ගාමිණී මහවැලිය භාරගත්තෙ හොඳට අධ්‍යයනය කරලා


නොමියෙන මතක

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිලධාරියකු මෙන්ම මහවැලි අමාත්‍යංශයේ හිටපු සහකාර ලේකම්වරයකුද වන ආනන්ද ධර්මප්‍රිය සිය රාජකාරි දිවියේ දිගුකාලීන අත්දැකීම් ඇත්තෙකි. මේ ඒ පිළිබඳ ඔහුගේ මතකය අවදි කිරීමයි.   


මොකක්ද මුලින්ම කරපු රස්සාව?   


මම උසස් පෙළ කෙරුවෙ නාලන්දෙ ඉස්කෝලෙ. මුල ඉඳලම මගේ කැමැත්තක් තිබුණ පත්තර කලාවට. විභාගය ලියල ප්‍රතිඵල එනකම් මම පත්තරවලට ලිව්වා. ඒකට අවස්ථාව ලැබුණෙ ඔබ්සර්වර් පත්තරේ කර්තෘ කෙනෙක් වුණු ලයනල් ප්‍රනාන්දු කියන මගේ මාමා නිසා. මාම නිසා තමයි මට පත්තර කලාව ගැන ඇල්මක් ඇති වුණෙත්. විභාග ප්‍රතිඵල ආවම මම විශ්විවද්‍යාලයට තේරුණා. එතකොට තිබුණෙ එක විශ්වවිද්‍යාලයයි. කොළඹට හරි පේරාදෙණියට හරි යන්න පුළුවන්. ගොඩක් අය ඉල්ලු‍ම් කළේ පේරාදෙණියට. පත්තරේ ලියන්න අවස්ථාව ලබාගන්න ඕන නිසා මම කොළඹ එකට ගියා. මුලින්ම ලංකාදීප පත්තරේ ලියන්න මගේ මාම අවස්ථාව හදලා දුන්නේ මහානාම දිසානායකට කියලා. එතකොට ලංකාදීප ස්ටාෆ් එකේ හිටියෙ මහානාම දිසානායක ප්‍රධාන කර්තෘ, කේ.එම්. සිරිසේන, පෙරමුණේ තිලක, කරුණාසේන ජයලත්, විමල් වීරසිංහ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ වගේ පත්තර කලාවේ පතාකයෝ. මම ෆ්‍රීලාන්සර් කෙනෙක් හැටියට මුලින් වැඩ කළේ.   


විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ පෙරමුණේ තිලක මහත්තයා මාව පත්කළා යුනිවර්සිටි කොරස්පොන්ඩන්ට් විදියට. කැම්පස් එකේ ඉඳපු අවුරුදු තුන හතරෙම මම තමයි ඒකෙ කොරොස්පොන්ඩන්ට්.   


ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට යන්නෙ කොයි කාලෙද?   


ඔය කාලෙම තමයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ප්‍රවෘත්ති නිලධාරින්ට වේකන්සි තියෙනවා කියල ගැසට් එකේ දැම්මේ. එතකොට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විදියට වැඩ කළේ සරත් අමුණුගම. මමත් ඉල්ලු‍ම් කළා. ඒ අනුව විභාගයක් තිබුණා. ඒකෙන් තේරුණා. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. මණ්ඩලේ හිටියේ සරත් අමුණුගම, නෙවිල් ජයවීර වගේ අය.   


ලංකාදීපෙ වැඩ කරද්දි මොනවද කරන්න තිබුණු රාජකාරි?   


ඒකෙදි අපි දානව එක එක අමාත්‍යංශ කවර් කරන්න. මම වැටුණෙ වාරිමාර්ග හා ඉඩම් අමාත්‍යංශයට. සී.පී. ද සිල්වා තමයි ඇමැති. උදේ නවයට විතර ඔෆීස් ආවම එක වාහනේකින් අපි අරගෙන ගිහින් අමාත්‍යාංශවලට හලාගෙන යනවා. ඒ කාලේ ලංකාදීපෙ මොරිස් මයිනර් කාර් එකක් තිබුණා. 1 ශ්‍රී 3430. ඒකෙන් තමයි අපිව ගෙනියන්නේ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ගියාට පස්සේ අපි පුවත්පත් නිලධාරින් විදියට අමාත්‍යංශවලට දැම්මා. මම කවර් කරපු අමාත්‍යංශයේම පුවත්පත් නිලධාරියා විදියට ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයට තමයි මාව දැම්මේ. එක එක අමාත්‍යංශවල ඉන්න පුවත්පත් නිලධාරියා මගින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා තමයි පත්තරවලට ප්‍රවෘත්ති ගියේ ඒ දවස්වල. එතකොට පත්තර විතරයිනෙ. ගුවන් විදුලියත් තිබුණා. රූපවාහිනී එහෙම නෑ. පුවත්පත්වලට තමයි බර පැටවුණේ ප්‍රවෘත්ති පළ කිරීම සම්බන්ධව.   


ඊට පස්සෙ ඇමැතිවරයා වුණේ මෛත්‍රීපාල සේනානායක. ඒ කාලෙ අමාත්‍යංශයෙන් කෙරෙන මාධ්‍ය ප්‍රචාරක වැඩ ඔක්කොම කළේ මම. අපි ඕනෑම උත්සවයක් වෙනුවෙන් පොතක් පළ කරන පුරුද්දක් තිබුණා. මම එහෙම කරපු පොත් දෙතුන්සීයක් තියෙනවා. ඒවයි හැම පිටපතක්ම වගේ තාම අපේ ගෙදර තියෙනවා. ඔය අතරේ දවසක් සරත් අමුණුගම මට කතා කරල කිව්වා සිරිමාවෝ මැතිනියට මාව හම්බවෙන්න ඕනැ වෙලා තියෙනව ඉක්මනින් ගිහින් හම්බවෙන්න කියලා. මම පහුවෙනිදම උදේ ගියා මැතිනිය හම්බවෙන්න. මට කතා කරලා සිරිමාවෝ මැතිනිය කිව්ව ‘මට බණ්ඩාරනායක අගමැතිතුමා ගැන පොතක් ලියවා ගන්න ඕනැ. ධර්මප්‍රිය ලියපුව මම දැකල තියෙනවා. ඒක නිසා තමයි මේ වැඩේ භාර දෙන්න කල්පනා කෙරුවෙ’ කියලා. මම හා කියල වැඩේ බාර ගත්තා. දවස් කීපයකින් මට ඒක කරන්න වුණා. ඒක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව විවෘත කරන උත්සවේ සමරු කලාපය විදියට සකස් කරන්න කියල තමයි සිරිමාවෝ මැතිනිය මට උපදෙස් දුන්නේ. වැඩෙන් පස්සෙ මැතිනිය මට ඒකට පුද්ගලිකව ස්තුති කරලා ලියුමක් එවලා තිබුණා අගය කරලා.   


මෛත්‍රීපාල සේනානායක ඇමැති එක්ක වැඩ කරපු අත්දැකීම් කොහොමද?   


හරිම සරල මනුස්සයෙක්. වැඩ කරන්න හරිම පහසුයි. ඉස්සර විපක්ෂයෙ ෂැඩෝ කැබිනට් එකක් තිබුණා. මෛත්‍රීපාල සේනානායක ෂැඩෝ කැබිනට් එකේ බැලු‍වෙත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය. ඒ අයට තමයි අලු‍ත් ආණ්ඩුව ආවම ඒ අදාළ ඇමැතිකම හම්බවෙන්නේ. ඒක නිසා එතුමාට හොඳ අවබෝධයක් තිබුණා විෂය ගැන. අනුරාධපුරේ පදවිය පැත්තේ ගමක පුද්ගලයෙක්. හොඳ ගැමියෙක්. රජරට සංවර්ධනයට විශාල වැඩ කොටසක් කළා. එක අතකට ඔහුගේ සේවය රජරටට සීමා වුණාද කියලත් හිතෙනවා. ඒ තරම් රජරට ගැන හිතුවා. මෛත්‍රීපාල සේනානායක මහත්තයා පත්තර කට්ටියත් එක්ක බොහොම හොඳයි. මොකද එයාගෙ බිරිඳ ඔබ්සර්වර් පත්තරේ සිටි සීනියර් ජනර්ලිස්ට් කෙනෙක්. එයාගෙ නම රංජි හැන්ඩි දෙමළ ජාතික කාන්තාවක් එයා.   


ඊට පස්සේ ඔබේ කාර්ය බහුලම කාලය උදාවෙන්නේ ගාමිණී දිසානායක ඇමැති වුණාට පස්සේ?   


ඔව්. 77 මැතිවරණයෙන් යූඑන්පී ආණ්ඩුව පත්වෙලා මේ අමාත්‍යංශයට ආවේ ගාමිණී දිසානායක. ඒ ප්‍රවෘත්තිය නිවේදනය කළේ රෑ. පහුවෙනිද උදේම මට රංජි හැන්ඩි කතා කරලා මෛත්‍රීපාල සේනානායකගෙ ගෙදරට එන්න කිව්වා. එයාගේ ප්‍රයිවෙට් සෙකට්‍රි විදිහට වැඩ කළෙත් බිරිඳ රංජි හැන්ඩිමයි. මම ගියා මට කිව්වා අමාත්‍යංශයට ගිහින් පණිවුඩයක් දෙන්න ගාමිණි දිසානායක වැඩ භාරගන්න එන්නේ මෛත්‍රීපාල සේනානායක එක්ක කියලා. ඒ පිළිගැනීමේ උත්සවය ගැන බලන්න කියලා. මම ලේකම්ට විස්තරේ කිව්වා. ගාමිණී දිසානායක ඇමැති විදියට නිවේදනය කරපු ගමන් මෛත්‍රීපාල සේනානායක එයා පාවිච්චි කරපු නිල වාහනේ ගාමිණීට යවල තිබුණා. ගෙදරින් අයින් වෙන්නත් බඩු පැක්කරල උදේ වෙද්දී.   


ටික වේලාවකින් මෛත්‍රීපාල සේනානයකයි ගාමිණී දිසානායකයි අමාත්‍යංශයට ආවා. කාර්ය මණ්ඩලය ඔක්කොම තුන්වෙනි තට්ටුවෙ පිළිගැනීමේ උත්සවයට ඇවිත් හිටියේ. ගාමිණී දිසානායක පිළිගත්තේ ඩී.එස්. සේනානායකගේ හිටපු පියන්. ඩී.එස්. සේනානායකත් මේ අමාත්‍යංශයේ ඇමැති විදියට කාලයක් වැඩ කළානේ. ඒ කාලේ ඔහුගේ පියන් තමයි සයිමන් කියන්නේ. එයා තමයි ගාමිණීව පිළිගත්තේ. ඒ වැඩ ටික ඉවරවෙලා මෛත්‍රීපාල සේනානායක පිටත්වෙලා යද්දි ඔහුත් එක්ක ගාමිණිත් පහළට ආවා. දෙන්න එක්ක පඩිපෙළේ බැහැල ආවේ. ගාමිණීම මෛත්‍රීපාලගේ කාර් එකේ දොර ඇරලා දුන්නා. ගෝල්ෆෙස් පාර දිගේ මෛත්‍රීපාල සේනානායකගේ කාර් එක නොපෙනී යනකම්ම ගාමිණී දිසානායක බලාගෙන හිටියා. මමත් එවෙලෙ එතන හිටියේ. ගාමිණී හරිම හැඟීම්බරව ඒ වෙලාවෙ හිටියේ.   


ගාමිණී දිසානායකගෙයි ඔබෙයි ගනුදෙනුව පටන් ගත්තෙ කොහොමද?   


එදාම හවස මට ගාමිණී දිසානායක ඇමැතිතුමා පණිවුඩයක් එවලා තිබුණා එයා හම්බවෙන්න එන්න කියලා. මම යද්දි එයා ලියුම් වගයක් බල බල හිටියේ. එක පාරට එයා මගෙන් ඇහුවා ‘ධර්මප්‍රිය ඇයි අපිව දාල යන්නෙ’ කියලා. එතකොට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ප්‍රවෘත්ති නිලධාරීන්ව රීෂෆල් කරලා. මම වැටිල තිබුණේ ට්‍රාන්ස්පෝට් මිනිස්ට්‍රියට. ගාමිණී දිසානායක මගෙන් ඇහුවා අපිත් එක්ක ඉන්න කැමැතිද කියලා. මම හා කිව්වා. එතන ඉඳල ගාමිණී එක්ක දිගටම වැඩ කළා. ගාමිණි දිසානායක සරත් අමුණුගමට කතා කරලා කිව්වා මම ධර්මප්‍රිය තියා ගන්නවා කියලා. ඒකට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණා.   


මහවැලිය පටන් ගැනීම තමයි ඊළඟ පිම්ම   

 

ඔව්. ගාමිණී දිසානායකට ඇමැතිකම හම්බවෙලා මාස කීපයකට පස්සේ මහවැලි සංවර්ධන විෂයයත් පැවරුණා. ඒ වෙනකොටත් මහවැලිය ගැන ගාමිණී දිසානායක ලොකු අධ්‍යයනයක හිටියෙ. එයාල විපක්ෂෙ ඉන්න කාලෙ ඉඳලම ඒ ගැන ස්ටඩි කරලා තියෙනවා. විෂය පථයන් දාහතරක් විතර ගාමිණී දිසානායකට බාරවෙලා තිබුණා. 

 
ගාමිණී හරි පිළිවෙළට වැඩ කරපු මනුස්සයෙක්. කාගෙවත් හිත රිද්දවන්නෙ නැතුව කවුරුත් හවුල් කරගෙන වැඩ කරන්න තමයි ඔහු කල්පනා කළේ. ඒ වෙනකොටත් පොල්ගොල්ල වැඩ කරලා තිබුණෙ සිරිමා මැතිනියගෙ කාලෙ. මහවැලිය අවුරුදු තිහකින් වැඩ ඉවර කරන්න තමයි නියමිතව තිබුණේ. ජේ.ආර්. ජයවර්ධන ගාමිණි දිසානායකට මහවැලිය භාරදීලා කඩිනම් මහවැලි ව්‍යාපාරය කියලා වැඩ ඉක්මන් කළා. ජේ.ආර්. කිව්වේ අවුරුදු තිහක් අදින්න බෑ අවුරුදු හයකින් මේ වැඩේ ඉවරයක් කරමු කියලා. ගාමිණිත් ඒකට උපරිමයෙන් කැපවුණා. එක දවසක් ජේ.ආර්. ජනාධිපතිතුමයි ගාමිණී දිසානායකයි හදිසියෙන්ම කලින් නොදන්වා මහවැලි බෝඩ් එකට ගියා. මමත් ඒක ආවරණය කරන්න ගියා. ඒ වෙලාවේ ජේ.ආර්. ඉංජිනේරුවරු ඔක්කොම කැඳවලා ඇහුවා මේ වැඩේ අවුරුදු හයකින් ඉවර කරල දෙන්න පුළුවන්ද කියලා. ඉංජිනේරුවරුත් එකඟ වුණා. උල්හිටියෙන් වැඩේ පටන් ගත්තා. එතකොට සල්ලි තිබුණෙත් නෑ. ලෝක බැංකුවෙන් පොල්ගොල්ල කොටසට සල්ලි දීලා තිබුණෙ. ඉතුරු ටිකකට සල්ලි තිබුණෙ නෑ. මුලින් ශ්‍රමදානයෙන් වැඩේ පටන් ගත්තේ. පස්සේ තමයි විදේශ ආධාර ලැබුණෙ.   


අපිට තිබුණේ මේ ප්‍රොජෙක්ට් එක ගැන රටට කියල දැනුවත් කිරීම. මට තමයි මූලිකම වගකීම පැවරුණෙ. විශේෂයෙන් පත්තර හරහා තමයි ගොඩක් පබ්ලිසිටි ගත්තේ. ලංකාවේ පත්තරවල අය වගේම පිටරට මාධ්‍යවේදීන් එහෙමත් කැඳවලා විදේශීය පත්තරවලට ලියෙව්ව මහවැලිය ගැන. මම තමයි ඒ කටයුතු කෝඩිනේට් කෙරුවෙ. ලන්ඩන් ඔබ්සර්වර් ඇතුළු ජපානයේ, ජර්මනියේ වගේ රටවල් කීපයකම පත්තරවල මාධ්‍යවේදීන් කැඳවලා අපි මේ ගැන ජාත්‍යන්තරයට කරුණු යැව්වා. එයාලට ආරාධනා කරල ගෙන්නගෙන ඔක්කොම කරන්න පැවරුණෙ මට. ඒ එක්කම මේ ගැන විදේශ රටවල් එක්ක නිල මට්ටමෙන් සාකච්ඡා පවත්වන්න ගත්තා. ගාමිණී දිසානායක ඒ හැම වැඩක්ම ඉතා හොඳ අවධානයෙන් කෙරුවා. එහෙම නොකළානම් ඔය තරම් වේගයෙන් මේ වැඩේ කරන්න හම්බ වෙන්නෙ නෑ. විදේශ ආධාර දෙන්න රටවල් ඉදිරිපත් වුණා. බ්‍රිතාන්‍යය තමයි මූලික වුණේ. රන්දෙනිගලට රන්ටැඹේට ජර්මනියෙන් මුදල් හම්බවුණා. මාදුරුඔයට කැනඩාවෙන් මුදල් හම්බවුණා. වැඩේට සම්බන්ධවෙලා ඉඳපු කවුරුත් එක වගේ උනන්දුවෙන් කැපවෙලා වැඩ කෙරුවා. ගාමිණී දිසානායක නිතර නිතර ගිහින් මේ ගැන හොයා බැලු‍වා. විදුලිබිල ව්‍යාපෘති ගොවිජනපද ව්‍යාපෘති සියල්ල එකවිට ක්‍රියාත්මක වුණා. අපිටත් දවල් රෑ නැතුව වැඩ කරන්න වුණා ඉතින්. 

 
ගාමිණී දිසානායක එක්ක වැඩ කරද්දි හොඳ හොඳ අත්දැකීම් එහෙමත් ඇති නේද?   


අපොයි ඔව්. ඒ කාලය ගැන පොතක් ලියන්න තරම් අත්දැකීම් තියෙනවා. ඒ ඔක්කොටොම වඩා මම මතක් කරන්න ඕන ගාමිණි තමන් එක්ක වැඩ කරපු අය ගැන දක්වපු අවධානය ගැන. එක සිද්ධියක් මම කියන්නම්. දවසක් ගාමිණී මට කතා කරලා ඇහුවා ‘ධර්මප්‍රිය ඕගොල්ලන්ට ප්‍රෙස් ක්ලබ් එකක් තියෙනවද?’ කියලා. එතකොට ප්‍රෙස් ක්ලබ් එක කියල තිබුණෙ ගෝල්ෆෙස් හෝටලේ පිටිපස්සෙ කාමරයක පවත්වගෙන ගිය එකක්. මට මතක විදියට ඒකෙ බාර් කීපර් විදියට වැඩ කළේ සයිමන් කියල කෙනෙක්. ගාමිණී ඇහුවා ‘ඔතන එයාලට යාළුවො එක්ක කාල බීලා ටිකක් නිදහසේ කතා බහ කරන්න තත්ත්වයක් නෑ නේද’ කියලා. ඇත්තටම ඒක එහෙම පහසුකම් තිබුණු තැනක් නෙවෙයි. යන එන අතරේ අඩියක් පුඩියක් ගහගෙන යන්න තමයි ඉඩ තිබුණේ. ඒක නිසා ගාමිණී යෝජනා කළා මට පත්තර මිත්‍රයෝ ඔක්කොම කැඳවලා රෑ කෑමක් දෙන්න. වියදම් මහවැලි අධිකාරියෙන් ගන්න කියලා. එහෙම කියලා එයා කිව්වා මතක ඇතුව ඩිනර් එකට එයාටත් ආරාධනා කරන්න කියලා. මම ගලධාරි එකේ ඩිනර් එක ලෑස්ති කළා. කෑම බීම ඔක්කොම සප්පායම් කළා. ටික වෙලාවකින් ගාමිණී දිසානායකයි නෝනයි දෙන්න ආවා. ඇමැතිතුමා පෞද්ගලිකවම ආපු මාධ්‍යවේදීන් එක්ක කතා කළා. ඔය අතරේ නියම වැඩක් වුණා. ටිකකින් මට ඇහෙනව එක පුද්ගලයෙක් ගාමිණී එක්ක ලොකු ආගියුමන්ට් එකක පැටලිලා. එයා ගාමිණීට තදින් කතා කරනවා. ගාමිණීත් සාවදානව අහගෙන හිටියා. බලනකොට ගාමිණී එක්ක වාද කරන්නේ අජිත් සමරනායක. පස්සෙ බලද්දි ගාමිණී දිසානායකයි අජිත් සමරනායකයි එක ඉස්කෝලෙ ක්ලාස්මේට්ලා. හරිම විනෝදයෙන් ඒ වෙලාව ගත කරලා ගාමිණී ගියා. 


මහවැලිය විවෘත කිරීමේ උත්සවයට කරගහන්න ඇති නේද?   


ඔව්. ඒකෙ වගකීම් බෙදල දුන්නා එක එක අයට. මමත් ඒ සංවිධායක කණ්ඩායමේ ප්‍රධානියෙක් විදියට කටයුතු කළා. සියලු‍ම මාධ්‍ය ආවරණ වැඩ බලන්න සිද්ධ වුණේ මට. දෙස් විදෙස් මාධ්‍යවේදීන් ගණනාවක් ආවනේ ඒකට. ඒ හැම දෙනාටම අවශ්‍ය පහසුකම් සැලසීම ඇතුළු සියල්ල බලන්න වුණා. ඒක ලෝකෙම බලාගෙන ඉඳපු වැඩක්නේ. අපි එක මොහොතක් නිකං ඉන්නෙ නැතුව වැඩ කරපු කාලයක් ඒක. ඒ හැම දේ ගැනම ගාමිණී දිසානායක විමසිල්ලෙන් හිටියා. පුංචි වැරැද්දක්වත් වෙන්න ඉඩ දුන්නෙ නෑ. ඒක තමයි මම ඔහුගෙන් දැකපු විශේෂත්වය.   


තව එක සිදුවීමක් මට මතක් වෙනවා. කොත්මලේ චෛත්‍ය වැඩ පටන් ගන්න උත්සවේ ආවරණය කරන්න මම මාධ්‍ය කණ්ඩායමක් අරගෙන ගියා. අපි වෑන් එකක ගියේ. ජේ.ආර්. ජයවර්ධන තමයි මුල්ගල තියන්නෙ. අපිට මොකක් හරි ​ෙහ්තුවකට යන්න පරක්කු වුණා. අපි යනකොට චෛත්‍යය ළඟට යන කන්ද උඩ පාර වහලා පොලිසියෙන් කාටවත් යන්න දෙන්නෙ නෑ. අපි කිව්වා ජනාධිපතිතුමා යන්න කලින් මාධ්‍ය කණ්ඩායම එතන ඉන්න ඕනෑ ඒක නිසා යන්න දෙන්න කියලා. පොලිසිය ඒක ඇහුවෙම නෑ. දෙගොල්ලො වාද කරගෙන ආරෝවක් බවට පත්වුණා. බැරිම තැන අපේ කට්ටිය පොලිසියට ගහන්න ගියා. ධර්මරත්න විජේසුන්දර පොලිස් නිලධාරියගේ ෂර්ට් එකෙන් ඇදලා ගත්තා. ඒ පාරට එයාගෙ නිල ඇඳුමෙ පටිය ගැලවිලා ආවා. පොලිසියටත් කේන්ති ගිහින්. එතකොටම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පෙරහැරෙන් එතෙන්ට කිට්ටුවෙලා. ඒක නිසා රණ්ඩුව නැවතුණා. ඒත් වැඩෙන් පස්සෙ අපිට ගහන්න පොලිසිය බලාගෙන ඉන්නවා කියලා ආරංචි වුණා. ඒ වගේම මාධ්‍යවේදීන් කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ගම්පොළ පොලිසියට ගෙනිච්චා. මමත් අපේ වෑන් එකෙන් පොලිසියට ඇවිත් ආපහු කොත්මලේට ගියා ගාමිණී දිසානායක හම්බවෙලා විස්තරේ කියන්න. මම යද්දි උත්සවේ ඉවරවෙලා ගාමිණී ගෙදර ගිහින් රෑ කෑම කාල සුරුට්ටුවක් බොනගමන් හිටියේ. යනකොටම මට කිව්වා’ මම දන්නව ධර්මප්‍රිය එන කාරණාව මම ලෝයර්ස්ලා ලෑස්ති කරලා තියෙන්නේ’ කියලා. ඇප දෙන්න ඕනැ වුණොත් ගන්න කියලා සල්ලි ටිකකුත් දුන්නා. ඒ වෙද්දිත් සිද්ධිය ඔක්කොම ගාමිණීට ආරංචි වෙලා එයා ලෝයර්ස්ලටත් කතා කරලා වැඩේ බලන්න කියලා. ඊට පස්සෙ කවදාවත් නිකමටවත් ගාමිණි මගෙන් ඇහුවෙ නෑ මොකක්ද වුණු සිද්ධිය කියලා.   


දිගටම ගාමිණී දිසානායක එක්කමද හිටියේ?   

 

ඔව්. ප්‍රේමදාස ජනාධිපති වුණාට පස්සෙත් මම එයා එක්ක හිටියා. ප්‍රේමදාස එයා ඇමැතිකමෙන් අයින් කළානේ. ඇමැතිකමෙන් අයින් වෙනකම්ම මම ගාමිණී එක්ක හිටියා.   

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි