පෘතුගීසින් බියපත් කලළ රාජසිංහගේ අමුතු පුතා


හෙළ දෙරණ 

ඉතිහාසයේ පිටු අතරින් සැඟවුණු අපූරු සිදුවීම් පෙළක් 

 

පෘතුගීසීන් මෙරට පා තැබූ පසු ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වූ බරපතළ අභියෝගය වූයේ වීදිය බණ්ඩාරය. වීදිය බණ්ඩාරගේ වීදි සටන් කලාවේ ඔහුටම අන්‍යය වූ අශ්ව සටන් ද මහජන බලවේග කුපිත කිරීමට සමත් වූ යුද කලාව ද පෘතුගීසීන් අන්දමන්ද කළේය. එයට අමතරව වීදිය බණ්ඩාරගේ වෙරළබඩ ඉලන්දාරි ගැටව් පෘතුගීසීන්ට එල්ල කළ මාරක ප්‍රහාර අමුතු මාදිලියක සටන් වූහ. කෙසේ නමුත් වීදිය බණ්ඩාර අදහාගත නොහැකි ලෙස යාපනයේ දී ඝාතනය වීමත් සමඟ පෘතුගීසීන්ට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරය අත්පත් කර ගැනීමට මාවත විවර විය. ඉන්පසු පෘතුගීසීන් අන්දමන්ද කළේ මායාදුන්නේ සහ ඔහු පුතු ටිකිරි රාජසිංහය. කැලණි මිටියාවතින් නැගී සිට කොළඹ දක්වා පරංගීන් පන්නා දැමූ ඔවුන්ගේ යුධ උපක්‍රම ලෝකයාට ලක්දිව යුද කලාව පිළිබඳ අප්‍රමාණ සටහන් එකතු කරදුණි. කෙසේ නමුත් ටිකිරි රාජසිංහ රජු ද අදහාගත නොහැකි ලෙස මියයාම පෘතුගීසීන්ගේ ලක්දිව පාලනයට සැනසිල්ල උදා කළේය.

ඉන්පසු සිංහලයෝ රජ කිරුළ උඩරටට රැගෙන ගියහ. ඒ ස්වාභාවික ගිරි දුර්ගයේ තම උරුමය රැක ගත්හ. පහතරට පාලනය පෘතුගීසීන් යටතට පත් විය. කාලය ගෙවී ගියේය. සිංහල රජූගේ පාලනය උඩරටට කොටු කර තබා ගැනීම පෘතුගීසී වෑයම විය. එහෙත් පළවන විමලධර්මසූරිය හා ඔහු සහෝදර සෙනරත් රජවරුන්ගේ අති බිහිසුණු ප්‍රහාර නිසා පෘතුගීසීහු මහත් තැති ගැන්මකට පත් වූහ. කෙසේ නමුත් පහතරට තමන්ගේ පාලනයට එරෙහිව විරෝධයක් නොවීම ඔවුන්ගේ සැනසිල්ලට හේතු විය.

ඒත් සියල්ල වෙනස් වූයේ ක්‍රි.ව. 1616 දීය. ඒ “නිකපිටියේ බණ්ඩාර” ගේ ක්‍රියාකලාපය නිසාය.
“නිකපිටියේ බණ්ඩාර” ඉතිහාසය සමඟ නැගී සිටියේය. ඒ වන විටත් මනස්කාන්ත අරුමැසි රජ විරුවකු වූ ටිකිරි රාජසිංහ පිළිබඳ නිමක් නැති කතා සිංහලයන් තුළින් නැවතත් රැව් පිළිරැව් දෙමින් තිබුණි. ඔහුගේ ආශ්වාදනීය රණකාමය ද, රමණීය ජීවිත සිරිත ද සිංහල බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා අවසාන මොහොතේ ටිකිරි රාජසිංහ රජතුමා තනි කළ ඉතිහාසය පිළිබඳ ශෝකී කතා පැතිර යමින් තිබුණි. මේ අතරම එක් විටම රහස් පනිවිඩ රාත්‍රී කාලයේ ගමින් ගම බෙදා හරින අද්භූත බලවේගයක් බිහිව තිබුණි. ඒ ටිකිරි රාජසිංහගේ ආත්මය බවට ද කට කතා පැතිර ගියේය. භීතිය, ත්‍රාසය කැටි වී ඒ සමයේ අද්භූත ආත්මයක් සමග වුව ද එක් වී පෘතුගීසීන් පන්නා දැමිය හැකි නම් මැනවියැයි වූ අදහසක් හූදී සිංහල සමාජය තුළ කාවදිමින් තිබුණි. කෲර පාලනයකින් සිංහලයා හෙම්බත්ව සිටියේය. පෘතුගීසීන් විසින් බුදුදහම නසා දැමීම සිංහල පපුවට ඉවසුම් නොදෙන ක්‍රියාවක් විය.


මේ අතර අද්භූත පනිවිඩ එකවරම නතර විය. එක් දිනෙක වාද්දුවේ, පොතුපිටියට එක්වන්නැයි රහස් පණිවුඩයක් ජාතිකානුරාගික ජනතාවට හොර රහසේ ලැබුණේය. එහි ලියා
තිබුණේ ටිකිරි රාජසිංහ රජතුමාගේ මුණුබුරා පලා ගොස් සමනළ අඩවියේ සැඟවී සිට පැමිණ ඔටුණු පළඳින බවය.


පානදුර, වාද්දුව, අලුත්ගම, මතුගම හරහා දස දහස් ගණන් ජනතාව ඒ සිහින රජ්ජුරුවන් දකින්නට පොතුපිටියට එක් රොක්ව සිටියහ. දස දහස් සිංහල ජනී ජනයා සතුටු කඳුළු වගුරමින් නිම් හිම් නැති ප්‍රිතීයක ගැලී සිටියෝය. පරගැති පරංගියා පැන්නීමේ ජාතික සටනට පණ පෙවීමට රජෙක් පහත රටින් ඔටුණු පැළඳුවේ එදාය. ඒ “නිකපිටියේ බණ්ඩාරය.” නිකපිටියේ බණ්ඩාර සීතාවක රජ මැඳුරේ තතු විත්ති තම දේශනවලදී පැවැසූ ආකාරයට ජනතාව වශීකෘත වූහ. කැති, පොලු, මන්නා, අසිපත් රැගෙන පහතරට පරංගියාට එරෙහිව එකරැයින් නැගී සිටින්නට පටන් ගත්හ.


පෘතුගීසී බළමුළුව මොරටුවෙදී බිඳ දැමූ සිංහලයෝ කොළඹට ඇතුළු වන්නට මාවත විවර කරගත්හ. සටන් පෙරමුණට පැමිණි නිකපිටියේ බණ්ඩාර තමන් ටිකිරි රාජසිංහගේ මුණුබුරා බවත් තම
මුත්තණුවන් තමන් සුමන සමන් දෙවියන්ට භාරදුන් බවත් කියා සිටියේය. සමන් දෙව් කරුණාවෙන් හිමයේ හිඳ වැඩුණු තමන් සිංහලයන් පරංගීන්ගෙන් නිදහස් කර ගැනීමට පැමිණි බවට කී අතීත කතාව සිංහලයෝ ඔහු වටා ආදරයෙන් ආතුරව එක් කළහ. කැරැල්ල අලුත්ගමින් බෙන්තරට ද එතැනින් සරුසාර කුරුඳු කලාපය හරහා රත්ගමට ද පැමිණීමට ගත වූයේ දෙදිනකි. නිකපිටියේ බණ්ඩාර හික්කඩුව වැල්ලට පැමිණියේය. එහි රැස් වූ ජනයා හික්ගලින් තැනූ කඩුවක් පූජා කොට නිකපිටියේ රජ්ජුරුවෝ පිළිගත්හ. සටන බද්දේගම හරහා අහංගමට ද එතැනින් වැලිගමට ද සේන්දු විය. පෘතුගීසීන් ඝාතනය කරමින් කැරැල්ල ඉදිරියටම ඇඳුණේය. දින නමයක් යන විට සිංහල නැගිටීම මාතරට සේන්දු වූ අතර මාතර පරංගි බලකොටුව බිඳ වැටුණි.
නිකපිටියේ බණ්ඩාර ජනතාව අතර පෙනී සිට දින දහයක් යන විට පහත රටින් අඩක් සිංහලයන් සතු විය. නමුත් නිකපිටියේ බණ්ඩාරගේ අද්භූත මතුවීමෙන් පෘතුගීසී පාලනය මෙන්ම උඩරට රාජධානිය ද සලිත වූයේය. පෘතුගීසීන් බිය වූයේ නිකපිටියේ සමඟ උඩරට එක්ව මුළු රටින්ම තමන් පන්නා දමනු ඇතැයි සිතාය. නමුත් උඩරට සෙනරත් රජතුමා බියෙන් සලිත වූයේ තම පරපුර අතින් ලංකා රාජ්‍යයේ උරුමය අතුගා දැමීමට ටිකිරි රාජසිංහ පරපුර යළි නැගී සිට තම පැවැත්ම අවසන් කරනු ඇතැයි කියාය. ඒ නිසා උඩරැටියන් පහතරටට මුසුවීම වලක්වාලන උපායට සෙනරත් රජතුමා ද උපායශීලී වූයේ පරංගි පාලනය සමග සාම ගිවිසුමකට අත්සන් තබමිනි.


එනමුත් සටන තීව්‍ර වූයේය. “නිකපිටියේ බණ්ඩාර” සීතාවක සමය අරභයා පවසන ඓතිහාසික තතු විත්ති නිසා ඔහු ජනතාවට අරුම පුදුම රජකු විය. සමනළ කඳු මුදුනේ තමන් ගත කළ හුදෙකලා වන දිවිය රසාලිප්ත කතාවක් බවට පත් කළ නිකපිටියේ බණ්ඩාර ඒ තුළින් ජනතාව තව තවත් තමන් වෙත පහදවා ගත්තේය. නමුත් දහතුන් මසක් පුරා පෘතුගීසීන් බිය ගන්වා පහතරට පාලනය කළ නිකපිටියේ බණ්ඩාර පෘතුගීසීන්ගෙන් වැටුප් ලැබූ හේවාපන්න කල්ලියක් අතින් පානදුර නගරයේ දී ඝාතනය වූයේය. ඒ ක්‍රි.ව. 1617 දෙසැම්බර් 06 වෙනිදාය.


වීදිය බණ්ඩාරට මායාදුන්නේට හා ටිකිරි රාජසිංහට සිංහල වීර ඉතිහාසයේ වෙන්ව ඇති ස්ථානය නිකපිටියේ බණ්ඩාරට නැත. සැබැවින් නිකපිටියේ බණ්ඩාර ව්‍යාජ රාජ උරුමයක් ගත් රැවටිලිකාරයකු බව සැබෑය. එය එසේ නොවන්නට ද හැකිය. ඔහු තෙපලූ ලෙස ඔහුට ටිකිරි රාජසිංහ රජතුමා සමග ලේ ඥාතීත්වයක් තිබෙන්නට ද ඇත. මන්දයත් ක්‍රි.ව. 1594 දී සිතාවක අත්පත් කරගත් පෘතුගීසීන් ටිකිරි රාජසිංහ රජුගේ “නිකපිටියේ බණ්ඩාර” නමින් වූ මුණුපුරා ගෝවට පිටුවහල් කළ බව තම ලේඛනවල ලියා තබා ඇති බැවිනි. ඒත් ඒ කිසිවක් ඉතිහාස තතු විත්ති සමඟ ගළපා සාධනය කර සනාථ කර ගැනීමට දත්ත අප සතුව නැත. ඒත් මහිමය ඔහු බලගතු පෘතුගීසීන් සලිත කළ අපූරුවය. පුදුමය ඔහු සිංහලයන්ව නැගිටුවා ගැනීමට පෑ පුදුමාකාර සමත්කමය. පහතරට රජ සේ විරාජමානව සිට ඝාතනය වුව ද ඔහු ඉතිහාසයෙන් ඝාතනය කළ නොහැකි විය.


නිකපිටියේ බණ්ඩාර කාගේ කවුද? කවදා කොහි ඉපදුනාදැයි අපි කවුරුත් නොදනිමු. ඒ පිළිබඳ පර්යේෂණ කළ පෘතුගීසී ඉතිහාසඥයෝ පවා එම කරුණු අනාවරණය කර ගැනීමට සමත්


නොවූහ. මායාකාරී රැවිටිලිකාරයකු ලෙස ඔහු බැහැරට තැබිය හැකිය. ඒත් එවැනි ජනනායක භූමිකාවට පණ පෙවූ චරිතයක සුල - මුල සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳ සිංහල ඉතිහාසඥයන් ලජ්ජා විය යුතුය. සැබැවින් ම පෘතුගීසීන්ගේ ඓතිහාසික ලේඛනවල මහත් ඉහළින් නිකපිටියේ බණ්ඩාර ගැන සඳහන් වේ. ඒ පෘතුගීසීන්ට ලංකාව හැර යාමට නිකපිටියේ බණ්ඩාරයන්ගේ අදිසි නැගිටීම එක් හේතුවක් වූ බැවිණි.

 

 

සුජිත් අක්කරවත්ත