අන්තර්ජාලයෙන් බඩු විකුණා රුසියාවේ ධනවත්ම කාන්තාව වූ තත්යානා


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • මුලදී ඇය ඉංග්‍රීසි භාෂා ගුරුවරියක්. ජීවත් වූයේ මොස්කව් නගරයේ පුංචි මහල් නිවාසයක
  • අන්තර්ජාල සිල්ලර වෙළෙඳාම පටන් ගත්තේ ඩොලර් 700ක ප්‍රාග්ධනයකින්
  • වයිල්ඩ් බෙරීස්  (Wild Berries)  සතු අද වත්කම ඩොලර් බිලියන 14ක් පමණ වේ

 

ලෝක ධනවතුන් ගැන කතා කිරීමේදී වැඩි හරියක්ම ධනවතුන් අපට හමුවන්නේ, ඇ​ෙමරිකානු කලාපයෙන් සහ යුරෝපය ප්‍රමුඛ බටහිර රටවලිනි. හේතුව එකී රටවල ඇති ධනවාදී ආර්ථික ව්‍යුහය නිසාය. කොමියුනිස්ට් සංකල්පයේ පැවැති රටවලින් ලෝක ධනවතුන් ගැන අපට අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. නමුදු අද ​ෙවන විට ලෝකයේ බොහෝ රටවල පවතින්නේ විවෘත හා වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයකි. මෙනිසා සෑම රටකින්ම පාහේ ධනවතුන්ගේ ලැයිස්තුවක් සොයා ගත හැකිය. ඒ අතරින් අද අප කතා කරන්නේ රුසියාවේ අංක එකේ ධනවත් කාන්තා චරිතය ගැනය. අද රුසියාව ඔවුනගේ කලාපයේ ස්වකීය බල පරාක්‍රමය සහ අණසක පතුරුවන මොහොතක මුළු ලෝකයේම අවධානය නතුව ඇත්තේ රුසියාව වෙතය. එවැනි මොහොතක ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් රුසියාවේ වෙසෙන ධනවත් කාන්තාව කවුද කියා අපි විපරම් කර බලමු. ඇයගේ ව්‍යාපාර මොනවාද කියා අපි බලමු.

 

රුසියාවේ ධනවත්ම කාන්තා චරිතය 

 
රුසියාවේ ධනවත්ම කාන්තා චරිතය ලෙස හැඳින්වෙන්නේ, තත්යානා බැකෂ්චුක් හෙවත් තත්යානා (ටටියානා). ඇය උපන්නේ තත්යානා කිම් යන නාමයෙනි. බැලූ බැල්මට ඇය කොරියානු හෝ ​මොංගෝලියානු කාන්තාවකගේ පෙනුමකට සමානය. නමුදු ඇය රුසියානු ජාතික කාන්තාවකි. 1975 ඔක්තෝබර් 16දා ඇය උපත ලැබුවේ මොස්කව් අග නගරයේ දී ය. ලෝකයේ ලොකුම ඔන්ලයින් සිල්ලර වෙළෙන්දා වන්නේ ඇ​ෙමරිකාවේ ඇමසෝන් සමාගමය. එවැනි සංකල්පයක් යටතේ ඔන්ලයින් ඔස්සේ සේවය ලබාදෙන වෙළෙඳපොළක් රුසියාවේ දී නිර්මාණය කළ චරිතය ඇයම වන්නීය. වයිල්ඩ් බෙරීස් යනු ඇයගේ එම සමාගමේ නාමය වෙයි. එම සමාගම බිහි කළ නිර්මාතෘවරිය මෙන්ම ප්‍රධාන විධායිකාව වන්නේ තත්යානා ය. ඇයට කොරියානු පෙනුමක් ඇත්තේ, ​කොරියානු සම්භවයක් ඇති නිසා ය. 2021 දී ඇස්තමේන්තුගත ඇයගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 13.3ක අගයක පැවතිණි. එතරම් මහා ධනයකට උරුමකම් කියන ඇය උපතින්ම පොහොසත් කාන්තාවක නොවීය. මොස්කම් නුවරදී ඉපිද හැදී වැඩුණු ඇය උපාධිය ලබාගත්තේ මොස්කව් නගරයකට කිලෝමීටර සියයකට එහායින් පිහිටි කොලොම්නා සරසවියෙනි.   
ඇයගේ සම්පූර්ණ නම ලෙස සඳහන් වන්නේ, තත්යානා ව්ලැඩිමිරොව්නා බැකෂ්චුක් යනුවෙනි. රුසියානු භාෂාවට අමතරව ඉංග්‍රීසි සහ ජර්මානු භාෂාව ප්‍රගුණ කළ ඇය ලබා ගත්තේ ඉංග්‍රීසි සහ ජර්මානු භාෂා පිළිබඳව විශේෂඥ උපාධියයි. ඉන්පසුව වෘත්තීය ජීවිතය ඇය පටන් ගත්තේ, ඉංග්‍රීසි භාෂා ගුරුවරියක ලෙසය. එහෙත් ගුරු වෘත්තියෙන් ලද වැටුප සරුසාර ජීවන රටාවක් ගෙන යාම වෙනුවෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවුණි. ඒ නිසා ‘‘තමා ගුරු වෘත්තියෙන් ඔබ්බට ගොස් වෙනත් යමක් කළ යුතු යැයි’’ ඇය නිතර සිහින මවන්නට වූවාය.   


2004දී යුග දිවි ගමනක් අරඹා සිටි ඇය, ජීවන ගමන ගෙවමින් සිටියේ, රුසියානු ජාතික ව්ලැඩිස්ලව් බැකාෂ්චුක් සමග ය. 2004 දී 28 හැවිරිදි වියේ පසුවූ තත්යානා පළමු දරුවා බිහි කළාය. දරු ප්‍රසූතිය වෙනුවෙන් ඇය හට නිවාඩු ලැබී තිබිණි. එ් වන විට ව්ලැඩිස්ලව් සහ තත්යානා යුවළ සිඟිති දරුවා සමග දිවි ගෙවමින් සිටියේ මොස්කව් නගරයේ පුංචි මහල් නිවසකය. ‘‘දැන් ඉතින් අපට දරුවකු සිටිනවා. අපි අපේ පවුලේ ආර්ථිකය වෙනුවෙන් තවත් මොනවා හරි කළ යුතුමයි.’’   


සිඟිති දරුවා ඇකයේ හොවාගෙන සිටි තත්යානා නිරන්තර කල්පනාවේ නිමග්න වූවාය. ඒ වන විට ඇයගේ පුද්ගලික ගිණුමේ තිබුණේ ඩොලර් වලින් නම් ඩොලර් 700ක් පමණකි. සරත් සමයේ හැඩයෙන් මොස්කව් පරිසරය වෙලී තිබුණේ පාට පාට චිත්‍රයක් මෙනි. මගේ ජීවිතය අපේ ජීවිතය මම වර්ණවත් කරගන්නවා.   
තත්යානා තමාටම මුමුණා ගත්තාය. සරත් සමයේ දිනෙක ඇය බසයෙන් දුම්රිය ස්ථානයට ගොස් එතැනින් තවත් දුර හති හළමින් පා ගමනේ යෙදුණේ, ජර්මනිය බලා පිටත් වන දුම්රිය අල්ලා ගැනීමටය. අප්‍රතිහත ධෛර්ය හිතට ගෙන සිටි ඇය දුම්රියට ගොඩවූයේ එය පිටත්වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. මගීහු ඇය දෙස බැලුවේ ඇය කුමක් හෝ කරදරයකට මුහුණදීවත් ඇතැයි ද යනුවෙනි. ඇයි ඇය මෙලෙසින් ජර්මනිය බලා පිටත් වූයේ?   


ජර්මනියෙන් කාන්තා විලාසිතා සහ රෙදිපිළි මිලදී ගැනීමටය. අතැති වූ ‘‘රූබල’’ ප්‍රමාණයට ඇයට ගත හැකි වූයේ කිලෝ 20 ක පමණ ප්‍රමාණයක විලාසිතා පමණෙකි. ඇය එදා එලෙසින් ඇරඹියේ රුසියාව ඔස්සේ ලෝකය ආක්‍රමණය කරන ගමනක් බව ඇය දැන නොසිටියාය. මේ තමයි අනාගත අන්තර්ජාල ව්‍යවසායිකාව යන්න ජනතාව ද දැන නොසිටියේය. ඇයගේ සැමියා ඒ වන විට කටයුතු කරමින් සිටියේ භෞතික විකිරණශීලී අංශයේ විශේෂඥයකු ලෙසය. එනිසා ඔහු ඔහුගේ රස්සාව සමග කාර්යබහුලව සිටියේය. බිරිඳ මේ කරන්නට යන අලුත් වැඩේට හැකි උපරිම සහාය දීම හැර, ඒ වෙනුවෙන් උදවු කිරීමට නම් මුලදී ඔහු හට නොහැකි විණි.   
තත්යානා මුලින්ම කළේ තමා ජර්මනියේ සිට ගෙනා ඇඳුම් ජර්මානු ඔන්ලයින් සේවාවන් වන otto සහ Quelle ඔස්සේ නැවත අලෙවි කිරීමට සැලැස්වීමය. මෙලෙසින් ‘‘ඔන්ලයින්’’ වෙළෙඳාම ගැන අවබෝධයක් ලබාගත් ඇය ඊළඟට සොයා බැලුවේ රුසියාවේදී විලාසිතා අලෙවි කිරීමට ඔන්ලයින් වෙබ් අඩවියක් (පිටුවක්) තිබේද කියාය. ඉලෙක්ට්‍රිකල් සහ වෙනත් ගෘහඋපකරණ අලෙවිය සඳහා අන්තර්ජාල සේවාවක් තිබුණ ද විලාසිතා සහ පැෂන් අලෙවිය වෙනුවෙන් වෙබ් සේවාවක් නොතිබිණි. ‘‘ශූර දැක්මක් තිබූ’’ ‘‘තත්යානා’’ සතුටින් ඉපිල ගියේ මට මේ වැඩේ දියත් කරන්නට පුළුවන් යන හැඟීම ඇතිවය. 

 
වයිල්ඩ් බෙරීස් (wild Berries)


අන්තර්ජාල වෙළෙඳාම යනු ආවට ගියාට කළ හැකි දෙයක් නොවේ. කොහොමද ගනුදෙනු සිදු කරන්නේ? හැකරුන්ගෙන් ග්‍රහණයට අසු නොවන විදියට සියල්ල කළ යුතුය. ඇය, ඇයගේ මෙම අන්තර්ජාලය හරහා කෙරෙන සිල්ලර වෙළෙඳාම වෙනුවෙන් වයිල්ඩ් බෙරීස් (Wild Berries) යන නාමය තැබූ අතර, එය පවත්වාගෙන ගියේ ඇය ජීවත් වූ පුංචි මහල් නිවසේ සිටය. සුබ අනාගතයක් ගැන සිතා මේ කටයුත්තට අත ගැසුවද, රුසියානු ජනතාව එය පිළිගත්තේ සුබවාදීව නම් නොවීය. සමහරුන්ට තිබුණේ මොන එහෙකටද අපි මුදල් ගෙවා ඕඩර් කරන්නේ යන හැඟීමය. ඒ හැරත් අන්තර්ජාල සේවා ඔස්සේ භාණ්ඩ ගෙන්වා ගැනීමට නම් මුලින් මුදල් ගෙවීම කළ යුතුය. නමක් දිනා ගත් සමාගම් කෙරෙහි ජනතාව ගැන විශ්වාසයක් තිබුණද අලුතින්ම පටන් ගත් එකකට ජනතා විශ්වාසය ඇති කර ගැනීමට කාලයක් ගතවේ. කෙසේ වෙතත් ඒ ​ෙවන විට රුසියාවේ ෆැෂන් වෙළෙඳාම වෙනුවෙන් අන්තර්ජාල සේවාවක් නොතිබීම එනම් වෙබ් සයිට් එකක් නොතිබීම නිසා මේ අභියෝග කිසිවක් තත්යානා අභියෝග ලෙස පිළි නොගත්තාය. නිවසේ සිට පටන් ගත් ‘‘වයිල්ඩ් බෙරීස්’’හි සේවා සපයන එකම තැනැත්තිය ලෙස ග්‍රාහකයින්ගෙන් ලැබෙන ඇමතුම්වලට පවා පිළිතුරු සැපයීමට සිදුවූයේ තත්යානා හටය.   


කිරි දෙන දරුවකුගේ මවක ලෙස ඒ වැඩ රාජකාරි කළ අතරේ තත්යානා තමාගේ අලුතින් පටන් ගත් අන්තර්ජාල පිටුවට පිවිස විලාසිතා ඇණවුම් කිරීමේ දී ග්‍රාහකයින් හට පසුව මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නාය. කාන්තාවකගේ නුවණ හැඳි මිටේ යැයි කියමනක් තිබුණද, මේ කාන්තාවගේ නුවණ නම් විහිදී තිබුණේ ගව් ගණනක් දුරකටය. ඇඳුම් අරගෙන ජනතාව පොලු තබාවි ද යන්න ගැන දෙගිඩියාවෙන් නොසිතූ ඇය, අලුත් ක්‍රමයක් හඳුන්වා දුන් පසු දිනෙන් දින මේ වෙබ් අඩවියට පිවිසි පිරිස වැඩි විය.   
‘‘දන්නවද? වයිල්ඩ් බෙරීස්’’ කියලා තියෙන වෙබ් එකට ගියොත් ලෝකයේ ඕනෑම වෙළෙඳ නාමයක සිට අපේ ඕනෑම විලාසිතාවක් ඇණවුම් කරන්න පුළුවනි. ඒ වැඩේ නම් මරු.’’   


තත්යානාගේ අන්තර්ජාල ෆැෂන් වෙළෙඳාම ගැන රුසියානුවෝ කතා කරන්නට පටන් ගත්තේ එලෙසිනි. මේ වැඩේ එන්න එන්නම ජනතාව අතර ප්‍රචලිත වීමත් සමග ‘‘අපි අලුත් තැනකට යා යුතු යැයි’’ තත්යානා විශ්වාස කළාය.   


වයිල්ඩ් බෙරීස් වෙනුවෙන් තැනක් කුලියට ගැනීම   


තත්යානාගේ අන්තර්ජාල සාප්පුව රටේම වගේ ප්‍රචලිතවීමත් සමග මෙහි වැඩකටයුතු පවත්වාගෙන යාමට ඇය වෙනත් තැනෙක ස්ථානයක් කුලී පදනම මත ගත්තාය.   


අලුත් ඔෆිස් එක ගත්තාම, මට විතරක් ඒ වැඩේ තවදුරටත් කරන්න බැරි නිසා, සේවක පිරිසක් බඳවා ගන්න මම තීරණය කළා. මුලින්ම මම ආරාධනා කළේ මගේ බාල සහෝදරියට. නංගි එන්න, ඇවිත් ම​ගේ මේ අලුත් වැඩේට උදව් කරන්න. මම නංගිට කිව්වා. ‘‘ව්ලැඩ්’’ යටතේ සේවය කළ කාන්තාවක සිටියා, මම ඇයටත් එන්න කියා ආරාධනා කළා. (තත්යානා සැමියා ව්ලැඩ්ස්ලව්’’ හට ආදරයට අමතන්නේ ‘‘ව්ලැඩ්’’ යනුවෙනි) මෙලෙසින් පවසා ඇති තත්යානා හට ඇයගේ බාල සොයුරිය සහ තවත් කාන්තාවකගේ සහාය ලැබුණ ද ලැබෙන ඇණවුම් ප්‍රමාණය ඉහළටම ආ නිසා තිදෙනෙකු හට සියල්ල කළමනාකරණය කරගත නොහැකි තැනකට ඇය පත්වුණි.   


ඒ පාර මට තවත් පිරිසක් සේවයට ගන්න ඕනැ වුණා. එ් ​ෙවන විට මගේ තාත්තා විශ්‍රාම ගෙන සිටියේ. තාත්තාට වගේම අන්තර්ජාලයේ වැඩ කටයුතු දන්නා සහ අනෙකුත් බෙදාහැරීම් කටයුතු වෙනුවෙන් මගේ ඥාති පිරිස් බඳවා ගැනීමට තීරණය කළා. විශ්‍රාම ගෙන සිටියත් තාත්තා එයාගේ සේවය මහජන සේවය ලබා දුන් ආයතනයකට ලබා දෙමින් සිටියේ. ඒත් හැකි විදියට තාත්තාත් ආවා. මගේ නැන්දා ගණකාධිකාරිනියක ලෙස රාජකාරි බාර ගත්තා. ඔන්න ඔය විදියට මුලින්ම සිටියේ පවුලේම ඥාති පිරිසක්.   


ගුණයහපත් දැක්මක් ඇති කාන්තාවකට කරන්න බැරි කුමක්ද? සමාජයේ බොහෝ දෙනා බොහෝ විට තම අසල්වාසීන් සහ ඥාතීන් කෙරෙහි විශ්වාසය තබන්නේ නැත. එහෙත් තත්යානා නම් තම ඥාතීන් කෙරෙහි පවුලේ උදවිය කෙරෙහි දැක්වූයේ ලොකු විශ්වාසයකි.   


මේ සියල්ල දෙස එතෙක් බලා සිටිමින් තමාගේ රාජකාරිවල නියැලී සිටි තත්යානාගේ සැමියා, ස්වකීය රාජකාරියට සමුදී බිරිඳගේ අන්තර්ජාල සාප්පුවේ වෙළෙඳාමට සහාය දීමට එක්වුණි. එහිදී එහි තොරතුරු තාක්ෂණ අංශයේ මහ මොළය වූවේ ඔහුය.   


දකුණු ආසියානු සමාජයේ පවුල්-පවුල් සහ ඥාතීන් එකතු වී වැඩක් කිරීම අවුල් වීමට හේතුවක් වුවද, රුසියානු සමාජයේ හැටියට තත්යානා නම් එම ගැටලුවට මුහුණ දුන්නේ නැත.   


‘‘වයිල්ඩ් බෙරීස් වෙතින් භාණ්ඩ ඇණවුම් කළ පසු, ඒවා ලබාගන්නා ස්ථානයේ දී තමා ඕඩර් කළ ඇඳුම් ප්‍රමාණය හරියට ගැළපේද යන්න බලා ගැනීම වෙනුවෙන්, ස්ථාන ස්ථාපිත කිරීමට ද ඇය වග බලා ගත්තාය. එමෙන්ම ‘‘ඩිලිවරි’’ කිරීම හෙවත් භාණ්ඩ ප්‍රවාහනය කිරීම වෙනුවෙන් අමතර ගාස්තු ද අය නොකිරීමට ‘‘වයිල්ඩ් බෙරීස්’’ කටයුතු කිරීම නිසා සමස්ත රුසියානු සමාජයේ ජනප්‍රියතම නාමයක් බවට වයිල්ඩ් බෙරීස් මෙන්ම තත්යානා පත්වුණි. ඒ හැරත් ඊට පෙරදී රුසියාවේ අන්තර්ජාල වෙළෙඳාම කරගෙන ආ කිසිදු ආයතනයක් නොමිලේ (ගාස්තු අය නොකර) භාණ්ඩ ප්‍රවාහනය කර තිබුණේ ද නැත.   


මුදලට පමණක් කෑදර නොවී නිරහංකාරයෙන් ජනතාවට වඩාත් හිතකර සේවා සැපයීම නිසා රුසියාවේ ධනවත්ම චරිතයක් බවට පත්වූ තත්යානාගේ ආදායම 2015 දී සඳහන් වූයේ ඩොලර් මිලියන 450ක් හෙවත් රුසියානු රූබල්වලින් නම් බිලියන 29.5ක් ලෙස ය.   


කිසිදු ව්‍යාපාරික අත්දැකීමක් නොතිබි ඇය, අන්තර්ජාලය ඔස්සේ අධිරාජ්‍යයක් ගොඩනැගුවේ කෙසේද?

   
මෙම ප්‍රශ්නය ඇයගෙන් බොහෝ දෙනා අසන ප්‍රශ්නයකි. සැබැවින්ම තත්යානා කළ විප්ලවය කුමක්ද?   
‘‘මට ගණිතය හෝ ආර්ථික විද්‍යාව පිළිබඳව පසුබිමක් තිබුණේ නැහැ. මූලිකව ගණනය කිරීම් කළ යුතු විදිය ගැන අවබෝධයක් තිබුණෙත් නැහැ. මම මගේ ‘‘අදහස’’ (සංකල්පය) කෙරෙහි විශ්වාසය තබා එය දියත් කිරීම විතරයි කළේ.’’   


සුරංගනාවක නොවූ සුරංගනා කතාවක්ද නොවූ ජීවිතයට යථාර්ථයක් සහ වටිනා අරුතක් ලබා දුන් තත්යානා එලෙස පවසන්නීය.   


මෙම අන්තර්ජාල සුපිරි සාප්පුව කරගෙන යාමේදී ඇයට ප්‍රශ්න ගැටලු ආවේ එකක් දෙකක් නොවේ. බලඇණි වශයෙනි. ලොකුම ප්‍රශ්නය ඇති වූයේ සැපයුම්කරුවන්ගෙනි. ඒ වෙනුවෙන් ප්‍රශ්න විසඳීමට හොඳ ‘‘පී.ආර්.’’ එකක් හෙවත් පුද්ගල සබඳතාවක් ඇති අය සමාගමට බඳවා ගැනීමට ඇය තීරණය කළාය. ප්‍රශ්න නම් මොනවාද? මගේ ළඟ ඒවාට විසඳුම් තිබේ යන්න වචනයෙන් නොකියා ඇය ඒවාට විසඳුම් ලබාදුන්නේ වඩාත් ප්‍රායෝගික වීමෙන්ය.   


ඥාතිවර්ගයාට, හොඳ චරිතයක් වූ තත්යානා, සැමියා හට ආදරණීය බිරිඳකි. දරුවන් සතර දෙනාහට හොඳ මවකි. වෙළෙඳාමේ දී යහගුණය ඇති චරිතයකි. අන්තර්ජාල වෙළෙඳාම ඔස්සේ රුසියාවේ ධනවත්ම කාන්තාව වූ ‘‘තත්යානා’’ යනු සැබෑම සුරංගනාවක යැයි රුසියානු සමාජයේ පිළිගැනීම වේ. අතිශයෝක්තියෙන් කතා නොකිරීමත්, මාධ්‍ය හමුවේ පෙනී නොසිටීමටත් තත්යානා වඩා කැමති ය.

 

 

පරිවර්තන සටහන  
සඳුන් ගමගේ  
[email protected]