පොලියට ණයදුන් කාන්තාව අඩි හයක් පොලව යට


පොලිස් පොතෙන් 

ආර්ථික ප්‍රශ්නවලින් හෙම්බත් වුණ මිනිස්සු තව තවත් ණය වෙමින් ජීවිතය පවත්වාගෙන යාමට වෙර දරති. ණය බර දරාගත නොහැකිව ණය හිමියන්ගෙන් බේරෙන්නට බැරි තැන ඇතැමෙක් වතුපිටි විකුණා දමති. ඇතැමෙක් සිය දිවි නසා ගනිති. ඇතැමෙක් ගම රට අත්හැර යති. යාපනයේ මණියතෝට්ටම් උදයපුරම් ප්‍රදේශයේ ජීවත් වූ එක්තරා පවුලක් ණය හිමියාගෙන් බේරෙන්නට හොඳම මග ලෙස තෝරාගත්තේ ඉහත කී එකක්වත් නොවේ. ඔවුන් තෝරා ගත්තේ වෙනම මගකි. ඒ මග තෝරා ගැනීම නිසා අද ඔවුන්ට මහඋලුගෙදර කාමරයක් වෙන්ව තිබේ. මේ ඒ කතාවය.

ඇය යාපනය මනියතෝට්ටම්, උදයනගර් ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැවිරිදි ප්‍රදීපන් ජසින්තාය. ඇය පසුගිය පළමුවැනිදා යාපනය නගරයට යන බව පවසා නිවසින් පිට වුව ද ඒ අතර මග දී අරියාලෙයි ප්‍රදේශයට හැරුණේ කාලයක් තිස්සේ කල් අදිමින් තිබෙන ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා කිරීමටය.


ජසින්තා පොලියට ණය දීම ජීවිකාව කරගත් කාන්තාවකි. ඇයගෙන් ණය ගන්නට පුරුදු වූ අය යාපනය අවට බොහෝ සිටිති. ඒ ණය කොටස් වශයෙන් ලබාගැනීමට හෝ පොලිය ලබා ගැනීමට හෝ ඇය

ගනුදෙනුකරුවන්ගේ ගෙවල්වලට එම කොටස් ගෙවීමට නියමිත දින වකවානුවල දී ගියාය. ඇතැමෙක් නිසි කලට වෙලාවට ණයෙන් කොටසක් හෝ පොලිය ගෙවූවද ඇතැමෙක් එය නිසි පරිදි ගෙවූයේ නැත. ඒ නිසා ජසින්තාට ඔවුන් පසුපස නිතර හඹා යන්නට සිදුවිය. කරදර කරන්නට සිදුවිය.


අරියාලෙයි පවුල ද ජසින්තාට එවැනි කරදරකාරී පවුලක් බවට පත්විය. ඔවුන් විටින් විට ටිකෙන් ටික ලබාගත් ණය කිසිවක් ගෙවූයේ නැත. ඒ නිසා ඔවුන්ගේ ණය මුදල දැන් ලොකු වී තිබේ. එය නොසලකා හැරිය නොහැකි ණයකි. ජසින්තා එහි ගියේ කීප වතාවක්ම අහවල් දවසේ ගෙවන්නම් යැයි පවසමින් ඔවුන් කල් මැරූ කාලය බොහෝ වැඩි යැයි සිතුණ නිසා විය හැකිය.


එහි ගොස් ණය ගැන කතා කළත් ගෙවීමේ සූදානමක් තිබුණේ නැත. ඒ නිසා ඔවුන් අතර ඇති වූ කතා බහ තරමක් දුරදිග ගොස් බහින් බස් වීමක් බවට පත්ව ගැටුමක් සේ මතුවන්නට විය. එය කෙළවර වූයේ ඇය කිසිසේත්ම අපේක්ෂා නොකළ ආකාරයෙනි.


යාපනය නගරයට ගිය සිය බිරිඳ සවස් වන තුරුත් ආපසු නොපැමිණීම නිසා ඇයගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත්ත ද එය ක්‍රියාවිරහිත වී තිබිණ. ඇය රාත්‍රියේ හෝ එනු ඇතැයි බලාපොරොත්තුවෙන් සැමියා ඇතුළු පවුලේ අය බලා සිටියහ. එහෙත් ඇය ආපසු ආවේ නැත. ඒ නිසා ඇගේ සැමියා යාපනය පොලිසියට ගොස් පැමිණිල්ලක් කළේය. පොලිසිය ඇය ආගිය තැන් සොයා පරීක්ෂණ ආරම්භ කළේය. එහෙත් නිසි හෝඩුවාවක් නොලැබිණ. ඇය අරියාලෙයි ප්‍රදේශයට ගිය බවට ද තොරතුරු ලැබිණ. එහෙත් ඒ කොහාටදැයි දැන ගැනීමට නොහැකි විය. ඇය යන්නට ඇත්තේ ණය ගත්තවුන් සොයාගෙන විය හැකි බවට සැක කළ හැකි නමුත් ඇගෙන් ණය ගත්තවුන් සොයා ගැනීමට උත්සාහ කළ ද ඒ ලියකියවිලි ද ඇය සමගම අතුරුදන්ව තිබූ නිසා ඒ විස්තරයක් ද පොලිසියට නොලැබිණ.


එහෙත් පොලිසිය පරීක්ෂණ අත් හැරියේ නැත. බුද්ධි අංශ යොදාගෙන තොරතුරු විමසා බැලුවේය. එහිදී එක්තරා නීති විරෝධි මත්පැන් පොළක දී අධිකව මත් වූ පුද්ගලයෙකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු විය. එම තොරතුර ඔස්සේ යමින් පොලිසිය අරියාලේ ප්‍රදේශයේ එක්තරා නිවසක ගෙවත්ත පරීක්ෂාවට ලක් කළේය. එහි දී සැක කටයුතු ස්ථාන කීපයක් පොලිසියේ අවධානයට ලක්විය. ඒ සම්බන්ධයෙන් ගෙහිමියාගෙන් හා ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ ද ලබාගත් පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන එම ස්ථාන හාරා පරීක්ෂා කළේය. ඒ යාපනය මහේස්ත්‍රාත් ඒ. ඒ. ආනන්ද රාජා මහතාගේ හා අධිකරණ වෛද්‍ය එස්. ප්‍රනාවන් මහතාගේ අධීක්ෂණය යටතේය. එය සිදුකරනු ලැබුවේ පසුගිය 09 වැනිදාය. එනම් ජසින්තා අතුරුදන්ව දින අටකට පසුවය.


සැක කටයුතු ගෙවත්තේ වැසිකිළි වළට ආසන්නයෙන් අලුතින් පස් දමා තිබූ ස්ථානයක් මෙලෙස හාරනු ලැබු අතර එහි අඩි හයක් පමණ හාරද්දී කාන්තා මළ සිරුරක් හමු විය. එය නරක් වීමට පටන් ගෙන තිබිණ. ජසින්තාගේ සැමියා විසින් එම සිරුර තම බිරිඳගේ බවට හඳුනා ගත්තේය. ජසින්තා වළ දමා තිබූ ස්ථානයට යාබදව තවත් වළක ඇගේ යතුරු පැදිය ද වළ දමා තිබිය දී පොලිසිය සොයා ගත්තේය. එය ද ජසින්තාගේ සැමියා විසින් හඳුනා ගත්තේය.


මේ අනුව එම නිවසේ ගෙහිමියා හා ඔහුගේ බිරිඳ ද බිරිඳගේ සහෝදරයා ද අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුවත් තාක්ෂණික දත්ත මත කරනු ලබන පරීක්ෂණ අනුවත් තවදුරටත් විමර්ශන සිදු කෙරේ.


කෙසේ නමුත් ඇය ඝාතනය වන්නේ මේ අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ නිවසේදීය. තමන් ගත් ණය ගෙවන්නට නොහැකි නම් ඒ ගැන සාකච්ඡා කර විසඳුමක් ලබාගන්නවා වෙනුවට තමන්ට ණය දුන් පුද්ගලයා ඝාතනය කරන්නට පෙලඹීම මොන තරම් කුරිරු ද?


තමන් විඳින පීඩාව විසින්ම මිනිසුන් කුරිරු මිනිසුන් බවට පත්කර ඇත. අමානුෂික මිනිසුන් බවට පත්කර හමාරය. එහි ප්‍රතිඵලයක් ලෙස ජසින්තාට ජීවිතය අහිමි විය.

 

 

සටහන
මුදිතා දයානන්ද