෝව නිරීක්ෂණය කරද්දී රන් වළල්ලක් පැලැඳි කාන්තාවක්ද සිටින බවට හඳුනාගත් විමර්ශකයෝ ඒ සිටියේ පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් “සාරා ජෙස්මින්” යැයි අනුමාන කළහ.   

 


මේ කියනා පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් “සාරා ජෙස්මින්” යනු කවුරුන්ද? කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් හස්තුන් ගේ බිරිය වූයේ ඇයයි. “සරා” මිය ගියේද? නැද්ද? ඈ ඉන්දියාවට පලා ගියාද? යන්න සම්බන්ධයෙන් සමාජයේ මතුවූ කතා බහ තවමත් ඒ ආකාරයෙන්ම පවතියි. ඇය අවසන් වරට සිට ඇත්තේ අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ පිහිටි ඔවුන් පදිංචිව සිටි නිවසේ බවට මොහොමඩ් සහ්රාන්ගේ බිරිද විමර්ශකයන්ට දන්වා තිබිණි. 

 
අම්පාර සයින්දමරුදු වොලිවේරියන් ග්‍රාමයේ දී බෝම්බ පුපුරුවාගෙන බෝම්බකරුවන් මියගියේ ඉකුත් 2019 අප්‍රේල් මස 26 වැනිදාය. ඒ පාස්කු ඉරුදින ප්‍රහාරමාලාවෙන් දින 07කට පසුවය. එම නිවසේ බෝම්බ දෙකක් පිපිරී ගොස් තිබූ අතර එහි සිටි 16 දෙනකු මියගොස් සිටි බවද තහවුරු විය. වැඩිහිටි පිරිමි 05 දෙනකු, වැඩිහිටි කාන්තාවන් 05 දෙනකු, පිරිමි ළමයි 03 දෙනකු සහ ගැහැණු ළමුන් තිදෙනකුගේ මෘත ශරීර කොටස් එහිදී හමුවී තිබිණි. මෙම මරණ අතර, මොහොමඩ් සහ්රාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන්ට නින්දවූර් සහ සෙන්දල්ගාම් නිවාසවල බඩු බාහිරාදිය සැඟවීමට උපකාර කළ මොහොමඩ් නියාස්, මොහොමඩ් සහ්රාන්ගේ පියා, ඔහුගේ සහෝදරයන් වූ මොහොමඩ් ෂෙයිනි, මොහොමඩ් කාසිම්, මොහොමඩ් රිල්වාන්, ඔහුගේ පුත්‍රයා වූ මොහොමඩ් සහ්රාන් වාසීම්, ඔහුගේ නැගණිය වූ මොහොමඩ් කාසිම් හිදියා නම් ගැබිණි කාන්තාව, ඔහුගේ මව වූ අබ්දුල් සකාර් සිත්ති උම්මා, මඩකළපුව සියෝන් දේවස්ථානයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් යන අයගේ බිරිඳ වූ අබ්දුල් රහීම් ෆෙරෝසා යන අයගේ සිරුරු හඳුනාගත හැකිවූ බවට විමර්ශකයෝ සඳහන් කළහ.   


මෙම පිපිරීමෙන් දිවි ගලවා ගත්තේ මොහොමඩ් සහ්රාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදර් යන අය සහ ඔවුන්ගේ දියණිය වන මොහොමඩ් සහ්රාන් රුදෛනා යන දෙදෙනා පමණි. පිපිරුම සිදුවූ නිවසේ කාමරයක තිබී පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ට අයත් මුදල් පසුම්බිය සොයා ගැනීමට පොලීසියට හැකියාවක් ලැබිණි. එහෙත් පුලස්තිනි නමැත්තියගේ සිරුරු කොටස් හඳුනාගැනීමට පොලීසියට නොහැකි විය. සහ්රාන්ගේ බිරිඳගේ ප්‍රකාශවලට අනුව අවසන් මොහොත වනවිටත් සාරා ඔවුන් සමග සිටි බවට ඇය ප්‍රකාශ කර තිබූ බවට තොරතුරු සඳහන් විය.   

 


පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඉකුත් 2020 ජුලි මස 21 වැනිදා සාක්ෂි ලබාදෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතා සඳහන් කර සිටියේ, සාරා ජෙස්මින් නමැත්තිය සයින්දමරුදු නිවසේ සිදුවූ පිපිරීමෙන් මිය ගිය බවට තහවුරු වී නොමැති බවය. අවසන් මොහොත වන විටත් එම තැනැත්තිය අදාළ නිවසේ සිටි බවට තහවුරු වුවද පිපිරීමෙන් පසු හමුවූ කිසිදු මළ සිරුරක සාරා ජෙස්මින්ගේ මවගේ ඩී එන් ඒ සමග සැසඳෙන සිරුරක් හමුනොවූ බවද ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පවසා තිබිණි.   


මේ “සාරා” ගැන එදින කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද මහතා ද ආන්දෝලනාත්මක යමක් ප්‍රකාශ කළේය.   


“සයින්දමරුදු වොලිවේරියන් ග්‍රාමයේ සිදුවූ පිපිරීම් මාලාවෙන් දිවි ගලවාගත් පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නමැත්තිය කලවංචිකුඩි මාන්කඩු ප්‍රදේශයේ සැඟව සිටින බවට ඇසින් දුටු සාක්ෂිකරුවකු ඉකුත් 2020 ජුලි 06 වැනිදා තොරතුරක් ලබා දුන්නා. ඒ අනුව එම තොරතුරු විමර්ශනය සඳහා මා මඩකළපුවට ගියා. එහිදී සාරා ඇසින් දුටු පුද්ගලයා හමු වුණා. එහිදී ඔහු මට කිව්වා 2019 සැප්තැම්බර් මස දිනෙක අලුයම 3.15 ට පමණ මඩකළපුව-කල්මුණේ ප්‍රධාන මාර්ගයේ තේනාතිව් ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි අතුරු මාර්ගයක් වන බීච් රෝඩ් හි සිට කාන්තාවක සහ පුද්ගලයකු ප්‍රධාන මාර්ගයට පිවිසෙනවා දැක්කා කියලා. එම කාන්තාව කළු පැහැති පර්දාවකින් මුහුණ ආවරණය නොවන සේ සැරසී සිට ඇති අතර ඇගේ පිටුපසින් පිරිමි පුද්ගලයන් දෙදෙනකු පැමිණි බව ඔහු කිව්වා. 


ඇය කුඩා කාලයේ ඔහුගේ නිවසට යාබද නිවසේ පදිංචිව සිටීම සහ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට ඇය සම්බන්ධ බවට මාධ්‍ය මගින් කළ දැනුවත් කිරීම හේතුවෙන් තමා ඇය හඳුනාගත් බවද ඔහු කීවා. මෙලෙස ප්‍රධාන මාර්ගයට පැමිණි කාන්තාව එම මාර්ගයේ නවතා තිබූ කහ පැහැති පිකප් රථයක පිටුපස ආසනයට නගිනවා සාක්ෂිකරු දැක තිබෙනවා. එහිදී සාක්ෂිකරු වැඩිදුරටත් ඒ දෙස සෝදිසියෙන් බලා තිබුණා. එහිදී එම රථයේ රියැදුරු අසුනට යාබද අසුනේ ඔහු දන්නා හඳුනන තවත් පුද්ගලයකු සිටි බවට ඔහු දැක තිබෙනවා. ඒ අසුනේ සිට ඇත්තේ පාස්කු ඉරිදින ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට කලවංචිකුඩි පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිව සිටි (පසුව කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත්) අබු බකර් නම් නිලධාරියා බවද සාක්ෂිකරු දැක තිබෙනවා. ඔහු පොලිස් නිලධාරියා සමග කතා කිරීමට සැරසෙත්ම එම රථය මඩකළපුව දෙසට වේගයෙන් ඇදී ගොස් තිබුණා. පුලස්තිනීට බෝට්ටුවකින් ඉන්දියාවට පලා යෑමට අාධාර උපකාර කර තිබුණේ ඇගේ මවගේ නැගණියගේ ස්වාමියා සහ ඔහුගේ සහෝදරයා බවට විමර්ශන නිලධාරීන් හෙළිදරව් කරගත් බවත් මෙම කොමිසමේදී කරුණු හෙළි විය. එසේ නම් සාරා දැන් ඉන්නේ කොහේද?   


මේ වන විට “සාරා”ගේ අලුත්ම කතාව ඉකුත් දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇසෙන්නට වූයේය. ඒ, සාරා යටතේ අවි පුහුණුවීම් ආදී අන්තවාදී දේශනවලට සහභාගී වෙමින් ‘ඉස්ලාම් රාජ්‍යයක් උදෙසා දිවුරුම් දුන්’ බව කියන කාන්තාවන් 10 දෙනකු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා දුන් නියෝගය ය.   


සාරාගේ මූලිකත්වයෙන් කාන්තාවන් 16 දෙනකු “ඉස්ලාමීය රාජ්‍යයක් උදෙසා” දිවුරුම දී ඇති බවත් ඉන් 06 දෙනකු සයින්දමරුදු ප්‍රදේශයේදී සහ දෙමටගොඩ මහවිල උද්‍යානයේදී මියගොස් ඇති බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. මේ කියන කාන්තාවන් 16 දෙනා සමග පුරුෂයන් 09 දෙනකුද මෙම දිවුරුම්දීමට සහභාගී වී ඇති බවත් එසේ දිවුරුම් දුන් මුළු ගණන 25 දෙනකු බවත් එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත. මෙම කරුණු ඔස්සේ සැලකිල්ලට ගැනීමේදී පිරිමි අභිබවා ගැහැණුන් මේ ක්‍රියාවට සක්‍රීය වී ඇති බව හොඳින්ම පෙනෙන්නට ඇත.   


අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර කාන්තාවන් 10 දෙනා සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කරනු ලැබුවේ මොවුන් සාරා ජෙස්මින් යන අය යටතේ අවි පුහුණුව ලබා පාස්කු ප්‍රහාරයට පෙර සූදානම් වීම සඳහා කඳවුරු ගතවී අන්තවාදී දේශනවලට සහභාගී වී ඇති බවත් එහිදී ඔවුන් අයි.එස්.අයි.එස්. මතවාදයන්ට  අනුගතවී අවි පුහුණුවීම් පවා ලබාගෙන ඇති බවත් ය. මෙම කාන්තාවන් දස දෙනා ඇතුළු 25 දෙනාම හම්බන්තොට, නුවරඑළිය බ්ලැක්පූල්, කාත්තන්කුඩි කරඹලානගර්, ලේවැල්ල, පැන්ඩා මල්ටි ස්පෝර්ට්ස් යටිහේන මල්වාන, සෙට්ටිකුලම, තල්ගස්වැව රඹෑව මැදවච්චිය යන ප්‍රදේශවල පැවැති පුහුණු කඳවුරු 11කදී පුහුණුවීම් සිදුකර ඇති බව එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.   

 


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව අත්අඩංගුවට ගත් මෙම සැකකාරියන් 10 දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු සම්බන්ධයෙන් හෙළිදරව් විණි.   


මේ සියල්ල හෙළිදරව් වන්නේ පොලිස් විමර්ශනවලට අනුවය. එසේ නම් මේ කාන්තාවන් සොයා යෑමට උත්සාහ දරා ඇත්තේ ඉස්ලාමීය රාජ්‍යයමද? සිය දරුවන්ට වඩා තවත් රාජ්‍යයක් කොයින්ද? සිය දරුවන් බිල්ලට තබා මේ කියන රාජ්‍යය සොයා යෑමට තරම් ඔවුන්ගේ මොළ සේදූ අය අද කොහිද? ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් පොලිස් නිලධරයකුගේ ප්‍රකාශයකින් මේ සටහනට නැවතීමේ තිත තැබීමට සිතුවෙමු. දෙමටගොඩ මහවිල උද්‍යානයේ ඇතිවූ බෝම්බ පිපිරීම නිරීක්ෂණය කළ සොකෝ අංශයේ නිලධාරියකු වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත පේදුරුආරච්චි මහතා සිය සාක්ෂිය ලබා දෙමින් සඳහන් කළේ බෝම්බකාරිය පොළව මත බෝම්බය තබා දරුවන් තමා අසලට ගෙන බිම හිඳගැනීමෙන් පසු එය පුපුරුවා ගෙන ඇති බවට තමාට නිරීක්ෂණය වූ බවය. අවසානයේදී ඒ අම්මා තම කුස තුළ සිටි දරුවාත් තවත් දරුවන් තිදෙනකුත් තුරුළු කරගනිමින් ඒ ගියේ කොහේද?  

 

 

 

සටහන
නිමන්ති රණසිංහ