නිදහස් වෙන්න සිටි සිරකරු ආවේ පෙට්ටියෙන්


“සිරකරුවෝද මනුෂ්‍යයෝය” ඒ වැලිකඩ බන්ධනාගාර තාප්පයේ කාටත් පෙනෙන්නට ලියා ඇති වදන් වැලකි. එය ඇතැමුන්ගේ මුවින් පිටවන බණ පද සේම වදන් වැලක් පමණක්ම බව වැලිකඩ බන්ධනාගාර ඉතිහාසය මෙන්ම රට පුරා සෑම බන්ධනාගාරයක් තුළින්ම විවිධ අවස්ථාවල අසන්නට ලැබෙන පුවත් තුළින් තහවුරු කර තිබේ.   

එය කොයිතරම් දුරට තහවුරු කරන්නේද යත් සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධාන බිහිකරන්නට පොලඹවන තැනටම සිරකරුවන් කෙරෙහි බන්ධනාගාර තුළ ඇතැම් නිලධාරීන් මෙන්ම ඇතැම් බාහිර පාර්ශ්ව දක්වන සැලකිල්ල බලපා තිබේ.   

 

බන්ධනාගාරයක් තුළට සිරකරුවෙක් යොමු කරන්නේ ඔහු හෝ ඇයට දඬුවම් ලෙස මෙන්ම ඔවුන් සමාජයට හිතකර පුද්ගලයෙක් බවට පත්කර සමාජයට එකතු කිරීමේ අරමුණද ඇතිවය. එහෙත් අද බන්ධනාගාරයට යොමුකරන පුද්ගලයකු එයින් එළියට එන්නේ ගියාට වඩා දරුණු අපරාධකරුවෙක් නිර්මාණය කළ හැකි අදහස් ගොන්නක් ඔලුවේ දරාගෙනය. එසේම ඇතැම් අවස්ථාවල කුමන හෝ හේතුවක් මත බන්ධනාගාරය තුළ සිදුවන ගැටුමකින් සිරකරුවන් බරපතළ තුවාල ලබන්නේය. නැතහොත් මරණයට පත් වන්නේය.   

එවැනි සිදුවීමක් පසුගියදා කදුරුගස්ආර එළිමහන් වැඩ සිරකඳවුරෙන්ද වාර්තා විය. එය සිදුවන්නේ පසුගිය 14 වැනිදාය.   


සිදුවීමට මුහුණ දෙන්නේ මාතර කනංකේ කන්දවත්ත ගමෙහි පදිංචිව සිටි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති හතළිස් හත් හැවිරිදි පුද්ගලයෙකි. විවාහකයෙක් වූ ඔහු තිදරු පියෙකි. වැඩිමහල් දියණිය විවාහකව වෙනම ජීවත් වන අතර බාලදරුවෝ තවමත් දෙමාපිය හවුහරණ යටතේ වෙසෙන දහසය හැවිරිදි හා දහඅට හැවිරිදි නවයොවුන් තරුණයෝය. චමින්ද එතරම් දුරට ඉගෙන ගත් අයකු නොවේ. ඒ නිසා කාර්යාලයක රස්සාවක් කරන්න ඔහුට හැකියාවක් තිබුණේ නැත. එහෙමය කියා ඔහු පවුල නඩත්තු කිරීම අත්හැරියේ ද නැත. කුලියක් මලියක් කර හෝ දරු පවුල රැක්කේය.   


චමින්ද බන්ධනාගර ගත වන්නේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවකට වැරදිකරු ලෙස ඔප්පුවීම නිසාත් මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් එයට දඬුවම් ලෙස වසර තුනක බරපතළ වැඩ ඇති සිරදඬුවම් නියම කළේය. ඒ අනුව පළමුව ඔහුව මාතර බන්ධනාගාරයට යොමු කළේය. දෑතේ දෙපයේ වැඩ සේම ඉවුම් පිහුම්ද ඔහුට හොඳට හුරුපුරුදුය. ඒ නිසා බන්ධනාර නිලධාරීන්ගේ හිත දිනාගැනීමටද ඔහු සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඊට වඩා හොඳ බන්ධනාගාරයක් වෙත යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කළේය. ඒ අනුව ඔහු අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කෙරිණ. එහිදීත් බන්ධනාගාර නිලධාරීන්ගේ හිත දිනාගත් චමින්ද සුළු වැරදිවලට බන්ධනාගාර ගතවූ දරුණු ඝනයේ අපරාධකරුවන් නොවන පිරිස් රඳවා තබන කදුරුගස් ආර එළිමහන් වැඩ සිරකඳවුරට මාරු කරනු ලැබීය.   
මෙම සිරකඳවුරේ වටේට තාප්පයක් නැත. එය වටකර තිබුණේ කබ්බිවැටකින් පමණි. එහෙත් එම කම්බි වැටෙන් එහාට පවතින කැලෑව නිසාත් කඳවුරට ආරක්ෂාවක් ඇතැයි පාලනාධිකාරය විශ්වාස කළා සේම මෙහි සිටින්නේ දරුණු අපරාධකරුවන් නොවූ නිසා එයින් පලායාමට ඔවුන් තැත් නොකරනු ඇතැයි කල්පනා කරන්නට ද ඇත. ඒ නිසා එම කඳවුර වටා විශාල තාප්ප බැඳුණේ නැත. ඒ නිසා එහි සිරකරුවන් සිටියේ ද නිදහස් සිතුවිල්ලෙනි.   


මෙම බන්ධනාගාරයේදී ද චමින්ද කාගේත් විශ්වාසය දිනාගත්තේය. ඒ නිසා අවශ්‍ය නම් දඩයක් ගෙවා එළියට යා හැකි ලෙස හදලා දෙන්නම් යැයි බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් යෝජනා කළේය. එහෙත් එවැනි දඩයක් ගෙවන්නටද තම බිරිඳට හෝ දරුවන්ට බරක් නොවිය යුතු යැයි කල්පනා කළ චමින්ද එම යෝජනාව ප්‍රතික්ෂේප කළේ ‘‘කමක් නැහැ තව ටික කාලයයිනේ මම ඉවසගෙන ඉන්නම්’’ යැයි පවසමිනි.   
මෙම කඳවුරේදී ඔහුගේ හිත දිනාගත් නිලධාරීහු කීපදෙනෙක් ඔහුට උදව් කළහ. ඒ නිවැසියන්ට කතා කරන්නට අවස්ථාව සලසා දෙමිනි. එහිදී එම නිලධාරීන් ඔහුට ස්මාට් ජංගම දුරකථනයෙන් දියණියට කතා කරන්නට අවස්ථාව සලසා දී ඇත.   


 මෙලෙස ජංගම දුරකථනයෙන් කතා කරන්නට ඉඩදීම වෙනුවෙන් වතාවකට රුපියල් එක්දහස් පන්සීයක් වැනි දඩයක් නියම කෙරිණ. එය දඩයක් යැයි පැවසුවද එය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගිණුම්ගත වුණේ නැත. ඒවා බැරවූයේ සිර කඳවුරේ ඇතැම් නිලධාරීන්ගේ ගිණුමටය. එයින් නොනැවතුණ මේ නිලධාරීහු ඔහු දැක බලාගෙන කතා කරන්නටද අවස්ථාව සලසා දුන්නේය. එසේ කතා කරන්නට පැය දෙකහමාරක තුනක පමණ කාලයක් ඔහුගේ පවුලේ අයට ලැබිණ. ඒ වෙනුවෙන් රුපියල් පන්දහසක මුදලක් එක් වරක් වෙනුවෙන් ගෙවන්නට සිදුවිය. එසේ සිටින අතරතුර ඔහු වෙනුවෙන් බලන්නට දරුවන් පැමිණියේ අද ඊයේ නොවීය. ඊට එතනින් එහා ගමනක් විය. වීඩියෝ දුරකථන ඇමතුම් මගින් පවුලේ ඥාතීන් බලාගන්නට අවස්ථාව සලසා දීමය. ඒ වෙනුවෙන් වරකට රුපියල් එක්දහස් පන්සීයක මුදලක් අය කරනු ලැබීය. මෙතරම් මුදලක් තාත්තා වෙනුවෙන් වැය කරන්නට දියණියන්ට හැකියාවක් තිබුණේ නැත. ඒ නිසා තාත්තා බලන්නට පැමිණීම අඩුවිය.   
මෙසේ පියා බලන්නට වීඩියෝ දුරකථන ඇමතුම් ලබාගන්නා පවුලේ වැඩිමහල් දියණියට අමුතු හැසිරීමක් නිරීක්ෂණය විය. එනම් මෙවැනි අැමතුමක් ලබාදෙන්නට මුදල් අවශ්‍ය නොවන බවද ඒ වෙනුවට තමන් සමග කතා කරන ලෙසද එක් අයකු දියණියට යෝජනා කළේය. ‘‘මම රෑ වෙලා කතා කරන්නම් පැටියෝ’’ යැයි ඔහු චමින්දගේ දියණියට පැවසුවේය. චමින්දගේ වැඩිමහල් දියණිය විවාහකය. දරුවන් දෙදෙනෙක්ද සිටී. මේ අමුතු යෝජනාවෙන් ඇය සැපින්නක සේ කිපුණාය. තවත් දින දහයකදී පියා සජීවීව බලන්නට අවස්ථාව තිබියදී අහුවෙන ඕනෑම ජංගම දුරකථනයකින් මෙසේ කතා කරන්නට පෙළඹීම සම්බන්ධයෙන් දියණිය නොරොක් වූවාය. පියා බලන්නට අමුතු යෝජනාව කළ නිලධාරියා ගැන ඇය සිය පියාට දැනුම් දුන්නේ තමන්ට කලින් උදව් කළ බන්ධනාගාර නිලධාරියා මගිනි. ඔහු ඒ බව චමින්දට කියා ඇත.   


ඇතිවූයේ මහත් ව්‍යසනයකි. චමින්ද මෙයට සම්බන්ධ අයකු සමග ගැටුමක් ඇති කර ගත්තේය. මෙය කෙළවර වූයේ චමින්දගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයෙන් හමුවීමෙනි.   
චමින්දගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය මුලින්ම දැක්වූයේ ඉතාමත් නොසැලකිලිමත් පිළිතුරකි. ඒ ඔහු බන්ධනාගාරයෙන් පසුගිය 13 වැනිදා රාත්‍රියේ පැන ගිය බවය. එසේ පැන ගිය ඔහු ගමේ අයට හසුවී පහරදී සිටියදී 14 වැනිදා උදේ පාන්දර හයට පමණ හමුවූ බවය. ඉන්පසු ඔහු රෝහල් ගතකළ බවද බන්ධනාගාරය වෙනුවෙන් පොලීසිය කට උත්තර බැන්ඳේය. එහෙත් මිය ගිය චමින්දගේ දියණිය පවසන්නේ උදේ හයට හමුවූ බව කියන පියා ගමේ අය පහරදීමෙන් ඇතිවූ බව කියන තුවාල සමග රෝහල් ගත කර තිබෙන්නේ 14 වැනිදා දහවල් 12.55ට බවය. එතරම් අමාරු තත්වයක සිටියේ නම් ඔහු පැය පහක් හයක් බන්ධනාගාරයේ තබාගත්තේ ඇයි? ඒ දියණිය නගන පැනයය.   


චමින්දගේ වැඩිමහල් දියණිය දිලානි මංජුලා මෙසේද පවසන්නීය.   


‘‘මගේ තාත්තාට මම අන්තිමට කතා කළේ පසුගිය දහවැනිදා. එදා එයා කිව්වා මාත් එක්ක ආපසු කතා කරන්න ලැබෙයිද කියලා කියන්න බැහැ කියලා. එදා කතා කළ හැටියට එයා ගොඩක් ගැටලු සහිතව ඉන්නවා කියලා තමයි මට දැනුණේ. ඒ වෙනකොට මගේ ප්‍රශ්නය නිසා එයා අර නිලධාරියා සමග ගැටුමක් ඇති කරගෙන බව මට දැනගන්න ලැබුණා. ඒ වගේම ඔය සිදුවීමට කලින් අපට තාත්තාට කතා කරන්න උදව්කළ නිලධාරියා කතා කරලා කිව්වා ඔයාගේ තාත්තා මෙහාට කුඩු එන හැටි අරවා මේවා ගොඩක් දේවල් කියලා අපිව පාවා දීලා තියෙන්නේ. මූ මැරුවත් මදි කියලා. ඊට පස්සේ තමයි එයා පැනලා ගිය කතාව කිව්වේ. ගමේ අය එයාට ගැහුවා නම් කෝ ගහපු අය? ඇයි පොලිසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැත්තේ? මට මේ මරණය ගැන බරපතළ සැකයක් තිබෙනවා යැයිද ඇය සඳහන් කළාය.   


   වැඩිදුර සාක්ෂි විභාගය පසුගිය 01 වැනිදා පැවති අතර එහිදී කඳුරුගස්ආර එළිමහන් සිරකඳවුර භාර ප්‍රධාන ජේලර් නලින් ප්‍රදීප් මහතා සඳහන් කළේ මරණකරු වන චමින්ද නමැත්තා තමා යටතේ පැවති බන්ධනාගාරයේ සිරකරුවෙක්ව රඳවා සිටියදී පසුගිය මස 13 වැනිදා රාත්‍රියේ පළාගොස් ඇති බවය. එසේ පලාගිය සිරකරු සොයා බන්ධනාගාර නිලධාරින් කණ්ඩායමක් ගමට ගොස් සැඟව සිටියදී 14 වැනිදා අලුයම ඔහු හමුවූ බවය. එසේ හමුවන අවස්ථාවේ ඔහු ගමේ අයගෙන් පහර කා තුවාල ලබා සිටි බවද ඔහුගේ ඇඟපත නිල්වී තිබූ බවද පසුව බන්ධනාගාරය වෙත කැඳවාගෙන විත් ඔහු ඇඳ සිටි ඇඳුම් ඉවත්කර ඒවා සෝදා දමන ලෙස රැඳවියකුට ලබාදුන් බවද එසේ ලබාදුන්නේ කුමන රැඳවියාටදැයි තමන්ට මතක නැති බවද ප්‍රධාන ජේලර්වරයා සිය සාක්ෂියේදී පැවසීය. එම ඇඳුම් පසුව පොලිසියට භාරදුන් බවද ඔහු පැවසීය.
එහිදී බන්ධනාගාර නියාමක ලසන්ත කුමාර මහතාද සාක්ෂි ලබා දුන්නේය. ඔහුගේ අදහස්ද ප්‍රධාන ජේලර්ගේ අදහස හා සමාන විය. 


මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා මෙසේ පැවසීය. 

 
‘‘මේ මරණය ගැන අපිට බරපතළ සැකයක් තිබෙනවා. මෙයා බන්ධනාගාරයෙන් පැනලායද්දී ගමේ අය අල්ලලා ගහලා කියලා තමයි අපිට කිව්වේ. ඔහු බරපතළ තුවාල සමග රෝහල් ගතකළ බව කියනවා. එහෙත් රෝහල් ගත කරද්දීත් ඔහු මිය ගොස් සිටි බව තමයි රෝහලෙන් දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම ඔහු මැරෙන්න කලින් ලියලා දුන්නා කියලා බන්ධනාගාරයෙන් ලියුමක් ඉදිරිපත් කරනවා. මරණාසන්න තුවාල සහිතව ඉන්න කෙනෙක් කොහොමද ලියුමක් ලියන්නේ? අනික ඇයි කාගෙවත් බල කිරීමක් නොවුණා නම් එවැනි අසාධ්‍ය තත්ත්වයක සිටියදී ලියුමක් ලියන්නේ? මෙතන තිබෙන බරපතළම ප්‍රශ්නය තමයි එයා අකුරු ලියන්න දන්නේ නැති කෙනෙක් වීම. කවදාවත් ඔහු ලියුමක් ලියලා නැහැ. ඒ වගේම මිය ගිය චමින්දට පහරදුන් බව කියන ගමේ කිසිවෙක් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කරලා හෝ කට උත්තර ලබාගෙන හෝ නැහැ. ඒ නිසා මේක බරපතළ සැකයක් ඇතිකරන මරණයක්.   


දැන් මේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදුන්නාට පස්සේ චමින්දගේ දුවට කතා කරලා පොලිසියට කට උත්තරයක් දෙන්න කියලා දැනුම් දීලා. දැන්ද පොලිසිය ඇගෙන් කට උත්තර ගන්නේ. මේ කරන්න හදන්නේ ඇය බිය ගැන්වීමක්. ඒක වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත උල්ලංඝනය කිරීමක්. අපි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ලෙස මෙම මරණයට සාධාරණයක් ඉටුවන තෙක් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.   


මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි ඒකකය යටතේ පරීක්ෂණ කණ්ඩායම් දෙකක් විමර්ශන සිදුකරන බවය.   


මේ වන විට සිදුවීමට සම්බන්ධ බව කියන නිලධාරීන් කීපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවද පැවසේ.   

 

 

 

සටහන
මුදිතා දයානන්ද