අසුපිටින් වැටී මිය ගිය නිදහස් ලංකාවේ පළමු අගමැති


  •  ‘‘චිත්‍රා’’ වෙළඹ අගමැති බිම හෙළා පැන දිව්වා

සේනානායක මහතා අභාවයට පත්වූයේ වියපත් වීමෙන් හෝ රෝගී වීමෙන් නොවේ. අනපේක්ෂිත හදිසි අනතුරකිනි. මේ කියන අනතුර සිදුවූයේ උදෑසන ව්‍යායාම පිණිස ගාලු මුවදොර පිටියේ අසු පිට නැගී ගමන් කරන අතරතුර අසු පිටින් බිම ඇදවැටීමෙනි. මෙම හදිසි අනතුර සිදුවූයේ 1952 මාර්තු 21 වැනිදා උදේ 6.50ට පමණය. 


අගමැතිවරයා මුහුණ දුන් අනතුර 1952 මාර්තු 22 වනදා ලංකාදීපය ‘අගමැතිතුමාගේ තත්ත්වය බරපතළයි’ යන සිරස්තලයෙන් හා ‘ඊයේ අසුපිටින් වැටී සිදු වූ ඇබැද්දිය’ යන අනු සිරස්තලයෙනුත් වාර්තා කළේය. මුල් පිටුවේ අගමැතිතුමා අසු පිටින් යන ඡායාරූපයක් හා පුත් ඩඩ්ලි සේනානායක මහතා රෝහලට පැමිණි අමුත්තන් සමඟ කතා කරන ඡායාරූපයක් පළ කොට තිබිණි. 


දිනපතාම පාහේ අසුපිට නැගී ව්‍යායාම් කළ ඩී.ඇස්.ගේ හුරුපුරුදු අශ්වයා වූයේ ‘‘ඇම්බර්’’ නමැති අශ්වයාය. එහෙත් ‘‘ඇම්බර්’’ වෙනදාට වඩා ක්‍රීඩාශීලි වූ බැවින් හැට අට හැවිරිදි අගමැතිවරයාගේ ව්‍යායාම් පිණිස වෙනත් අශ්වයෙකු යොදවන්නට තීරණය විය. 


අලුතින් යොදවන්නට තීරණය වූයේ චිත්‍රා නම් වෙළඹකි. චිත්‍රා පොලිස් සේවයට අයත් වෙළඹක් වූවාය. ඇය ඉතා නිශ්චල හා ආරක්ෂාකාරී වෙළඹකි. පොලිස් සේවයේ යෙදී සිටි වසර පහළොවක කාලය තුළ චිත්‍රා කිසිදු අසරුවකු බිම හෙළා තිබුණේ නැත. එවැනි වෙළඹක් අගමැතිතුමාගේ ව්‍යායාම් සඳහා යෙදවීමට ඉතාමත්ම සුදුසු වූවාය. එහෙත් එතරම්ම විශ්වාසදායී වෙළඹක වූ චිත්‍රා මාර්තු 21 වැනිදා උදෑසන බියට පත්ව පිට මත හුන් අගමැතිවරයා බිම හෙළා පැන දිව්වාය. 


මාර්තු 21 වැනිදා අගමැතිතුමා ව්‍යායාම පිණිස ගියේ පොලිස් ඉන්ස්පෙක්ටර් ජෙනරාල් සර් රිචඩ් අලුවිහාරේ සමඟය. ගාලු මුවදොර පිටියේ බොහෝ පිරිස් අසු පිටින් යමින් ද ව්‍යායාම් ගනිමින් ද සිටියහ. ඩී.එස්.ගේ රජයේ කර්මාන්ත ඇමති ජී.ජී. පොන්නම්බලම් මහතාද (යාපනය මන්ත්‍රී) පිටියේ වෙනත් කොනක අසුපිට යමින් සිටියේය. 

සර් රිචඩ් අලුවිහාරේ ගාලු මුවදොර පිටියේ එක් කොනක සිය අසු මෙහෙයවමින් සිටියේය. අගමැතිවරයා සිටියේද කිසිදු වෙනසක් නැතිව සිය අසු මෙහෙයවමිනි. එහෙත් එක් වරම කුලප්පු වූ චිත්‍රා වෙළඹ වේගයෙන් පිටිය පුරා දුවන්නට වූවාය. අගමැතිතුමා අසු මෙල්ල කරන්න තැත් කළත් ඌ තව තවත් කුලප්පු ​ෙවන්න විය. කුලප්පු වූ අසු පිටින් වැටුණු අගමැතිවරයා උරය බිම හැපෙමින් වැටී දෙතුන් වටයක් පෙරළී මුනින් අතට වැටිණි. සිද්ධිය දුටු සමහරු ලංකාදීපයට පවසා තිබුණේ අගමැතිවරයා වේගයෙන් දුවන අසු පිටින් පැන්න බවය. චිත්‍රා වෙළඹ අගමැතිතුමා බිම හෙළා දුවන දුටු සර් රිචඩ් එතැනට වේගයෙන් අසු මෙහෙයවා ගොස් වෙනත් අයගේද සහයෙන් සේනානායක මහතා මෝටර් රියෙන් හෝර්ටන් පෙදෙසේ පෞද්ගලික රෝහලට ගෙන ගියේය. 


රෝහලට ගෙන යන විට ඩී.ඇස්. සිටියේ සිහිසුන්වය. පසුදා සවස මරණයට පත්වෙන තුරුත් ඔහු සිටියේ අසාධ්‍ය තත්ත්වයෙනි. අගමැතිවරයාට ප්‍රතිකාර කරන්නට එවකට ලංකාවේ ඉහළම වෛද්‍ය මණ්ඩලයක් කැඳවා තිබිණි. එම වෛද්‍යවරුන් අතර එම්.පී.ජී. පීරිස්, සර් ආතර් සිල්වා, වී.ඊ.පී. සෙනෙවිරත්න, එම්.ඕ. ගුණවර්ධන හා ජස්ටින් ප්‍රනාන්දු යන වෛද්‍යවරු පස්දෙනා වූහ. 


ඩී.ඇස්. රෝහල්ගත කර සුළු වෙලාවකට පසු එහි පැමිණි ඔහුගේ පුත් කෘෂිකර්ම ඇමති ඩඩ්ලි සේනානායක සෙසු කැබිනට් අමාත්‍යවරුන්ටද සිය පියා මුහුණ දුන් හදිසි අනතුර දැනුම් දුන්නේය. ඇමැතිවරුන් බොහෝ දෙනෙක් සිටියේ කොළඹින් බැහැරවය. ඇතැමෙක් අකුරැස්සේ පැවැත්වීමට නියමිතව තිබූ අතුරු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු උදෙසා එහි ගොස් සිටියහ. ආරංචිය ලද සැනින් ඔවුහු කොළඹට පැමිණියහ. ස්වදේශීය අමාත්‍ය සර් ඔලිවර් ගුණතිලක, ගමනාගමන ඇමැති සර් ජෝන් කොතලාවල, මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන, ආහාර ඇමති ඒ. රත්නායක, අධ්‍යාපන ඇමති ඊ.ඒ. නුගවෙල, කම්කරු ඇමති එම්.ඩී. බණ්ඩා යන ඇමතිවරුද පොලිස් ඉන්ස්පෙක්ටර් ජනරාල් සර් රිචඩ් අලුවිහාරේ ද රැය පුරා රෝහලේ රැඳී සිටි බව 1952.03.22 ලංකාදීපය වාර්තා කළේය. විපක්ෂනායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා ද අගමැතිවරයාගේ සුවදුක් බලන්නට රෝහලට ගොස් තිබිණි. 


අග්‍රාමාත්‍යවරයා සුවපත් කිරීම උදෙසා විදේශීය වෛද්‍ය විශේෂඥයින්ගේ සේවය ලබාගැනීමට ලාංකීය බලධාරීහු උනන්දු වූහ. බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්ය සුප්‍රකට ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වූ සර් හියු කේන් සමඟ රෝගී අගමැතිවරයා පිළිබඳව අදහස් හුවමාරු කරගන්නටද ස්වදේශ කටයුතු අමාත්‍ය සර් ඔලිවර් ගුණතිලක මහතා කටයුතු කළේය. 


මහාචාර්ය සර් හියු කේන් ශ්‍රී ලංකාවේ අගමැතිවරයා සුවපත් කිරීම පිණිස මෙහි එවන්නට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්සන්ට් චර්චිල් ද දැඩි වෙහෙසක් දැරීය. චර්චිල් සර් හියුට ලංකාව බලා ගුවන් ගත වන්නට රාජකීය ගුවන් යානයක්ද සැපයීය. එහෙත් පිටත් ​ෙවන්නට මත්තෙන් සේනානායක මහතාගේ තත්ත්වය අසාධ්‍ය බව ලංකාවෙන් දැනුම් දුන් බැවින් සර් හියුගේ ගමන නතර කරනු ලැබිණි. පසුව අගමැතිවරයාගේ තත්ත්වය මදක් සතුටුදායක වී ඇතැයි දැනගන්නට ලැබුණු විට වින්ස්ටන්ට් චර්චිල් ජෙට් යානයක් සපයන්නට වෑයම් කළේය. ජෙට් යානයක් හදිසියෙන් සූදානම් කිරීම අසීරු වූ බැවින් රාජකීය ගුවන් හමුදාවේ හොඳම ගුවන් යානයකින් වෛද්‍යවරයා ලංකාවට පිටත් ​ෙවන විට අගමැතිවරයා මියගිය පුවත ලන්ඩනයට සැලවිණි. අග්‍රාමිත්‍ය වින්සන්ට් චර්චිල් මේ අවස්ථාවේ දැක්වූ විශ්මයජනක උනන්දුව ලංකාවේ පුවත්පත්වල දැඩි පැසසුමට ලක්ව තිබිණි. 
පාකිස්තානයෙන් පැමිණි ජුම්මා නම් විශේෂඥ වෛද්‍යවරයාගේ පැමිණීමද ප්‍රමාද විය. ඒ ඔහු රැගත් ගුවන් යානය කාර්මික දෝෂයක් නිසා පැය ගණනක් ප්‍රමාද වූ හෙයිනි. පස්වරු 2.30 පමණ ​ෙවන විට ඉන්දියාවෙන් වෛද්‍ය විශේෂඥයකු රැගත් යානය රත්මලාන ගුවන් තොටුපොළට ළඟාවිය. ඉක්මනින් රෝහලට ගිය වෛද්‍යවරයා පරීක්ෂණ ආරම්භ කළ ද සේනානායක මහතා අවසන් හුස්ම හෙළීය. 


අගමැතිවරයා මියයන විට මොලී සේනානායක මැතිනියද ඩඩ්ලි හා රොබට් යන පුතුන් ද ගිලන් සයනය අසල රැඳී සිටියහ. 


අභාවප්‍රාප්ත නායකයාට සුදු පාර්ස්කින් රෙදිවලින් මැසූ ඇඳුම් කට්ටලයක් අන්දවා එක්සත් ජාතික පක්ෂයේ පැහැය වන කොළ පැහැති ටයි පටියක් පළඳවා තිබිණි. දේහය අරලියගහ මන්දිරයට රැගෙන යන විට රෝහල අවටත් මග දෙපසත් ඩී.එස්.ගේ මරණය ආරංචි වී පැමිණි මිනිසුන්ගෙන් පිරී තිබිණි. 

 


24 වැනි දින අරලිය ගහ මන්දිරයේ සිට පාර්ලිමේන්තුවට දේහය ගෙන ගියේ ගෞරවනීය අවමඟුල් පෙරහරකිනි. අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් සමඟ එක් වූ විපක්ෂනායක ආචාර්ය ඇන්.එම්. පෙරේරා මහතාත් ශ්‍රී ල.නි.ප. නායක හිටපු ඇමති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාත් දේහය පියගැට පෙළ නැග ශාලාව කරා ගෙන ගියහ. 
ඩී.ඇස්. ජීවත්ව සිටියදී නිතර සිය කබායේ බොත්තමේ දම් පැහැති උඩවැඩියා මලක් පැලඳීමට පුරුදු වී සිටියේය. එම දම් පැහැ උඩවැඩියා මලින් කළ විශාල මල් වඩමක් දේහය අසල තැන්පත් කොට තිබිණි. දේහයට අවසන් ගෞරව දක්වන්නට පැමිණි බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් මෙම මල් වඩම එවා තිබුණේ මොලී සේනානායක (මියගිය අගමැතිවරයාගේ බිරිඳ) මැතිනියයි. එහි මෙසේ විය. ‘මොලීගේ සදානුස්මරණීය ප්‍රේමය සමඟ එවන ලදී.’ 


මියගිය අගමැතිවරයාට අවසන් බුහුමන් දක්වන්නට පැමිණි ලක්ෂ සංඛ්‍යාත වූ ජනකායට ඊට ඉඩ ලබා දෙනු සඳහා දිවා රාත්‍රී දෙකෙහිදීම දේහයට අවසන් බුහුමන් දක්වන්නට ඉඩ සලසා දෙන ලදී. ඕක් ලීයෙන් නිම කරන ලද දෙන තද නිල් පැහැති පලසකින් වසන ලද මණ්ඩපයක් මත තබා තිබිණි. එතුමා වෙනුවෙන් විදේශීය රාජ්‍ය නායකයෝද පාප් වහන්සේ වැනි ආගමික නායකයෝද ශෝකය ප්‍රකාශ කළහ. 


මියගිය ඩී.ඇස්. සේනානායක මහතාගේ ආදාහනෝත්සවය පවත්වන ලද්දේ කොළඹ නිදහස් චතුරස්‍රයේ දී මාර්තු 29 වැනි සෙනසුරාදාය. මෙම අවමංගල්‍යයට දශ ලක්ෂයක පමණ ජනකායක් සහභාගි වූ බව පුවත්පත්වල සඳහන්ව තිබිණි. අගමැතිතුමා ආදාහනය කළේ සඳුන් දරවලින් කළ දර සෑයකය. මෙම සෑය අඩි 10 උස අඩි 40ක් පළල පස්වලින් සැකසූ වේදිකාවක් මත තනන ලදී. මෙවැනි වේදිකාවක් තනන ලද්දේ ආදාහන කටයුතු මහජනතාවට හොඳින් දැකගත හැකිවනු පිණිසය. 


අඩ සියවසකටත් එපිට සිදුවූ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ මරණය දේශපාලනික හා ඓතිහාසික වශයෙන් සුවිශේෂි සංසිද්ධියක් සේ සටහන් කළ හැක.

 

 

මහානාම දුනුමාල