දූපතකුත් අයිති ලොව පස්වැනි පොහොසතාගේ සමාගම්


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • ‘ඇපල්’ බිහිකළ ස්ටීව් ජොබ්ස් තමයි ලැරි එලිසන්ගේ වෙඩින් එකේ ෆොටෝග්‍රැෆර් වුණේ
  • 2004 දී ඇ​ෙමරිකාවේ සිදුවූ දේපොළ වෙ​ෙළඳ‌ාමට ඉදිරිපත් වී වාර්තාවක් පවා තැබූ ව්‍යවසායකයෙක්
  • ලානා-අයි හෙවත් ලානායි දූපත අයිති ඔහුටයි

 

පරිගණකය හා සම්බන්ධ තාක්ෂණ ක්‍රියාවලියේදී මහ මොළකාර ‘ලැරී’ලා දෙදෙනෙකි. ඉන් එක් අයෙකු වන්නේ ‘ගූගල්’ සමාගම නිර්මාණය කළ ලැරී පේජ් ය. අනෙක් මහ මොළකරුවා වන්නේ ‘ඔරැකල්’ පරිගණක තාක්ෂණ කෝපරේෂන් ආයතනය බිහිකළ ලැරී එලිසන්ය. ගූගල් බිහිකළ ලැරී පේජ් ගැන අප මීට පෙර විස්තර ගෙන ආවෙමු. අද අප කතා කරන්නේ ලෝක පරිගණක තාක්ෂණ කරළියේ ඉහළින්ම අණසක පතුරුවන ලැරී එලිසන් ගැනය. ඔබ දන්නවාද? මේ ලැරී එලිසන් යනු ලෝකයේ මිල අධිකම, නැතහොත් වටිනාම ‘දූපත’ අයිති ව්‍යවසායකයාය. ඩොලර් එකකින් වැටුප අරඹා ඩොලර් මිලියනයක වැටුපක් ලැබීම දක්වා දුරගිය මේ ලැරී එලිසන් යනු වත්මනෙහි ලෝකයේ වෙසෙන මහා ප්‍රකෝටිපතියන් අතරින් පස්වැනි ස්ථානයේ පසුවන පොහොසතා වේ. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගයට මේ ලියැවෙන්නේ ලෝ ප්‍රකට ව්‍යවසායක ලැරී එලිසන්ගේ කතාව ය.  


ලැරීගේ ලස්සන දූපත  


ලැරී එලිසන් ගැන විස්තර කියවීමට පෙර ඔහු සතු ලෝකයේ මිල අධික දූපත ගැන මුලින්ම අපි විස්තර දැනගනිමු.  


ලෝකයේ බොහෝ ධනවතුන් මෙන්ම, තරු චරිත අතර බෙහෙවින් ප්‍රකට කලාපයක් ලෙස හවායි දූපත් කලාපය නම් කළ හැකිය. හවායි දූපත් අයත් වන්නේ ඇමෙරිකාවේ, බටහිර ජනපද කලාපයටය. ඇ​ෙමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන භූමියේ සිට කිලෝමීටර 2000 ක් පමණ දුරකින් පැසිපික් සාගරයේ පිහිටි දූපත් කීපයකි. හවායි ප්‍රධාන දූපත් අටකින් පමණ සමන්විත වේ. ‘හවායි අයි’ යනු ලොකුම දූපතය. මාඌයි, ඔආහු කුඌයි අයි, මොලෝකා අයි, ලානා-අයි හෙවත් ලනායි නී-ඉහායු, කාහෝ ඔලාවේ යනු එම ප්‍රධාන දූපත්ය. එයින් වැඩිම ජනගහනයක් වෙසෙන්නේ (දශ ලක්ෂයකට ආසන්න) ‘ඕආහු’ දූපතේය. මේ අතරින් ලැරී එලිසන් ධන කුවේරයා සහ ලෝක ව්‍යවසායකයා සතු වන්නේ ‘ලානා-අයි’ හෙවත් ‘ලානා’යි (Lana I) දූපතය. ලෝකයේ විවිධ කලාපවල ඇති පුංචි දූපත් අතරින්, මිල අධිකම, හෙවත් වටිනාම දූපත වන්නේ මෙම ‘ලනා’ යි. දූපතය. වර්ග කිලෝමීටර් 364 ක පමණ විශාලත්වයෙන් යුතු ‘ලනා’ යි හි ජනගහණය 2705 ක් ලෙස 2021 දී සඳහන් විණි. මෙම දූපතෙහි සියයට 98 ක් අයිතිය ඇත්තේ ‘ලැරී’ හටය. අනෙක් සියයට දෙකක සුළු කොටස හවායි දූපත් අයත් පරිපාලනයට සහ ලනායි හි වෙසෙන නිවෙස් හිමි කීප දෙනෙකුට අයත්ය. කෙසේ වෙතත් සියයට දෙකක් යනු මොකක්ද? මෙය සම්පූර්ණයෙන්ම ලැරීගේ දූපත ලෙස හැඳින්විය හැකිය. ලැරී 2012 දී මෙම දූපත මිලදී ගත්තේ ඩොලර් මිලියන 300 කට යැයි ෆෝබ්ස් වාර්තාවක සඳහන්ය. අද වන විට එම දූපතෙහි වටිනාකම තක්සේරු වී ඇත්තේ ඩොලර් මිලියන 610 ක් ලෙසය. තවත් විදියකට කිවහොත් රාජ්‍යයක් සතු නොවී පුද්ගලයෙකු සතු ලෝකයේ වටිනාකම අතින් ඉහළම දූපත වන්නේ මෙම ‘ලිනා’ යි දූපතය. ඇයි ලැරී මෙම දූපත එද‌ා මෙච්චර මුදලක් ගෙවා ගන්නට ඇත්තේ? ඒ වෙන කිසිවක් නිසා නොවේ මෙය සංචාරකයින්ගේ පාරාදීසයක් බවට පත් කිරීම ඔහුගේ අරමුණ විය හැකිය. එමෙන්ම පුද්ගලිකව නිවාඩුව ගත කිරීමට ‘ලැරී වඩාත් කැමැති මෙම ‘ලනා’ යි දූපතේ සිටය. ‘ලනා’ යි එතරම්ම ලස්සන යැයි ලෝකයේ ප්‍රභූ මෙන්ම ධනවත් සංචාරකයින් පවසන්නකි. මොනවද ‘ලනා’ යි දූපතේ බලන්නට ඇත්තේ? 


ලෝකයේ බොහෝ දෙනා තාක්ෂණික හරඹය හමුවේ දිවි ගෙවන්නේ යන්ත්‍ර සූත්‍ර මෙනි. මෙම ‘ලනා’යි දූපතේදී යාන්ත්‍රික බවින් තොරව, දුරකථනයෙන් පවා ඈත් වී සොබාදහම රිසි සේ විඳගැනීමට අවකාශය ඇත. කෑකෝ ගැසීම් සහ ශබ්දවලින් තොර දූපතකි. වාහන දුමින් හෝ කර්මාන්ත නිසා දූෂණය වූ අපවිත්‍ර වූ දූපතක් නොවේ. එහි ඇත්තේ ‘හුස්ම’ ගැනීමට හොඳම වාතය වේ. හොඳ හුස්මක සුවය ලබන අතරේ, දූපතේ නැරඹීමට ඇති ස්වභාවික තැන් ලෝක සංචාරකයින් හට ලබා දෙන්නේ විශ්මයකි.  

 

ඒ අතරින් හුලෝපෝයි බීට් (Hulopoe) යනු ලෝකයේ පිරිසිදු සහ සුන්දරම වෙරළ තීරයකි. පිහිනීමට සහ කිමිදීමට එතරම් සොඳුරු වෙරළක් ලොව තවත් නැතැයි සංචාරකයින්ගේ අදහසය. මෙම වෙරළ තීරය නිර්මාණය කර ඇත්තේ විනෝද ගමන් එන්නන් සඳහා වූ උයනයක් ලෙසය. සාමාන්‍යයෙන් වෙරළට ගොස් දියඹේ පිහිනා, කිමිදී එන අය ස්නානය කිරීමට තමුන් නවාතැන් ගන්නා හෝටලයට යා යුතුවේ. නමුත් මෙම වෙරළෙහි සිතු සේ පිහිනා ඇවිත් ස්නානය කිරීමට ස්ථාන ඊට යාබදව තනා තිබේ.  


පෝලිහුවා (Polihua) බීච් යනු මෙම ‘ලනා’ යි දූපතේ තවත් වෙරළ තීරයකි. මෙතැන නම්කර ඇත්තේ ‘ගාඩ්න් ඔෆ් ද ඊඩ්න්’ යනුවෙනි. ලනායි සිට මෙතැනට යාමට ගතවන්නේ විනාඩි 25 ක කාලයකි. බොහෝ සංචාරකයින් වෙරළට එන්නේ හිරු එළියේ නැහැවීමට නම් ලෝකයේ හිරුඑළිය මේ තරමට ඇති ස්ථානයක් තවත් නැතැයි සඳහන් වේ. සැතපුම් දෙකක පමණ දුරකට විහිදී ඇති වෙරළ තීරය මිස ගොඩනැගිලි හෝ වෙනත් ඉදිකිරීම් කිසිවක් නැත. තද සුළඟ නිතර පවතින්නේ සංචාරකයින්ට ලබා දෙන තෑග්ගක් ලෙසය. ස්වභාවධර්මය මොනතරම් නම් ආශ්චර්යයවත්ද? කොසේ වුවද මෙම වෙරළෙහි දිය නෑමට, පිහිනීමට තහනම් කර ඇත්තේ රළ මත විදුලිධාරා ගමන් කරන නිසාය.  


ෂිප්ව්රොත් වෙරළ ඊට එහායින් පිහිටා තිබේ. දෙවැනි ලෝක යුද සමයේදී සුන්බුන් වී වෙරළට ගොඩ ගසා ඇති යුද නෞකා දෙකක නටබුන් මෙහිදී දැකගත හැකිය.  


ලනායි සංස්කෘතිය හා උරුමය රැගත් මධ්‍යස්ථානයට ගිය විට අතීතය හාරා අවුස්සන්නන් හට අතීත රසයේ බොහෝ දේ උකහා ගත හැකිය.  


ලනායි කැට් සැන්චුයර් යනු පූසන් (බළලුන්) සඳහා වෙන්වූ ස්ථානයකි. පූසන්ගේ යහපත උදෙසා, (ආපද‌ාවන්ට ලක්වූ සහ අසරණ වූ) ඔවුන් රැකබලා ගන්නා සහ සාත්තු සප්පායම් කෙරෙන ස්ථානයකි. පූසන්ට පමණක් නොව ආපද‌ාවන්ට ලක්වූ පක්ෂීන් හට ද මෙහිදී ප්‍රතිකාර ලබාදීම සිදුකෙරේ.  


මේවාට අමතරව, මයික් කැරොල් ගැලරි, මැනේලේ ගොල්ෆ් පිටිය, ‘පුපේගේ’ නමැති මුහුදු සීමාවේ ඇති පාෂාණය දැකගත හැකිය. පුපේගේ අඩි අසූවකින් උස්ය. තම බිරිඳ මළ සොවින් සැමියා. මෙම පාෂාණය මුදුනතින් පැන දියදිවි හානිකර ගත් නිස මෙය ස්වීට්හාට් රොක් නමින් ද හඳුන්වයි.  


මෙම ලනායි දූපතේ විශේෂිතම ස්ථානය වන්නේ අඟහරු ලෝකය මෙන් වූ ස්ථානයයි. ඔබ අඟහරු වෙත ගොස් නැති බව සැබෑවකි. එහෙත් මෙතැන අඟහරුගේ පොළව මෙන් වූ තැනෙකි. රවුම් වූ පාෂාණ සහ පරිසරයේ රතට හුරු තද දුඹුරු පැහැයෙන් යුතුය. පෘථිවියේ ඇති අඟහරු ලෝකය එතැන යැයි හැඳින්වෙන්නේ ඒ නිසාමය.  


ලැරී එලිසන් සතු ඒ අපූරු දූපතේ විස්තර වලින් පසුව ලෝකයේ පුද්ගලික දූපතක් හිමි මේ ලෝක ධනපතා කවුද කියා මීළඟට අපි බලමු.  


ලෝරන්ස් ජෝසප් එලිසන්  


ලෝරන්ස් ජෝසප් එලිසන් හෙවත් ලැරී එලිසන් යන ආදරණීය නාමයෙන් හැඳින්වෙන ඇමෙරිකානු ව්‍යවසායකයා උපන්නේ 1944 අගෝස්තු 17 වැනිද‌ාය. නිව්යෝර්ක් නගරයේදී ලැරී උපන්නේ යුදෙව් ජාතික මවකටය. ඔහුගේ ජීව විද්‍යාත්මක පියා ඉතාලි සම්භවයක් ඇති අයෙක් විය. ඔහු කටයුතු කළේ ඇ​ෙමරිකානු හමුදාවේ ගුවන් නියමුවකු ලෙසය. එලිසන් හට වයස අවුරුදු 9 දී නිව්මෝනියා තත්ත්වය ඇතිවී තිබේ. ඒනිසා ඔහුගේ මව දරුවා හදාවඩා ගැනීම අපහසු වූ බැවින් ඔහුගේ මාමා සහ නැන්දා වෙත හදා වඩා ගැනීමට දුන් බව සඳහන් වේ. එලිසන් ජීවිතයේ බොහෝ කලක් හැදී වැඩුණේ මාමා සහ නැන්දාගේ හෙවණේය. එලෙසින් නැන්ද‌ා සහ මාමා ළඟට ගිය පසු එලිසන් හට මව යළි මුණගැසුනේ ජීවිතයේ මැදි වයසට එළැඹි පසුවය. එනම් නැවත ඔහුට ඔහුගේ සැබෑ මව හමුවන විට 48 වැනි වියේ ඔහු පසුවිය. ඔහුව හදා වඩා ගත් සහ මව්පිය සෙනෙහස ලබා දුන් නැන්දා සහ මාමා ඉතා ගෞරවයෙන් සිහිපත් කරයි. නැන්දා සහ මාමා හෙවණේ හැදී වැඩුණ ද යුදෙව් ආගමික ඇදැහිලිවලට සහ යුදෙව් මිත්‍යාවන්ට නම් අකමැති අයෙක් විය. ‘ඕනෑම ආගමක මිත්‍යාවට මම අකමැතියි. ඊශ්‍රාලයට මම ගරු කරන්නේ යුදෙව්කමට නම් නෙවෙයි. ඔවුන් සතු විස්මිත දැණුම සහ තාක්ෂණය නිසයි’ .  


යනුවෙන් ලැරී පවසයි. සවුත්ෂෝර් උසස් පාසලෙන් ද්විතියික අධ්‍යාපනය ලැබූ ලැරී ඊළඟට නතර වූයේ ඉලිනොයි සහ අර්බානා-කැම්පේන් නගර ද්විත්වයට අයත් සරසවියට ඇතුළත් වෙමිනි. ලැරී ස්වකීය ජීවිතය සොයා යාමට පටන් ගත්තේ සරසවි ජීවිතය සමගය. එහිදී ඔහු කැපී පෙණුන සිසුවකු බවට පත්වුණි. වතාවක විද්‍යා අංශයේ වසරේ හොඳම ශිෂ්‍යයා ලෙස සම්මානයට පවා පාත්‍රවුණි. එලෙසින් දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස සිටියදී එතෙක් ඔහුට මව වූ නැන්ද‌ා මියයාම ඔහුට ගෙන දුන්නේ දැඩි කම්පනයකි. ඒ නිසා ඉලිනොයි සරසවියේ සිට උපාධිය නිම කිරීම පසෙකලා සරසවිය හැර ගියේය. එය තාවකාලික පසුබැසීමක් විය. එළැඹියේ 1966 ගිම්හාන සමයයි. ගිම්හාන උණුසුමට වඩා ඔහුගේ හිත ගිනියම් වී තිබිණි. එය සිසිල් කර ගැනීමට නම් තවදුරටත් අධ්‍යාපනය කළ යුතු යැයි තීරණය කළ ඔහු කැලිෆෝර්නියාවේ සිටියදීම එක්වාරයක් සඳහා හෝ සරසවියට ඇතුළත්ව හැදෑරිය යුතු යැයි ඉටා ගත්තේය. චිකාගෝ සරසවිය වෙත ගොස් භෞතික විද්‍යාව සහ ගණිතය විෂයයන් එහි සිට හැදෑරීය. සරසවියේදී කිසිදු විභාගයකට පෙනී නොසිටිය ද පරිගණක නිර්මාණ අංශයේ හොඳ දැණුමකින් ඔහු පොහොසත් විය. අවුරුදු 22 තරුණයා කැලිෆෝර්නියා බර්ක්ලි වෙත ගියේ අලුත් ගමනක් යාමේ අපේක්ෂාව ඇතිවය.  


1970 වන විට ඔහු සේවය කරමින් සිටියේ ‘ඇම්පෙක්ස්’ ඉටෙක්ට්‍රොනික සමාගමේය. පරිගණක ක්ෂේත්‍රයේ විද්‍යාඥයකු වූ එඩ්ගාර් එෆ් කොඩ්’ යටතේ කළ පර්යේෂණයකින් පසු ලැරීගේ ජීවිතයේ නව මානයකට යොමුවිණි. ලෝප්‍රකට IBM ආයතනයට කළ පරිගණක සැළසුමකින් පසුව ඔහුව ‘ඔරැකල්’ බිහිකිරීමට එය මූලාරම්භයකට මුල පිරියැයි පසු කළෙක සඳහන් කළේය. 1977 දී ක්ෂුද්‍ර මෘදුකාංග සංවර්ධන පර්යේෂණාගාරයක් ආරම්භ කිරීමට ‘ලැරී’ මුල් වූයේ තවත් කොටස්කරුවන් දෙදෙනෙකු සමගය. එම ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් 2000 ක ආයෝජනයක් සිදුවූ අතර එයින් ඩොලර් 1200 ක ආයෝජනය ලැරීගේ විය. 1979 දී ලැරීගේ එම ආයතනය රිලේෂනල් සොෆ්ට්වෙයාර් ලෙස නැවත නම් කළේය. ‘කොඩ්’ගේ පරිගණක තියරිය, ලැරීගේ ජීවිතයට බෙහෙවින් බලපෑම් කර තිබිණි. 1977 ජූනි 16 දා ඔරැකල් කෝපරේෂන් බිහිවූයේ ඉහත කී අන්දමට ලැරී එලිසන්, බොබ් මයිනර් සහ ඊ.ඩී. ඕට්ස්ගේ ද‌ායකත්වයෙනි. අද වන විට ඔරැකල් යනු ලෝකයේ පරිගණක තාක්ෂණ ක්‍රියාවලියේ යෙදී සිටින සමාගම් අතරින් ක්ෂුද්‍ර මෘදුකාංග (සොෆ්ට්වෙයාර්) සමාගමක් ලෙස දෙවැනි ස්ථානයේ පසුවන සමාගමකි. පරිගණක තාක්ෂණ ක්‍රියාවලියේ මහ මොළයක් වගේ ඇහැක් ලෙස ‘ඔරැකල්’ නම් කළ හැකිය. 2021 වන විට ‘ඔරැකල්’ සමූහය සතු සේවක සංඛ්‍යාව එක්ලක්ෂ තිස්දෙදහස ඉක්ම වීය. සමස්ත වත්කම ඩොලර් බිලියන 131 ඉක්මවා ගොස් තිබේ. ඔරැකල්හි සියයට 43% කට ආසන්න කොටස් වටිනාකම ඇත්තේ ලැරී හටය.  

 

ඡායාරූප අන්තර්ජාලයෙනි

 

කසාද හතරයි

දික්කසාද හතරයි  


පරිගණක ක්ෂේත්‍රයේ මහ මොළකාර ‘ලැරී එලිසන්’ ගේ විවාහ දිවිය ගැන කතා කළොත් ඔහු මුලින්ම විවාහ වූයේ ඇඩා ක්වීන් සමගය. 1967 දී සිදුවූ එම විවාහය 1974 දක්වා පැවතිණි. එලිසන්ගේ මෘදුකාංග සංවර්ධන සමාගම බිහිකිරීමට මාස හයකට පෙරදී 1977 ජනවාරියේදී නැන්සි වීලර් ජෙන්කින්ස් සමග විවාහ වූ අතර එය පැවැතියේ වසරක කාලයක් පමණි. ඇයගෙන් දික්කසාද වී ලැරී ඊළඟට විවාහ වූයේ බර්බරා බුකේ සමගය. ඒ විවාහය පැවැතියේ 1983 සිට 1986 දක්වා පමණි. ඒ විවාහයෙන් බර්බරා සහ ලැරී හට දරුවන් දෙදෙනෙකි. ‘ඩේවිඩ් සහ මෙගන්’ යන ඒ දෙදෙනා චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයේය. කෙසේ වෙතත් බර්බරාගෙන් දික්කසාද වූ ලැරී යළිත් විවාහ වූයේ 2003 වසරේදීය. ආදරණීය නවකතාකාරියක වන මෙලනි ක්‍රාෆ්ට් සමග පැවැති ඒ විවාහ උත්සවය දවසේ, විවාහයේ ඡායාරූප ගත්තේ ඇපල් බිහිකළ ස්ටීව් ජොබ්ස්ය. අද ස්ටීව් ජොබ්ස් ජීවතුන් අතර නැත. ආදරණීය නවකතාකාරිය මෙලනි ක්‍රාෆ්ට් හට තමාගේ නවකතා රසයේ ආදරය මෙන්, ලැරී සමග ගෙවූ ආදරය රස නොවුණි. ඒනිසා 2010 දී ලැරීගේ සිව්වැනි විවාහය ද දික්කසාදයෙන් කෙළවර විණි. පසුව ඔහු හොලිවුඩ් නිළියක වන නිකිතා ඛාන් සමග සබඳතාවයක් පවත්වාගෙන යන බව වාර්තාවල සඳහන් වේ.  
අද ලැරීගේ වයස අවුරුදු 78 කි.  


ඔබට පිස්සු යැයි සමහර විට මිනිසුන් ඔබට කියාවි. එසේ කීමට පටන් ගත් විට ඔබට ඔබගේ ජීවිතයේ වැදගත්ම නවෝත්පාදනය වෙත යොමුවිය හැකිය.  


සරසවි දෙකකට ගිය ද උපාධිය ලබා ගැනීමට පෙර සරසවිය හැර ගිය ලැරී එලිසන් සමාජයට පවසන්නේ එලෙසිනි. අද ඔහු ලොව අංක එකේ ට්‍රිලියනපතියා වීමට සිහින මවන ඊලෝන් මස්ක්ගේ ‘ටෙස්ලා’ කම්පැනියේ කමිටු සාමාජිකයෙකි. ඩොලර් මිලියන තුනක කොටස් මිලදී ගත්තේ 2015 දීය. එලිසන් බලපත්‍රලාභී ගුවන් නියමුවෙකි. ඔහුට ඔහුගේම යානා කීපයක් තිබේ. 2022, ඇස්තමේන්තුගත ලැරීගේ සමස්ත වත්කම බිලියන 70 ක් පමණ වේ. ලැරී ඔරැකල්හි ප්‍රධාන විධායක ලෙස ද දීර්ග කාලයක් කටයුතු කළේය. ඔරැකල්හි වැඩි කොටස් ප්‍රමාණයක් හිමි මෙන්ම ඔරැකල් වෙතින් වැටුප් ලබන චරිතයකි. ඩොලරයෙන් පටන් ගත් වැටුපට අමතරව ලාභාංශ සහ කොටස් අලෙවියෙන් පමණක් ඩොලර් මිලියන 8 ක් උපයා ඇතැයි සඳහන් වේ. සුපිරි මෝටර් රථ, යානා, උද්‍යාන සහිත සුපිරි මාළිගා ඇතුළු බොහෝ දේ ඇති ලැරී ස්ථීරව දිවි ගෙවන්නේ මේ සටහන මුලදි අප විස්තර කළ ලනායි (Lanai) දූපතේ ඇති මාළිගාවේය. අද ඔහුට ස්ථීර විවාහයක් නැත. එහෙත් ඔහු නම් පවසන්නේ ජීවිතය සතුටින් යැයි කියාය. ලැරී නැති දිනෙක ඔහු සතු මේ මහා වස්තු සම්භාරය කාට හිමිවේද කියා සඳහනක් නම් කර නැත. ‘මම ආවෙත් හිස් අතින් යන්නෙත් හිස් අතින්’ ඉතින් මම මොකටද ඒ ගැන හිතන්නේ කියා සමහර විට ඔහු සිතනවා විය හැකිය.

 

පරිවර්තන සටහන  
සඳුන් ගමගේ  
Sandalwoodtraaeyahoo.com