පත්තරෙන් සිය බස නැඟූ මහ ගුරු


(ඩී.එෆ්. කාරියකරවන සූරීන් ගේ උපත් සියවස් සමරුව නිමිත්තෙනි.)   

මීගමුව කුරණ ගම් පියසේ ව්‍යාපාරික මනුවෙල් කාරියකරවන පියාණන්ට දාව 1922 පෙබරවාරි 08 දින එව්ජින් ෆොන්සේකා මෑණියන්ගේ කුසින් මෙලොව එළිය දුටු ඩී.එෆ්. කාරියකරවන දරුවා බෝලවලාන කතෝලික ගැහැනු පාසලින් ද බෝලවලාන පිරිමි පාසලින් ද අධ්‍යාපනය ලබා පසුව අඟුරුකාරමුල්ල පොඩි පන්සලේ වැඩ සිටි මීගමුවේ ජිනවංශ, දැවමොට්ටාවේ අමරවංශ යන මාහිමිවරුන්ගෙන් පාලි හා සංස්කෘත භාෂා පිළිබඳ දැනුම ද ලැබීමේ ප්‍රතිඵලය වූයේ පසු කලෙක භාෂාව පිළිබඳව සංවේදී වූ විශිෂ්ට පත්‍ර කලාවේදියකු රටට දායාද වීමයි.   


තරුණ අවදියෙහි දී ම පෑන සිය අතට සුහුරු කැරගත් ලේඛකයකු වූ හෙතෙමේ පේරාදෙණිය ගුරු පුහුණු විදුහලට ඇතුළත් ව පුහුණුවෙන් පසුව ජාඇල ක්‍රිස්තුරාජ විද්‍යාලයෙහි ආචාර්යවරයකු ලෙස සේවයට බැඳුණේ ය. එහි වැඩි කලක් නො රැඳී, ඔහු ‘ඥානාර්ථ ප්‍රදීපයෙන්’ පුවත් පත් කලාවට අත පොත් තබන්නේ ඒ සඳහා ම උපන්නකු වූ හෙයිනි. සිය පසළොස් වියෙහි දී සිළුමිණෙහි ‘පුරුද්ද’ නමින් කෙටි කතාවක් පළ කරවන්නේ එ කරුණ සනාථ කරමිනි. 1947 දී ටයිම්ස් සමාගම ඇරැඹූ ‘ලංකාදීප’ මුල් කතු මඬුල්ලට බැඳුණු කාරියකරවන නම් වූ තරුණ පත්‍රකලාවේදියා එම පත්‍රය ඇරැඹීමට පුරෝගාම වූ ඩී.බී. ධනපාලයන් ගේ අරමුණුවලට ගැළපෙන අයුරින් දේශීය පත්‍ර කලාවේ නව නැම්ම මැනැවින් හඳුනාගෙන ඊට මනා ජවයක් ලබා දුන්නේ ය.   
1951 දී ලේක්හවුස් ආයතනයෙන් කැරුණු ඇරියුමක් මත දිනමිණ උපකර්තෘවරයකු ලෙස බැඳුණු කාරියකරවන මහතා පත්‍රයේ අලෙවිය ද වැඩි වන අයුරින් දිනමිණ නව මඟකට ගෙනාවේ ය. 1965 දී ‘ජනතා’ පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා ලෙස පත් වූ කාරියකරවනයෝ සිය නමට ම අන්වර්ථ වන අයුරින් එවක බොහෝ දෙනා ගේ අවධානයට ලක්ව නොතුබුණු එම පත්‍රය ආකර්ෂණීය ජනතා පුවත්පතක් බවට පත් කිරීමට සමත් වූහ. එතුමා ගේ කර්තෘත්වය යටතේ තරුණ පාඨකයන් සඳහා පළ කැරුණු ‘යොවුන් ජනතා’ හා ‘ක්‍රීඩා’ යන පුවත්පත් දෙක ද බෙහෙවින් ජනාදරය දිනාගත්තේ ය.   


1968 දී එවක අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා ගේ මෙහෙයීම මත ප්‍රාමාණික විද්වත් මණ්ඩලයක් විසින් “සම්මත සිංහලයක්” සැකැසුණු අවස්ථාවෙහි එය ඉදිරියට ගෙනෙන්නට ‘ජනතා’ පුවත්පත කළ මෙහෙවර කිසි දා අමතක කළ නොහැකි ය. සම්මත සිංහලයට විරුද්ධව ඇතැම් පුවත්පත් පවා කඳවුරු බැඳගත් අවස්ථාවෙහි දී කාරියකරවනයන් අභීතව මේ සඳහා ඉදිරිපත් වූයේ රාජ්‍ය පාක්ෂිකත්වයෙන් තොරව සිංහල භාෂාවේ නිවැරැදි වහර පණ ගැන්වීම උදෙසා එහි ඇති කාලීන අවශ්‍යතාව සලකා ය. සරසවි ඇදුරන් පිරිසක් ඇමැතිවරයාට විරුද්ධව ගෙන ගිය උද්ඝෝෂණ ව්‍යාපාරයට සම්මත සිංහලය ද ඈඳා ගැනීම නිසා එය ජාතියට අහිමි වී යෑමේ දුර්විපාක අපි අද අත්විඳිමු.   
කාරියකරවනයෝ සිය පුවත්පත් කතු කාරිය නව මඟකට ගෙනාවෝ ය. පුවත් පතේ මුහුණුවර, සැලැස්ම, නවමු ලෙස පුවත් ඉදිරිපත් කිරීම මතු නොව භාෂාවෙහි නව ප්‍රවණතා ද එමඟින් මතු කැරිණි. ඒ සැමට වඩා ඉස්මතු ව පෙනුණු කරුණක් නම් බසේ නිවැරදි වහර රැකගැනීමට ඔවුන් දැරූ මහදුත්සාහය යි. පුවත්පත සඳහා ඔවුන් භාවිත කෙළේ වියත් වහරත් ජන වහරත් මුසු කැරගත් සරල නව්‍ය භාෂා ව්‍යවහාරයෙකි. කාරියකරවන සූරීන් සිය කෘතිවලට නම් තැබීමේ දී ද මේ නියර ම භාවිත කළ බව චීන පටස්, බස නැසෙන හැටි, අරුත් නිරුත්, දසක සතක මතක, මතක පොතේ ඉතිරි හරිය, මතක පොතෙන් තවත් ටිකක්, තව තවත් මතක යන නම්වලින් පැහැදිලි වේ. 

 
 1980 දී ‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘ ධුරයට පත් කාරියකරවන සූරීහූ නව මුහුණුවරින් යුත් විශේෂාංග එකතු කරමින් එහි පැරැණි ශාස්ත්‍රීය ආකෘතියට ද නව මුහුණුවරක් දුන්නෝ ය. සිළුමිණ කතු වැකිය සිය අත් අකුරින් ම තබන්නට ඔහු නවීන මුද්‍රණ කලාව මැනැවින් උපයෝගී කැරගත්හ. ප්‍රවෘත්ති සන්නිවේදනයෙන් ඔබ්බට ගොස් සිංහල භාෂා ප්‍රවර්ධනයට ද පුවත්පත උපයෝගී කැරගත් භාෂාප්‍රේමී කර්තෘවරුන් අතර එතුමා දෙවැනි වනුයේ ලංකාදීප කතුවරයා ව සිටි මහානාම දිසානායකයනට පමණි. එ කල ගුණපාල සේනාධීර පඬිතුමන් ලවා ‘නිවැරදි වහර’ නමින් අගනා ලිපි පෙළක් ලියවා පළ කරන ලද්දේ ද කාරියකරවනයන් විසිනි. ඔවුන් විසින් සිළුමිණට තීරු ලිපි වශයෙන් ලියන ලද ‘බස නැසෙන හැටි’, ‘අරුත් නිරුත්’, ‘දොස් නිදොස්’ යන ලිපි ද ‘කාරිගේ තීරුව’ ද නිවැරදි වහර සමාජගත කරන්නට එතුමන් දැරූ අනවරත ප්‍රයත්නයට කදිම නිදසුන් ය.   
 පුවත්පතට මතු නො ව පුවත්පත් කලාවේදීනට ද එතුමෝ මහැදුරාණ කෙනෙක් වූහ. මාධ්‍යකරණයට ඇවැසි දැනුම හා පුහුණුව සඳහා සිංහල පුවත්පත් මාධ්‍යවේදීනට පළමුවරට දෙස් විදෙස්හි දොර ඇරදුන්නෝ ඔහු ය. ඒ සඳහා සුනිසි පාඨමාලා සකස් කරමින් ද ‘අභ්‍යාස හා පර්​ෙ‌ය්ෂණ කේන්ද්‍ර’ ආරම්භ කරමින් ද එය ශාස්ත්‍රීය පිළිගැනීමට බඳුන් වනු පිණිස මහාචාර්ය ජේ.බී. දිසානායකයන් සමඟ විශ්වවිද්‍යාලයීය ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලා ආරම්භ කරමින් ද මේ මහා පත්‍ර කලාවේදියාණන් ශ්‍රී ලංකාවේ මුද්‍රිත ජනමාධ්‍යවේදීනට කළ මෙහෙවර නොමැකෙන මතක සටහන් ලෙස පවතිනු නොඅනුමාන ය.   


ඩී.එෆ්. කාරියකරවන සූරීහූ සිය තුරුණු වියෙහි දී කිවි පද බැඳුම්හි සුරුකම් දැක්වූ කිවියකු ලෙසින් පළට ව සිටියහ. ශෝක ගීතය, කාව්‍ය මඤ්ජරී යන කාව්‍ය ග්‍රන්ථවලින් එතුමන් කාව්‍යකරණයෙහි දැක්වූ සමත්කම් මැනැවින් හඳුනාගත හැකි ය. නව මඟක් ගත් ලේඛකයන් ලෙස එ කල ප්‍රකට ව සිටි කුමාරතුංග මුනිදාස, ඩබ්.ඒ. සිල්වා, හේමපාල මුනිදාස, ටී.ජී.ඩබ්. ද සිල්වා, ජූලියස් ද ලැනරෝල් වැනි ප්‍රශස්ත ලේඛකයන් ගේ නොමඳ පැසැසුමට ලක් වූ කිවියකු ලෙස කාරියකරවනයෝ එ කල කිවියන් අතර නමක් දිනාගෙන සිටියහ. එහෙත් සිය අතත් හිතත් පෑනත් පුවත්පත් කලාවට ම නතු කැරලීමේ හේතුවෙන් කාරියකරවන කිවියා අකාලයේ සාහිත්‍ය ලෝකයෙහි සැඟැවී ගිය බව සඳහන් කළ යුතු ය. එකල ‘නවීන පද්‍ය රචනා’ කෘතියෙහි ‘කොහි ද කවියා ගේ සොහොන’ යන හිසින් පළ වූ කව් පෙළින් පැදි දෙකක් මෙහි ඇද දක්වන්නේ එතුමන් සතු ඒ කිවියාව හඳුනාගැනීම පිණිස ය.   


’වැලැපෙව වැලැපෙව මඳුරු තතේ   
තනි වැ මැ වැලැපෙව අඳුරු පෙතේ’   
යන එ මැ සෝ ගී ලියු ම-සිතේ   
මම යමි කිවිඳු ගෙ සොහොන වෙතේ   
බක්මී පර මල් ගිය ඉතිරී   
හෙළ වැලි මතැ බැරි තැනැ වැතිරී   
එළියෙන් රෑ තරු කනමැඳිරී   
යමි ඔහු සොහොනට කොහො මැ හරි   


 ශ්‍රී ලංකාවේ පත්‍ර කලාවේදීනට පහන් ටැඹක් සේ නව මංපෙත් පෑදූ, අභිමානය ඉපැදවූ මේ නොවහල් මහ ගුරුතුමා සිය දිවියේ අවසන් ඉමේ සිටිමින් පවා ‘භාෂා ප්‍රේමී සන්ධානය’ නමින් සංවිධානයක් පිහිටුවීමෙන් පසක් වනුයේ නිවැරදි හෙළ බස් වහර එසැවීමට කොතරම් දිරියක් අදිටනක් ඕනෑකමක් එතුමාට තුබුණේ ද යන්න ය.   

 

 


තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි