ඔය තියෙන මූසල කම හින්දයි ගෙට උන දවසෙම අම්මත් මැරුණේ


 

 

ඇඹරැල්ලා ගෙඩි දෙකත්, ලු‍ණු ගම්මිරිස් සහිත තසිමත් කිටි කිටියේ දෑතින් දරා ගත් දිනේෂි අයා ගත් දෑසින් පුන්සරා දෙස බලා සිටියාය. තමාට සැබෑවටම ඇසුණේ කුමක්දැයි පැහැදිලිව වටහා ගන්නට ඇයට පුළුවන්කමක් නොවිණි.   

 

“ඔයාගෙ අම්මා මැරිලා..”   


යෙහෙළියගේ වදන් ඇගේ සිත තුළ දෝංකාර දුන්නේය. එහෙත් කිසිසේත්ම ඒවා විශ්වාස කරන්නට ඇය සූදානම් වූයේ නැත. ඇයට පෙරදා රැයේ දුටු සිහිනය සිහිපත් විණි. එම සිහිනයේ අම්මා සිටියේ බිළිඳු දරුවෙකු වඩාගෙන, කැලයක් මැද්දෙන් ඇවිද යමින් වුවත් ඇය තුළ විඩාබර පෙනුමක් තිබුණේම නැත.   
“මහන්සියි.. වතුර ටිකක් ගෙනත් දෙන්න..”   


කියමින් ගසක් යට වාඩි වූයේත් ඇගේ අර ලස්සනම සිනාව පාමිනි. දිනේෂි වතුරත් රැගෙන එන විට ඇය අතුරුදහන් වී සිටි බැව් සැබෑවකි. එහෙත් ඇය කිසිම දිනෙක සදහටම ඔවුන් හැර යන්නේ නැත. ඇය පුන්සරා දෙස නොපහන් බැල්මක් හෙළුවාය.   


“මේ ඇත්තමයි නංගි කියන්නෙ.. ඔයාගෙ අම්මා මැරිලා.. ආච්චියි රේණුකා නැන්දයි ඉස්පිරිතාලෙ ගියෙ ඒකයි..”   
දුක්බර ආරංචියක් දරා ගන්නට කෙනෙකුගේ සිත සූදානම් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව හාංකවිසියක් හෝ නොදැන සිටි යුවතිය නැවත වරක් කීවාය. දිනේෂිගේ සිතේ ශෝකය වෙනුවට ඇති වූයේ දැඩි කෝපයකි. සිය ආදරණීය මව පිළිබඳව එතරම් නපුරු කතාවක් කියන්නට පුන්සරාට කොහෙත්ම අයිතියක් නැත. ඇය කටට එන දේවල් පාලනයකින් තොරව කියන කෙළතොල්ලියක බවට පොඩි නැන්දා දරන අදහස මොන තරම් නිවැරදිදැයි දිනේෂිට සිතිණි.   


“ඔයා නම් මහ නරක කෙල්ලෙක් අක්කෙ.. ඒකනෙ මගෙ අම්මා ගැන ඔය තරම් නපුරු කතාවක් කිව්වෙ.. මම කියන්නම්කො විනීතා නැන්දා එක්ක..” ඇය රවා බලමින් කීවාය. 

 
“අම්මා එළියෙ ඉන්නවා.. ඕන නම් එයාගෙනුත් අහලා බලන්න බැරියැ..” පුන්සරා කීවේ ගණනකට නැතිවය.   
දරා ගත නොහැකි කෝපය නිසා සිය හිස හිරිවැටී ගියාක් මෙන් දිනේෂිට දැනිණි. කරන කියන දේවල් පිළිබඳ හැඟීමක් ඇයට නොවිණි. සැබැවින්ම ඇය කිසිම දිනෙක තමන්ට පාලනය කර ගන්නට නොහැකි තරමට කෝප වී තිබුණේ නැත. හැම විටම සතුටින්, සැහැල්ලු‍වෙන්, සිනාවෙන් පිරී තිබූ ඇගේ නිවසේ කිසිවෙකුට නොසන්සුන් වීමට හේතු වන කිසිම දෙයක් නොතිබිණි. මල්ලිලා, නංගී අතර පවා ගැටුමක් ඇති වූයේ ඉඳහිටය.   


“බොරු නොකියා කට වහ ගන්නවා පුන්සරා..”   


දත්මිටි කමින් කියූ ඇය අතේ වූ ඇඹරැල්ලා ගෙඩි දෙකෙන් දමා ගැසුවාය. ඉන් එකක් පුන්සරාගේ නළලේත් අනෙක පපුවේත් වැදිණි. ඔවුන් හිඳ සිටියේ කෙටි පරතරයකින් යුතුව වුව ද ඇඹරැල්ලා ගෙඩි වේගයෙන් විසි කළ බැවින් පුන්සරාට සෑහෙන්නට රිදිණි.   


“ඌයි මෝඩ කෙල්ලෙ.. මට රිදුණා..”   


ඇය නළල අල්ලාගෙන කෑ ගැසුවේ දිනේෂිට පහරක් ගැසීමේ අරමුණෙන් ඇඳ දිගේම ඇය වෙත ඇදෙමිනි. දිනේෂිට එය ඉව වැටිණි. ඇය එවර පුන්සරාගේ මුහුණ ඉලක්ක කරමින් ලු‍ණු ගම්මිරිස් තසිම වීසි කළාය. එය ඇඹරැල්ල ප්‍රහාරයට වඩා සිය ගුණයකින් දරුණු වූයේය. ඇගේ දෑසත් මුහුණත් දැවෙන්නට වූයේ ඇය තුළ දැඩි වේදනාවක් හා භීතියක් ඇති කරවමිනි.   


“අම්මා..” ඇය දෑතින් මුහුණ වසාගෙන කෑ ගැසුවාය.   


වැට අද්දරට වී අල්ලපු ගෙදර සාමා සමඟ ජිනාදරීගේ ඉරණම ගැන කතාබහ කරමින් සිටි විනීතාට ඒ හඬ ඇසුණේ නැත.   


දිනේෂිගේ කෝපය වැඩි වූයේ පුන්සරා අම්මා ඇමතීම නිසාය. තමාගේ මව මිය ගිය බවට කුරිරු බොරුවක් කියූ ඇය දැන් කේළාම් කීම පිණිස ඇගේ මව කැඳවන්නීය. එය මහා අසාධාරණයක් නොවන්නේ ද..?   
“ආයෙ කවදාවත් බොරු කියන්නෙ නැති වෙන්න මම උඹට හොඳ පාඩමක් උගන්නනවා..”   
මුහුණ දෑතින් වසාගෙන සිටි පුන්සරා වෙත පැන්න දිනේෂි ඇය ඇඳ මත පෙරළාගෙන පහර පිට පහර දෙන්නට වූවාය. වයසින් ද සිරුරින් ද දිනේෂිට වඩා වැඩී සිටියත් ඇගේ කෝප වේගය හමුවේ පුන්සරාට හැරෙන්නටවත් නොහැකි වූයේය. ඊටත් වඩා ලු‍ණුත් ගම්මිරිසුත් වැටුණ දෙනෙත දැවෙමින් පැවතියේ අපායක පැසෙන කලෙක මෙනි.   


“අම්මා.. මේකි මාව මරන්න හදන්නේ.. අම්මා.. අනේ මාව බේරා ගන්න..” 

 
ඇය වහලේ උළු පවා ගැලවී උඩ වීසි වෙන තරම් උස් හඬින් විලාප දෙන්නට පටන් ගත්තාය. එයින් පසුබානවා වෙනුවට දිනේෂි වඩාත් දිරිමත් වූවාය. ඇයට පුන්සරා දැනුණේ තමාට මහා වරදක් කළ සතුරෙකු පරිද්දෙනි.   
“උඹට පිස්සු හැදිල ද කෙල්ලෙ මගෙ කෙල්ලට මෙහෙම ගහන්නෙ..?” 

 
සාමා පසුපස ඇතිව වහා කාමරයට දිව ආ විනීතා දිනේෂි පසෙකට තල්ලු‍ කර දමා ඇගේ ග්‍රහණයෙන් සිය දියණිය මුදා ගත්තාය. දිනේෂි හති හලමින් ඔවුන් දෙස බලා සිටියේ සැබෑවටම වියරු වැටුණ කලෙක මෙනි.   
“ඔව් අම්මා.. මේකිට පිස්සු තමයි.. මගෙ ඇස්වලට ගම්මිරිසුත් දැම්මා.. මට හොඳටම ගැහැව්වා.. අනේ අම්මා මාව දොස්තර කෙනෙක් ළඟට එක්ක යන්න.. මට ඉන්න හිටින්න බැරිව ඇස් දැවිල්ලයි..” පුන්සරා හඬා වැටුණාය.   


“මොනවා..? ඇයි එහෙම කෙරුවේ..?”   


විනීතා කලබලයෙන් ඇසුවේ දියණිය තදින් වසාගෙන සිටි ඇස් දෙසත්, අසාමාන්‍ය ලෙස ලොකු කර ගත් ඇස් සහිත දිනේෂි දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි. ඇඳ මත විසිරුණ ලු‍ණු ගම්මිරිස් සහ ඇඹරැල්ල ගෙඩි විසින් ඇයට පැහැදිලිව කතාව කියා දෙනු ලැබිණි. 

 
“ඉක්මනට එක්කරගෙන ගිහින් සීතල වතුරෙන් ඇස් දෙක හෝදන්න විනීතා.. දුවේ ඇස් පොඩි කරන්න එපා.. තුවාල වෙයි..”   


සාමා උපදෙස් දුන්නාය. පුන්සරා ගේ ස්වභාවය හොඳින්ම හඳුනන නිසා ඇයට අනුකම්පාවක් දැනුණේ දිනේෂි පිළිබඳවය. මේ අහිංසක යුවතියට වාවා ගන්නට බැරි යමක් පුන්සරාගෙන් සිදු වූ බැව් සහතිකය.   
“ඔය තියෙන මූසලකම හින්දා තමයි ගෙට වුණ දවසෙම අම්මත් මැරුණෙ.. නොදකින් විතරක්.. උදව්වට ආව කෙල්ලට ඔහොමයි සලකන්නෙ.. හතුරෙකුට වාගෙ මෙහෙම ගැහැව්වෙ මේකි උඹට මොනවා කෙරුවට ද..?”   
විනීතා විමසුවේ දිනේෂිගේ කන් පෙත්තකින් අල්ලා කරකවමිනි. දිනේෂි ගේ කන නොව සිත රිදෙන්නට පටන් ගත්තේය.   


“එයා කිව්වා.. එයා කිව්වා අපේ අම්මා මැරුණා කියලා.. ඒක ඇත්ත ද නැන්දෙ..? මගෙ මූසලකමට ද අම්මා මැරුණෙ..?”   


ඇය ගොත ගසමින් ඇසුවේ කඳුළු පෙරමිනි. 

 
විනීතා අතින් දිනේෂිගේ කන් පෙත්ත අත හැරිණි. තොල තදින් සපාගෙන මොහොතක් ගත කළ ඇය පුන්සරා කැටුව වහා කාමරයෙන් නික්ම ගියාය. සාමා, දිනේෂි අසලින් වාඩි වූයේ සුසුමක් ද හෙලමිනි. ඉරණමින් නියම කර නොතිබුණේ වී නමුත් අම්මා කෙනෙකුගේ මරණය දියණියට උදා කරන්නේ අවාසනාවම නොවේදැයි ඇයට සිතෙමින් තිබිණි.   


“අනේ නැන්දා.. මම පුන්සරා අක්කත් එක්ක තරහ නෑ.. අපේ අම්මා මැරුණා කියලා එයා කිව්වම මට මොනවා වුණා ද කියලා මට මතක නැති වුණා.. නැන්දා.. ඒක බොරුවක් නේද..? අපේ අම්මා මැරුණා කියලා එයා කිව්වෙ විහිළුවට නේද..? අපිව දාලා එයාට මැරෙන්න බෑනෙ නැන්දෙ..” 

 
දිනේෂි කෑ ගසා හඬමින් සාමාට වාරු වූවාය. ඇය යුවතියගේ හිස සෙමින් පිරිමැද්දේ කුමක් කිව යුතුදැයි සිතමිනි.   


“මට අම්මා බලන්න යන්න ඕන නැන්දා.. අනේ අපෙ තාත්තට කෝල් එකක් දීලා කියන්න මාව එක්කන් යන්න කියලා.. අපෙ අම්මා මැරුණා කියන්නෙ ලොකු බොරුවක්.. ලොකු බොරුවක්..”   
ඇය හඬා වැටුණාය. 

 

෴ ලබන සතියට ෴