කාංචනාට උදාවූ හේමන්තයේ වසන්තය


තවත් ටික කාලයක් ගෙවී ගිය පසු කාංචනාගේත් රොෂාන්ගේත් විවාහ මංගල උත්සවයේ ඇරැයුම්පත මා වෙත ලැබිණ. වෝටර්ස් එජ් හෝටලයේ කලාකරුවන් රැසක් මධ්‍යයේ පැවැති විවාහ මංගල්‍යයෙන් ටික කලකට පසුව කාංචනා ද ලන්ඩනයට පදිංචියට ගියාය.   

 

 

ලන්ඩනයට හේමන්තය උදාවෙමින් තිබිණ. එය සුවිශේෂි හේමන්තයක් වූයේ 21 වැනි සියවස ඇරැඹීමත් සමඟ එළඹුණු පළමු හේමන්තය බැවිනි.   


2000 වර්ෂයේ සැප්තැම්බරයේදී ලන්ඩනයේ සම්පූර්ණයෙන්ම රූගත කළ, දෙවැනි මාලා ටෙලිනාට්‍යය වූයේ ‘හේමන්තයේ වසන්තයක්’ය. එහි වැඩ කටයුතු ඇරැඹුණේ ලන්ඩන් බෞද්ධ විහාරයේදී එවකට එහි විහාරාධිපති වූ ආචාර්ය මැදගම වජිරඥාන නායක හිමිගේ සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේය.   
ධර්මසේන පතිරාජගේ ‘සුබ අනාගතයක්’ ටෙලිනාට්‍යයේ රඟපාමින් දොළොස් හැවිරිදි වියේදීම රංගන ශිල්පිනියක ලෙස කතාබහට ලක්වූ කාංචනා මෙන්ඩිස්ගේ හොඳම කාලය ද ‘හේමන්තයේ වසන්තයක්’ විය. එකල ඇය බෙහෙවින් රූමත්ය. ඇගේ පෙම්වතා ලෙස අප තෝරා ගත්තේ රොෂාන් පිලපිටියය.   
සියලු සංවිධාන කටයුතු කෙරුණේත්, එක් නිෂ්පාදිකාවක වූයේත්, තිර කතාව ලියුවේත් ප්‍රවීණ නිළි ශ්‍රියානි අමරසේනය. ටෙලිනාට්‍ය ඉතිහාසයේ දෙවැනි වරට ලන්ඩනයේ රූගත කරන ‘හේමන්තයේ වසන්තයක්’ සඳහා මා අධ්‍යක්ෂවරයා වශයෙන් තෝරා ගැනීමට විශේෂ පෙලඹවීමක් කළේ ශ්‍රී ලංකාවේ සිටි කාලයේදී මගේ ටෙලිනාට්‍යයක රඟපෑ ලන්ඩනයේ පදිංචි රමේෂ් ඒකනායකය.   


ශ්‍රියානි අමරසේන දිනෙක මට දුරකතනයෙන් කතා කර කීවේ ලන්ඩනයේ රූගත කරන ටෙලිනාට්‍යයක අධ්‍යක්ෂණ කටයුතු සඳහා මට සූදානම් වන ලෙසය. ඇය තිර කතාව ලියන බවත් කතා සංකල්පය ලන්ඩනයේ පදිංචි තවත් ප්‍රවීණ වේදිකා රංගන ශිල්පිනියක වූ ප්‍රේමා ගනේගොඩගේ බවත් ඇය කිවුවාය.   
ප්‍රේමා ගනේගොඩ සමග නිෂ්පාදනයෙන් හවුල් වූයේ අනුර හෑගොඩය. අනුර මා බොහෝ කාලයක් තිස්සේ දැන හැඳින සිටි හිතවතෙකි.   


ශ්‍රියානි ඒ දිනවල චිත්‍රපට රූගත කිරීමක නිරත වීම නිසා ඉක්මනින් තිර කතාව ලිවිය යුතු බවත් එනිසා එය ලියන්නට පටන් ගන්නා ලෙස ද මට කීවාය.   


එය ලන්ඩනයේ වෙසෙන බෞද්ධ හා ක්‍රිස්තියානි පවුල් දෙකක තරුණ යුවලකගේ ආදර කතාවක් බවත්, ඔවුන්ගේ ප්‍රේමයට හරස් වන්නේ කේන්දර බලා කී අනාවැකියක් බවත් ශ්‍රියානි මට කීවාය.   
මම තිර කතාව ලියන්නට පටන් ගතිමි. ටෙලිනාට්‍යය ආරම්භ වන්නේ ලන්ඩන් බෞද්ධ විහාරයෙනි.   
රොෂාන් පිලපිටිය සංගීතයට ලැදි තරුණයකු ලෙස පෙන්වීමට මම ගිටාරයක් ද ඔහු අතට දුනිමි.   
දර්ශන කිහිපයක් ලියා ශ්‍රියානිට එය බාර දුන් පසු ඇය ඒවා ද එක්කර කතාව මනා ලෙස ගොනු කළාය.   
මා සමග ලන්ඩනය බලා ගියේ ශ්‍රියානි අමරසේන, කාංචනා මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය, කැමරා ශිල්පි එම්.ඩී. ජයන්ත සහ තවත් ශිල්පීන් තිදෙනකු පමණි. 

 
ශ්‍රියානි සමග එවිට ද ‘ඉර බටු තරුවේ’ රඟපා සිටි ලන්ඩනයේ විමල් අලහකෝන් සමග ශ්‍රියානි අමරසේන රොෂාන් පිලපිටියගේ (සාගර) මව්පියන් ලෙසත්, කාංචනාගේ (සැනීටා) මවුපියන් ලෙස ප්‍රේමා ගනේගොඩත්, අනුර හෑගොඩත් රඟපෑහ. කතාවේ හැටියට සැනීටා (කාංචනා) ක්‍රිස්තියානි පවුලට අයත් වූ අතර (සාගර) රොෂාන් බෞද්ධ පවුලට අයත් විය.   


එය කාංචනා මෙන්ම රොෂාන්ගේ ද ප්‍රථම ලන්ඩන් ගමන විය.   
අප නැවතී සිටියේ ලන්ඩනයේ ඇක්ටන් ප්‍රදේශයේය. ලන්ඩනයට පා තැබූ විගස දින දෙකක් අපි විමල්ගේ වෙම්බ්ලි නිවසේ ද නැවතී සිටියෙමු.   


ලන්ඩන් බෞද්ධ විහාරයෙන් (චිස්වික් පන්සල) රූගත කිරීම් පටන්ගත් අපි එතැන් සිට වෙම්බ්ලි උද්‍යානය, වෙම්බ්ලි පුස්තකාලය ඇතුළු බොහෝ ස්ථානවල රූගත කිරීම් කළෙමු.   
විමල්ගේ වෙම්බ්ලි නිවස රොෂාන්ගේ නිවස ලෙසත්, හැඩ්ලිවුඩ්හි පිහිටි අනුර හෑගොඩගේ නිවස කාංචනාගේ නිවස ලෙසත් රූගත කෙරිණ.   


මේ ප්‍රධාන චරිතවලට අමතරව අපට එක්වූයේ ලන්ඩනයේම වෙසෙන මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යයේ ගෝමරී ලෙස රඟපා ජනප්‍රියත්වයට පත් ලිලානි පෙරේරාය. ඒ සමග සෙසු චරිත සඳහා ලන්ඩනයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ කිහිප දෙනෙක් ද බ්‍රිතාන්‍ය ජාතික වේදිකා රංගන ශිල්පිනියක වූ කැනේ කාට්රයිට් ද හේමන්තේ වසන්තයක් රඟපෑමට සම්බන්ධ වූහ.   
මේ අතරින් සුවිශේෂීම චරිතය වූයේ කාංචනාගේ ලන්ඩන් මිතුරියක ලෙස රඟපෑ අද දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ ඩයනා ගමගේය.   
ඩයනාගේ රඟපෑම් මීට පෙර අප දැක නොතිබුණ ද ඇය පළපුරුදු රංගන ශිල්පිනියක සේ ප්‍රවීණ නළු නිළියන් සමග හරි හරියට රඟපෑවාය. ඇගේ දෙබස් උච්චාරණය ද ආකර්ෂණීය විය.   
අනෙක් සුවිශේෂී චරිතය විමල් අලහකෝන්ය. ඔහු රඟපෑ වෛද්‍යවරයාගේ චරිතය ටෙලිනාට්‍යයට විකාශය වීමෙන් පසු ජනප්‍රියත්වයට ද සුවිශේෂී අගැයීමකට ද ලක්විය.   


හේමන්තේ රූගත කිරීම් පටන් ගත්ත ද ටික දිනක් ගතවෙත්ම සීතල අධික වන්නට විය. හිටි ගමන් වැහි ඇදවැටුණේය. එවිට එළිමහනේ රූගත කිරීම් නවතා දැමිණි.
මේ කාලයේ බොහෝ විට හෙම්බිරිස්සා, උණ පැතිර යන නිසා විමල් කීවේ වැස්සෙන් නොතෙමී පරිස්සම් වන ලෙසය. වෙම්බ්ලි උද්‍යානයේදී එවැනි සීතල වැහි කීපයකටම අප හසු විය.   
සියවස එළඹීමත් සමග ලන්ඩන් නගරයට සුවිශේෂී ආභරණයක් වූ ලන්ඩන් අයි නොහොත් මිලේනියම් වීල් නමැති කතුරු ඔන්චිල්ලා මොඩලයේ විශාල රෝදයක් ද තේම්ස් නදී ඉවුරේ සවිකර තිබිණ. අපි එහි ද රූගත කිරීම් කළෙමු.   


එම දර්ශන තලය හැරුණු විට තවත් සුන්දරම දර්ශන තලයක් වූයේ ඩයනා කුමරියගේ වාසස්ථානය වූ කෙන්සින්ටන් මාලිගාවයි.   


එහි කාංචනාගේත් රොෂාන්ගේත් දර්ශන ගණනාවක්ම රූගත කෙරිණි. කෙන්සින්ටන් මාලිගා පරිශ්‍රයේ සුන්දර ජලාශය අවටත් මල් තුරුලතාවලින් සැදි උද්‍යානයේ සිටි සුවිශාල පැස්බරුන් සමගත් රූගත කළ දර්ශන අමතක කළ නොහැකිය. ඒ රූගත කළ දිනය අධික සීතලෙන් යුක්ත විය. ලන්ඩනයේ කාලගුණය හිටිගමන් වෙනස් වන බව කිව යුතුය. පරෙවියන් බොහෝ සේ ගැවැසෙන පිකඩලි චතුරශ්‍රය අවට ද දර්ශන ගණනාවක්ම රූගත කෙරිණි. උදෙන්ම ලන්ඩන් නගරයට ගොස් සීතලේ රූගත කිරීම් දැන් නම් සිහිනයක් මෙනි.   
හේමන්තේ වසන්තයක් ටෙලිනාට්‍යය ජාතික රූපවාහිනියේ විකාශය කළ විට එය එවකට ජනප්‍රියම ටෙලිනාට්‍යය විය. 2001 වර්ෂයේ එස්.ආර්.එල්. ශ්‍රේණිගත කිරීම් අනුව සති කිහිපයක්ම එය නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ජනප්‍රියම ටෙලිනාට්‍ය දහය අතර පළමුවැනි තැනට පත්විය.   
විමල් අලහකෝන් ප්‍රථම වරට ලද සුමති සම්මානය ද හේමන්තේ වසන්තයක් නාට්‍යයෙන් ලද ජයග්‍රහණයකි. ශ්‍රී ලංකාවට පැමිණ ටෙලිනාට්‍යය ද විකාශය වී ටික දිනක් ගිය විට කාංචනා මෙන්ඩිස් මා සමග කීවේ ඇය ළඟදීම විවාහ වන්නට යන බවයි.   


“අයියත් අපේ සම්බන්ධෙට හවුල්”   
“ඒ මොකක්ද?” මම විමතියෙන් ඇසුවෙමි.   
“එයාගේ නමත් රොෂාන්” ඇය මට කීවාය.   
“අපි අනුර (අනුර හෑගොඩ) අයියලාගෙ ගෙදර ෂූටින් කළා මතක ද?”   
“ඔව්”   
“රොෂාන් එදා ෂූටින් බලන්න ඇවිත් තියෙනවා. එදා තමයි එයා මාව දැකලා තියෙන්නේ.”   
ඒ මුණගැසීමෙන් ආරම්භ වූ හිතවත්කම් දුර දිග ගියේය. එය ආදර සම්බන්ධයක් බවට පත්විය.   
තවත් ටික කාලයක් ගෙවී ගිය පසු කාංචනාගේත් රොෂාන්ගේත් විවාහ මංගල උත්සවයේ ඇරැයුම්පත මා වෙත ලැබිණ.   


වෝටර්ස් එජ් හෝටලයේ කලාකරුවන් රැසක් මධ්‍යයේ පැවැති විවාහ මංගල්‍යයෙන් ටික කලකට පසුව කාංචනා ද ලන්ඩනයට පදිංචියට ගියාය.   
කාංචනාට ලන්ඩනයේදී හේමන්තයේදී වසන්තය උදා වූයේ එසේය.   
කාංචනා කලාව අතහැර ලන්ඩනයට පදිංචියට ගිය නිසා ඇය බොහෝ කලකින් අපට දැක ගන්නට නොහැකි විය.   


රොෂානුත් කාංචනාත් දැන් දරුවන් තිදෙනකුගේ මවුපිය යුවළකි.   
පසුගියදා මා සමග දුරකතනයෙන් කතා කළ කාංචනා මට කීවේ ලොකු පුතාට දැන් අවුරුදු දොළහක් බවය. දෙවැනි දියණියට අවුරුදු නවයකි. බාලම පුතාට අවුරුදු පහකි.   
හේමන්තේ වසන්තයෙන් මා හඳුනාගත් විමල් අලහකෝන් මා සමග චිත්‍රපට දෙකක්ම නිෂ්පාදනය කරන්නට හවුල් වූයේය. ඒ ‘ඉර සේවය’ හා ‘හිම තාරකා’ ය.   


පසුගියදා කාංචනා මගේ ජංගම දුරකතනයට එවන ලද කෙටි පණිවුඩ දෙකකින් කියා තිබුණේ, “අයියේ හේමන්තේ වසන්තය කරන ඒ කාලය හරිම සුන්දරයි නේද? එය කවදාවත් අමතක වෙන්නේ නෑ” කියාය.   
ඇත්තය, කාට අමතක වුවත් කාංචනාට නම් හේමන්තේ වසන්තයක් අමරණීය මිහිරි මතක සටහනක්මය.   

 

 

රොඩ්නි විදානපතිරණ