ජේ.ආර්. සහ ගෝඨාභය කළ දේ


​ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2021 දෙසැම්බර් 21 වැනිදා නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කිරීම මෙන්ම, 2022 ජනවාරි 18 වැනිදා එහි දෙවැනි සැසිවාරය ආරම්භ කිරීමද 1978 ව්‍යවස්ථාව අනුව මෙරටේ ජනාධිපතිවරයාට පවරන ලද ව්‍යවස්ථානුකූල අයිතිය භාවිත කිරීමට වඩා වැඩි දෙයක් නොවන බව දේශපාලනය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ඇති පුරවැසියකුට වුවද වැටහේ. දේශපාලන කෞටිල්‍යයකු වූ ජේ.ආර්. ජයවර්ධන මෙම විධි විධාන දෙකම ව්‍යවස්ථාවට ඇතුළත් කළේද පැහැදිලිවම දේශපාලන අරමුණකින්ය. පාර්ලිමේන්තුවේ වාරාවසානයට පසුව වුවද අවශ්‍යතාව අනුව ඒ වන විට අවසන් නොවී තිබුණු කටයුතු ඉදිරියට ගෙන යා හැකි බවද ව්‍යවස්ථාවේ සඳහන් වේ. එහෙත් එය ස්ථිර නියමයක් හෝ විධානයක් නොවීම නිසා එය හුදු අවශ්‍යතාව මත සිදුවිය හැක්කකි. එහෙත් දේශපාලනයේදී අපට ලබාදී තිබෙන යහපත් පූර්වාදර්ශ ඉතා අඩුය. 


මෙරටේ සිටි ජනාධිපතිවරුන් කීප දෙනෙකු විසින්ම ඒ සම්බන්ධයෙන් අපට ලබාදී තිබෙන වාර්තා මෙසේය. ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙම නීතිය උපයෝගී කරගත්තේ එදා (1991) තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ද පාර්ලිමේන්තුවේ කතානායකවරයාට භාරදී තිබුණු පසුබිමකය. ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි පාර්ලිමේන්තුව කල්දැමීමේ දී ඒ වන විට සභාගතව තිබෙන සියලු කටයුතු අත්හිටුවිය හැකි වුවත් දෝෂාභියෝගයක් අහෝසි වන්නේද නැත. එහෙත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඒ ගැන තැකීමක් නොකර ක්‍රියා කර ඇත. (එදා ඔහු විසින් නැවත පාර්ලිමේන්තුව විවෘත කළ අවස්ථාවේදී ඔහුට ප්‍රබල විරෝධයක්ද විපක්ෂයෙන් එල්ල විය.) මෙහිදී පැහැදිලිව පෙනී යන්නේ ජනාධිපතිවරයා ආචාර වෙඩිමුර මැද්දේ ගාම්භීරව සිදු කළ ක්‍රියාව ලැජ්ජා සහගත එකක් බවය. 

 
චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ වාර්තාව කුමක්ද? ඇය එමගින් සිදු කරන ලද්දේ ඒ වනවිට (2001) උද්ගතවී තිබුණු දේශපාලන අස්ථාවරභාවය සමනය කර ගැනීමකි. එදා පරිවාස ආණ්ඩුව කරළියට ආවේ ඒ අනුවය. එහෙත් එහිදී ඇගේ අභිප්‍රාය වූයේද සිය බල ව්‍යාපෘතිය ශක්තිමත් කර ගැනීම බව නිසැකය. මෙරටේ විධායක බලය රටේත් ජනතාවගේත් යහපත උදෙසා භාවිත කරමින් එදා ත්‍රස්තවාදය පරාජය කළ ජනාධිපතිවරයා වූයේ මහින්ද රාජපක්ෂය.   


(ඒ විජයග්‍රහණය අර්ථවත් පරිදි අභිනව සමාජ ප්‍රතිසංස්කරණයකට යොමු නොකිරීම ගැන ඔහුටද විවේචනයක් තිබේ).   


මෙම ව්‍යවස්ථානුකූල අයිතිය භාවිත කරමින් මෙරටේ සිදු වූ දූෂිත ක්‍රියාකාරකම් වසන් කිරීමටත්, චෞර පැලැන්තියක් රැක ගැනීමටත් ක්‍රියා කළ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටද චෝදනා පත්‍රයක් ඉදිරිපත්වී තිබේ. ඩිව් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් තිබුණු කෝප් කමිටුව විසින් එළිදක්වන ලද අතුරු වාර්තාව පිටවීම වැළැක්වීමට එදා එම බලය ඉවහල් වූ බව ප්‍රකට රහසකි. (මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් එදා අගමැති රනිල් වික්‍රමසිංහටද ඇඟිලි දිගුවී තිබේ.) කුමක් වුවද අපට මේ සම්බන්ධයෙන් පොදුවේ පැවසිය හැක්කේ මෙම ව්‍යවස්ථා විධානය භාවිත කර ඇත්තේ දේශපාලන බලය තහවුරු කර ගැනීමට බවය. එසේම එය ප්‍රජාතන්ත්‍රවාදයේ සරදමක් බවය.   
එහෙත් පොහොට්ටුවේ බැතිමත් දේශපාලන චරිත ජනාධිපතිගේ ප්‍රකාශය දෙස බැලුවේ තවත් ටෙන්ඩරයක් ලෙසය. ආණ්ඩුවේ මාධ්‍යවලින් අදහස් පළ කළ සියල්ලෝම මේ ප්‍රකාශය අහසට ඔසවා තැබූහ. විපක්ෂයත් ආණ්ඩුවේ විවේචකයෝත් එහි කිසිදු සාධනීය ලකුණක් නොදුටුවෝය.   


මේ ආණ්ඩුවේ ගමන් මග යහපත් හෝ බුද්ධිමත් නොවන බවට වැඩිපුරම විවේචන එල්ල වන්නේද ආණ්ඩුව ඇතුළෙන් ම ය. කලක් ඇමතිධුර හෙබවූ හා දේශපාලන වශයෙන් පරිණත බවක් ලැබූ පිරිසක්ද ආණ්ඩුව තුළ සිටිති. කුමන හේතුවක් නිසා හෝ කොන්වී සිටි, නිල - බල කිසිත් නැති එ් අයගෙන්ද බොහෝ විවේචන සිදුවන බවද කිව යුතුය. හාපුරා කියා මන්ත්‍රීධුර ලබාගෙන රාජ්‍ය ඇමතිවරුන් වීමේ වාසනා මහිමය ලද අයද ආණ්ඩුවේ සිටිති. වියත් මග නමින් හැඳින්වෙන කණ්ඩායමක්ද වෙති. මේ වියත්හු මෙරටේ ඉතිහාසයේ වියතුන් ලෙස ගෞරවයට පත්වූ භාෂා, ශාස්ත්‍ර, සමය, දර්ශන ආදිය පිළිබඳ පුළුල් ජාතික මෙහෙවරක නිරත වූවෝ නම් නොවෙති. ‘වියත්’ යන බුහුමනට නිසි රිසි කී දෙනෙක් එහි සිටිත්ද යන්න අපි නොදනිමු. මෑතකදී එක් රාජ්‍ය ඇමතිවරයකු ප්‍රකාශ කළේ මේ රජයේ ආයතන සඳහා පත්කිරීම් සිදු කර ඇත්තේ වියත් මණ්ඩලයකින් බවය. එබඳු ‘වියත්’ නිර්දේශයකින් සභාපති ධුරයකට පත්වූ අයෙක් කීවේ නව පත්වීම වියත්මග අභිමතය පරිදි සිදුවූවක් බවත් තමන්ට දැන් වෙනත් ආයතනයක් හිමි විය හැකි බවත්ය. සැබෑවකි ඔහුට වෙනත් ආයතනයක ධුරයක් ලැබුණි. මේ ක්‍රමය කිසිදු ආකාරයකින් යහපත් හෝ සුදුසු යැයි කිව හැකිද? මෙය පැහැදිලිවම තම දේශපාලන බල ව්‍යාපෘතියට උදව් කළ අයට ලබා දුන් කප්පමක් පමණි. මේ කප්පම් ක්‍රමය දැන් කලක සිටම පැවතෙන එකක් බවද කිව යුතුය.   
ගෝඨාභය ජනාධිපතිවරයා ඍජුවම දේශපාලන පක්ෂයක නිලයක් නොදරයි. එහෙත් ඔහු පොහොට්ටුවේ ආශිර්වාදය ලද සන්ධාන පක්ෂවල සහායෙන් එම ධුරයට පත්වූ අයෙකි. එනිසා ඔහුට ඒ දේශපාලන වුවමනා සියල්ලට පිටුපෑමටද නොහැකිය. ඔහුට අවශ්‍ය දේ මෙන්ම ඔහුගේ දේශපාලන සගයන්ට අභිමත දේ කිරීමටද ඔහුට සිදුවී තිබේ. ඔහු ඒ දේශපාලන බල තුලනය පිළිබඳව අවබෝධයකින් ක්‍රියා කළ යුතුවේ. එයට හොඳම නිදසුන විමල්, ගම්මන්පිල හා වාසු යන ඇමතිවරුන් සම්බන්ධව ඔහු දක්වන ප්‍රතිචාරයයි. මොව්හු මහින්ද අගමැතිගේ සමීපතමයෝ වෙති. මේ තිදෙනාම පක්ෂ නායකයෝද වෙති. එහෙත් ඔවුන්ට පැවතිය හැක්කේ මහින්දගේ දේශපාලනය සමගය. මේ අයට මහජන ප්‍රසාදයක්ද හිමිව තිබෙන බව මැතිවරණවලින් තහවුරු වී ඇත.   


පොදුජන පෙරමුණ තුළ ඔවුන්ට තිබෙන පිළිගැනීම ශ්‍රී.ල.නි.ප.යට වඩා වෙනස් එකක් බවද කිව යුතුය. මෛත්‍රි ප්‍රමුඛ ශ්‍රී.ල.නි.ප.යට එල්ල වන නිර්දය විවේචන ඔවුන්ට නැත. මෛත්‍රීට එල්ල කරන දේශපාලන අවලාද (ආප්ප කතාව හා උකුසු ප්‍රහාරය) මේ කිසිවෙකුට සිදු නොවේ. එසේම මතවාදී ලෙස ඔවුන්ට වෙනම අනන්‍යතාවක්ද ඇත. එනිසා ජනාධිපතිවරයාට මෙන්ම මුදල් ඇමතිවරයාටද ඔවුන්ගේ ප්‍රතිචාර ඉවසා දරා ගැනීමට සිදුවීම ස්වභාවික දෙයකි.   


කෙසේ හෝ අද වන විට බහුතර ජනතාවක් තුළ මේ ආණ්ඩුව ගැන පමණක් නොව දැන් කලක සිට ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය ගැනද ඇත්තේ දැඩි කලකිරීමකි. ගෝඨාභය රාජපක්ෂ දෙස ඔවුන් බැලුවේ රැඩිකල් තීරණ ගත හැකි බැඳීම්, ගැලීම්, ඇලීම් නැති නායකයකු ලෙසය. පොඩි මිනිසාගේ විශ්වාසය වූයේ ගෝඨාභයත් එක්ක සෙල්ලම් බැරි බවය. ගෝඨාභය මේ ක්‍රමයම කඩා බිඳ අලුතින් නිර්මාණය කරනු ඇතැයි බොහෝ අය කල්පනා කළහ. එහෙත් සිදුව ඇත්තේ පැවති ක්‍රමය විසින් ගෝඨාභය නිර්මාණය කර තිබෙන බවය.   


මේ ජුගුප්සාජනක දේශපාලනය නඩත්තු කිරීමට ගෝඨාභය අකමැති බව ඔහු විසින් වරින්වර කරන ලද බොහෝ ප්‍රකාශවලින් අපටද හැඟී ගොස් තිබේ. මෙම ක්‍රමයේ අවුල ඔහු දකියි. රටට සේවයක් කිරීමට ඇමතිකම් කුමකටදැයි ඔහු ප්‍රශ්න කරයි. එහෙත් හැම කෙනෙකුගේම දොලදුක කැබිනට් ඇමතිවරයකු වීම බව ඔහු කියයි. ඇමති මණ්ඩලයේ සිටින වැඩි දෙනෙක් ආණ්ඩුකරණය, සැලසුම් සම්පාදනය, ජාත්‍යන්තර දේශපාලනය ආදියෙන් පරිණත වූවෝ නොවෙති. ප්‍රතිපත්ති සම්පාදනය වැනි කරුණු ඔවුන්ට වැදගත්ද නැත. බලය තමන්ටත් තම පවුලටත් කප්රුකක් ලෙස භාවිත කිරීම මේ දේශපාලන ක්‍රමයේම මූලික අභිලාෂය වී තිබේ.   


ආණ්ඩුවේ සංයුතිය මෙන්ම මෙම සමස්ත දේශපාලනය සම්බන්ධයෙන්ද අපට තිබෙන විවේචනය වන්නේද දේශපාලන සාක්ෂරතාව ඉතා අඩු පිරිසක් අද පක්ෂවලින් තේරී පත්ව සිටීමය. දේශපාලනය, දූෂණය, වංචාව, නාස්තිය ඇතුළු සදාචාර විරෝධී ක්‍රියාකාරකම් සමග ගැට ගැසුණු ග්‍රාම්‍ය ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. ඇමතිවරයකුට ලැබෙන ප්‍රතිලාභ කෙබඳුදැයි විස්තර කළ යුතු නැත. නිල නිවාස, නිල රථවලට අමතරව ඍජුව හෝ වක්‍රව ව්‍යාපාර පවත්වාගෙන යාමටද ඔවුන්ට නිදහස තිබේ. කොමිස් ලබා ගැනීම මෙන්ම කොමිස් කුට්ටි ගැන විවෘත විවේචනද ඇත. පවුලේ අය කාර්ය මණ්ඩල සඳහා යොදා ගැනීමේ භාග්‍යද ඔවුන්ට හිමිය. ඇමතිවරයකු හා ඔහුගේ පවුල නඩත්තු කිරීමේ වරද පොදු ජනතාවගේ කරට වැටෙන්නකි. ඒ සඳහා මිලියන ගණන් මහජන මුදලින් වැය කළ යුතු වේ. ඒවා මහජනයා වක්‍රව ගෙවන බදු මුදල් බව ඔවුහු නොදනිත්ද?   


  ජේ.ආර්. ජයවර්ධන තුළ විධායක ක්‍රමය පිළිබඳ සෑහෙන කලක සිට උනන්දුවක් තිබුණි. 1972 ජනරජ ව්‍යවස්ථාව ඉදිරිපත් වූ කාලයේදීත් ඔහු ඒ පිළිබඳ කරුණු දක්වා තිබුණි. 1977 දී ඔහුට ඒ අදහස බල ගැන්වීමට ප්‍රබල ජනවරමක්ද තිබුණි. එහෙත් ඔහුගේ ව්‍යවස්ථාව රටේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් සකස් වූයේ නැත. ඔහුගේ ව්‍යවස්ථාව අග්‍රාමාත්‍ය කඳකට ජනාධිපති අධිකාරි බලය නමැති හිසක් බද්ධ කිරීමක් ලෙස ‘ජයවර්ධන චරිතාපදානයෙහිම’ දක්වා තිබේ. (මේ පිළිබඳව දීර්ඝ විශ්ලේෂණයකට ඉඩ නැත). ඉතා සැකෙවින් කිවහොත් 1978 ව්‍යවස්ථාව එජාපයේ මිම්මට මසන ලද යකඩ ඇඳුමකි. ජේ.ආර්. 1956 සිට 1970 දක්වා මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කර තම පක්ෂයට යළි කිසි දිනක පනස් හයේ වැනි පරාජයක් අත්නොවන ආණ්ඩුක්‍රමයක් සකසා තිබෙන බවට ඔහු විසින්ම උදන් අනනු ලැබ ඇත. එය නිසැකයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මෙන්ම නීතියේ ජීව ගුණයටද අප්‍රමාණ හානි සිදු කළ හැකි ක්‍රමයකි. ජනමත විචාරණය ජාතික ලැයිස්තු, අගමැති රූකඩයක් කිරීම, නීතියට උඩින් විධායකය වැජඹීම ආදී දුර්ගුණ මෙන්ම මනාප ඡන්ද ක්‍රමය, බෝනස් මන්ත්‍රීධුර වැනි විනාශකාරී විධි ක්‍රමද ඔහුගේ ක්‍රියාන්විතයට ඇතුළත් විය.  


1978 ව්‍යවස්ථාව ඉවත්කර හෝ එයට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇතුළු කිරීමට 2015 දී බලයට පැමිණි මෛත්‍රී - රනිල් සුසංයෝගයෙන් ජනතාව අපේක්ෂා කළේය. එහෙත් එය විකෘති පාලනයක ආරම්භයක් විය. මෛත්‍රීට අනුව එදා සිදුවූයේ ජනාධිපති අගමැති හා කතානායක වශයෙන් බල කේන්ද්‍ර තුනක් නිර්මාණයවීමකි. ස්වාධීන කොමිෂන් සභා වැනි සාධනීය සංශෝධනවලින් පවා සිදුවූයේ අවුලකි. ගෝඨාභය ජනාධිපතිවරයාට නිර්බාධිතව ක්‍රියා කිරීම සඳහා මහජනයා ලබා දුන් 2/3 ජනවරමට අමතරව 20 වැනි සංශෝධනයක්ද සම්මත වූයේ ඒ අවුල් ලිහීමටය. දැන් ජනාධිපතිවරයාගේ තුන් අවුරුදු සැලැසුමේ ප්‍රමුඛතාව මෙම ව්‍යවස්ථා සංශෝධනයට ලබාදීම අතිශය වැදගත්ය. එය ජයවර්ධනගේ ව්‍යවස්ථා සම්පාදකයක් විසින් කරන ලද ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී සූදුවක් විය යුතු නැත. මතු මතුව බිහිවන ශ්‍රී ලාංකික ජනතාවගේ හිත සුව පිණිස මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක තිරසාර පැවැත්මද තහවුරු කෙරෙන අභිනව සමාජ වටිනාකම් සමග රට පෙරට යන ව්‍යවස්ථාවක් ලෙස එය හැඳින්වීමට සිංහල - දෙමළ - මුස්ලිම් ආදී සියලු ජනකොටස්වල ඉහළම බහුතරයකට හැකිවේවායිද ප්‍රාර්ථනා කරමු.

 

 

 

 

 

ගාමිණී සුමනසේකර