අප්‍රිකාවේ පොහොසත්ම රටේ මිනිසා


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

 

  • ලෝකයේ පොහොසත්ම කළු මිනිසා ඩැන්ගෝටේ හෙවත් ඩන්ගොටේය
  • සරසවි උපාධිය ලබාගෙන පැමිණි ඔහු පටන් ගත්තේ සිමෙන්ති අලෙවි කළ කුඩා වෙ​ෙළඳ ආයතනයකින්.
  •  අප්‍රිකාවේ විශාලතම සහ ලෝකයේ තෙවැනියට විශාලතම සීනි නිෂ්පාදන පිරිපහදුව අයත් වන්නේ ඔහුටයි.
  • නයිජීරියාව යෝධ ආර්ථිකයක් කරා ගෙන යන පෙර ගමන්කරුවා ඔහුයි.

ලෝකයේ දුප්පත්ම රට තිබෙන්නේ අප්‍රිකානු කලාපයේය. ආර්ථික වර්ධන අනුපාතයට අනුව දුප්පත්ම රට ලෙස එලෙසින් වර්ගීකරණය කර තිබෙන රට වන්නේ ‘බුරුන්ඩි’ රාජ්‍යයයි. එලෙසින් වර්ගීකරණය වූ එම රටෙන් ලෝක ධනවතකු සොයාගත නොහැකිය. බුරුන්ඩි රාජ්‍යයේ ධනවතුන් කොටසක් සිටිය ද අඩුතරමින් කලාපීය ධනවතකු හෝ සොයා ගැනීමට නොහැකි තරම්ය. ඒ නිසා ඒ ගැන පසුවට කතා කිරීමට ඉඩ තබා, ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අද අප සටහන් කරන්නේ අප්‍රිකානු කලාපයේ පොහොසත්ම රටේ පොහොසත්ම මිනිසා සහ ඔහුගේ ව්‍යාපාර ගැනය. අප්‍රිකානු කලාපයේ පොහොසත්ම රට වන්නේ නයිජීරියාවය. ඊට පෙර ඉදිරියෙන් සිටි ඊජිප්තුව, අභිබවමින් නයිජීරියාව 2022 දී පෙරමුණට පැමිණ සිටී. ලෝක ආර්ථික විශ්ලේෂණ දත්තවලට අනුව අප්‍රිකානු කලාපයේ පොහොසත්ම රටවල් පහ වන්නේ නයිජීරියාව. ඊජිප්තුව, දකුණු අප්‍රිකාව, ඇල්ජීරියාව සහ මොරොක්කෝවයි. ඒ අතරින් පොහොසත් රට වන නයිජීරීයාවේ මෙන්ම අප්‍රිකානු කලාපයේ ධනවත්ම මිනිසා වන්නේ ඇලිකෙවි නොහොත් අලිකෝ ඩැන්ගොටේය. ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු 100 දෙනා අතරට ඔහුගේ නාමය ඇතුළත්ය. 

ව්‍යාපාරික දත්ත විශ්ලේෂණය කරන බ්ලූම්බර්ග් දර්ශකයට අනුව ලෝකයේ 73 වැනි මහා පොහොසතා වන්නේ මේ ඩැන්ගොටේය. බ්ලූම්බර්ග් දර්ශකයට අනුව ඩැන්ගොටේගේ සමස්ත ධනයෙහි වටිනාකම ​ඩොලර් බිලියන ‘20’ කි. නමුදු 2022 ජනවාරියේදී ඇස්තමේන්තුගත දළ වත්කම් ප්‍රමාණයෙහි වටිනාකම ලෙස සඳහන් වූයේ ඩොලර් බිලියන ‘14.1’ ක් වශයෙනි.   


කවුද ඩන්ගොටේ?   


ඇලිකෝ නොහොත් අලිකෝ ඩැන්ගොටේ උපත ලැබුවේ 1957 අප්‍රේල් 10 ද‌ා නයිජීරියාවේ ‘කානෝ’ නගරයේදීය. පොහොසත් හවුසා මුස්ලිම් පවුලකට අයත්ව උපන්න ‘අලිකෝ’ යනු මොහොමඩ් ඩැන්ගොටේ සහ මාරියා සනුසි ඩන්ටාටා ගේ පුත්‍රයෙකි. ‘හවුසා’ යනු අරාබි භාෂාවට පසු අරාබියේ සහ බටහිර මෙන්ම මධ්‍යම අප්‍රිකාවේ වැඩිපුරම භාවිතා වන භාෂාවය. සංස්කෘතිමය වශයෙන් ගතහොත් ඔවුන් සමාජාතීය ජනතාවක් ලෙස හැඳින් වේ. නයිජීරියාවේ හැටියට මෙම ‘හවුසා’ මුස්ලිම්වරු යනු ‘රදළ’ පැළැන්තියේ වෙන්වූ ජන කොට්ඨාශයකි. වෙළෙඳ‌ාම සහ කෘෂිකර්මාන්තය පදනම් කරගෙන ජීවනෝපාය පැවත ආ මෙම හවුසාවරු එරට වංශක්කාර පැළැන්තියක් ලෙස ද හැඳින් වේ.   
ඩැන්ගොටේගේ ලොකු සීයා එනම් ඩැන්ගොටේගේ මවගේ තාත්තාගේ අයියා යනු එකල නයිජීරියාවේ සිටි පොහොසත්ම මිනිසා විය. ඔහු මියගියේ 1955 දීය. අල්හාසන් ඩන්ටාටා වූ ඔහු මියෙන විටත් නයිජීරියාවේ පොහොසත්ම මිනිසා ලෙස නම් විය. මේ නිසා සමහරුන් විශ්වාස කළේ ඒ පරම්පරාවේ උරුමය රැගෙන ඩැන්ගොටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට ආවේ යැයි කියාය. එහෙත් අලිකෝ නම් කියන්නේ වෙනස්ම කතාවකි. බ්ලූම්බර්ග් යූ ටියුබ් නාලිකාව ඔස්සේ මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නවලට ඔහු උත්තර දී තිබුණේ මෙලෙසිනි.   


මාධ්‍යවේදියා:- ඔබ ව්‍යාපාරික ක්ෂේත්‍රයට පැමිණියේ පොහොසත් පවුලකට අයත්වද? නැතිවද?   


අලිකෝ:- මම ආවේ පොහොසත් පවුලකට අයත්වයි. මගේ ලොකු සීයා සහ පොඩි සීයා දෙන්නාම නයිජීරියාවේ සිටි ධනවත්ම චරිත වුණා. ඒ පවුලේ නාමය අදටත් ජනප්‍රියයි. ඩන්ටාටා නමින්. මගේ අම්මගෙ පාර්ශවය එ් විදියට පොහොසතුන් වෙද්දී මගේ තාත්තාත් ඉහළ පෙළේ ව්‍යවසායකයෙක් වගේම දේශපාලන ක්ෂේත්‍රයේ චරිතයක්. ඒක එහෙම වුණාට මම මා ගැන බෙහෙවින්ම ආඩම්බර වෙන්නෙ ඒ පොහොසත් උරුමයේ වස්තුව රැගෙන ව්‍යාපාර ක්ෂේත්‍රයට ආ අයෙක් නොවන නිසයි. මේ ඔක්කොම ව්‍යාපාර මම සාර්ථක කර ගත්තේ මගේම ස්වඋත්සාහයෙන් සහ කැපවීමෙන්. මගේ තාත්තා මියගියේ මම ඉතා කුඩා අවදියේදියි. එතකොට මගේ වයස අවුරුදු 8 යි.   


මාධ්‍යවේදියා:- ඉතින් තාත්තගේ ධනය ඉතිරිකරලා යන්න ඇතිනෙ? කොහොමද ඔබ නැහැ කියන්නේ?   


අලිකෝ:- පොහොසත් පවුලක කෙනෙක් වුවත් පවුලේ උරුමය වස්තුව නිසා නෙවෙයි මම ධනවතකු වුණේ. මුලින්ම මම ඉගෙන ගත්තේ ෂෙයික් අලිකුමාසි අරාබි පාසලෙන්. පසුව කානෝහි උසස් පාසලට ඇතුළත් වුණා. ඉන්පසුව ව්‍යාපාර පරිපාලනය සහ ව්‍යාපාර අංශයේ උපාධිය ලබා ගත්තේ ඊජිප්තුවේ කයිරෝ නගරයේ අල් අසාර් සරසවියෙන්. උපාධිය ලබාගෙන ආ මට අවශ්‍ය වුණේ මගේම ව්‍යවසායකත්වයේ ගමනක් යාමටයි.   


මාධ්‍යවේදියා:- ඒ කියන්නේ ඔබ රැකියාවක් කළේ නැහැ?   


අලිකෝ:- ඉතාම සුළු කාලයක් මගේ මාමා කෙනෙකුගේ ව්‍යාපාරයකට සම්බන්ධ ආයතනයක රැකියාව කළා. ඒත් ඒක මට හරි ගියේ නැහැ. මගේ හිත කිව්වේ මගේම ව්‍යවසායකත්වයේ ගමනක් යන්න කියලයි. හැබැයි මට මගේ ඉතා ධනවත් මාමා කෙනෙක් ණයට ඩොලර් 55,000 ක මුදලක් මට ලබා දුන්නා. (එය අද අපේ රටේ රුපියල්වලට හැරවූ පසු එක්කෝටි තිස්හත් ලක්ෂ පනස් දහසකි.)   


මෙලෙසින් එම ණය මුදල අරගෙන අලිකෝ ඩැන්ගොටේ තමාගේ ව්‍යවසායකත්වයේ ගමනට ඉන්පසු එළැඹියේ සිමෙන්ති වෙළෙඳ‌ාමට යොමු වීමෙනි. එවිට ඔහුගේ වයස අවුරුදු 21 ක් විය.   


‘මුලින්ම මම කළේ සිමෙන්ති කොට්ට අලෙවි කරන ව්‍යාපාරයක් පටන් ගැනීමයි. ඒක එච්චර ලොකු ව්‍යාපාරයක් වුණේ නැහැ. ‘සිමෙන්ති’ කියන්නෙ රටේ යටිතල පහසුකම් වෙනුවෙන් අත්‍යවශ්‍ය වූ දෙයක්. ඒ නිසා තමයි මම බයනැතුව සිමෙන්ති විකිණීමට පෙළැඹුණේ. එතැනදී මට උපාධියක් තියෙන නිසා මම කළමනාකරණ රස්සාවක් කරන්න ඕනැයි කියලා මම හිතුවෙ නැහැ. වැඩේ පටන් ගත්තෙ ඇත්තටම පොඩියට.   


‘අලිකෝ ඩැන්ගොටේ’ අවුරුදු 21 දී ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වූ විදිය ගැන ප්‍රකාශ කරන්නේ එලෙසිනි.   


ඩැන්ගොටේ (ඩන්ගොටේ) සමූහය   


සිමෙන්ති වෙ​ෙළඳ‌ාමෙන් පටන් ගත් ඩැන්ගොටේගේ ව්‍යාපාරය 1977 දී ඇරඹියේ කුඩා පරිමාණයේ වෙ​ෙළඳ සමාගමක් හැටියටය. ඉනික්බිතිව එය පුළුල් සමාගමක් බවට පත්කරවීමේ අරමුණ ඇතිව ඩැන්ගොටේ නයිජීරියාවේ විශාලතම නගරය වන ලාගෝස් වෙත ඒමට තීරණය කළේය. ලාගෝස් නගරය කෙතරම් විශාල ද කිවහොත් කෝටි එකහමාරකට වඩා ජනතාවක් එහි ජීවත් වේ. ඩැන්ගොටේ තමගේ ව්‍යාපාරික ඊතලය විදිනු ලැබුවේ හරි තැනටය. ඉල්ලුම ඇති තැනට සැපයුම දිය යුතු යැයි ඔහු විශ්වාස කළ දෙයක් විණි. 1977 දී ලාගෝස්හි සිට ව්‍යාප්ත කළ ඩැන්ගොටේ සමූහය 2017 වන විට ඩොලර් බිලියන 4.1 ක මහා ලාභයක් ලැබුවේය. සමූහ සමාගමක් බවට එය පත්ව තිබුණේ 1981 සිටය. සිමෙන්තිවලින් පටන්ගෙන, සීනි, ලුණු, පිටි, වානේ, තෙල් සහ වායු (ගෑස්). ඇසුරුම්කරණය ඇතුළු බොහෝ අංශ ඔස්සේ ව්‍යාප්ත වී ‘ඩන්ගොටේ’ සමූහය නයිජීරියාවේ නැගී සිටියේ මහා වෘක්ෂයක් මෙනි. එය තව තවත් ශක්තිමත් වූයේ ‘බැංකු’ අංශය ද විවර කිරීම නිසාය.   


නයිජීරියාවේ සීනි ආධිපත්‍යය   


අප්‍රිකාවේ පොහොසත්ම රට වන නයිජීරියාවේ සීනි කර්මාන්තයේ ආධිපත්‍යය දරන්නේ මෙම ඩැන්ගොටේ ව්‍යාපාරයයි. නයිජීරියාවේ රසකැවිලි නිෂ්පාදන සාමගම්. සිසිල්බීම (පැණි බීම) සහ බීර නිෂ්පාදන සමාගම් වෙත සීනි සැපයීම කරනු ලබන විශාලතම සමාගම ලෙස ප්‍රකටය. සීනි නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අලිකෝ ඩැන්ගොටේ, සීනි නිෂ්පාදන සමාගම හෙවත් සීනි පිරිපහදුව නිර්මාණය කිරීමත් සමග එය අප්‍රිකානු කලාපයේ ස්ථාපිත වූ විශාලතම සීනි නිෂ්පාදන පිරිපහදුව බවට පත්විණි. නයිජීරියානු වෙළෙඳපොළේ සියයට 70% ක පමණ සීනි නිෂ්පාදනය සිදුකෙරෙන්නේ ඩන්ගොටේගේ සීනි නිෂ්පාදන අංශයෙනි. මෙය වාර්ෂිකව සීනි ටොන් අටලක්ෂයක් නිෂ්පාදනය කරන පිරිපහදුවක් වේ.   

 


සීනිවලින් රට අල්ලා, ඊළඟට පිටි වලින් රට ඇල්ලීම   


අලිකෝ ඩැන්ගොටේ නම් මහා පුදුම ව්‍යවසායකයෙකි. පළමුව සිමෙන්ති විකුණා ඊළඟට සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවක් පටන් ගත්තේය. සීනි විකිණීම අරඹා ඊළඟට සීනි නිෂ්පාදනය පටන් ගත්තේය. එතැනින් නොනැවතී පිටි නිෂ්පාදන කර්මාන්තශාලාව, ලුණු කර්මාන්තශාලාව ඇතුළු සියල්ල නිෂ්පාදනය වූවේ අතු ගංගා ලෙස නොවීය. මහා ගංගා ලෙසය. 2012 ට පෙරදී නයිජීරියානු වරාය අධිකාරිය සතු ඉඩමක් අත්හැර දමා ඇති අයුරු ඔහු දුටුවේය.‘අපාපා’ වරාය සතු වූ ඒ ඉඩම ප්‍රතිසංස්කරණය කළ ඔහු රජයේ අනුමැතිය ලබාගෙන පිටි නිෂ්පාදන සමාගම ස්ථාපිත කළේ එතැනය. ‘ඩැන්ගොටේ’ සතු විශේෂත්වය වන්නේ නයිජීරියාවට අවශ්‍ය වූ ප්‍රධාන නිෂ්පාදන කෙරෙහි යොමුවීමය.   
සිමෙන්ති, ලුණු, සීනි, පිටි, මේවා මිනිසුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වේ. ඒවායින් නොනැවතී, ඩන්ගො​ටේ, නයිජීරියාවට අත්‍යවශ්‍ය වූ විදේශීය රටවලින් ගෙන්විය යුතු භාණ්ඩ හා ආහාර ගෙන්වීමට වෙනම අංශයක් විවර කළේය. සහල්, පැස්ටා, පොහොර සහ සිමෙන්ති ආනයනය කිරීමට ඒ මගින් සිදුකෙරේ. ආනයනයට පමණක් සීමා නොවූ ඩැන්ගොටේ, අපනයන ක්‍රියාවලියට එක්වූයේ කොකෝවා, කජු, කපු, තල, ඉඟුරු අපනයන කිරීමෙනි. ඒ සියල්ලට අමතරව ඩන්ගොටේ රෙදිපිළි සහ දේපළ වෙ​ෙළඳ‌ාමේ ද පෙර ගමන්කරුවෙකි. කෙටියෙන්ම කිවහොත් ‘අලිකෝ’ යනු නයිජීරියාවට මහා දළ ඇතෙකි.   


අලිකෝ ඩැන්ගොටේට කොහෙන්ද මෙච්චර හයියක්?   


මුළු අප්‍රිකාවම වගේ ස්වකීය ව්‍යාපාරික මොළයෙන් ආක්‍රමණය කළ ඩන්ගොටේගේ නිෂ්පාදන අප්‍රිකානු කලාපයේ ඝානාව, බෙනින්, ටෝගෝ සහ සැම්බියාව ඇතුළු රටවලට අලෙවි කෙරේ. ඒවා මහා පරිමාණ වෙළඳ ව්‍යාපෘති වේ. මෙලෙසින් බලපරාක්‍රමය පතුරුවන මේ අලිකෝට කොහෙන්ද මෙච්චර හයියක්? වාර්තාවල සඳහන් වන පරිදි ඔහු දරුවන් 4 දෙනෙකුගේ පියෙකි. එහෙත් ඔහුගේ භාර්යාවන් කවුද යන්න හරි හැටි සඳහන් නොවේ. දරුවන් සතර දෙනාගෙන් මරියා, හලීමා, සහ ෆාතිමා යනු ඔහුගේ දියණියන් වේ. අනෙක් පුතු අබ්දුල් රහ්මන් දරුකමට හද‌ාගත් අයෙකි. ඩැන්ගොටේ දෙවරක් විවාහ වී දික්කසාද වූ අයකු ලෙස සඳහන් වේ. සමහර වාර්තාවල සඳහන් වන්නේ ඩන්ගො​ටේ මුලින්ම විවාහය අවුරුදු 20 දී යනුවෙනි. පසුව නයිජීරියාවේ හිටපු ජනපතිවරයකු වූ උමාර් මූසා යාදුවාගේ දියණිය වන නෆිසාට් සමග ප්‍රේමයක් තිබී ඇත. නමුත් ඒ ප්‍රේමය විවාහයක් බවට පත් නොවූයේ නෆිසාට් - ඩැන්ගොටේගේ දියණියගේ හොඳ යෙහෙළියක වූ නිසාවෙනි. දෙවැනි වරට ඩැන්ගොටේ විවාහ වූයේ මරියා මුහම්මද් රුෆායි සමග යැයි සඳහන් වේ. ඒ බවිච් දිස්ත්‍රික්කයේ කාන්තා කටයුතු පිළිබඳ කොමසාරිස්වරයාගේ දියණිය සමගය. එය ද කෙළවර වූයේ දික්කසාදයෙනි. ඉනික්බිතිව අප්‍රිකානු කලාපයේ මේ මහා ව්‍යවසායකයා විවාහ වූයේ කා සමග ද යන්න හරි හැටි විස්තර වාර්තා නොවේ. එක් නයිජීරියානු වෙබ් අඩවියක් වන නයිජීරියන් ෆයින්ඩර් වාර්තා කර තිබුණේ හිටපු රූ රැජිනක වන සිල්වියා එන්ඩුකා සමග ඩැන්ගොටේ විවාහ වී සිටින බවය. ඊට හේතුව ලෙස උපුටා දක්වා ඇත්තේ සිල්වියා එන්ඩුකා තමාගේ නාමය අගට 'AD' යනුවෙන් ඇය නම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබීම නිසාය. 'AD' යනු ‘අලිකෝ ඩැන්ගොටේ’ නාමයේ කෙටි ව්‍යවහාරය වේ. අලිකෝ ඩන්ගොටේ හට එරට රාජ්‍ය තන්ත්‍රයෙන් සහ දේශපාලනික වශයෙන් උදව් ලැබී තිබේ. හැබැයි ඒ අනියම් මාර්ගවලින් හෝ රටේ ධනය දූෂණයට ලක්වීමකින් තොරවය. ව්‍යවසායකයකු ලෙස ඔහුට ලෝකය හමුවේ නැගී සිටීමට එරට දේශපාලන ක්ෂේත්‍රයෙන් මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ශක්තියක් ලැබුණු බව සඳහන් කළ හැකිය. ඩැන්ගොටේ හට මෙතරම් ගැම්මකින්, ශක්තියකින් ගමනක් ඒමට අවකාශය ලැබුණේ ඒනිසාමය.   


ඩැන්ගෝටේගේ පුණ්‍යාධාර   


අප්‍රිකාවෙන් ලෝකය ජයගත් මේ මහ කළු මිනිසා, කළු වලාවක සනිටුහන් වූ රිදී රේඛාවක් ලෙස නයිජීරියානු දේශයේ සළකුණක් වී සිටින්නේ තමා පමණක් ධනය ගොඩ ගසා ගත් මිනිසකු ලෙස නොවේ. රටේ ජාතික ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් සහ නයිජීරියාවේ අගනගරය වන ‘අබුජා’ හි ජාතික ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් එරට ක්‍රීඩා අමාත්‍යාංශයට ඩොලර් මිලියන 100 ක් පමණ ලබා දුන් අතර ඩොලර් මිලියන 500 ක් ‘ජාතික පල්ලිය’ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ලබා දුන් අයෙකි. හිටපු ජනපතිවරුනට සහ අනෙකුත් දේශපාලනික චරිතවලට ද විවිධ කාලවලදී මුදල් ලබා දුන්නේ ඔවුනගේ වරප්‍රසාද බලාගෙන නොවන බව කියයි. අධ්‍යාපනික, ක්‍රීඩා සහ සමාජයේ විවිධ කටයුතු වෙනුවෙන් විශාල ධනයක් පරිත්‍යාග කළ චරිතයක් වේ. 2014 දී ‘එබෝලා’ වසංගතය මැඩපැවැත්වීම වෙනුවෙන් රජයට ඩොලර් මිලියනයකට වැඩි ප්‍රමාණයක් ලබා දුන් බව සඳහන් වේ. නයිජීරියානු පාපන්දු කණ්ඩායම ලෝකයේ ප්‍රකට කණ්ඩායමකි. ඩැන්ගොටේ ද පාපන්දු ලෝලියෙකි. එරට පාපන්දු ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් ධනය පරිත්‍යාග කළ ඔහුගේ අරමුණ වී තිබුණේ යුරෝපයේ ප්‍රමුඛ පාපන්දු කණ්ඩායමක් වන ආර්සනල් කණ්ඩායම මිලදී ගැනීමටය. එහෙත් එය තාවකාලිකව නවතා දැමීමට සිදුවූයේ තවත් ගැණුම්කරුවකු ඉදිරිපත් වූ නිසාය. යම් හෙයකින් එය මිලදී ගත්තේ නම් ලෝකයේ වටිනාම පාපන්දු කණ්ඩායමේ හිමිකරුවා ඔහු වීමට ඉඩ තිබිණි. ඩැන්ගොටේ තවමත් ඒ උත්සාහය අත්හැර නොමැත. ඩැන්ගොටේගේ විවාහ ජීවිතය බැලූ බැල්මට අසාර්ථක ලෙස පෙනෙන දෙයකි. එහෙත් ව්‍යවසායකයකු ලෙස ඩැන්ගොටේ යනු අති සාර්ථක මිනිසකු මෙන්ම, මිනිසකු ලෙස අරුත්බර චරිතයකි. මන්දපෝෂණයට ලක්වූ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සහ ඔවුනගේ සුබසාධනය වෙනුවෙන් අත දිග හැර වියදම් කළ අයෙකි. එවැනි කටයුතු නිසා නයිජීරියානු සහ අප්‍රිකානු කලාපයේ ඔහු ප්‍රකටව සිටින්නේ මහා ව්‍යවසායකයකු ලෙස නොවේ. මහා ද‌ානාපතියකු ලෙසය. ලෝක ධනවතෙකු වූ ඩැන්ගොටේ යනු ලෝකෙට චරිතයක් වී රටට ඊටත් වඩා චරිතයක් වූ මිනිසෙකි.  


උපන්ද‌ා සිට සැපවත් ජීවිතයක් ගත කරන ඩැන්ගොටේ සතුව ඩොලර් මිලියන 45 ක් වටිනා බොම්බාඩියර් වර්ගයේ පුද්ගලික ජෙට් යානයක් තිබේ. එය ඔහුට උපන්දිනය වෙනුවෙන් ලැබුණු ත්‍යාගයකි. ලෝකයේ මිල අධික පුද්ගලික ජෙට් යානා 10 අතරට එය අයත්ය. ඔහු එය බොහෝ විට භාවිතා කරන්නේ චීනය සහ නයිජීරියාවට යාමට ඒමටය.  


අලිකෝ ඩැන්ගොටේගෙන් සමාජයට ගත හැකි ආදර්ශය  


උපතින්ම පොහොසත්කම දරාගෙන ආ අලිකෝ ඩැන්ගොටේගේ ජීවිතයෙන් සමාජයට ගත හැකි අදර්ශවත් දේ බොහෝය. වතාවක ඔහු ඔහුගේ ව්‍යවසායකත්වයේ ගමන ගැන කියා සිටියේ මෙලෙසිනි. ‘මම මගේ ව්‍යාපාර අරඹා අවුරුදු 20 ක් යනතෙක් වස​රේ නිවාඩු කියා කිසිම නිවාඩුවක් ලබා ගත්තෙ නැහැ. එහෙම අරගෙන ඕනැ නම් මට ලෝකය වටේ යන්න තිබුණා. ලෝකයේ ලොකුම හොඳම හෝටලයට ගිහින් නිවාඩුව ගත කරන්න තිබුණා. ඒත් ඒ විසිවසරක කාලයේදී මම කළේ ව්‍යාපාර ගොඩ නැගීම සහ ඉදිරි ව්‍යාපාර සැලසුම් කිරීමයි.’  


එසේ පවසන 65 හැවිරිදි වියේ පසුවන ලෝකයේ ධනවත්ම කළු මිනිසා හට අද ඇමරිකාවේ මියාමි සහ ෆ්ලොරිඩාහි ඇති මාළිගා වෙත යාමට පුළුවන. එහෙත් නිවාඩුවක් වෙනුවෙන් වෙලාවක් ගත නොහැකි තරමටම සෑම තත්පරයකදීම ඔහු බිසීය.

 

 

පරිවර්තන සටහන  
සඳුන් ගමගේ  
[email protected]