අමිතාබ් බච්චන්ගේ සමාගම්


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • ‘බච්චන්’ යනු ඔහුගේ පියා කවි ලිවීමේදී භාවිතා කළ නාමයකි
  • මුලින් වත්පොහොසත්කම් තිබූ කෙනෙක් නෙවෙයි. අද භාරතයේ සිටින ධනවත්ම නළුවෙක්

 

 අමිතාබ් බච්චන් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. ඒ ඔබ ඔහු ගැන, ඔහු කවුරුද යන්න ගැන හොඳින් දන්නා නිසාය. ‘බිග්’ බී යන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන අමිතාබ් යනු ඉන්දීය සිනමාවේ, නොහොත් බොලිවුඩයේ දැවැන්ත චරිතයකි. ඔහු පෙනුමින්ද වඩා උස් මහත් වූ පෙනුමැති මිනිසෙකි.

රංගනයෙන්ද එසේය. මහ බර චරිතයකි. හිංදි සිනමාවේ මහ බර චරිතයක් වූවේ බාහිර පෙනුම නිසාම නොවේ. දක්ෂතාව සහ කැපවීම එක්ක නොසැලී, ධෛර්යවන්තව ආ ගමන නිසාය. අද බිග්-බී නොහොත් අමිතාබ් යනු ආසියාවේ පමණක් නොවේ. ලෝකයේ සිටින පොහොසත් නළුවන් අතර සිටින තවත් චරිතයකි. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය යටතේ ඔහුගේ කතාව කියවිය යුතු වන්නේ, පෙනුමින් මෙන්ම දර්ශනයෙන්ද විශාල වූ බච්චන්ගේ ජීවිතයෙන් ගත හැකි බොහෝ දේ ඇති නිසාය.  


අමිතාබ් ශ්‍රී වස්තවා උපත ලැබුවේ 1949 ඔක්තෝබර් 11 වැනිදා උත්තර ප්‍රදේශයේ අලහාබාද්හිදීය. අමිතාබ්ගේ පියා හිංදු කවියෙකි. හරිවංශ් රායි බච්චන් ඔහුගේ නාමය වේ. අමිතාබ්ගේ මවගේ නම කේජි බච්චන්ය. ඇය සමාජ ක්‍රියාකාරිනියක වූවාය. අමිතාබ්ගේ පියා හට අවාධි, හින්දු සහ ආයස්ථා භාෂා කතා කිරීමට මෙන්ම ලිවීමටද හැකි විය. අමිතාබ්ගේ මවගේ පරපුර පැවත එන්නේ පන්ජාබයේ සිටය. වත්මනෙහි පන්ජාබයේ කොටසක් අයත් වන්නේ පාකිස්ථානයටය. ඉතිහාසය සොයා යාමේදී කේජි බච්චන්ගේ පෙළපත පාකිස්ථානයට අයත් යැයි සඳහන් කළ හැකිය. මව්පියන් මුලින්ම අමිතාබ් හට දැමීමට සූදානම් වී ඇත්තේ ‘ඉන්ක්‍යුලාබ්’ යන නාමය. නිදහස උදෙසා නිදහස වෙනුවෙන් කවි ලියූ අමිතාබ්ගේ පියා, නිදහස් සටනට යම්තාක් දුරට දායකත්වය දුන් චරිතයක් විය. විප්ලවයට දීඝායු වේවා යන අරුත ‘‘ඉන්ක්‍යුලාබ්’’ යන නාමයෙන් කියැවේ. එහෙත් හරිවංශ් හට අමිතාබ් යන නාමය පුතුට යොදන්නැයි පවසා ඇත්තේ ඉන්දියාවේ හිටපු තවත් අද්විතීය කවියකු වූ ‘‘සුමිත්‍රානන්දන පාන්ට්’’ ය. වාසගමට ශ්‍රීවස්තවා යන නාමය යෙදී තිබුණද, ‘‘බච්චන්’’ යන නාමය අමිතාබ්ගේ පියා භාවිතා කර ඇත්තේ ලේඛන කටයුතුවලදී භාවිතා කළ නාමයක් ලෙසය. අමිතාබ්ගේ පියා කුල ක්‍රමයට (භේදයට) බෙහෙවින් විරුද්ධ වූ අයෙක් විය. බච්චන් හට සිටින්නේ එක් බාල සහෝදරයකු පමණි. ඔහුගේ නම අජිතාබ්ය. සැබැවින්ම ‘බච්චන්’ යනු ‘ශ්‍රීවස්තවා’ පෙළපත් නාමය වෙනුවට අමිතාබ් හට මව්පියන් යෙදූ නාමයකි.  


අලහාබාද්හි උසස් පාසලේ සිට දිල්ලි සරසවිය දක්වා ගොස් අධ්‍යාපනය හැදෑරූ අමිතාබ්ගේ අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසුව, ඔහුගේ පියා ඔහු ප්‍රීත්වි රඟහල අයිති ප්‍රීත්විරාජ් කපූර් වෙත කැඳවාගෙන ගියේ රංගනයේ ගමනක් සොයා යෑම වෙනුවෙනි. නමුදු ප්‍රීතිවිරාජ් ඒ ඉල්ලීම සතයකට මායිම් කළේ නැත. අවස්ථාවක් නැතැයි කියා සිටියේය. අමිතාබ්ගේ රංගන ජීවිතයේ ප්‍රථම ප්‍රතික්ෂේප වීම ඒ අවස්ථාව විය.  


ඉනික්බිතිව ‘බච්චන්’ගේ අභිප්‍රාය වූයේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු ලෙස ‘‘රේඩියෝ’’ කලාවට ඒමටය. ඒ වෙනුවෙන් අයදුම් කළ නමුත්, බඳවා ගැනීමේ පරීක්ෂණයේදී ඔහු අසමත් විය. ඉනික්බිතිව බච්චන් කල්කටා නගරයේ බර්ඩ් ඇන්ඩ් කම්පැනි නමැති ආයතනයෙහි ව්‍යාපාර විධායකයකු ලෙස සේවයට එක් විය. දරුවකුගේ ධාරිතාව ගැන හරියටම අවබෝධයක් ඇත්තේ බොහෝ විට මවටය. අමිතාබ් නිතරම පුරෝගාමී චරිතයක ලෙස සිටිය යුතුය යන ස්ථාවරයේ සිටියේ ඔහුගේ මවය. ඇය නිතරම පුතුහට අවවාද අනුශාසනා කළේ ඔහු පෙරමුණ ගත යුතු චරිතයක් විය යුතු බවටය. පසු කලෙක ඔහු ප්‍රතාපවත් චරිතයක් වන්නට ඇත්තේ මවගේ දිරිගැන්වීම් නිසාම විය හැකිය.  


අසාර්ථක සිනමා ආරම්භය  


රේඩියෝ කථනයට යෑමට ගොස්, අසාර්ථකව සිටි අමිතාබ්ගේ සිනමා ගමනේ ආරම්භයද ඉතා අසාර්ථක විය. මුලින්ම ඔහුට චිත්‍රපටයක රඟපෑමට අවස්ථාව ද නොලැබුණි. මුලින්ම තිබුණේ මිර්නාල් සෙන්ගේ, ‘බුවාන් ෂෝම්’ චිත්‍රපටයේ හඬ කැවීම් ශිල්පියකු ලෙස දායකවීමටය. ප්‍රථම වරට ඔහුට චරිතයක් රඟපෑමට ලැබුණේ 1969 දී තිරගත වූ, සාත් හින්දුස්ථානි චිත්‍රපටයේය. එහි ප්‍රධාන වූ චරිත හත අතර එක් චරිතයක් ලැබුණද එම චිතපටය නිසා බච්චන් එතරම් ජනප්‍රිය වූයේ නැත. 1971 දී අමිතාබ් රාජේෂ් ඛන්නා සමග රඟපෑවේ ‘‘ආනන්දි’’ චිත්‍රපටයේය. එහි රඟපෑවේ වෛද්‍යවරයකු ලෙසය. ඒ වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී බච්චන් හට හොඳම සහාය නළුවා සම්මානය හිමි වුණි. හැබැයි ඒ සියල්ලට පෙර ඔහු රඟපෑ චිත්‍රපට 12ක් අතරින්, තරමක් හෝ සාර්ථක වූවේ දෙකක් පමණකි. එනිසා අමිතාබ් බොලිවුඩ් සිනමාවේ ප්‍රවිශ්ටයේදී හැඳින්වූයේ අසාර්ථක නවකයා ලෙසය. පිට - පිට අසාර්ථක වීම ඔහුට ගෙන දෙන්නට ඇත්තේ මොන තරම් නම් ව්‍යාකූල බවක් වන්නට ඇතිද? කෙසේ වුවද, ඒ අසාර්ථකවීම් නිසා, තැබූ පියවර ඉදිරියටම මිසෙක ‘‘අමිතාබ්’’ පිටුපසට නම් නොතැබීය. සිනමා ගමන ආරම්භයේදී, ඔහු සහභාගී වූ, ප්‍රථම බඳවා ගැනීමේ පරීක්ෂණයේදී ඔහු ප්‍රතික්ෂේප වූයේ, උස වැඩිකම නිසාය.  
ප්‍රතික්ෂේප වීම්, අසාර්ථකවීම් හමුවේ ආර්ථිකවද දුබලව සිටි බච්චන් හට එදා නවාතැන් පැතීමට ‘‘මෙහ්මුද්’’ නමැති චරිතය, ඔහුගේ නිවසේ තැනක් ලබා දුන් බව සඳහන් වේ. මේ සියලු දේ අතරේ 1971 දී ගුඩ්ඩි (Guddi) චිත්‍රපටයේ ඔහු හට ලැබුණේ ආරාධිත චරිතයකි. ‘ජයා බහදූරි’ නමැති සුරූපි නිළිය ඔහුට හමුවූයේ එතැනදීය. ඇය අනාගත බිරිඳ වේයැයි ඔහු සිතන්නට නැත.  


අප දෙදෙනා එක් කළේද සංගීතයයි  අප දෙදෙනා වෙන් කළේද සංගීතයයි  

 

හැත්තෑව දශකයේදී තිරගත වූ ‘අභිමාන්’ චිත්‍රපටය එරට මෙන්ම මෙරට ප්‍රේක්ෂකයින්ට ද අමතක නොවන ආදරණීය තිළිණයකි. එය එතරම්ම ආදරණීය චිත්‍රපටයක් වූවේ ආදර කතාවකට එහා ගිය ආදරණීය ගීත ගොන්න නිසාය. අමිතාබ් මෙහි ප්‍රධාන චරිතය රඟපෑවේ ජයා බාදුර් (බහදුරි) සමගය. චිත්‍රපටයේ ඇයගේ පෙම්වතිය වූයේ ජයා ය. චිත්‍රපටයේ තේමාව වූයේ අප දෙදෙනා එක් කළේද අප දෙදෙනා වෙන් කළේද සංගීතයයි යනුවෙනි. ‘‘අමිතාබ් සහ ජයා’’ චිත්‍රපටයේ හරි අපූරු පෙම්වතුන් වූහ. ඒ ප්‍රේමාන්විත බවට වඩාත්ම හේතුව වූයේ එම චිත්‍රපටයේ රඟපෑවේ ‘අම්තාබ් - ජයා’’ විවාහ වී මසකට පමණ පසුව වීමය. ඔවුන් දෙදෙනා හට එය මධු සමයේ අපූරු තිළිණයක්ම විය. එතැනින් එහාට අමිතාබ්ගේ සිනමා ගමනේ විශිෂ්ටත්වය ගැන ලිවිය යුතු නොවේ. ‘අභිමාන්’ බොක්ස් ඔෆීස් වාර්තා තබද්දී ඔහු ගියේ බොලිවුඩයේ අණසක පැතිර වූ රජෙකු මෙන් වූ රාජකීය ගමනක්ය. 1973 සිට අනූව දශකයේ මුල දක්වා භාරත සිනමාවේ සුපිරි තරුව ලෙස සූර්යයාමෙන් බැබළුනේ අමිතාබ්මය.  

 


අමිතාබ් සහ ජයා  දෙදෙනාම භාරත පාර්ලිමේන්තුවේ  


ලෝක සිනමාවේ තරු යුවළක්, එනම් සැමියා - බිරිඳ වූ තරු යුවළක් දේශපාලනයට සම්බන්ධ වී පාර්ලිමේන්තුවට ගොස් ඇත්නම්? ඒ මෙම සුපිරි තරු යුවළම විය හැකිය. ජයා මෙන්ම අමිතාබ් ද සමාජවාදී පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ චරිත වේ. ඉන්දියානු සමාජයේ හැටියට ධනය, බලය, කුලය යන සියල්ල හිමි චරිත ලෙස වැජඹේ නම්? ඒ ‘බච්චන්’ පවුලය. ඉන්දියාවේ බලවත්ම පවුලක් ලෙස බච්චන් පවුල හැඳින්වේ.  


අමිතාබ්ට කොහෙන්ද මෙච්චර සල්ලි  


එතෙක් විශිෂ්ට ගමනක් ආ අමිතාබ් අනූව දශකයේදී බංකොලොත් විණැයි පුවත් වාර්තා වුණි. නමුත් ඒ චිත්‍රපට ක්ෂේත්‍රයේ එතෙක් ලැබූ ධනස්කන්දය වෙතින් විය හැකිය. රංගනය, චිත්‍රපට නිෂ්පාදනයට අමතරව, ටෙලිවිෂනයේ වැඩසටහන් මෙහෙයවන්නෙකු වීම, ඉඳහිට චිත්‍රපට පසුබිම් ගායකයකු වීම සහ ඔහු රංගනයෙන් තාවකාලිකව සමුගෙන සිටි අවදියේ පිහිට වූ ඔහුගේ ව්‍යාපාරය වන ‘අමිතාබ් බච්චන් කෝපරේෂන්’ යන සියලු අංශ වෙතින් බච්චන් පවුලට ලැබෙන ආදායම කොතරම් ද කියා දන්නේ ඔවුන්මය.  


අමිතාබ් බච්චන් කෝපරේෂන් වෙතින්, චිත්‍රපට නිෂ්පාදනය, විවිධ ඉසව්, උත්සව සංවිධානය කිරීම ඇතුළු විනෝදාස්වාදය වෙනුවෙන් වූ බොහෝ ඉසව් සංවිධානය කරන ආයතනයකි. 1996 දී ලෝක රූ රැජිණ තරගය ඉන්දියාවේ පැවැත්වීමට කටයුතු කළේ අමිතාබ්ගේ මෙම සමාගමය. නමුත්, සංජීව් ගුප්තාගේ ප්‍රධාන විධායකාරත්වය නිසා සමාගම ලාභ නොලබන තත්ත්වයට පත්වූ බව සඳහන් විය. චිත්‍රපට 17ක් පමණ නිෂ්පාදනය කළ මෙම සමාගම 1995 දී ‘‘බොම්බේ’’ චිත්‍රපටයේ බෙදා හැරීමේ කටයුතු ද සිදු කළේය. එකී සමාගම වෙතින් ලාභ නොලැබුවේ යැයි වාර්තාවල සඳහන් වුවද, බච්චන්, වෙනත් ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කර තිබේ. එමගින් ලාභ ලබා ඇති වග සඳහන් වේ. 2021 දී සඳහන් වූයේ අමිතාබ්ගේ වත්කම්වල වටිනාකම ඩොලර්, මිලියන 400ක ලෙයස.  


අමිතාබ් සතු මාලිගා 5ක් පමණයැයි සඳහන් වේ. ජල්සා, ජනක්, ප්‍රතීක්ෂා, වත්සා ලෙස නම් කර ඇති කීපයකි. අලහාබාද් ප්‍රදේශයේ ඇති නිවස මුතුන් - මිත්තන්ගෙන් ලද දායාදයකි. එය සමාජ සත්කාර වෙනුවෙන්, එනම් අධ්‍යාපන භාරයක් වෙනුවෙන් ලබාදී තිබේ.  


ඔහු සතු සුඛෝප​භෝගී මෝටර් රථ ගණන 11ක් පමණ යැයි සඳහන් වේ. ලෙක්සස්, රෝල්ස්, රොයිස්, බී.එම්. ඩබ්ලිව්, මර්සිඩීස් බෙන්ස් වර්ගයේ සුපිරි රථ ඊට අයත්ය. වාර්ෂික ඉපැයීම්වලදී 2014 සිට අමිතාබ් ඉන්දීය රුපියල් කෝටි 40කට එහා සෑම වසරකදීම උපයා ඇති වග සඳහන් වේ. 2022 දී ඇස්තමේන්තුගත ඔහුගේ ශුද්ධ ආදායම්වල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 2950ක් පමණ යැයි සඳහන්ය.  


1995 ලෝක රූ රැජින තරගාවලියේදී අමිතාබ් එක් විනිශ්චයකරුවකු ලෙස කටයුතු කළේය.  


‘‘බීබීසී’’ය වාර්තා කළ මත විමසීමකින් පසුව (සමීක්ෂණයකින්) ලෝකයේ නළුවන් අතරින් ‘‘සහශ්‍රයේ’’ නළුවා ලෙස නම් විය. මෙම මත විමසුමේදී ලෝ ප්‍රකට චාලි චැප්ලියන්, මාෂන් බ්‍රැන්ඩෝගේ නාමයන් ඇතුළත් වූ අතර, ඒ සියලු​ දෙනා අබිබවමින් ප්‍රමුඛ ස්ථානයට පැමිණියේ ‘‘අමිතාබ්’’ය.  


වමත් දකුණත් දෙකම හුරු බච්චන්  


සාමාන්‍යයෙන් වමත සහ දකුණත දෙකම හුරු අය සිටියද ලිවීමේදී භාවිතා කරන්නේ එක් අතක් පමණකි. එහෙත් අමිතාබ් ලිවීමේදී වමත මෙන්ම දකුණත ද භාවිතා කරයි. එය ඔහු සතු අපූරු දක්ෂතාවයකි.  


යළි උපන්න අමිතාබ්  


1982 දී සුපිරි අමිතාබ් මරණාසන්න අත්දැකීමට මුහුණ පෑවේය. කුලී චිත්‍රපටයේ රූගත කිරීම්වලට දායක වී සිටියදී සටන් ජවනිකාවකට මුහුණ දීමට ‘බිග්-බී’ හට සිදුවිය. පුනීත් ඉසාර් සමග එම සටන් ජවනිකාව සිදුවූ අතර, වැරදී ගිය පිම්ම නිසා අමිතාබ් ඇද වැටුණේ මාරාන්තික අභ්‍යන්තර තුවාල සිදුවීමෙනි. රෝහලට ගෙන යන විටත් ඔහු සිටියේ සිහි නොලබාය. වෛද්‍ය මතය වූයේ ඔහු ගොඩ ගැනීමට නොහැකි බවය. බච්චන් පවුලේ උදවිය සියලු බලාපොරොත්තු අත්හළ බව පුවත් වාර්තාවල දැක්විණි. සායනිකව සිටියදී, රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු මිය ගොස් ඇති බවය. සිරුරේ අභ්‍යන්තරව ලේ වහනය වෙමින් තිබූ අතර, ඖෂධවලට පවා ප්‍රතිචාර නොදැක්වූ නිසා දින කීපයක්ම සිහිසුන්ව සිට ඇත. අමිතාබ්ගේ ගල් ගැසුණු සිරුරට යළි පණ ලැබුණේ මුළු මහත් භාරත දේශයම මවිත කරවමිනි. ‘‘බිග්-බී’’ ආයෙත් ඉපදිලා, ඔව් ඔහු මැරිලා නැහැ, මේක නම් හාස්කමක්, රටේ සියලු දෙනා කාත කළේ එලෙසිනි. එය සැබැවින්ම යළි උපන්න සිදුවීමක්ම විය.  


සමාජ සේවය  


‘‘අමිතාබ්’’ අඩු ආදායම්ලාභී පවුල්වල උදවිය සහ වෙනත් අවශ්‍යතා ඇති සමාජයීය කටයුතු වෙනුවෙන් බොහෝ සෙයින් ආධාර - උපකාරවලට දායක වන චරිතයකි. පසුගිය සමයේදී ඔහුගේ පවුලටම කොවිඩ් ආසාදනය වූ අතර, ‘‘කොවිඩ්’’ වසංගතය මැඩලීම වෙනුවෙන්, රජයට සහාය දැක්වීමේ සහ ජනතාව දැනුම්වත් කිරීමේ කටයුතුවලදී ඔහු පෙරමුණ ගත් චරිතයක් විය.  


රජීව් ගාන්ධිගේ හිතවතා  


අමිතාබ් ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධිගේ සමීපතම හිතවතෙකි. ගාන්ධි පවුල හා බච්චන් පවුල අතර තිබුණේ දැඩි සමීපතාවයකි. එනිසාම 1984 දී ස්වකීය සිනමා කටයුතුවලින් මදක් බැහැරවී ’‘අමිතාබ්’’ රජීව්ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ විය. පසුව අස්තාබ් ලෝක් සභාවට (ඉන්දීය පාර්ලිමේන්තුවට) තේරී පත්වූයේ අලහාබාද් ආසනය දිනා ගනිමින්ය. අද ඔහු පාර්ලිමේන්තුවෙ නැතත්, බිරිඳ ‘‘ජයා’’ නම් තවමත් දේශපාලනයේය. භාරත රජයෙන් පිරිනැමෙන ඉහළම සම්මානය බච්චන් හට පිරිනමා තිබේ.  


අන්වර්ථ නාමයන්  

 

බිග් බී යන අන්වර්ත නාමයට අමතරව, කෝපාවිෂ්ට තරුණයා, ෂාහෙන්ෂා, ඔෆ් බොලිවුඩ් (බොලිවුඩයේ අධිරාජ්‍යයා) සහශ්‍රයේ තරුව යන නාමයන්ගෙන් ඔහුව හැඳින්වේ.  
භාරතයේ පිළිගැනෙන විදියට, කුලයෙන්, ධනයෙන්, බලයෙන්, දැනුමෙන්, පෙනුමෙන් යුතු පරිපූර්ණ රංගධරයා ඔහුම වෙයි.

 

 

පරිවර්තන සටහන  
සඳුන් ගමගේ  
Sandalwoodtraaeyahoo.com

 

 

ඡායාරූප අන්තර්ජාලයෙනි