පිරිපහදුව වැහිලා ඉටිපන්දමත් හිඟවෙලා


‘සිරිමාවෝ මැතිනිය ඒ කාලේ අපේ රටට අවශ්‍ය වන සෑම දේම රටේ නිෂ්පාදනය කළා. ඉටිපන්දම් නිෂ්පාදනයක් කොළොන්නාවේ කළා. විනාඩියකට ඉටිපන්දම් සියයකට වඩා නිපදවන යන්ත්‍ර අපි සතුව තිබුණා. ඉටිපන්දම තුළ තිබෙන නූල නිපදවූයේත් අපිමයි. තෙල් සංස්ථාවේ ලාංඡනය සහිතව තමයි එදා ඉටිපන්දම් වෙළෙඳපළට නිකුත් කළේ. එදා ශතයක් දෙකක් වුණු ඉටිපන්දමක් පත්තු කළාම රෑ කාලයම ගෙවන්න පුළුවන්.

 

රටේ ඇතිවී තිබෙන විදුලි අර්බුදය හේතුවෙන් ඉටිපන්දම්වලට ඇති අධික ඉල්ලුම නිසා මේ වනවිට රට තුළ ඉටිපන්දම් හිඟයක්ද ඇති වී තිබේ. විදුලිය කැපීම සිදුවන වේලාව නිශ්චිතවම කිව නොහැකි බැවින් බොහෝ ජනතාව ඉටිපන්දම් වැඩි වශයෙන් රැස් කිරීමත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අතුරු නිෂ්පාදනයක් මගින් නිපදවෙන ඉටිපන්දම් සැදීම පිරිපහදුව වසා දැමීමත් සමඟ නතර වීමත් නිසා ඉටිපන්දම් හිඟය ඇතිවී ඇති බව කියැවේ.  

ඛනිජ තෙල් හයිඩ්‍රොකාබන්වලින් සමන්විත වේ. එය බලශක්ති කර්මාන්තයේ ඉහළ වැදගත්කමක් ඇති පොසිල ඉන්ධනයකි. කෙසේ වෙතත් එය පිරිපහදු ක්‍රියාවලියෙන් පසු ඉන්ධන බවට පත්වේ. ඛනිජ රසායනික කර්මාන්තයේ බොහෝ අතුරු නිෂ්පාදන ලබා ගනී.   


ප්‍රොපේන්, බියුටේන්, මීතේන්, ජෙට් ඉන්ධන, මෝටර්තෙල්, භූමිතෙල්, ඩීසල් හා ගෑස්ලීන් මින් ඉතා වැදගත්වේ. ඉටිපන්දම් නිෂ්පාදනය වූයේ පැරෆින්වලිනි.   


1969 දී සපුගස්කන්ද තෙල් පිරිපහදුව අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ආරම්භ කරන ලද්දේ පිටරටින් ගෙන්වන බොරතෙල් කොළඹ වරායේ පිහිටි බෝයාවේ සිට සපුගස්කන්දට ගෙන ගොස් පිරිපහදුකර පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ලෙස කොළොන්නාව නිමාවට රැගෙන ගොස් බෙදාහැරීම හොඳ ලාභ ව්‍යාපාරයක් මෙන්ම අතුරු නිෂ්පාදන රැසකින් තවත් අමතර ලාභයක් සංස්ථාවට ලැබුණු නිසාය. එම අතුරු නිෂ්පාදන වූයේ ඉටිපන්දම්, නයිලෝන්, ලිහිසිතෙල්, තාර හා ගෑස්ය. මේවා සියල්ලම වැඩි ලාභයක් ලැබූ නිෂ්පාදන වූ අතර ඉටිපන්දම් කර්මාන්තයේ ඒකාධිකාරියද සංස්ථාව සතුවිය. සාමාන්‍ය ඉටිපන්දම් පමණක් නොව පල්ලි සඳහා අවශ්‍ය විවිධ වර්ගයේ ඉටිපන්දම් එකල සිටම කොළොන්නාව ඛනිජ තෙල් නිමාව පරිශ්‍රයේදී නිපදවයි. කොළොන්නාව නිමාව හි සේවය කරමින් ඉටිපන්දම් නිපදවීම් අංශයේ සේවය කළ සුනිල් ප්‍රේමසිරි මහතා අප සමග කී කතාවයි මේ. 

 
‘සිරිමාවෝ මැතිනිය ඒ කාලේ අපේ රටට අවශ්‍ය වන සෑම දේම රටේ නිෂ්පාදනය කළා. ඉටිපන්දම් නිෂ්පාදනයක් කොළොන්නාවේ කළා. විනාඩියකට ඉටිපන්දම් සියයකට වඩා නිපදවන යන්ත්‍ර අපි සතුව තිබුණා. ඉටිපන්දම තුළ තිබෙන නූල නිපදවූයේත් අපිමයි. තෙල් සංස්ථාවේ ලාංඡනය සහිතව තමයි එදා ඉටිපන්දම් වෙළෙඳපළට නිකුත් කළේ. එදා ශතයක් දෙකක් වුණු ඉටිපන්දමක් පත්තු කළාම රෑ කාලයම ගෙවන්න පුළුවන්. සංස්ථාව සේවකයින්ට මාසයකට නොමිලේ ඉටිපන්දම් පැකට් එක ගානේ දුන්නා. මට මතක හැටියට ඒ පැකට් එකක ඉටිපන්දම් 50ක් විතර තිබුණා. රටේ ඉල්ලුමට වඩා ඉටිපන්දම් නිෂ්පාදනය වුණා. පිටරටවලට පවා ඒවා යැව්වා. පැට්‍රල්, ඩීසල්වලින් ලැබූ ආදායම ලාභයක් බවට පත් වුණේ ඉටිපන්දම් වැනි අතුරු නිෂ්පාදනවල මුදලත් එකතුවෙලා.   


එහෙත් 1973න් පසුව රටට හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් සමග තෙල් සංස්ථාව සතුව තිබූ ඉටිපන්දම් ඇතුළු අතුරු නිෂ්පාදන පෞද්ගලික සමාගම් වෙත පවරනු ලැබිණි. ලාභ ලැබූ තෙල් සංස්ථාව පාඩු ලබන්නට පටන් ගත්තේ එතැන් සිටය. ඒ සමගම ඉටිපන්දම් නිෂ්පාදනයත් පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් සිදුවිය.   
එහෙත් එදා තෙල් සංස්ථාව තුළ නිපදවූ ඉටිපන්දම් හා අද නිපදවෙන ඉටිපන්දම් අතර විශාල වෙනස්කමක් දක්නට තිබේ. මිල අධිකකම පොදු කාරණාවක් වුවද ඉටිපන්දම්වල ඇති ප්‍රමිතිය අහසට පොළොව මෙනි. එදා පැය ගණනක් නොනිවී දැල්වුණු ඉටිපන්දමේ ආයු කාලය අද විනාඩි කිහිපයකි. ඒත් ඒවා අධික මිලකින් යුතුය.   
කෙසේ වෙතත් මේ වනවිට වෙළෙඳපළේත් ඉටිපන්දම් හිඟයක් දක්නට ලැබෙයි. මේ ගම්පහ නගරයේ තොග ලෙස භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසලක ව්‍යාපාරිකයකු අප හා කී කතාවයි. ඉටිපන්දම් ඒ තරම් අත්‍යවශ්‍ය දෙයක් නොවන නිසා ලොකු තොගයක් අපි තියාගන්නේ නැහැ. ඒත් විවිධ ප්‍රදේශවල සුළු ව්‍යාපාරිකයින් රැගෙන යන නිසා සාමාන්‍යයෙන් ඉටිපන්දම් හාර පන්දාහක් මා ළඟ තිබුණා. ඒත් දැන් සතියකට දෙකකට විතර උඩදි ඒවා සියල්ල අලෙවි වුණා. සුළු වෙළෙඳුන්ට වඩා මම ඒවා අලෙවි කළේ පාරිභෝගිකයින්ට. සමහරු ඉටිපන්දම් සීය දෙසීය පවා ගත්තා. ඊට පස්සෙ ආපු බොහෝ දෙනකුට දෙන්න ඉටිපන්දම් තිබුණේ නැහැ. දැන් වෙනකොට ඉටිපන්දම් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙලා තියෙන හින්දා මම නැවත තොගයක් ඇණවුම් කළා යැයිද ඔහු කීවේය.   


කෙසේ වෙතත් අදවනවිට රටේ පවතින ගෑස්, සිමෙන්ති, භූමිතෙල් පෝලිම් අතරට ඉටිපන්දම් පෝලිමක් එකතු වුවද එය පුදුමයට කාරණයක් නොවන්නේ ‘පෝලිම’ දැන් දැන් සාමාන්‍යකරණය වී ඇති බැවිනි. එහෙත් ඉටිපන්දම් හිඟයද ජනතාව පැත්තෙන් යම් අනතුරක් බව පෙනී ගියද ඉටිපන්දම් දල්වා භාවිත කිරීම ඊට වඩා භයානක බව පෙන්වාදිය හැක්කේ එය ගින්දර සමග කරන ගනුදෙනුවක් නිසාය.   

 

 

දොම්පේ - අජිත් මදුරප්පෙරුම