නවකයන්ට සෙවණ දුන් සනත්ගේ පුංචි ගෙදර


 

මහාචාර්ය සනත් නන්දසිරි හා මල්කාන්ති පීරිස් විවාහ වී 50 වසරක් ගත් වුණේ පසුගිය දෙසැම්බර් 18 වැනිද‌ාය. විශේෂයෙන්ම කලා ක්ෂේත්‍රයේදී 50 වසරක් විවාහ ජීවිතයක් පවත්වාගෙන යෑම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.   


 හැත්තෑ ගණන්වල මා සනත් - මල්කාන්ති යුවළ හඳුනා ගන්නා විට ඔවුන් පදිංචිව සිටියේ නුගේගොඩ සුපිරි වෙළෙඳසලට ඉතා කිට්ටුවෙන් පිහිටි සුන්දර ගෙවුයනක් සහිත නිවසකය. පරණ තාලේ එය ඈත සිට බැලූ විට පෙනෙනුයේ කුඩාවටය. එහෙත් එහි ඇතුළත විශාල විය.   


 කෙටි තාප්පයකින් හා කුලුනු වලින් සැදී විවෘතව පැවැති ඒ නිවෙස පරණ තාලේ ඉස්තෝප්පුවේ හැම විටම හාන්සි පුටු කිහිපයක් තිබුණේය. දොර ළඟම දකුණු පැත්තේ පුටුව වෙන්වී තිබුණේ විශාරද සනත් නන්දසිරිටය. (එකල ඔහු විශාරද සනත්ය.)   


ඔහු අප සමග කතා බහ කළේ ඒ පුටුවේම හරි බරි ගැහී වාඩි වීය. බොහෝ විට බතික් සරම කෙටියට හැඳ උඩුකය නිරාවරණව සිටින සනත් අප සමඟ බොහෝ දේ කතා කළේය.   


 බොහෝ විට කීවේ සංගීත ක්ෂේත්‍රයේ මේ ගමන එන්නට දුක් වින්දේ නැති බවය. තමන්ගේ දියණිය කලාකාරිනියක කරන බවය. ඔහුට සිතේ ඇති හැඟීම් සඟවාගෙන සිටීමේ පුරුද්දක් නැත. අසාධාරණයේදී කියන දේ කෙළින්ම කියා දැම්මේය.   


මල්කාන්ති පුටුවක වාඩි වී අප සමග කතා කළේ කලාතුරකිනි. ඇය උළුවස්ස ළඟ රැඳී සනත්ගේ කතාවට සම්බන්ධ වෙයි. කිසියම් අසාධාරණයකදී සනත් තදින් කතා කළ විට ඇය ඔහුගේ උරහිසට සෙමෙන් තට්ටු කළාය.   


මා එහි යන එන කාලයේ මල්කාන්තිගේ පියා (හැරිසන් පීරිස්), මව (රෙජිනා පීරිස්) නැගණිය වූ සකුන්තලා, මලනුවන් වූ මනෝජ් ද එහි පදිංචිව සිටියහ.   


මනෝජ් සිටියේ ගෙදර ඉදිරිපස කාමරයකය. අනුරාධා එකල පාසල් යන වයසේය. එහි යන හැම කෙනෙකුටම සංග්‍රහ කරන්නට කේක් හා සිසිල් බීම හැම විටම සූද‌ානම්ව තිබුණේය. ඒ සඳහා එකල ඔවුනට සෑහෙන මුදලක් දිනකට වියදම් වන්නට ඇතැයි සිතමි.   


 ඉස්තෝප්පුවේ හාන්සි පුටු පිරී නොගිය දවසක් නැති තරම් විය.   


 විශේෂයෙන් නවක ගීත රචකයන්ට සනත්ගේ ඒ පුංචි ගෙදර ක්ෂේම භූමිය වූ බව නොලියාම බැරිය.   
 සනත්ට ඕනෑ තරම් සංගීත වැඩසටහන් තිබුණේය. ප්‍රසංගවලින්ද, එමෙන්ම උත්සවවලින්ද අඩුවක් නොවීය. ඔහුගේ ස්වර්ණ කුණ්ඩල ප්‍රසංගය ද මෙකල පැවැත්වෙමින් තිබිණ. ඒ හැරුණු විට නවක ගායක ගායිකාවන්ට තනු නිර්මාණය කිරීමේ අඩුවක් ද නොවීය. ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම සංදර්ශන සංවිධායකවරුද නිතර පැමිණියහ.   


බොහෝ නවක ගායක ගායිකාවෝ සනත්ට කියා තනු නිර්මාණය කර ගත්හ. නැතහොත් සනත්ගේ ඇරයුමෙන් වෙනත් සංගීත අධ්‍යක්ෂවරුන් වෙත ද එය පැවරිණි.   


 මගේ මුල්ම යුගයේ ගීත රැගෙන ගියේ ද සනත් වෙතය. ඒ සරල ගී වැඩසටහන් සඳහාය. සනත්ට මා ලියූ මුල්ම ගීතය වූ කඳුකරයේ මල් සැණකෙළියේ ලියන්නට වූයේ ඔහු විසින් නිර්මාණය කරන ලද තනුවකටය.   
ශ්‍රී ලංකාවේ සිටි සංගීත අධ්‍යාපනයෙන් ඉහළම සුදුසුකම් ලැබූ දෙතුන් දෙනා අතර සනත් එකල ද මුල් පෙළේ සිටියේය. ඒ නිසා සනත්ට ගීතයක් ලිවීම තරමක චකිතයක් මා තුළ ඇති කෙළේය.   
 ගීතය ලියා සනත්ට දුන් පසු ඔහු එය කියවා බැලුවේවත් නැත.   


 “සනත් අයියේ මෙලඩි එකට හරියනව ද කියල පොඩ්ඩක් බලන්න” යැයි මා කී විට ඔහු උඩින් පල්ලෙන් එය බැලුවේය.   


‘හරි මල්ලී එනවනෙ රෙකෝඩින් එකට’ ඔහු මට දිනයක් කීවේය.   


ගීත රචකයකුට තමන්ගේ ගීතයක් පටිගත කිරීම දැකීම මොන තරම් සතුටක් ගෙන දෙන්නක්ද?   
‘මම එන්නම් එස්.එල්.බී.සී. (ගුවන් විදුලියට) එකට වෙලාවට’ මම කීවෙමි.   


නෑ මල්ලි අපි මෙහෙන් යන්නේ හයහමාරට විතර. මෙහෙ එන්න අපිත් එක්කම ගියැකි’ මා එකල බෝඩිං වි සිටියේ කොළඹ නාලන්ද විදුහලට කිට්ටුව පිහිටි සිරිධම්ම මාවතේය. මවුන්ට් මේරියෙන් බසයක් ගත් විට ගුවන් විදුලියට විනාඩි පහළොවක පමණ ගමනකි.   


සනත්ගේ හැටි එහෙමය. ඔහු කැමැති බොහෝ පිරිස් සමඟ එක්ව යන්නටය.   


 ඔවුන්ගේ හිත රිදවන්නට අකමැති නිසා මම නුගේගොඩට ගොස් සුපුරුදු පරිදි කේක් කා සිසිල් බීම බී රාත්‍රී හතහමාරට පමණ ඔවුන් සමගම ගුවන් විදුලියට ආවෙමි.   


 ගීතය පටිගත වී දින කිහිපයකින් එය ගුවන් විදුලියේ ප්‍රචාරය වූයේ මගේ නම ද සහිතවය. වෙනත් ගුවන්විදුලි නාලිකා එකල නොතිබුණු බැවින් මා ගීත රචකයා ලෙස ඉන් ලැබූ ප්‍රතිචාර අපමණය. 

 
 ඒ කාලයේ ප්‍රණීත් අභයසුන්දර, (දැන් ජයවර්ධනපුර සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය) ධර්මරත්න පෙරේරා, ආනන්ද පද්මසිරි, චමින්ද වෙලගෙදර, කැමිලස් පෙරේරා, ප්‍රියානන්ද විජේසුන්දර ආදී බොහෝ තරුණ ගීත රචකයන් නිරතුරුවම සනත්ගේ නිවසේ දැකගත හැකි විය.   


එය ඇත්තෙන්ම නවක ගීත රචකයන්ට සෙවණ සද‌ාලූ අපූරු තැනක් විය. ඒ හැරුණු විට එවකට ශ්‍රී ලංකාවේ නම් දැරූ බොහෝ ගීත රචකයෝද ගායක ගායිකාවෝ ද නිතර ආහ.   


ගීත රචනා කිරීමේදී සනත්ට ප්‍රවීණ නවක භේදයක් නොවීය.   


ගීත රචනා තෝරාගෙන කිරා මැන බලා ගායනා කිරීමක් නොවීය. සනත්ට තම කටහඬ ගැනත් ගායන ශෛලිය ගැනත් අපමණ විශ්වාසයක් තිබුණේය. ඇතැම් ප්‍රබුද්ධ ගායක ගායිකාවන් එකල ද නවක හා ගීත රචකයන්ගේ ගීත ගායනා කළේ දහසක් සීමා මධ්‍යයේය. ඔවුහු නවකයන් නොසලකා හැරියහ.   


මගේ ගීත තරමක් ජනප්‍රිය වෙත්ම මට ගුවන් විදුලි වැඩසටහනක්ද ලැබිණ. ආරියසේන හඳුවල ඉදිරිපත් කළ ‘චන්ද්‍ර මඩුළු යට’ එවැන්නකි. එය ප්‍රවීණ ගීත රචක මහින්ද අල්ගමගේ නිෂ්පාදනයක් විය. එහි මා තෝරාගත් එක් ගීතයක් නිසා මල්කාන්ති මට නෝක්කාඩුවක් කීවාය.   


‘අපි නම් දන්නෙ මල්ලි මුලින්ම ගීතයක් ලිව්වේ සනත් අයියට කියලා.’   


කෙසේ හෝ නෝක්කාඩුවෙන් පසුත් ඔවුන්ගේ කැසට් පට කිහිපයකටම ගීත ලියන්නට මට ඉඩ ලැබිණ.   
 ගීතයක් ලියා පටිගත වූ පසු ඇතැම් විට එහි ගීත රචක ගාස්තුව ලැබෙන්නේ පසුවය.   


සනත්ගේ ගෙදරට ගිය විට සනත් කියන්නේ ‘අන්න මල්ලිගේ සින්දුවෙ සල්ලි ටික අක්කා ළඟ ඇති. ඉල්ල ගන්න’ කියාය. ඔහු නවකයන්ට ගීත ලියන්නට දී මුදල් ලබා දුන්නේද එසේය.   


 මේ කාලයේ මල්කාන්තිගේ පියා හැරිසන් පීරිස් මහතා සේවය කලේ “ද මැසෙන්ජර්” පුවත්පතේය. ඔහු ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියෙකි.   


 ඔහු හැන්දෑවට වැඩ ඇරී සනත්ගේ නිවසටම එයි. මව රෙජිනා පීරිස් මහත්මිය ද ගීත රචිකාවකි. ඇය ගීත ලියන ගමන්ම තමන්ගේ හිතවත් නවක ගීත රචකයන්ට ද ගීත ඉල්ලා දුන්නාය.   


 එවැනි එක් සිද්ධියක් වන්නේ එකල ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹුණ ප්‍රියා සූරියසේන පැමිණි විට ඇය ලැබූ ගීතයට අමතරව මට ද ගීතයක් ලියන්නට තනුව ඉල්ලාගෙන තිබීමය.   


රෙජිනා පීරිස් ලියූ ප්‍රියාගේ රෑ මනමාලි ගීතය එකල ජනප්‍රිය වූවකි. මට ලබා දුන් ගීතය ලියා දෙන්නට මට අවස්ථාවක් නොතිබූයේ චිත්‍රපට වැඩ කටයුත්තකට සහභාගි වූ නිසාය. ඇය ඒ පිළිබඳව මට පසුව දොස් කීවාය.   


සුප්‍රකට රංගන ශිල්පිනී ජෙනීටා සමරවීරගේ පියා රෙජිනා පීරිස් මහත්මියගේ මල්ලීය.   
සනත් මල්කාන්ති යුවළ සමග මා සමීප සම්බන්ධතාවක් ඇතැයි දැනගත් මගේ කාර්යාලයේ මිතුරෙක් ඔවුන් දෙදෙනා සංගීත සංදර්ශනයට සහභාගි කර දෙන මෙන් කීපවරක්ම පෙරැත්ත කළේය.   
‘මම සින්දු ලිව්වා කියලා මට නොමිලේ සින්දු කියන්න එන්න කියල කියන්න බෑ.’ මම ඔහුට කීවෙමි.   
එහෙත් සාමාන්‍යයෙන් ඔවුන් ගන්නා මුදලට වඩා තරමක් අඩුවෙන් කතාකර දෙන්නට මම පොරොන්දු වූයෙමි.   


‘උඹගේ යාළුවෙක් නම් මොන සල්ලිද මල්ලී?’ මල්කාන්ති මුදල් ගැන ඇසූ විට කීවාය.   
එහෙත් වෘත්තීමය වටිනාකමට සැලකීම නිසා ගණනක් කියන්නැයි මා බොහෝ පෙරැත්ත කිරීමෙන් පසු මල්කාන්ති ගණනක් කීවාය.   


මිතුරා ඒ මුදල ගෙවන්නට පොරොන්දු විය. පෝස්ටර්වලද සනත් - මල්කාන්ති නම ඉහළින්ම යොද‌ා පූර්ව ප්‍රචාරයක්ද දුන්නේය.   


සංදර්ශනය පැවැත්වූයේ ගම්පහ ප්‍රදේශයේය. මම එදින හැන්දෑවේ සංදර්ශනය ගැන මතක් කරන්නට සනත්ගේ ගෙදරට ගියෙමි.   


‘අද නම් ඒ ෂෝ එකට යන්න වෙන්නේ නෑ මල්ලී. අද ෂෝ පහළොවක් විතර තියෙනවා.’ සනත් කීවේය.   
මම උඩ ගොස් බිම වැටුණෙමි.   


‘අනේ සනත් අයියේ ඒ මිනිස්සු බලාගෙන ඉන්නවනේ.’ මම කීවෙමි.   
සනත් අපූරු යෝජනාවක් කළේය.   


‘එහෙනම් මල්ලිත් එන්න අපිත් එක්ක යන්න.’   


මිතුරාට පොරොන්දුව ඉටුකිරීම පිණිස මම ඊට එකඟ වුණෙමි.   
ඔවුන් මා රථයේ නංවාගෙන රාත්‍රී හතහමාරට පමණ ගමන් ඇරඹූහ.   
මගේ මිතුරාගේ සංදර්ශනයට යන විට රාත්‍රී එකොළහට කිට්ටු වී තිබිණ. ඊට පෙර තවත් සංදර්ශන හයක පමණ ඔවුහු ගී ගැයූහ.   


මිතුරාගේ ඉල්ලීම ඉටුකිරීමට ගොස් මට සිදුවූයේ සනත් - මල්කාන්ති යුවළ සමග මුළු රැයක්ම නිදි වර්ජිතව ඔවුන් සමග වාහනයේ ගමන් කිරීමටය.   
ඔවුන්ගේ රථයෙන් මගේ බෝඩිම ළඟින් මා හැරලන විට පසුද‌ා පාන්දර හතරට පමණ ළංවී තිබිණ.   
 දැන් ඔවුන් පදිංචිව සිටින්නේ මිරිහානේ නිවසකය. ඊට පෙර පරණ කැස්බෑව පාරේ සුවිසල් නිවසක ඔවුහු පදිංචිව සිටියහ.   


හැත්තෑ ගණන්වල මා හමුවන විට විශාරද වූ සනත් ඉන්පසුව ඉහළම සංගීත උපාධියක් වූ සංගීත් නිපුන් ලබාගෙන තිබිණ. දැන් ඔහු මහාචාර්ය සනත් නන්දසිරිය ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිය.   


 එද‌ා නුගේගොඩ ටවුමට ඉතා කිට්ටුවෙන් තිබූ පරණ තාලේ නිවසින්ද ඇසුණේ තබ්ලා හඬයි. ඒ ගායන හා වාදන පන්ති පැවැත්වීම නිසාය.   


 වසර තිස් ගණනකට පෙර ඇසුණු ඒ තබ්ලා හඬ පසුගියද‌ා මහාචාර්ය සනත් නන්දසිරි අසනීප වූ අවස්ථාවේ බලන්නට මිරිහානේ නිවසට ගිය විට ද මට ඇසිණ.   


 අද ඒ සංගීත පන්තිවලට මූලිකත්වය දෙන්නේ එද‌ා පාසල් ගිය දැරිවිය වූ ඔවුන්ගේ එකම දියණිය අනුරාධාය.   
 කාලය කොතරම් පියාඹා ගොස් ඇද්ද? දැනුදු නුගේගොඩට ගිය විට එද‌ා තරුණ කාලයේ ගිය පරිදි අපේ අතීතය හා බැඳුණු සනත් - මල්කාන්තිගේ ඒ පුංචි නිවහන බලන්නට යන්නට විටෙක මට සිත්වෙයි.

 

 

 රොඩ්නි විද‌ානපතිරණ