ඇත්තටම මගේ ජිනයි දරුවයි මැරුණද


කාලයේ සුන්දර දිය දහරාව දිගේ නිසංසලේ ඇදී ගිය ජීවන යාත්‍රාව මෙතරම් විසල් කුණාටුවකට හසු වෙනු ඇතැයි කවුරුවත් අනුමාන කළේ නැත. එය දිය සුළියක කැරකී හෙම්බත් වී හෝ නතර වූයේ නම් කොතැනකින් හෝ අලු‍තින් ගමන පටන් ගන්නට හැකියාව තිබිණි. එහෙත් එය නැවත එක් කරන්නට නොහැකි ලෙස කැඩී බිඳී කැබලිති ද දිය දහරේ පත්ලටම ගිලී ගොස් තිබිණි.   

දරු ප්‍රසූතිය අවස්ථාවේ අධිරුධිර පීඩනය හරහා ඇති වූ සංකූලතාවක් හේතුවෙන් ජිනාදරී මිය ගොස් තිබුණේ නූපන් දරුවා ද සමඟින්මය. ඇය ජීවිතයත් මරණයත් අතර සටන් කරන බැව් දැන ගත් මොහොතේ සිටම කිත්සිරි සියදහස් වරක් මැරි මැරී ඉපදී තිබිණි. ඔහු වතුර පොදක් හෝ නැතිව රෝහල් භූමියේ බංකුවක හිඳ සිටියේ කොයි මොහොතක හෝ ඇය ගැන සුබ ආරංචියක් අසන්නට ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි. කවදාවත් දෙවියන් විශ්වාස නොකරන ඔහු කතරගම, පත්තිනි, විෂ්ණු ඇතුළු මතක් වෙන මතක් වෙන හැම දෙවියකුටම යාඥා කළේය. ලොකු දුව වැඩිවිය පත් වූ පුවත නැගණිය වෙතින් අසන්නට ලැබුණ විට සිනාසෙන්නටදැයි හඬන්නටදැයි නොදැන ඔහු අන්දමන්ද වී මොහොතක් බලා සිටියේය. ඔහුට දැනුනේ තමාගේ ඇතුළාන්තය කිසිම කිසි දෙයක් නොමැතිව එහෙම පිටින්ම හිස් වී ගොස් ඇති සෙයකි. ජිනාදරී සුවෙන් සිටියේ නම් කවදාවත් ඔහුට මෙවන් අසරණ හැඟීම් දැනෙන්නේ නැත. ජීවිතය බොහෝ සුවපහසුව ගලා යන්නේ ඇය ළඟ සිටියදී පමණක් නොවන්නේදැයි ඔහුට සිතිණි. ඔහු කළේ හරිහම්බ කර ගෙනැවිත් දීම පමණකි. ඇය දරුවන් ද බලාගෙන සියල්ල අපූරුවට කළමනාකරණය කර ගත්තාය. ඔහුට අබමල් රේණුවකවත් පීඩාවක් දැනෙන්නට ඇය ඉඩ හැරියේ නැත. ඉදිරිය පැහැදිලිව දැකීමේ අපූරු බුද්ධියක් ද ඇය තුළ තිබිණි. ලොකු දුව තමා නිවසේ නැති දිනවල වැඩිවිය පත් වෙනු ඇතැයි හැඟීම ඇය තුළ උපන්නේ ඒ හරහාය.   
“ඔයා කිව්ව විදියටම ඒක සිද්ද වුණා ජිනා... එතනින් එහාට කරන්නෙ මොකක්ද කියලා මට හිතා ගන්න බෑ... අනේ ඔයා ඉක්මනට ඔය බරෙන් නිදහස් වෙලා එන්න. මට ඔයා නැතුව කිසිම දෙයක් හිතා ගන්න බෑ.”   
ඔහු දෙනෙත් පියා ගනිමින් දැඩි දුකින් මුමුණා ගත්තේය.   


ඇය සිනාමුසුව පැමිණ තමා ඉදිරියේ සිටගනු ඔහු දුටුවේ ඒ මොහොතටය. ඇය සිටියේ දරු බරින් නිදහස්වය.   
“කිත්සිරි අයියා...”   


ඔහු තිගැස්සී ඇස් හැරියේ ජිනාදරී දකින්නටය. එහෙත් ඔහු ඉදිරිපිට සිටගෙන සිටියේ ඇය නොව ඔහු හඳුනන හෙදියකි. ජිනාදරීට අමාරු බැවින් ගෙදර නොයා රෝහල් බිමේම රැඳී සිටින ලෙස ඔහුට දැනුම් දෙන ලද්දේ ද ඇය විසිනි. ජිනා යනුවෙන් ඔහුට කියැවෙන්නටත් ගියේය. 

 
“නංගී...” ඔහු සිනාසෙන්නට තැත් දරමින් මුමුණා ගත්තේය.   


එහෙත් ඇගේ මුහුණේ සිනා පොදක් හෝ නොවිණි. ඇස් ද බොර පැහැයට හැරී තිබුණේය. කුමක් හෝ බැරෑරුම් යමක් සිදු වී ඇති බැව් ඔහුට වැටහිණි. ඔහුගේ පපුව රිදුම් දෙන්නට පටන් ගත්තේය.   
“නංගී... ජිනාට බබා ලැබුණද?”   


වහා නැගිට ගත් ඔහු විමසීය.   
“අයියා ගිහින් ඩොක්ටර්ව හම්බ වෙන්නකො.”   
කියූ ඇය මොහොතක්වත් එතැන නොරැඳී නික්ම ගියාය. කිත්සිරි හෙමිහිට වාට්ටුවට ගියේය. වෛද්‍යවරයාගේ මේසය තිබුණේ ගැබිණි වාට්ටුව කෙළවරකය. එතැනට යද්දී ඔහු වුවමනාවෙන් බැලු‍වේ ජිනාදරී රඳවා සිටි ඇඳ දෙසය. එහි සිටියේ වෙනත් මවකි.   


“මටත් පිස්සු. ජිනා කොහෙද මේ වාට්ටුවේ. දරුවෝ හම්බ වුණ අය දාන්නෙ එහා පැත්තෙ වාට්ටුවටනෙ.”   
ඔහු බලාපොරොත්තු සහගතව මුමුණා ගත්තේය.   


වාට්ටුවේ සිටි ගැබිනි මව්වරු හැමදෙනාම තමා දෙස අනුකම්පාවෙන් බලන්නාක් මෙන් ඔහුට දැනිණි. ඔහුගේ පපුව අධිවේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේය.   
“ඩොක්ටර් මේ ජිනාදරීගෙ හස්බන්ඩ්”   


ඒ වනවිට එතැනට පැමිණ සිටි ඔහු හඳුනන හෙදිය වෛද්‍යවරයාට පැවසුවාය. තවත් හෙදියන් දෙදෙනකු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවක ද සමඟ බැරෑරුම් සාකච්ඡාවක නියැලී සිටි මැදිවියේ වෛද්‍යවරයා වහා ඔහු දෙසට හැරුණේය. සිය කණ්ණාඩි කුට්ටම මේසය මත තැබූ ඔහු හෙමිහිට හිස සැලීය. හෙදියක් තවත් හෙදියකගේ කනට යමක් කෙඳිරුවේ සුසුමක් ද හෙළමිනි. වෛද්‍යවරයාගේ ඍජු බැල්ම කිත්සිරි සසල කරවන්නට සමත් වූයේය. ලොරි රියැදුරකු වූ ඔහුට මෙවන් සම්භාවනීය පුද්ගලයන් සමඟ ඇසුරු කර පළපුරුද්දක් නොවිණි. කලාතුරකින් උණ, බඩේ අමාරුව වැනි අසනීපයක් වැළඳුණ විට ඔහු ප්‍රතිකාර ගන්නට ගියේ ගමේ ඩිස්පෙන්සරියක් පවත්වාගෙන යන වෛද්‍යවරයා වෙතය. එක බෙහෙත් වේලෙන් ඕනෑම ලෙඩක් සුව වෙන බැවින් ඔහු ගමේ ප්‍රසිද්ධව සිටියේ වන්ෂොට් යනුවෙනි. ටීෂර්ටයකින් සහ කලිසමකින් සැරසී සිටින, බුලත් විට කන ඒ වෛද්‍යවරයා අසලදී කිත්සිරිට තමන්ගේකමක් මිස චකිතයක් නම් කවදාවත් දැනී තිබුණේ නැත. එහෙත් පිළිවෙළට කමිසය, කලිසම හැඳ ටයි පටියක් ද පැලඳ සිටි මේ වෛද්‍යවරයාට අමතන්නේ කෙසේදැයි අනුමාන කරන්නටවත් කිත්සිරිට පුළුවන්කමක් නොවිණි. ඔහු වියළි දෙතොල දිවෙන් තෙත් කර ගනිමින් වෛද්‍යවරයාගේ ගෙලේ රැඳවුණ වෙද නළාව දෙස බලා සිටියේය.   


“පුතා...”   


වෛද්‍යවරයා දෑත ළමැදේ බැඳගෙන කාරුණික ස්වරයෙන් ඔහු ඇමතුවේය. කිත්සිරි දෙනෙත් අයාගෙන බලා සිටියේය. හැම වෛද්‍යවරයෙක්ම සැරපරුෂ අය බවට ඔහු තුළ තිබූ හැඟීම දිය වී යන්නට ඒ එකම වචනය ප්‍රමාණවත් වූයේය. එහෙත් ඔහු පසුබිම සකස් කරන්නේ මේසා ඛේදජනක පුවතක් තමාට දැනුම් දෙන්නට යයි කිත්සිරි සිහිනෙකින්වත් සිතුවේ නැත.   


“පුතා... මේ ආරංචිය අහල කලබල වෙන්න එපා කියලා මට ඔයාට කියන්න බෑ. ඒත් මේක සිහියෙන් වැඩ කරන්න ඕනැ වෙලාවක් කියලා හොඳට මතක තියා ගන්න.”   
ඔහු කීවේ ඒ වදන්වලට අනුමැතිය පතන්නට මෙන් හෙදියන් දෙස ද බලමිනි.   
“දොස්තර මහත්තයා...”   


කිත්සිරි වෛද්‍ය මේසයේ ගැට්ට තදින් අල්ලා ගනිමින් මිමිණීය.   


“ඔයාගෙ වයිෆ්ට තදටම ප්‍රෙෂර් එක නැග්ගා. සැරින් සැරේ ෆිට් එකත් හැදුණා. අපි පුළුවන් තරම් උත්සාහ කළා අඩුම ගානෙ දරුවා හරි බේරගන්න. ඒත් අපි ෆේල්...”   


වෛද්‍යවරයා තවත් මොන මොනවාදෝ කීවත් ඒ එකක්වත් කිත්සිරිගේ සිතට ඇතුළු වූයේ නැත. ඔහු කළේ අයාගත් දෑසින් දිගටම වෛද්‍යවරයා දෙස බලා සිටීම පමණකි.   


“කිත්සිරි අයියා...”   


ඔහු සිටින්නේ හදිසි සිහිසුන් තත්ත්වයක බැව් අවබෝධ කරගත් හඳුනන හෙදිය ඔහුගේ අතට සෙමින් තට්ටු කළාය. ඔහු වහා කලබල වී ඇය දෙසට හැරුණේය.   


“ඇත්තටම මගෙ ජිනයි දරුවයි මැරුණද නංගී...?”   


ඔහු ඇසුවේ සිහිනයෙන් කතා කරන්නාක් බඳු ස්වරයකිනි. ඇය දෙතොල් තද කර පියාගෙන ඉහළට පහළට හිස සැලු‍වාය. ඔහු දිගු හුස්මක් ඉහළට ඇද ගත්තේය. ඒ හුස්ම පිට කරද්දී ඔහු සිටියේ වෛද්‍ය මේසය අසල බිම වැටීගෙනය.   


“අනේ ජිනා... මේක බොරුවක්... දොස්තර මහත්තුරුන්ට වැරදිලා... ඔයා කොහොමද අපිව දාලා යන්නෙ... ඔයාගෙ ලොකු දුව ලොකු ළමයෙක් වුණ දවසෙම ඔයා කොහොමවත් එහෙම යන්නෙ නෑ... මේක බොරුවක් කියලා කියන්න මහත්තයෝ...”   


ඔහු වෛද්‍යවරයාගේ දෙපා වැළඳගෙන විලාප තැබුවේය. කවදාවත් නොගැලුූ කඳුළු කන්දරාවක් ඔහුගේ ඇස්වලින් ගලමින් තිබිණි. ඒ අනුවේදනීය දසුන බලා සිටි සියල්ලෝම හූල්ලමින් සිය ඇස් පිසලා ගත්හ.   
ලබන සතියට.