බබ්බු හම්බවෙන්න අම්මා ඉන්න එපායැ : ඔයාගේ අම්මා මැරිලා



මේ නිවසට යන එන අවස්ථාවලදී හමු වී කතාබහ කරනවා හැරෙන්නට දිනේෂිත්, පුන්සරාත් අතර වැඩි ඇසුරක් තිබුණේ නැත. එහෙත් පුන්සරා තොරතෝංචියක් නැතිව කියන ඕපාදූප අසන්නට දිනේෂි රුචි කළාය. 

“මෙන්න පුන්සරා ආවා.. දැන් එයාට පාළුවක් නැතුව ඉන්න පුළුවන්..” 


එසේ කියමින් රේණුකා ඇය කාමරය තුළට කැඳවාගෙන ආ විට දිනේෂි බොහෝ සතුටු වූවාය. ආච්චි හෝ නැන්දා සමඟ කතා කරන්නට නොහැකි දේවල් කිසිදු පසුබෑමකින් තොරව පුන්සරා සමඟ කතාබහ කළ හැකි බැව් ඇය දැන සිටියාය. 


“මට ඇඹුල් රස මොනවා හරි කන්න තිබ්බා නම් හොඳයි කියලා හිතෙනවා අක්කෙ..” 
තරමක් වේලා තොරතුරු හුවමාරු කරගත් ඉනික්බිතිව දිනේෂි කීවේ රහසිනි. කෑමට සුදුසු නුසුදුසු ආහාර වර්ග ගණනාවක් ආච්චි විසින් කියනු ලැබ තිබිණි. ඇඹුල් රස අයත් වන්නේ ඒ කුමන වර්ගයටදැයි ඇය දැන සිටියේ නැත. 


“ඔය දවස්වලට වෙන කෑමට වැඩිය ඇඹුල් කන්න තමයි ආසා හිතෙන්නෙ..” පුන්සරා කීවේ මහදැනමුත්තියක මෙන් දෑස් නටවමිනි. “කුස්සිය පැත්තෙ මිදුලෙ ගහේ ඇඹරැල්ලා පිරිලා තියෙනවා.. මං ගෙඩි ටිකක් කපාගෙන ලු‍ණුයි ගම්මිරිසුයි දාලා අරන් එන්නම්..” 

 


දිනේෂිගේ කටට කෙළ උනවමින් කී පුන්සරා කාමරයෙන් පිටතට ගියාය. 
ඇය ඇඹරැල්ල ගෙඩි පහක් කඩාගෙන කුස්සියට යන්නට ගියේ නැකැත් බලන්නට ගිය හීන් නෝනා පැමිණ රේණුකා සමඟ විස්තර කියමින් සිටි මොහොතේදීමය. කුස්සියේ පිටත බිත්තියට හේත්තු වුණ ඇය සියල්ල අසා සිටියාය. දිනේෂි මල්වර වී ඇත්තේ අසුබ මොහොතක බවත්, ඉන් දෙමව්පියන්ට, සහෝදරයන්ට අපල බවත්, ඇගේ අම්මා මේ වන විටත් සිටින්නේ ජීවිතයත් මරණයත් අතර සටනක බවත් දැන ගත් විට පුන්සරාගේ සිතේ අපූරු කතාන්දරයක් ගොඩ නැඟිණි. එය ගමේ මෙන්ම පාසලේ යෙහෙළියන් සමඟ ද බෙදාහදා ගැනීමේ නොඉවසිල්ල ඇය තුළ ඇති වූයේය. නැකැත් ඇදුරා විසින් කියන ලද දේවල් දිනේෂිට නොකියන්නට වැඩිහිටියන් තීරණය කළ බැව් ඇසෙද්දී පුන්සරා කනස්සල්ලට පත් වූවාය. 
“එයාට නොකියා කොහොමද..? එයානෙ ඒවා දැනගෙන ඉන්න ඕනැ” ඇය මුමුණා ගත්තාය. 
රේණුකාට දුරකථන ඇමතුමක් ලැබුණේ ඒ අවස්ථාවේය. ඇය එයට පිළිතුරු දෙන්නට කුස්සියේ දොරකඩට එන බැව් අත්දැකීමෙන්ම දන්නා නිසාම පුන්සරා වහා මිදුලට බැස ඒ මොහොතේම එන්නාක් මෙන් ආපසු ආවාය. එහෙත් ඇයට කුස්සියට ඇතුළු වෙන්නට නොහැකි වූයේ රේණුකාත් හීන් නෝනාත් දෙදෙනාම දොරකඩ සිටි බැවිනි. පුන්සරා ඔවුන් ඉදිරියේ නතර වුවත් ඔවුන්ට ඇය ගැන හැඟීමක් ඇති බවක් පෙනෙන්නට නොවිණි. දුරකථනයෙන් ලැබෙන්නේ බොහෝ වැදගත් පණිවිඩයක් විය යුතු යයි ඇය අනුමාන කළාය. රේණුකා එයට සවන් දුන්නේ දෙනෙත් ලොකු කරගෙන, බියපත් ස්වභාවයෙනි. 
“අම්මා..” ඒ සමඟම ඇයට කෑ ගැසිණි. 
ඇගේ අතින් දුරකථනය ද ගිලිහී බිම වැටුණේය. 
“ඇයි නැන්දා..?” 


පුන්සරා ඇඹරැල්ල ගෙඩි ටික පිල මත තබා දුරකථනය අහුලා රේණුකාට පාමින් විමසුවාය. එහෙත් එය අතට ගන්නට සිහියක් ඇයට නොවිණි. ඇය හඬාගෙන හීන් නෝනාට වාරු වූවාය. 
“අනේ අම්මා.. අපේ අයියයි දරුවො ටිකයි තනි වුණා අම්මා.. ජිනා අක්කා එයාලා දාලා ගිහින්..” 
“දෙයි හාමුදුරුවනේ.. මොකක්ද මේ සිද්ද වෙච්චි වින්නැහිය..?” 
හීන් නෝනා ද හඬන්නට පටන් ගත්තාය. අන්දමන්ද වූ පුන්සරා දුරකථනය සවනට ළං කර ගත්තාය. ඉන් ඇසුණේ ද පිරිමියෙකු විලාප කියමින් හඬන හඬය. ඒ කිත්තා මාමා බැව් ඇය තේරුම් ගත්තාය. ජිනාදරී නැන්දා මිය ගොස් ඇති බැව් ඇයට වැටහිණි. ඇය තුළ ශෝකයක් මෙන්ම තිගැස්මක් ද ඇති වුවත් ඒ මඳ වේලාවකට පමණකි. මෙපුවත දැන ගත් විට දිනේෂි දක්වනු ඇත්තේ කුමන ප්‍රතිචාරයක්දැයි දැන ගැනීමේ ආශාව ඇය තුළ බලවත්ව නැඟී ආවේය. මල්වර වූ යුවතියක ගෙතුළ සිටියදීම ඇගේ මව මිය ගිය සිද්ධියක් මින් පෙර කොහේවත් සිදු වූ බවක් ඇය අසා නොතිබිණි. එම නිසාම මේ කතාන්දරයේ වටිනාකම වඩාත් වැඩිය. ඇගේ යෙහෙළියන් පමණක් නොව වැඩිහිටියන් ද එය දැන ගන්නට ප්‍රිය කරන බැව් සහතිකය. 
“අම්මා.. හයියෙන් කෑ ගහන්න එපා.. ලොකු දුවට මේක දැන්ම කියන්න හොඳ නෑ.. හෙට නාවලා ඉවර වෙලාම කියමු..” 


මඳ වේලාවකට පසුව හැඬුම නවත්වා ගත් රේණුකා සිය මව සන්සුන් කළේ එලෙස කියමිනි. විලාප කීම නතර කළත් හීන් නෝනාගේ ඇස්වලින් දිගටම කඳුළු කඩා හැළිණි. පුන්සරා ගේ සිත තුළ දොම්නසක් හට ගත්තේ තමන්ගේ අරමුණ ඉටු නොවන බැව් දැනුණ නිසාය. 
“දැන් අපි ඉස්පිරිතාලෙට යන්න ඕනැනෙ අම්මා.. විනීතක්කා ගෙන්නලා තියලා ටක් ගාලා යමු.. මම එයාට කෝල් එකක් දෙන්නම්.. පුන්සරා පුතේ ඔයා නංගී ළඟම ඉන්න..” 
කලබලයෙන් කියූ රේණුකා දුරකථනය පුන්සරා අතින් උදුරාගෙන ගෙතුළට දිව්වාය. 
දිනේෂි තනි නොකළ යුතු බැව් දැන සිටියත් පුන්සරා නැවතත් කාමරයට ගියේ ඇගේ අම්මාත් පැමිණ, රේණුකා සහ හීන් නෝනා ගෙදරින් පිට වී ගියාටත් පසුවය. ඔවුන් සියලු‍ දෙනාම සිටියේ කම්පනයෙනි. එහෙත් පුන්සරා තුළ නොඉවසිල්ලක් සහ උද්​ෙ‌යා්ගයක් මිසක් වෙනත් හැඟීමක් තිබුණේ නැත. 
“අම්මෝ.. මම හිතුවෙ ඔයා ඇඹරැල්ල ගහක් හිටවලා ඒකෙ ගෙඩි එනකම් බලාගෙන ඉන්නවා වෙන්න ඇති කියලා..” 


ඇය විසින් දෙන ලද ඇඹරැල්ලා ගෙඩි දෙක සහ ලු‍ණු ගම්මිරිස් සහිත තසිම අතට ගනිමින් දිනේෂි කීවේ මඳ සිනාවක් ද පාමිනි. 
“කපා ගන්න බැරි වුණා.. දැනට ඔහොම කන්නකො..” 
පුන්සරා කීවාය. ඇය සිටියේ දිනේෂිට මේ දුක්බර සිද්ධිය කිව යුතු ආකාරය සැලසුම් කරමිනි. ඇයට එය කියන්නට එපා යයි කිසිවෙකු පුන්සරාට කියා තිබුණේ නැත. 


“මොකක්ද ගේ ඇතුළෙ කලබලයක් ඇහුණෙ..? ආච්චියි, පොඩි නැන්දයි කොහෙද ගියෙ..?” දිනේෂි විමසුවාය. 
“ඒ ගොල්ලො ගියෙ ඉස්පිරිතාලෙට.. ඔයාගෙ අම්මා බලන්න..” 
එසේ කියූ පුන්සරා ඇඳ කෙළවරක වාඩි ගත්තාය. 
“ආ..නේ ඇත්ත ද..? ඒ කියන්නෙ අම්මට බබා හම්බ වෙලා..?” 
දිනේෂි විමසුවේ මුව පුරා සිනාසෙමිනි. 
“පිස්සු ද..? බබ්බු හම්බ වෙන්න අම්මා ඉන්න එපායැ.. ඔයාගෙ අම්මා මැරිලා..” පුන්සරාට එක්වරම කියැවිණි. 
“මොනවා..?”


ලබන සතියට...