මයිකල් බ්ලුම්බර්ගේ ව්‍යවසායකත්වයේ අසහාය ගමන


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

 

  • නිව්​ෙ‌යා්ර්ක් නගරාධිපති ලෙස සිටියදී, නගර කාර්යාංශයට ගියේ සාමාන්‍ය දුම්රියෙන්
  • බ්ලුම්බර්ග් නිව්ස්, ටෙලිවිෂනය, රේඩියෝ සියල්ල අයිති ඔහුටයි
  • තාත්තා බුක් කීපර් කෙනෙක් ව්‍යවසායකත්වයට ඒමට පෙර රැකියාවක් කළා 
  • ලෝකය වටේ මාළිගා 10ක් සහ පෞද්ගලික හෙලිකොප්ටරයක් ඔහු සතුයි

‘බ්ලුම්බර්ග්’ යන නාමය ව්‍යාපාර ලෝකයේ පුවත් ගැන උනන්දු වන බොහෝ දෙනා හට අමුතු නාමයක් නම් නොවේ. ලෝකයේ අංක එකට පැමිණෙන ධනවතුන්ගේ නම් නිරන්තරයෙන් ලෝකයට හෙළිදරව් කරන බ්ලුම්බර්ග් ඉන්ඩෙක්ස් නොහොත් දර්ශකය ගැනත් අමුතුවෙන් යමක් කිවයුතු නොවේ.


ලෝක ධනවතුන් ගැන එලෙස පුවත් සපයන බ්ලුම්බර්ග් සඟරාව ඇතුළු මාධ්‍ය ජාලයට අමතරව විවිධ ක්ෂේත්‍රවලට පැතිරී - විහිදී ගිය ව්‍යාපාර රැසක නිර්මාතෘවරයා වන මයිකල් බ්ලුම්බර්ග් ද ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ සිටින චරිතයකි. මෙම මයිකල් බ්ලුම්බර්ගේ චරිතය වෙතින් ශ්‍රී ලාංකීය ජනතාවට කෙසේ වෙතත්, අපේ රටේ දේශපාලකයන්ට ගත හැකි ආදර්ශවත් දේ නම් බොහෝමය.


ප්‍රකෝටිපති ඇමරිකානු ව්‍යවසායකයකට අමතරව මයිකල් බ්ලුම්බර්ග් යනු දේශපාලන චරිතයකි. ලේඛකයෙකි. ඒ සියල්ලට වඩා ​ඔහු ජනතාවගේ වීරයකු බවට පත්ව සිටින්නේ, මහාදානපතියකු වන නිසාය. අපේ රට අද පත්ව තිබෙන්නේ මහා ආර්ථික අර්බුදයකටය. මෙවැනි මොහොතක බ්ලුම්බර්ග් වැනි අයකුගේ මොළය ඇති අයෙක් අපේ රටේ සිටියේ නම් මෙම අර්බුදය සතියෙන් - දෙකෙන් විසඳනු නොඅනුමානය. 
ඔබට මතකද 2001 දී සිදුවූ නිව්​ෙ‌යා්ර්ක් ප්‍රහාරය? මෙම ප්‍රහාරය නිසා ඇමරිකානු ​ආර්ථිකය යම් තාක් දුරකට කඩා වැටිණි. එහිදී නිව්​ෙ‌යා්ර්ක් කලාපයේ ආර්ථිකය යළි නගා සිටුවීමට මේ මයිකල් බ්ලුම්බර්ග් පෙරමුණ ගත් චරිතයක් විය. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ මෙම මයිකල් බ්ලුම්බර්ග්ගේ ව්‍යවසායකත්වය ගැන අද අපි කියවමු.   


මයිකල් රූබන්ස් බ්ලුම්බර්ග්   


මයිකල් බ්ලුම්බර්ග් උපත ලැබුවේ වැලැන්ටයින් දිනයේදීය. එනම් පෙබරවාරි 14 වැනිදාය. 1942 පෙබරවාරි 14 වැනිදා ඔහු උපත ලැබුවේ බොස්ටන් මැසවුසෙට්ස්හිදීය. බ්‍රයිටන්හි ශාන්ත එළිසබෙත් රෝහලේ දී එලෙසින් උපත ලැබුවේ විලියම් හෙන්රි බ්ලුම්බර්ග් සහ චාලට් රූබන්ස් බ්ලුම්බර්ගේ වැඩිමහල් දරුවා​ ලෙසය. ඉතාමත් නිරහංකාර පවුලක් ලෙස බ්ලුම්බර්ග් පවුල හැඳින්විණි. මයිකල්ගේ පියාගේ පවුලේ උදවිය පැවත එන්නේ යුදෙව් ජාතික සම්භවය ඇතිවය. ඔහුගේ සීයා පෝලන්ත යුදෙව් ජාතිකයකු ලෙස ද මවගේ පියා ලිතුවේනියාවේ (වත්මනෙහි බෙලාරුස්) යුදෙව් ජාතිකයකු වූ බව ද වාර්තාවල සඳහන් වේ. කුඩා කාලයේ දී ඇල්ස්ටන්හි දිවි ගෙවූ මයිකල්, තවත් වසර දෙකක් පමණ ගෙවුවේ මැස්චුසෙව්හි බෲක්ලින්හිදීය. පසුව බ්ලුම්බර්ග් පවුල නිත්‍ය පදිංචිය සඳහා මැස්චුසෙට්ස්හි මෙඩ්ෆර්ඩ් වෙත පැමිණි බව සඳහන්ය. මයිකල් තාත්තා එවකට කටයුතු කළේ කිරි අලෙවි ආයතනයක පොත් තබන්නෙකු (බුක් කීපර්) ලෙසය. ඔහුගේ වාර්ෂික ආදායම ගතහොත්, ඩොලර් 6000 කට වඩා අඩු විය. මෙඩ්ෆෝර්ඩ්හි නිවසක් මිල දී ගෙන තිබුණ ද, මයිකල්ගේ පියා හට එය ගත් විගස නැවත විකිණීමට සිදු වූයේ දේපොළ වෙළෙන්දා යුදෙව්වන්ට අකමැති වූ බැවිනි. මෙනයින් බැලූ කළ බ්ලුම්බර්ග් යනු වත්පොහොසත්කම් තිබු පවුලකට අයත් දරුවකු නොවුණි. වත්කම් නොතිබුව ද, ඉගෙනීමට හේ දක්ෂතා පෙන්වීය. මෙඩ්ෆෝර්ඩ් උසස් පාසලේ දී, විවාද සමාජයේ මෙන්ම තවත් සමාජවල සාමාජිකයකු විය. ඔහුගේ සමකාලීනයන් ඔහුව හැඳින් වූයේ හොඳ විවාද කරන්නෙකු, වාද කරන්නෙකු ලෙසය. වයස අවුරුදු 12 දී, ඊගල් බාලදක්ෂයකු ලෙස පත් වූයේ ඔහු දක්ෂයකු වූ නිසාමය. පාසල් අධ්‍යාපනය සාර්ථක ලෙස නිම කළ මයිකල් ඊළඟට ඇතුළත් වූයේ ලෝ ප්‍රකට ජෝන්ස් හොප්කින්ස් සරසවියටය. එහි සිටිය දී විවිධ සමිති සමග කටයුතු කරමින් සාමාජිකත්වය ලැබූ ඔහු ටී - ෂර්ට් නිර්මාණයක් පවා සරසවිය වෙනුවෙන් නිර්මාණය කිරීමට සමත් වුණි. 1964 දී විදුලි ඉංජිනේරු අංශයේ උපාධිය ලැබූ ඔහු ඊළඟට ඇතුළත් වූයේ ලෝකයේ වඩාත් මිල අධික සරසවියක් වන ‘හාවඩ්’ සරසවිය වෙතය. 1966 දී හාවඩ් සරසවියේ ව්‍යාපාර පාසල වෙතින් ව්‍යාපාර පරිපාලන අංශයේ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. 

 

එංගලන්තයේ එළිසබෙත් රැජින සහ පිලිප් කුමරු සමග

 
1973 දී අලුත් ගමනක  


සැලොමන් බ්‍රදර්ස් යනු ඇමරිකාවේ ඇති මහා පරිමාණ බහුවිධ ව්‍යාපාර ජාලයකි. 1973 දී මයිකල් බ්ලුම්බර්ග් එම ආයතනය සතු බැංකු අංශයට සම්බන්ධ වූයේ කොටස් යෙදූ හවුල්කරුවකු ලෙසය. එහි විවිධ අංශ සංවර්ධනය කරමින් දියුණුවට කැප වී සිටිය දී, 1981 දී පමණ සැලොමන් බ්‍රදර්ස් සමාගම ෆිල්බ්‍රෝ කෝපරේෂන් යටතට පත්වීමත් සමග බ්ලුම්බර්ග් හට මිලියන 10ක කොටස් සමග එයින් ඉවත් වීමට සිදුවුණි. එක් දොරක් වැසෙන විට දොරවල් දෙක - තුනක් විවර කර ගැනීම ඔහුගේ අරමුණ විය. මෙම මුදල් ආයෝජනය කළ ඔහු පරිගණක දත්ත සේවා ලබාදෙන ආයතනයක් බිහි කිරීමට මුල් වුණි. ජාත්‍යන්තර මට්ටමෙන් සේවා උසස් ලෙස සැපයිම මගින් සිදු කෙරිණි. පසු කලෙක බ්ලුම්බර්ග් එල්.පී. (L.P) සමූහය බවට පත් වූයේ එදා පුංචියට ඇරැඹි බ්ලුම්බර්ග්ගේ එම සමාගමය. බ්ලුම්බර්ග් එල්.පී. සමූහය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විහිදී ගිය අතර, බ්ලුම්බර්ග් නිව්ස්, රේඩියෝ, ටෙලිවිෂන්, බ්ලුම්බර්ග් ලයිව්, මූල්‍ය, අලෙවි ඇතුළු විවිධ අංශයන් ඊට ඇතුළත්ය. ප්‍රධානව ඔවුන් කටයුතු කරන්නේ, මුල්‍ය අංශය වෙනුවෙන් පරිගණක මෘදුකාංග තාක්ෂණය නිර්මාණය කරදීමය. බ්ලුම්බර්ග් සමූහය සතු ශාඛා විවිධ ස්ථාන 176 ක පමණ ස්ථාපිත කර තිබේ. 20,000 කට වැඩි සේවක පිරිසක් සමූහයේ රාජකාරිවල නිරතව සිටී. මයිකල් බ්ලුම්බර්ග් සතු කොටස්වල ප්‍රමාණය 88% ක් පමණ වේ.  


බ්ලුම්බර්ග් ටවර් 

 
බ්ලුම්බර්ග් ටවර් යනු නිව්​ෙ‌යා්ර්ක් නගරයේ ඉදි වූ ඉතාමත් අලංකාර ගොඩනැගිල්ලකි. බ්ලුම්බර්ග් එල්.පී. සමූහයේ ප්‍රධාන මූලස්ථානය ස්ථාපිත කර ඇත්තේ මෙහි එක් මහලකය. 2004 දී ඉදිකිරීම් නිම කළ මෙම අලංකාර ගොඩනැගිල්ල නම් කර ඇත්තේ 731 ලොක්ෂින්ටන් ඇවනියු නමිනි. අඩි 938ක් උස මෙය වීදුරු මාළිගාවකි. 2019 දී එය සඳහන් වූයේ නිව්​ෙ‌යා්ර්ක් නගරයේ උස් ගොඩනැගිලි අතරින් 30 වැනි ස්ථානයට උසැති නිර්මාණය ලෙසය. මුළු ඇමරිකාවේ ගොඩනැගිලි අතරින් 61 වැනි උස් ගොඩනැගිල්ල වන්නේ, බ්ලුම්බර්ග් සතු මෙම අහස උසට නැගි වීදුරු මාළිගය වේ.  

 

ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග


පොත් තබන්නාගේ පුතා නිව්​ෙ‌යා්ර්ක් නගරයේ නගරාධිපති වීම  


‘බුක් කීපර්’ කෙනෙකුගේ පුතකු ලෙස ව්‍යාපාර කරළියට පැමිණ සිටි බ්ලුම්බර්ග්, ලෝකයේ මිල අධිකම නගරයක නගරාධිපති වේ යැයි කිසිදාක සිතන්නට නැත. එහෙත්, ඔහු ඒ තැනට ගෙන ඒමට මුල් වූයේ ද නිව්​ෙ‌යා්ර්ක් ජනතාවය. නිව්​ෙ‌යා්ර්ක් නුවරට පෑයූ දිදුලන තරුවක් බවට පත්ව සිටි බ්ලුම්බර්ග්, නගරාධිපති ලෙස තරග කිරීමට ටිකට් එක (නාම යෝජනා) ලබා ගත්තේ, ඒ දක්වා ජීවිත කාලයම සාමාජිකත්වය දරමින් සිටි ප්‍රජාතන්ත්‍රවාදී නොහොත් ඩිමෝක්‍රටික් පක්ෂයෙනි. එලෙසින් ප්‍ර​වේශය ලබා ගත්ත ද 2001 සැප්තැම්බර් 11 එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මුළු නිව්​ෙ‌යා්ර්ක් කලාපය ඇලලී ගියේ භීතියෙනි. එහෙත් බ්ලුම්බර්ග්, අලුත් හුස්මක් ගත්තේ, මම මේ අළු දූලි මතින් ‘‘නිව්​ෙ‌යා්ර්ක්’ යළි යථා තත්ත්වයට පත්කරනවාය යන අරමුණ ඇතිවය. 2002 ජනවාරි 1 වැනිදා නිව්​ෙ‌යා්ර්ක් පුරවරයේ 108 වැනි නගරාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්, ඔහු යළිත් 2005 දී නගරාධිපති ලෙස පත්විණි. ඇමරිකාවේ හැටියට සාමාන්‍යයෙන් නගරාධිපති ලෙස තරග කිරීමට හැකි වන්නේ දෙවතාවක දී පමණි. නමුදු මයිකල් බ්ලුම්බර්ග්, වෙනුවෙන් යළිත් වතාවක් නගරාධිපති වීමට නීති පවා වෙනස් විණි. බ්ලුම්බර්ග් ද නගරාධිපති සටන වෙනුවෙන් අත දිග හැර වියදම් කළේය. ඒ වෙනුවෙන් වතාවක ඩොලර් මිලියන 650 ක් පමණ වැය කළ බව වාර්තාවල සඳහන් වේ. මෙලෙසින් දිගින් දිගටම නගරාධිපති පුටුවේ සිටීමට ඔහු උනන්දු වූයේ, නිව්​ෙ‌යා්ර්ක් නගරයට ඇති ආදරය නිසාමය. ඒ හැර ‘නගරාධිපති’ ලෙස ඇති කෑදරකම නොවන වග ඔහු ක්‍රියාවෙන් ඔප්පු කළේ නගරයේ සංවර්ධනයට විශාල ලෙස මූල්‍ය දායකත්වය සපයමිනි. එතෙක් මෙතෙක් නිව්​ෙ‌යා්ර්ක් අතීතයේ නගරයට සුවිශාල මෙහෙවරක් කළ නගරාධිපති, නැතහොත් සාර්ථකම චරිතය ඔහු යැයි සඳහන් වේ. ඔහු නගරාධිපති ලෙස සිට වසර ‘‘12’’ වඩාත් සාර්ථක වූ බව පවසන්නේ ජනතාවය.  


ඇමරිකානු ජනපති සටනේ දී බ්ලුම්බර්ග් ක්‍රියා කළ විදිය  


ඩිමෝක්‍රටික් පක්ෂයේ (ප්‍රජාතන්ත්‍රවාදී) යාවජීව සාමාජිකයකු වුවද, බ්ලුම්බර්ග් යනු මහ අමුතු මිනිසෙකි. කලින් කලට පැවැති ඇමරිකානු ජනපතිවරණ දී, බ්ලුම්බර්ග්, ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂකයාට සහාය දුන් අතර, තවත් වතාවක දී රිපබ්ලිකන් (ජනරජ) පක්ෂයේ ජනපති අපේක්ෂකයාට ද සහාය දැක්වීය. තවත් මැතිවරණවලදී ස්වාධීනව ඉදිරිපත් වූ ජනපති අපේක්ෂකයාට සහාය දැක්විය. එලෙසින් රජුන් තැනීමට දායකත්වය සැපයූ, බ්ලුම්බර්ග්, පසුගිය මැතිවරණයේ දී ජනපති අපේක්ෂයා ලෙස ඉදිරිපත් වේ යැයි, ඇමෙරිකානුවන් බොහෝ දෙනෙක් විශ්වාස කළද? ඔහු ඊට ඉදිරිපත් නොවුණි. ජනපති තරගයට ඉදිරිපත් වීම වෙනුවෙන් සියලු සුදුසුකම් ඔහු සතු විය. බ්ලුම්බර්ග් මාධ්‍ය ජාලය, ව්‍යාපාර ජාලය සහ නගරාධිපති ලෙස වසර දොළහක දී තබා තිබූ පළපුරුද්ද මෙන්ම උපාධි ද්විත්වයක් හිමි නුවණින් පිරි චරිතයක් විණි. කෙටියෙන්ම කිවහොත් ණැන, බලය, ධනය, අත්දැකීම් සියල්ල තිබූ හොඳම සුදුස්සා ඔහුම විය. එහෙත් ඒ ඇමරිකාවේ ‘බ්ලුම්බර්ග්’ ඩිමෝක්‍රටික් පක්ෂයෙන් තරග වැදීමට ඉදිරිපත් වූ ජෝ-බයිඩ්න් හට ඒ අවස්ථා සළසා දී, නාම යෝජනා ලබා ගැනීමෙන් වැළකී සිටියේය. ‘‘අද ඔබට හිතෙන්නට පුළුවන් කොහොම ද බ්ලුම්බර්ග්ගෙ ටිකිරි මොළේ කියා. සැබැවින්ම ලෝකයට ආර්ථික අර්බුදයකට, වසංගත තත්ත්වයකට මුහුණ දී ඇති සමයක, ඔහු ඒ පරිසරය වටහා ගැනීම නිසා සමහර විට ජනපති තරගයට ඉදිරිපත් නොවන්නට ඇත. ඒ හැරත් බ්ලුම්බර්ග් යනු ජීවිතයේ කෙටි මාර්ග සොයා බල තණ්හාව වෙනුවෙන් කටයුතු කළ අයෙකු නොවේ.  


‘බ්ලුම්බර්ග්’ගේ ජීවිතය  


බ්ලුම්බර්ග් යනු ඇමරිකානු සමාජයේ සිටින මහා දානපතියෙකි. පුණ්‍ය කටයුතු, සමාජ සංවර්ධනය සඳහා වූ කටයුතු වෙනුවෙන්, විශාල ලෙස ධනය පරිත්‍යාග කරන චරිතයකි. ‘කෝවිඩ්’ වසංගතය හමුවේ එය මැඩ පැවැත්වීම වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයූ චරිතයකි. ජෝන්ස් හොප්කින්ස් සරසවියේ අධ්‍යාපන අංශ දියුණු කිරීමට 2019 දී ඩොලර් බිලියන ‘3.3’’ ක් ලබා දුන් බව සඳහන් වේ. ඔහුගේ පරිත්‍යාගශීලිත්වය ගැන ලිවීමට බොහෝ කරුණු තිබේ.  


තමාට වඩා ජීවිතය විශාල කරගත්, බ්ලුම්බර්ග්, මුලින්ම විවාහ වී සිටියේ 1975 දී, සුසාන් එළිසබත් බර්බරා බ්‍රවුන් සමගය. ඇය බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති තැනැත්තියකි. මේ දෙපළට දියණියන් දෙදෙනෙකි. එම්මා සහ ජෝර්ජියා යනු එම දියණියන්ය. කෙතරම් මිහිරි වුව ද, පැණි වරකා ගහටක් හෙණ වදින්නාක් මෙන්, 1993 දී බ්ලුම්බර්ග් සහ බ්‍රවුන්ගේ විවාහය දික්කසාදයෙන් හමාර වුණි. එහෙත් ඔහු පවසන්නේ, එසේ දික්කසාද වුව ද, ඔහුගේ හොඳම ‘මිතුරිය’ ඇය බවය. ඔන්න ඔය විදියට ජීවිතය ගෙවා දමමින් සිටින අතරේ 2000 දී නිව්​ෙ‌යා්ර්ක් බැංකු ක්ෂේත්‍රයේ අධිකාරිවරියක වූ, ඩියානා ටේලර් සමග බ්ලුම්බර්ග් එකට ජීවත් වීමට පටන් ගත් බව වාර්තා විණි. බ්ලුම්බර්ගේ එකම බාල සහෝදරිය වන මැජෝර් ක්වේන්, නිව්​ෙ‌යා්ර්ක් නගරයේ කොමසාරිස්වරියක වන්නීය.  

 


වස්තු සම්භාරය  


කාන්තා අයිතීන් උදෙසා පෙනී සිටින ප්‍රබල චරිතයක් වන මයිකල් බ්ලුම්බර්ග් සතු මන්දිර උයන්වතු ඇත්තේ, ඇමරිකාවේ පමණක් නොවේ. ලෝකයේ විවිධ රටවල විවිධ ස්ථානවල සුවිශාල මන්දිර 10කට වඩා ඔහු සතුය. ඒ අතරින් නිව්​ෙ‌යා්ර්ක් නගරයේ, බර්මියුඩාවේ සහ ලන්ඩන්හි ඇති මන්දිර වඩා මිල අධිකය. වතු යායක් සමග ඇති ලන්ඩන් මන්දිරයෙහි වටිනාකම 2018 දී දැක්වූයේ ඩොලර් මිලියන 25ක් ලෙසය. සුපිරි මෝටර් රථවලට අමතරව පුද්ගලික හෙලිකොප්ටර යානයක් ද ඔහු සතුය. ධනය, බලය, නිලය යන සියල්ල අතරේ ඔහු වඩාත් වින්දනය කරන්නේ පරිත්‍යාගශීලීත්වයෙන් යැයි සඳහන් කරයි.  


‘නගරාධිපතිව’ සිටි කාලයේ දී බ්ලුම්බර්ග්, ගමන් ගත්තේ ඔහු සතු සුපිරි මෝටර් රථවලින් පෞද්ගලික ආරක්ෂකයන් ද පිරිවරාගෙන නොවේ. ඔහු සාමාන්‍ය ජනතාව සමග, නගරාධිපති කාර්යාලයට ගියේ සාමාන්‍ය දුම්රියෙනි. ජනතාව අතර ඔහු සැබෑ මිනිසකු බවට පත් වූයේ එවැනි දේ නිසාය. බ්ලුම්බර්ග් නමැති මේ මිනිසාගේ මෙම කතාව නිම කිරීමට පෙර මේ දිනවල අපේ රටේ තිරගත වන ඇල්බොරාදා චිත්‍රපටයේ දෙබසක් සටහන් කිරීම අගනේය. එම චිත්‍රපටය ආරම්භ වන්නේ මෙලෙසිනි.  


‘පැබ්ලෝ’ මෙරටට එන්නේ සූට් කේසය පමණක් රැගෙනය. ඔහු නවාතැන් ගත් ස්ථානයේ රත්නයියා සමග මෙසේ දෙබසක් ඇතිවේ.  


රත්නයියා:- කම් සර් (Come Sir) එනි බැගේජස්?  


පැබ්ලෝ:- අයි කේම් එම්ටි හෑන්ඩඩ් (මම හිස් අතින් ආවේ) අයි විල් හෑව් ටු බයි එව්රිතින්ග් (මට සෑම දෙයක්ම ගන්නට ඕනැ) ජීවිතය අරඹන්න මට තියෙන්නෙ යට ඇඳුම විතරයි.  


මේ කතාව අහගෙන සිටි රත්නයියා, සිනහා වී... ඩෝන්ට් වොරි සර්! කියා කීවේය.  


ඒ හිනාවෙන් කියා පෑවේ හිස් සූට් කේසය විතරක් ඇති යන්නය. එය පුරවාගෙන යන්නට ඕනෑ තරම් දේ මෙහි තිබේ. අපේ සමහර දේශපාලන චරිත කරන්නේ එය නොවේ ද? ඒ අතින්, බ්ලුම්බර්ග් නම් මාරම මිනිසෙකි. පොත් තබන්නෙකුගේ පුතෙකු ලෙස ඇවිත් සියල්ල හරි හම්බ කර ගත්තේ ඔහුගේ දැනුම සහ හැකියාව මුල්කරගෙනය. එසේ නොමැතිව රට සූරා කෑ චරිතයක් නම් නොවේ.

 

පරිවර්තන සටහන  
සඳුන් ගමගේ  
[email protected]