උසාවියේ තිබූ මත් කුඩු යලිත් ජාවරමුන් අතේ


 

 

ඇලඩින්ගෙන් පුදුම පහනෙන් කුඩු අල්ලනවා වාගේ අපේ ආරක්ෂක අංශ රටේ තැනින් තැන මත්කුඩු අත්අඩංගුවට ගත්තත්, මේ අල්ලන ඒවාට සිදු​ෙවන්නේ කුමක්දැයි සමාජයේ බොහෝ දෙනා ප්‍රශ්න කර සිටින්නේ ඇල්ලූ පසු ඒවාට සිදුවන දේ ගැන පැහැදිලිව වාර්තා නොවීම නිසාය. අපේ රටේ නීතියට අනුව අදාළ සිද්ධිය සම්බන්ධ නඩු කටයුතු අවසන් ​ෙවන තෙක් ඒවා රඳවා තබා ගත යුතු වෙයි. කෙටියෙන් කියතොත් ඒවා “නඩු භාණ්ඩ” යි.

 

මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන අංශයන් අත්අඩංගුවට ගන්නා හෙරොයින් සම්බන්ධයෙන් මුලින්ම සිදු​ෙවන්නේ අධිකරණයට කරුණු වාර්තා කිරීමයි. ඉන් අනතුරුව එම හෙරොයින්වල ශුද්ධ බර සොයා බැලීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඒවා යැවෙන්නේ අධිකරණ නියෝගයකට අනුව පොලිසිය භාරයේය. පොලීසිය භාරයේ එන මේ හෙරොයින්වල ශුද්ධ බර සොයා ගන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසිනි. පසුව එම නඩු භාණ්ඩ නැවතත් පොලීසිය භාරයේ අධිකරණය වෙත ද යොමුවන අතර විශාල ප්‍රමාණයේ හෙරොයින් තොග රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රක්ෂිත නඩු භාණ්ඩ ගබඩාවේ රඳවා තැබෙයි.
හෙරොයින් ග්‍රෑම් දෙකට වඩා අඩු හෙරොයින් මහේස්ත්‍රාත් අධිකරණවල පවතින නඩු භාණ්ඩ කාමරයන්හි තැබෙන අතර, නඩු විභාග අවසානයේ දී එම නඩු භාණ්ඩයන් අදාළ මහේස්ත්‍රාත්වරයා විසින් විනාශ කර දමනු ලබන්නේය. හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැම් අවස්ථාවලදී වතුරේ දියකර විනාශ කර දමන අතර ඇතැම් අවස්ථාවලදී පුළුස්සා දැමීම ද සිදුකෙරෙයි.


එය සිදු​ෙවන්නේ හුදෙක්ම මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේවීම විශේෂිතය. ඇතැම් අවස්ථාවල ග්‍රෑම් දෙකට වැඩි හෙරොයින් සිද්ධීන් මහේස්ත්‍රාත් අධිකරණවල මුල් අවස්ථාවේදී විභාග වීමෙන් පසු මහාධිකරණයට යොමු කරයි. එහිදී ද එම නඩු භාණ්ඩ මහාධිකරණ නඩු විභාග අවසන් ​ෙවන තුරු තබන්නේ ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමර තුළ ය.


අල්ලන කුඩුවලට මොකද වෙන්නේ? යැයි සමාජය නිරන්තරයෙන් ප්‍රශ්න කරමින් සිටින මොහොතක යළි යළිත් කියන්නට සිදුව ඇත්තේ නීතිය රකින තැන සිදු​ෙවන වැරදි ගැන වීම කෙතරම් අභාග්‍යසම්පන්නද? පසුගිය 22 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හෙරොයින් ග්‍රෑම් 750ක් ද සමගින් අත්අඩංගුවට ගත් ගොතටුව පොලීසියේ කොස්තාපල්වරයකු සම්බන්ධ ප්‍රවෘත්තියෙන් යළිත් ‘නීතිය රකින තැන’ ගැන කම්පනය මුසු කතාන්දරයක් ඇසෙන්නට විය.


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙරොයින් ග්‍රෑම් 48ක් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගන්නේ ඉකුත් 21 වැනිදාය. හොරොයින් විකුණා ලබාගත් රුපියල් දහතුන් ලක්ෂයකට ආසන්න මුදලක් ද මෙම සැකකරු සන්තකයේ තිබී පොලීසිය සොයාගෙන තිබිණි.


“උඹට කොහෙන් ද මේ බඩු?”


නාකොටික් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමේදී වැඩි දැඟලිල්ලක් නොදක්වාම සැකකරු සියල්ල වමාරන්නට වූයේය.
“සර් මේවා මට දෙන්නේ ගොතටුවේ පොලීසියේ මහත්තයෙක්. මේ සල්ලි ටිකත් එයාට දෙන්න තියෙන සල්ලි”


“ඒ මොකටද එයාට සල්ලි දෙන්නේ?”


“සර් කලින් ගත්ත බඩු විකුණපු සල්ලි මේ”


සැකකරු මේ පවසන්නේ සත්‍යයක් දැයි සෙවීම නාකොටික් නිලධාරීන්ගේ ඊළඟ පියවර විය.
“හරි, එහෙනම් දැන් උඹ කෝල් එකක් අරගෙන ඌට එන්න කියපං සල්ලි දෙන්න. තව බඩු ටිකකුත් ඕනැ කියලා කියපං”


ඒ අනුව දුරකථන ඇමතුමක් ගැනිණි. පොලිස් උගුලට තමන් ද හසුවූ බව නොදත් මේ පොලිස් කොස්තාපල්වරයා හුරුපුරුදු ස්ථානය වූ මුල්ලේරියාව පොලිස් වසමේ මණ්ඩාවිල පන්සල අසල ඇවිදින මංතීරුව අසලට ආවේ සිවිල් ඇඳුමක් ඇඟලා ගනිමින් සිය ත්‍රීරෝද රථයෙනි.


“මං ආවා” පොලිස් නිලදරුවාගේ ඇමතුමට ඔහු ළඟට ආවේ සැකකරු පමණක් නොවේ. බඩුත් එක්ක හොරු අසුවූ පසු නීතිය හොඳින්ම දත් පොලිස් කොස්තාපල්වරයා ගිරවකුගේ වේෂය ගත්තේය. තමන්ට මේවා ලැබුණු තැන පොලීසිය අසන්නටත් කලින් ඔහු කීවේය.


“මට මේවා දුන්නේ අලුත්කඩේ උසාවියේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු”


මේ සිදුවීම වී මෙය ලියන මොහොත වෙද්දී දින 06ක් ඉක්ම ගොසිනි. රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයා සහ අනෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එහෙත් මේ ​ෙවන තෙක් නඩු භාණ්ඩ කාමරයේ භාරකරු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාවක් ලැබී නැත. මෙම නඩුව ඉකුත් 27 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය හමුවේ කැඳවුණු අවස්ථාවේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව දෙවැනි සැකකරු වශයෙන් නඩු භාණ්ඩ කාමරයේ භාරකරු වශයෙන් ක්‍රියා කළ කේ. ගැමුණු සම්පත් කුමාර යන අය නම් කරන බව ය. 


ඒ අනුව මෙම නඩුවේ පළමු සැකකරු ​ෙවන්නේ ගොතටුව පොලීසියේ පොලිස් කොස්තාපල් රුමේෂ් ගිම්හාන් ය. මෙහි නඩු භාණ්ඩ භාරකරු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ දැයි මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් විමසීමක් කළ අතර, එහිදී පොලීසිය සදහන් කළේ, මෙහි දෙවැනි සැකකරු පදිංචි බවට අනාවරණය වූ කළුතර ප්‍රදේශයේ ස්ථාන දෙකකට ගොස් පරීක්ෂා කළද ඔහු පදිංචිය හැරගොස් ඇති බවට වාර්තා වූ බව ය. ඒ අනුව ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, අධිකරණය එම නියෝගය නිකුත් කළේය. මෙම නඩුභාණ්ඩ කාමරයේ භාරකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 01, 02, 05, 06, 07 සහ 08 යන අධිකරණවල නඩු භාණ්ඩ භාරකරු වශයෙන් ක්‍රියා කරන බවද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය. මේ සිදුවූ සිදුවීම හේතුවෙන් ඉදිරියේ දී එම අධිකරණවල පවතින නඩුවලට ද යම් බලපෑමක් සිදුවිය හැකි බවද එහිදී පොලීසිය සඳහන් කළේය.


මේ සිද්ධියට අදාළ හෙරොයින් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඉකුත් 2020 වර්ෂයේ දී අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2 අධිකරණයේ විභාග​ෙවන බී 4379/2/20 දරන නඩුවට අදාළ නඩු භාණ්ඩයක් ​ෙවන අතර, මෙය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තා කැඳවා තිබූ එකක් බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.


මින් ඉහතදී වාර ගණනාවක දී මෙම ජාවාරම සිදුකර ඇතැයි පොලිස් කොස්තාපල්වරයා තොරතුරු අනාවරණය කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනය සිදුකරමින් පවතින බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම පොලිස් නිලධාරියාට මෙන්ම වෙනත් අය හරහා මෙම ජාවාරම සිදුව ඇති අතර එය ජාලයක් ලෙසින් ක්‍රියාත්මකවීමක් සිදුව ඇති බවට ද තොරතුරු හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය යනු මෙරට ප්‍රධානතම මහේස්ත්‍රාත් අධිකරණයයි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ වැට මායිමේ පිහිටි මෙම අධිකරණය ඉදිරිපිට ශ්‍රේෂ්ඨාධිකරණයත්, අභියාචනාධිකරණයත්, මහාධිකරණයත් යනාදී වශයෙන් කොළඹ අධිකරණ කලාපයෙන්ම වටවී ඇත. එහි පිහිටීම කෙසේ වුවද නඩු භාණ්ඩ කාමරයේ නඩු භාණ්ඩ අස්ථානගතවීම් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවෙයි.


නිවසක් බිඳ රුපියල් පන්ලක්ෂ විසි දහසක් වටිනා දේපල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මගින් ඉකුත් 2017 වර්ෂයේ මැයි මස 05 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ අංක 04 අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණු අතර එයට අදාළ බී 73270/04/17 දරන නඩුවේ පී ආර් 2153/2017 දරන නඩු භාණ්ඩය වූ රන්දම්වැලක් (රත්‍රන් පවුම් 22ක් ඇතුළත්) නඩු භාණ්ඩ කාමරයෙන් අතුරුදන් වී තිබිණි. අදාළ නඩු භාණ්ඩ ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් 2017 වර්ෂයේ ජුනි මස 12 වැනිදා ඉහත පී ආර් අංකය යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දෙවැනි නඩු භාණ්ඩ කාමරය වෙත භාර දී ඇතැයි වාර්තා විය.


මෙම සිද්ධියේ පැමිණිල්ල වූ අංක 307/14/ඒ, මහවත්ත පාර ග්‍රෑන්ඩ්පාස් පදිංචි මොහොමඩ් අලී නිම්මතුල්ලා ෆරීනා යන අය විසින් මෙම නඩුව අධිකරණය හමුවේ පවතින අවස්ථාවේ දී එම නඩු භාණ්ඩ ඉල්ලනු ලැබ තිබිණි. එහිදී අධිකරණය පැමිණිලිකාරියට එම නඩු භාණ්ඩ මුදාහැරීමට නියෝග කළ අතර, පැමිණිලිකාරිය අදාළ නඩු භාණ්ඩ ලබා ගැනීම සඳහා නඩු භාණ්ඩ කාමරය වෙත ගොස් එය ඉල්ලා සිටි අවස්ථාවේදී එම රන්මාලය නඩු භාණ්ඩ කාමරයෙන් අතුරුදන්ව ඇති බවට වාර්තා විය. බෝතලයක අසුරා තිබූ පවුම් පහකට වඩා වැඩි බරකින් යුත් රත්‍රන් මාලයක් මුදු කිහිපයක් කරාබු කිහිපයක් මෙසේ අතුරුදන් බවට එදා කරුණු වාර්තා විණි. ඒ අනුව එවකට නඩු භාණ්ඩ කාමරයේ භාරකරු වශයෙන් කටයුතු කළ අය පොලීසිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර, මාස කිහිපයකට පසු එම තැනැත්තා ඇප මත මුදා හැර ඇති අතර මේ වන විටත් එම නඩුවද අධිකරණය හමුවේ විභාග වෙමින් පවතියි.


මේ අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ජාවාරමට හසුවූ හෙරොයින්වල වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 13කට අධික බව පොලීසිය කියයි. මින් ඉහතදී මෙම පොලිස් නිලධාරියා සමග නඩු භාණ්ඩ කාමරයේ භාරකරු සිදුකර ඇති ජාවාරමට අනුව රුපියල් කෝටියකට අධික මුදලක් සංසරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

 

ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද විදේශීය මත්පැන් තොගයක් (බෝතල් 6000ක් පමණ) ඉකුත් 2017 වර්ෂයේදී නඩු භාණ්ඩ වශයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, ඉන් බෝතල් 1000ක් පමණ අතුරුදන් වූ පුවතක්ද එවකට අධිකරණයේ කනින් කොණින් ඇසෙන්නට වූ පුවතකි. ඒ මත්පැන් බෝතල්වලට සිදුවූ දේ ගැන උසාවියේ ඇත්තෝද හොඳින් දැනගෙන සිටියහ. එහි ආරංචි මාර්ග සඳහන් කළ අන්දමට ඒවා අධිකරණයෙන් පන්නාගෙන යාමට අධිකරණයේම උදවියට හැකියාව ලැබී තිබිණි. නඩු භාණ්ඩ කාමරයේ ලොකුම හොරු වශයෙන් සිටින්නේ මීයන් ය. මුලින් ඒවා සීල් කඩා කන්නේ ඒ සතුන්ය. නඩු භාණ්ඩ වශයෙන් පොලීසිය අධිරණයට ඉදිරිපත් කරන කේරළ ගංජා, අයිස්, හෙරොයින් වැනි දේට මේ ආකාරයෙන් වැඩේ දෙන්නේ මේ මීයන් ය. මෙයද එම අධිකරණයේ කියැවෙන ප්‍රසිද්ධ කතාවකි.

 

 

සටහන
නිමන්ති රණසිංහ