අදත් යක්ෂ පරපුර ජීවත්වන යක්කුරේ


 යක්කුරේ පැරැණි ගම

  • කාලිංග මාඝ ආක්‍රමණයේදී අල්ලාගත් ගොඩනැගිලි නටබුන් තවම කාලිංග දුපතේ
  • යක්කුරේ වැසියන්ගේ  ප්‍රධාන ජීවනෝපාය  ගොවිතැන
  • ගොවිතැන් නැති  කාලෙට සල්ලි හොයා ගන්නේ ගඟ ඇදීමෙන්   

 

 

යක්කුරේ ගම්මානය මෙරට ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. යක්කුරේ පිහිටා ඇත්තේ නුවරගල ආසන්නයේය. පොළොන්නරුව මහියංගනය පාරේ සිරිපුරෙන් වමට හැරී යක්කුරේට යා යුතුය. පොළොන්නරුව සිට යක්කුරේටම දුර කිලෝ මීටර 50ක් පමණ තිබේ. යක්ෂ පරම්පරාවේ ජනතාව අදටත් මෙම ගම්මානයේ ජීවත් වෙති.   

මහවැලි ගඟ ආසන්නයේ පැරණි යක්කුරේ ගම පිහිටා තිබුණ ද අද මේ ගම්වාසීන් ජීවත් වෙන්නේ අලු‍තින් පිහිට වූ ගම්මානයේය. යක්කුරේ වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි. ගොවිතැන් කළ පසු ඉතිරි කාලයේදී මේ අය ජීවත්වෙන්නේ ‘‘ගඟ ඇදීමෙනි’’. ‘‘ගඟ අඳිනවා’’ කියන්නේ ගොවිතැන් කටයුතු අවසන් වූ මහවැලි ගගේ ජලය අඩු වූ විට ගඟේ ඉවුර ගොඩට ඇදීමය. මෙලෙස මේ අය ගඟ අදින්නේ මැණික් සෙවීමටය. ලොකු මැණික් නැතත් කුඩා මැණික් ගල් යක්කුරේ වැසියන්ට හමු වී ඇත. මේ අයට ඉන් මුදල් ලැබෙන බව ගම්මු කියති. අත් පෝරු ලෑලි සහ උදලු‍ භාවිත කොට ගඟ ඇදීම සිදුකරයි.   


අද වෙන විට පුරාණ යක්කුරේ ගම දක්නට නැත. එදා ජනාවාසව තිබූ පැරැණි ගම අද කෙත් යායකි. සමහර ඉඩම් වනජීවී රක්ෂිතයට අයිති වී තිබේ. නමුත් පැරණි යක්කුරේ ගමේ ගොඩනැගිලි තැනින් තැන දක්නට පුළුවන. පැරැණි ගමට අද මේ අයට යන්නට අයිතියක් නැත. ඒ එම ඉඩම් වනජීවී රක්ෂිතයට අයිති නිසාය. නමුත් සමහර කුඹුරු ඉඩම් තවමත් රක්ෂිත භූමියේ ඇති අතර ඒවා වගා කිරීමට වනජීවියෙන් යක්කුරේ ගම්මුන්ට අවසර දී ඇත.   

 

කාලි්ංග දූපත


 මෙම ගම්මානය ඉවත් කෙරුණේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේය. ගමේ කොටසක් ජලගැලු‍ම් නිම්න ජාතික උද්‍යානයට පවරා ගැණුනි. පැරණි යක්කුරේ ගමේ විසූ අය අද පවතින යක්කුරේ ගමේ පදිංචි කරවා තිබේ. ඊට අමතරව බදුල්ල පඬුවස්නුවර ආදී ප්‍රදේශවල ජනතාව ද යක්කුරේ ගමේ පදිංචි කර වූයේ මහවැලි ව්‍යාපාරය යටතේය. අද මේ ගම ඉහළ යක්කුරේ සහ පහළ යක්කුරේ ලෙස හඳුන්වයි.   


යක්කුරේ ජනතාවට දිගු ඉතිහාසයක් තිබේ. මේ අය පැවත එන්නේ කුවේණියගේ දරු දෙදෙනා වන ජීවහත්ත හා දිසාලාගෙන් බව ඉතිහාසයේ සඳහන් වෙයි. කදුශිඛර ආශ්‍රිතව යක්ෂ පරම්පරාව ජීවත් වූ බැවින් යක්සිරිපුර ලෙස ද මෙම ප්‍රදේශය හඳුන්වා තිබේ. පසු කලෙක එය යක්කුරේ ලෙස හැඳින්වුණි. මහාවංශයේ යක්කුරේ හැඳින්වූයේ යක්බසූකර නමිනි. යකෙක් වගේ සිටි ශක්තිමත් ඌරෙක් දඩයම් කිරීමට යාමෙන් ඌ මහවැලි ගඟට වැටී ඇත. එමනිසා යක් ඌරාතොට යක්කුරේ ලෙස පසුව හැඳින් වූ බවට ද මහාවංශයේ සඳහන් වී තිබේ.   


 යක්කුරේ පරණ ගම්මානයට පදිංචි වීමට පෙර මේ අය වාසය කළේ මහවැලි ගඟ මැද පිහිටි අක්කර 35ක පමණ වපසරියකින් යුත් දූපතකය. මෙම දූපත අතහැර දමා පැරැණි යක්කුරේ ගමට ඒමට සිදු වූයේ කාලිංග මාඝ ආක්‍රමණයෙන් බව ඉතිහාස කරුණු මගින් සනාථ කරයි. අද කාලිංග දූපතට යාම දුෂ්කර ගමනකි. නමුත් යක්ෂ පරපුරේ ඉතිහාසය සොයා අපි කාලිංග දූපතේ සංචාරයක නිරත වීමු. නුවරගල කන්ද, කොටවහෙරගල කන්ද, මුවන්ගහනගල කන්ද, දඹානේ කන්ද, බොරළු කන්ද යක්කුරේ ගම වටා ඇති කඳු ගැට කිහිපයකි. කාලිංග දූපතේ අද වාසය කරන්නේ වන අලි පමණි. වන අලි 350ක පමණ කණ්ඩායමක් කාලිංග දූපතේ වාසය කරති. මේ නිසා යක්කුරේ වැසියන් කාලිංග දූපතට වැඩිපුර යන්නේ නැත. එසේම වනජීවී කලාපයකට අයත් නිසා මේ අයට පැරණි දූපතට යාමට අවසර ද නැත.   


 මහවැලි ගඟ තරණය කොට කාලිංග දූපතට යාම එතරම් පහසු නැත. කාලිංග දූපතට යාමට නම් ගඟේ වතුර අඩු කාලයක් එනතුරු බලා සිටිය යුතුය. මහවැලි ගඟ අසලට පැමිණි පසු ගඟෙන් බැස කාලිංග දූපතට යාමට හැකි වූයේ සයිමන් සිංඤෝ නිසාය. සයිමන් මාමා අද ජීවතුන් අතර නැත. නමුත් අපව මේ ගමනට එක්කර ගැනීමට සයිමන් මාමාට මහත් කැමැත්තක් තිබුණි. මහත්තයෝ යන ගමනේදි අලි ආවොත් මොකද කරන්නේ කාලිංග දූපතට යාමට පෙර සයිමන් මාමා අපෙන් ඇසූ කතාවකි. අවොත් දුවන්න තමයි වෙන්නේ අපේ මතය විය. සයිමන් මාමා හයියෙන් සිනාසුනා පමණි. අලි ආවොත් දුවලා බේරෙන්න බෑ. සයිමන් මාමා කීවේය. ඒ වෙන විටත් සයිමන් මාමාගේ වයස අවුරුදු 80ක් පමණය. යක්කුරේ ඉතිහාසය ගැන දන්නා ජීවත් වූ එකම පුද්ගලයා වූයේද සයිමන් මාමාය.   


කාලිංග දූපතට ගිය ගමන සුන්දරය. මහවැලි ගඟට බැස ඉණවටක් වතුරේ යන අතර තුර සයිමන් මාමා තවත් අනතුරක් ගැන මතක් කළේය. මහත්තයෝ ගඟේ කිඹුලෝ ඉන්නවා යැයි කීය. ඒ වෙන විටත් අපි කාලිංග දූපතට යාමට ගඟ මැදට ගොස් ඇත්තෙමු. ආපසු හැරෙන්න ද බැරිය. ජීවිත අවදානම ද නොතකා කාලිංග දූපතට යාමට සැරසුණේ එහි සැඟවුණු තොරතුරු සොයා ගැනීමටය.   


කාලිංග දූපතට ගොඩ වූ විගසම සයිමන් මාමා කීවේ අපට දූපතේ පැය තුනක් ඉන්න පුලු‍වන් කියාය. ඒ වෙන විටත් අලි මන්තර මගින් අලි එන එක පාලනය කර තිබූ බව සයිමන් මාමා අපට කීවේ යක්ෂ පරම්පරාවේ යන්ත්‍ර මන්ත්‍ර ගැන විශ්වාසයක් තබමිනි. අපි කාලිංග දූපතේ පැරැණි මාළිගාව තිබූ තැනට ගිය අතර එහි නටබුන් අද ද දක්නට ඇත. කාලිංග දූපතේ සිට ගඟෙන් එගොඩ බැලූ විට එය ලංකාව දැයි කීමට බැරිය. ඒ තරමට සුන්දරය. අදටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිසි අධීක්ෂණයකට ලක්ව නැති කාලිංග දූපතේ මෙරට වැළලු‍න ඉතිහාසයක් ඇති බව නම් එහි ගිය විට පෙනේ.   


 කාලිංග දූපතට යන අතර හමුවෙන්නේ ගෝමති ඇළයි. ගෝමති ඇළ ගැන දිගු ඉතිහාසයක් තිබේ. මෙම ඇළ දිඹුලාගල දක්වා සැතපුම් 21ක් පමණ වෙතැයි හඳුනාගෙන ඇත. දිඹුලාගල සහ කාලිංග දූපත අතර දුර සැතපුම් 11කි. එම දුර මෙන් දෙගුණයක් පමණ ගෝමති ඇළ ගමන් කරන්නේ වංගු සහිත ගමන් මාර්ගයක යන හෙයිනි. ගෝමති ඇළේ ඉවුරු එතරම් උස නැත. අතීතයේ ප්‍රධාන නැව් ගමනා ගමනය කළේ ගෝමති ඇළෙන් බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. ගෝමති ඇළ අද වෙන විට ගොඩ වී ඇති බව සයිමන් මාමාගේ මතයයි. නමුත් අතීතයේදී රුවල් නැව් පවා ගමන් කළ බව සනාථ කළ හැකි සාධක ඇති බව යක්කුරේ වැසියෝ අද ද පෙන්වා දෙති.

 

 

සටහන
ප්‍රගීත් සම්පත් කරුණාතිලක

ඡායාරූප - අන්තර්ජාලයෙන්