අලුත හදන නිවසේ වහලය ගහන්නේ මෙහෙමයි


  • දෝෂ අඩු කරගෙන වහලයේ පල වැඩි කරගන්න ක්‍රම තිබෙනවා 
  • පරාල සහ මුදුන් යටලීයට ගහන්නේ ඇණ 108ක් විතරයි 
  •  වහලයේ පල වැඩි වෙන  තරමට දෝෂ වැඩි වෙන්නත් පුළුවන්

 

 

වහලයක් ගැසීමේදී තනි පලයට වහලයක් ගැසීමට බැරි අවස්ථා එයි. නමුත් එය දෝෂ නැතිව කරගත හැකිය. නිවසකට පල දෙකේ වහලයක්, පල හතරේ වහලයක් සුබ පල ගෙන දෙයි. නිවසක පල හතරක වහලයක් ගහන්නේ හතර පැත්තට බෙදීමෙනි. නමුත් එසේ බැරි අවස්ථාවක තවත් පලයක් ගැනීමට සිදු වෙයි. එය දෝෂ නැතිව කර ගත යුතුය. නිවසක වහලයේ පල වැඩි වෙන විට ඒ අතරින් ප්‍රධාන වහලය වාස්තු විද්‍යාවට අනුව ගැසිය යුතුය. ගෘහ මූලිකයාට බලපාන්නේ එය හරියට සකසන්නේ නැති විටය. නිවසක වහලය අඩි 30ක් දිග නම් එය කොටස් තුනකට බෙදා වෙන්කර ගත යුතුය. ඉන් පසු මැද අඩි 10 කොටසේ මුදුන් යට ලීය තැබිය යුතුය. එවිට දෝෂ අඩු වෙයි.

 

නිවසක් තනන්නේ ජීවිත කාලයටම ජීවත් වීමටය. එනිසා එහි දෝෂ තිබීම සුදුසු නැත. නමුත් නිවසක් තැනීමේ දී දෝෂයක් තිබුණොත් එය මුළු ජීවිත කාලයටම බලපායි. මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ වාස්තු දෝෂ නැතිව නිවසක් ඉදිකිරීමටය. නිවසේ වහලය ඉදිකිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ එහෙයිනි. මේ ගැන අපට කියා දෙන්නේ ජීවිත කාලය තුළදී ලබා ගත් දැනුම මත නිවාසවල වහල ඉදිකළ වඩු කර්මාන්තයේ යෙදෙන ආර්.එම්. සුනිල් බණ්ඩාර මහතාය. තම අත්දැකීම් තුළින් කාට හෝ ප්‍රයෝජනයක් වීමට ඔහු මෙම තොරතුරු ලබා දෙයි. ‘‘මට දැන් වයසයි. වැඩ කරකරන්න අපහසුයි. නමුත් අපේ දැනුමෙන් කාට හරි ප්‍රයෝජනයක් තියේවි. එනිසා මේ තොරතුරු ලබා දෙන’’ බව සුනිල් බණ්ඩර මහතා පෙන්වා දෙයි. මේ ඒ ඇසුරින් සැකසුන ලිපියකි. 

නිවසක් ඉදිකිරීමේදී ප්‍රධන වහලය ගැන වැඩි අවධානමක් යොමු කළ යුතුය. නිවසක වහලය දෝෂ සහිත නම් නිවසේ වෙසෙන සෑම දෙනාම ලෙඩ කරයි. එසේ ඇතිවෙන දෝෂයක් වන්නේ සමහර වඩු වැඩ කරන අය මුදුන් යට ලීයට පරාලයක් මූට්ටු කිරීමේදී යට ලීයේ සිට පරාලයට ඇණ ගසයි. එවිට පරාලයේ පිහිටීම වෙනස් වෙයි. මෙහිදී සමහර වඩු බාසුන්නැහේලා එවිට කරන්නේ තවත් ඇණයක් අනෙක් පැත්තෙන් ගැසීමය. එහිදී ඇණය ගසන්නේ පරාලයේ සිට යට ලීයටය. එවන් අවස්ථාවක නියමිත පරිදි ඇණය ගසනවා නම් කළ යුත්තේ යට ලීයේ සිට පරාලයට ඇණය ගැසීමය. නමුත් ගහන්නේ පරාලයේ සිට යට ලීයටය. එය වාස්තු දෝෂයකි. 


මෙලෙස ගහන ඇණය ඇද වන්නේ නම් එම ඇණය ගලවා වෙනත් ඇණයක් ගැසිය යුතුය. නමුත් සමහරු කරන්නේ එම ඇණය නවා දමා වෙනත් ඇණයක් ගැසීමය. නිවසක වහලයක් ගැසීමේදී මුදුන් යට ලීය සහ පරාල ගැසීමට ගන්නේ ඇණ 108කි. එය සම්මතයකි. රීප්පවලට ගහන ඇණ ප්‍රමාණය මෙහිදී ගණනය කරන්නේ නැත. වාස්තු විද්‍යාව අනුවද එය පිළිගනී. නව ගුණ වැලේ ඇත්තේ ඇට 108කි. යන්ත්‍ර මන්ත්‍ර ජප කරන්නේ 108 වතාවකි. ඕනම දෙයක් ජීවම් වෙන්නේ 108 වතාවක් කී විටය. අපේ දෝෂ අපේ කටින්ම 108 වතාවක් කී විට එය අපටම හූනියමක් වනු ඇත. එසේම වහලය ගැසීමේදී භාවිත කරන්නේ ඇණ 108කි. එය සම්මතයක් යැයි කියන්නේ එහෙයිනි. මීට අනුකූල නොවන ලෙස ඉදිකරන වහලය දෝෂ සහිතය. එය ගෙදර ප්‍රධානියාට බලපායි. 


 වහලයක් ගහන්නේ නිවසේ වර්ගඵලය අනුවය. ප්‍රධාන වහලය මගින් නිවස ආවරණය කර ගැනීමට නොහැකි නම් පල කිහිපයක වහල ගැසීම සිදු වෙයි. එය ප්‍රධාන වහලයට අඟල් නවයක් පහළින් ගැසිය යුතුය. එය ශාස්ත්‍රීය ක්‍රමයකි. නිවසක වහලය ගැසීමේදී පල ගණන වැඩි වෙන තරමට නිවසට වාසනාව ගෙන දෙන බවට මතයක් තිබේ. එය සෑම විටම හරි යන්නේ නැත. නිවසක් අලංකාර කිරීමට වහලේ පල ගණන වැඩි කළ විට එහි දෝෂ ඇත්නම් ගෘහ මූලිකයාට එය බලපායි. එවැනි නිවාසවල වාසය කිරීමට බැරිය. එවැනි නිවෙස් කුලියට දීමට හෝ විකුණා දැමීම කළ යුතුය. එවැනි නිවසක වාසය කළොත් ගෘහ මූලිකයා මෙන්ම බිරිඳ සහ දරුවන් හැමදාම ලෙඩ වෙති. සමහර අයට එවැනි නිවාසවල වාසය කරන්නට බැරිය. අඩ දබර නිරන්තරයෙන් දැකිය හැකිය. 


වහලයක් ගැසීමේදී තනි පලයට වහලයක් ගැසීමට බැරි අවස්ථා එයි. නමුත් එය දෝෂ නැතිව කරගත හැකිය. නිවසකට පල දෙකේ වහලයක්, පල හතරේ වහලයක් සුබ පල ගෙන දෙයි. නිවසක පල හතරක වහලයක් ගහන්නේ හතර පැත්තට බෙදීමෙනි. නමුත් එසේ බැරි අවස්ථාවක තවත් පලයක් ගැනීමට සිදු වෙයි. එය දෝෂ නැතිව කර ගත යුතුය. නිවසක වහලයේ පල වැඩි වෙන විට ඒ අතරින් ප්‍රධාන වහලය වාස්තු විද්‍යාවට අනුව ගැසිය යුතුය. ගෘහ මූලිකයාට බලපාන්නේ එය හරියට සකසන්නේ නැති විටය. නිවසක වහලය අඩි 30ක් දිග නම් එය කොටස් තුනකට බෙදා වෙන්කර ගත යුතුය. ඉන් පසු මැද අඩි 10 කොටසේ මුදුන් යට ලීය තැබිය යුතුය. එවිට දෝෂ අඩු වෙයි. වහලයක් දෝෂ ඇත්නම් මුළු වහලයම ගලවා ඉවත් කළ යුතු නැත. දෝෂය ඇති තැන සොයා එය පමණක් පිළිසකර කළ හැකිය. එය වඩු බාසුන්නැහේ දනී. වහලයක් ගැසීමේදී උළු පලය ලස්සනට ගහන්නේ නම් අඩියට අඟල් පහේ බැස්මට ගහයි. උළු පලය හැඩයට ගහන්නේ නම් එය අඩියට අඟල් හයක් ලෙස ගහයි. ටකරන් පලයට ගහන වහලයකදි අඩියකට අඟල් 4ක් ද සීට් යොදා ගහන වහලයක් නම් අඩියට අඟල් 4ක් ලෙස ද ගැසිය යුතුය. 


නිවසක වහලයක් නිසි ලෙස හදා නැත්නම් එහි දෝෂ වහලය හදන බාස්ටද බලපායි. එනිසා වහලයක් ගසා අවසන් වූ පසු වස් යක්ෂණියන් ලවා වස් අරියි. වස් යක්ෂණියන් ලෙස හඳුන්වන්නේ මනුෂ්‍ය ආත්මයේ සිට මරණයෙන් පසු ප්‍රේත ආත්මවල ඉපදුන අයටය. මේ අයට දෙන්නේ මත්පැන්, ගංජා සහ මස් වර්ගය. සමහර ප්‍රදේශවල වස් යක්ෂණියන්ට කුකුළු බිල්ලක් හෝ කිරි හරක් බිල්ලක් දෙයි. මේ සත්තු වස් යක්ෂණියන්ට පුද කොට දින 7-14 ඇතුළත මිය යති. තවත් පැතිවල කරන්නේ වහලය ගැසූ බාසුන්නැහේගේ ඇසේ පිහාටුවක්, හිසෙන් කෙස් ගහක් කකුලෙන් නිය පොතු කෑල්ලක්ද, ඇඟිල්ලෙන් ලේ ටිකක්ද ගෙන හිස බැඳි රෙදිකඩේ ගා කොස් ගහක තබා නියනෙන් කැපීමය. එවිට කිසිදු ප්‍රේත ආත්මයක් වෙනත් කිසිදු දෙයක් ඉල්ලන්නේ නැති බව විශ්වාස කරයි. 


 නිවසක ප්‍රධාන උළුවස්ස බටහිරට තියන්නේ නැත. එය දුගී බවේ සංකේතයකි. එම දෝෂය මග හරවා ගැනීමට වාස්තු විද්‍යානුකූලව තුන් පැත්තකින් උළුවහු තැබීම සිදු කරයි. එමගින් ඉන් ඇතිවෙන දෝෂ ද මග හරියි.

 

 

 

සටහන
ප්‍රගීත් සම්පත් කරුණාතිලක