අතේ සතේ නැති කාලේ ජයටම විකිණෙන මහල් නිවාස


 

  • ධනවත් ව්‍යාපාරිකයන් මහල් නිවාස දෙක තුන මිලදී අරන්   
  • මහබැංකු වාර්තාවලට අනුව මෙම සුපිරි මහල් නිවාස හෝ දේපොළ වලින් වැඩිම ප්‍රමාණය එනම් 90% ක්ම මිලදී ගෙන තිබෙන්නේ ශ්‍රී ලාංකිකයන් විසිනි.

ලෝකයේ සෙසු බොහෝ රටවල් සේම ලංකාව ද වසර දෙකක පමණ කාලයක් ගතකරනු ලැබුවේ කොවිඩ් 19 වසංගත රෝගයත් සමග මුහුණ දෙන්නට වූ අභියෝග සමගය. මෙම දෙවසර තුළ වැඩි කාලයක් නිරෝධායන ඇඳිරි නීතිය හෝ සංචරණ සීමාවලට යටත්ව කල් ගත කිරීමට ජනතාවට සිදුවිය. රටේ ආර්ථික වර්ධන වේගය සෘණ 1.5 දක්වා පහත වැටිණ. මෙය දෙදාස් විස්ස වසරේ දී ඊටත් වඩා පහළට වැටිණ. එහෙත් පසුගිය වසරේ දී සංචරණ සීමා මැද වුව ද ඇතැම් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට ඉඩ ලබා දීමත් සමග ආර්ථිකය කඩා වැටීම යම් තාක් දුරකට අවම කරගැනීමට ආණ්ඩුව සමත් විය.   


සමස්තයක් ලෙස රටේ ආර්ථිකයේ කඩා වැටීම මෙලෙස අවම කර ගැනීමට ආණ්ඩුව සමත් වුව ද සාමාන්‍ය ජනතාවගේ ආර්ථික කඩා වැටීම කොවිඩ් වසංගතය හමුවේ දරුණු ලෙස ජන ජීවිතයට බලපෑම් කළේය. මහබැංකු වාර්තා අනුව පසුගිය වසරේ ඒක පුද්ගල ආදායම මාසිකව 57,000ත් 60,000ත් අතර පැවතිය ද ඇත්ත මහපොළොවේ එය යථාර්ථයක් ද යන ගැටලුව මතුවේ. ඒ එදා වේල හම්බකරගෙන ජීවත් වූ බොහෝ දෙනාට අද කොවිඩ් වසංගතය නිසා මෙන්ම රජයේ පොහොර ප්‍රතිපත්තිය අනුව වගාවන් විනාශ වීම, ඩොලර් හිඟය නිසා ආනයන සීමාවීමෙන් සත්ව ආහාර හිඟවීම, තෙල් මිල ඉහළ යාම වැනි කාරණා හේතුවෙන් නිෂ්පාදනය පහත වැටීම නිසාය. එහෙත් එලෙස නිෂ්පාදන පහත වැටී ඇතැම් විට වැසී ගොස් තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ය. මහාපරිමාණ ව්‍යාපාර තවමත් කෙසේ හෝ පවත්වාගෙන යනු ලැබේ.   
එසේම බඩු මිල ඉහළ ගොස් ආදායම පහත වැටීම නිසා අද සාමාන්‍ය ජනතාවගෙන් බහුතරය ජීවත් වන්නේ දවසට වේල හොයාගන්නේ කෙසේද? යන දැඩි අරගලයකය. 

 
සිමෙන්ති හිඟවීම හා අධික ලෙස මිල ඉහළ යාම නිසා අද ඉදිකිරීම් කර්මාන්තය පවතින්නේ ද දැඩි අර්බුදයකය. සිමෙන්ති හිඟය නිසා පළාත් පාලන ආයතන පවා තමන් ගම සංවර්ධනයට නගර සංවර්ධනයට හා මුදල් වෙන් කළ යෝජනා ක්‍රම අවසන් කරගත නොහැකිව අර්බුදයට පත්ව සිටී. ඒ නිසා පළාත් පාලන ආයතන වැඩි ප්‍රමාණයක් පසුගිය වසරේ අවසන් කළ යුතුව පැවති ඉදිකිරීම් අවසන් කිරීමට මේ වසරේ පළමු මාස තුන ද වෙන්කරගෙන තිබේ. එසේම සිමෙන්ති හිඟය හා මිල ඉහළ යාම නිසා ඇතැම් කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් සිය ව්‍යාපාරික කටයුතු අත්හැර ඇත. පෙදරේරුවෝ වැඩකළ නොහැකිව අසරණ බවට පත්ව සිටිති.   


රටේ ආර්ථිකයත් පෞද්ගලිකව සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකයත් එවැනි මට්ටමක පවතිද්දී ඉදිකිරීම් කර්මාන්තයේ කඩා වැටීමක් පවතිද්දී සුපිරි ධනවත් පෙළැන්තිය වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණ ඉදිවීම වේගවත්ව ඉදිරියට යමින් පවතී. පුවත්පත් දැන්වීම් සම්බන්ධයෙන් අවධානය යොමු කළ හොත් එවැනි මහල් නිවාස පිළිබඳ දැන්වීම් බහුලව දැකගත හැකිය. එසේම දේපළ වෙළෙඳාම් ආයතනවල වෙබ් අඩවි පරීක්ෂා කර බලන විට ද එය දැකගත හැකිය. ඔවුන්ගේ සුපිරි මහල් නිවාස මෙන්ම සාමාන්‍ය නිවාස ඒකක නැතහොත් සභාධිපත්‍ය දේපොළ අලෙවිය ඉහළින්ම පවති.   


ඉදිකිරීම් සමාගම් මෙම නිවාස සංකීර්ණ ඉදිකිරිමේ දී අනුගමනය කරනු ලබන්නේ පෙර විකිණුම් ක්‍රමවේදය. එනම් තමන්ගේ නිවාස සංකීර්ණයේ ඩිජිටල් සැකසුමක් අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් තාක්ෂණික ක්‍රමවේද මගින් හෝ ප්‍රචාරය කර එහි නිවසක් හෝ දේපොළක් හෝ මිලදී ගැනීමට කැමති අයගෙන් පළමුව ඊට මුදල් ලබා ගැනීමය. අහස උසට ගොඩනැගිලි හැදෙන්නේ එලෙස කෙරෙන ආයෝජනයන්ගෙනි. ඒ නිසා දේපොළ වෙළඳාම් සමාගම් සැලසුම් කරනු ලබන්නේ තම නිවාස ව්‍යාපෘතියට නිවාස එකසිය පනහක් ඇතුළත් කරන්නට නම් ඉදිකිරීම සිදු කෙරෙන්නේ ඒ එකසිය පනහටම මුදල් ලැබුණු පසුබිමක් තුළය. ඉතාමත් කලාතුරකින් අවස්ථාවක එකසිය පනහෙන් නිවාස හෝ දේපොළ කොටස් දෙක තුනක් ඉතිරි වනු ඇත. ඒවා පසුව විකිණෙනු ඇත.   


මෙම නිවාස හෝ දේපොළ සඳහා මුදල් යොදවන්නන්ගෙන් ඇතැමෙක් එසේ කරනුයේ ඉදිකිරීම් අවසන් වූ වහාම තමන්ගේ පෞද්ගලික පදිංචිය වෙනුවෙනි. තවත් කෙනෙක් අනාගතයේ පදිංචි වීමේ අරමුණෙන් මුදල් යොදවති. තවත් කෙනෙක් මෙය අයෝජනයක් සේ ගනිති. එනම් තමන් අද මෙම යොදවන මුදලෙන් ඉදිවන නිවසේ හෝ දේපොළෙහි වටිනාකම එය ඉදිකර අවසන් වන විට තමන් යෙද වූ අගයට වඩා ඉහළ අගයක් ගනු ඇත. එවිට එය වැඩි මිලකට තවත් අයෙකුට අලෙවි කර ලාභයක් ඉපයිය හැකිය. එසේම මෙම නිවාස කුලී හෝ බදු පදනම යටතේ ලබාදීමෙන් දීර්ඝ කාලීනව විශාල ලාභයක් ඉපයීමට හැකිවේ.   


මහබැංකු වාර්තාවලට අනුව පසුගිය වසරේ අවසන් කාර්තුවේ දී මෙරට ඉදි වූ සුපිරි හා මැද පාංතික නිවාස ඒකක වලින් (ස්වාධිපත්‍ය දේපොළවලින්) සියයට අනූහයක්ම විකිණී අවසන්ය. එසේ විකිණෙන ලද නිවාස වලින් 54% ක් මිලියන විසිපහට වැඩි වටිනාකමින් යුතු සුපිරි නිවාස වන්නා සේම තවත් සැලකිය යුතු විශාල පංගුවක් එනම් 32% ක් මිලියන විසිපහත් පනහත් අතර වටිනාකමින් යුතු නිවාසය. මිලියන විසිපහට වැඩි නිවාස මිලදී ගැනීම් පසුගිය වසරේ දෙවැනි කාර්තුව අවසන් වන විට පැවතියේ 24%ක් ලෙස වන අතර එය පළමු කාර්තුවේදි 14%ක් විය. ඒ අනුව සුපිරි නිවාස සංකීර්ණවල ද මිලෙන් ඉහළම නිවාස මිලදී ගැනීම ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ.   


මෙම නිවාස සංකීර්ණවලින් අති බහුතරය එනම් 46%ක්ම ඉදිවන්නේ කොළඹ කේන්ද්‍ර කරගනිමිනි. කොළඹින් බැහැර එනම් ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් 42% ක් නිවාස සංකීර්ණ ඉදිව තිබේ. ඒ වැඩි වශයෙන්ම ගම්පහ මීගමුව ප්‍රදේශයත්, කලුතර බේරුවල හා පානදුර ප්‍රදේශයනුත් කේන්ද්‍රකර ගනිමිනි.   
මහබැංකු වාර්තාවලට අනුව මෙම සුපිරි මහල් නිවාස හෝ දේපොළ වලින් වැඩිම ප්‍රමාණය එනම් 90% ක්ම මිලදී ගෙන තිබෙන්නේ ශ්‍රී ලාංකිකයන් විසිනි. ද්විත්ව පුරවැසියන් විසින් 8%ක් ද විදේශිකයන් විසින් 2% ක් ද මිලදී ගෙන ඇත. 

 
මෙම සුපිරි මහල් නිවාස හෝ දේපොළ මිලදී ගන්නන්ගේ 40%ක් තමන්ගේම හදිසි පෞද්ගලික පදිංචිය සඳහා එම නිවාස මිලදී ගන්නා අතර තවත් 30%ක් අනාගත පදිංචිව වෙනුවෙන් මිල දී ගනිති. එසේම 20%ක් එම නිවාස මිලදී ගනු ලබන්නේ ආයෝජනයක් ලෙස වන අතර තවත් 10%ක් කුලී හෝ බදු පදනම යටතේ ලබාදීමේ අරමුණ ඇතිව මිලදී ගනු ලබන බව මහබැංකු වාර්තා පෙන්වා දී තිබේ.   


එහෙත් අප නිවාස හා දේපොළ ඉදිකිරීම් සමාගම්හි අභ්‍යන්තර තොරතුරු අනුව මෙම මහල් නිවාස සංකීර්ණවලින් අතිබහුතරය එනම් සියයට අසූවක් පමණම මිලදී ගනු ලබන්නේ දැනටමත් කොළඹ හා ඒ අවට සුපිරි නිවසක් හිමි ව්‍යාපාරිකයෝය. ඒ නිසා ඔවුන් මෙම නිවාස මිලදී ගනු ලබන්නේ අයෝජන ලෙසය. එම ආයෝජනයෙන් අදහස් කරනු ලබන්නේ ඇතැම් විට ඉදිකර අවසන් වු පසු අලෙවි කිරිම හෝ බදු හෝ කුලී පදනම මත වෙනත් අයෙකුට ලබා දීමය.   


මෙවැනි මහල් නිවාස සංකීර්ණවලින් නිවාස මිලදී ගනු ලබන්නන්ගෙන් විශාල පිරිසක් ව්‍යපාරිකයන් වන අතර සැලකිය යුතු පිරිසක් එනම් 20-30ක් පමණ වන ගනුදෙනුකරුවන් පිරිසක් මුදල් උපයන නිසි මාර්ගයක් පෙන්වීමට අකමැතිය. එසේම ඔවුන්ගෙන් වැඩි දෙනා මෙම නිවාස මිලදී ගනු ලබන්නේ තමන්ට විශ්වාසවන්ත වෙනත් අයෙකුගේ නමටය.   


මහබැංකු වාර්තාවලින් පෙන්නුම් කරන තොරතුරු හා ඉඩම් හා දේපොළ සමාගම්හි අභ්‍යන්තර තොරතුරු අතර ඇතැම් පරස්පරතා පවතී. එයට හේතු ලෙස එම සමාගම් දක්වන්නේ මහබැංකුව වාර්තා සකස් කරන්නේ ඔවුන්ට තම ආයතනවලින් ලබාදෙන පෝරම අනුව වන නමුත් ඒවා සියල්ල සම්පූර්ණ සත්‍යය නොවන බවය.   


නිවාස ඉදිකිරිම් සමාගම් වෙත 2006 අංක 06 දරණ මුදල් හුවමාරු පනත අනුව එම සමාගම්වල ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා වන පෝරමයක් (KYC) ලබාදේ. එම පෝරමයෙන් ගනුදෙනුකරුගේ පෞද්ගලික තොරතුරු, ගනුදෙනු කරන මාධ්‍යය එනම් චෙක්පත් මගින්ද මුදල් මගින්ද නැතහොත් බැංකු මගින් සිදු කරන මුදල් හුවමාරු මගින්ද යනාදී තොරතුරු, මුදල් සොයා ගත්තේ කෙසේද? යන්න පිළිබඳ තොරතුරු ඇතුලු තොරතුරු රැසක් හෙළිදරව් කළ යුතුය.   


එහෙත් මෙම සමාගම්වල, අභ්‍යන්තර තොරතුරු අනුව ගනුදෙනුකරුවන් බොහෝ දෙනා එම තොරතුරු සියල්ල හෙළිදරව් කිරීමට අකමැතිය. ඒ නිසා ඇතැමෙක් ව්‍යාජ තොරතුරු සපයන අතර තවත් කෙනෙක් එම පෝරම පිරවීම ප්‍රතික්ෂේප කරති. එහෙත් මහල් නිවාස අලෙවිකරනු ලබන දේපොළ සමාගමට වැදගත් වන්නේ තමන්ගේ දේපොළ අලෙවි කිරීම මිස ඔහුගේ සත්‍ය තොරතුරු මහ බැංකුවට හෙළි කිරීම නොවේ. ඒ නිසා ඔවුන් මහබැංකුව වෙත යොමු කරනු ලබන්නේ තමන්ට ගනුදෙනුකරු පුරවා දෙනු ලබන පෝරම පමණි.’

 
තමන් මුදල් ඉපයු ආකාරය පෙන්වීමට අසමත්, සමාජ විරෝධි ක්‍රම මගින්, දූෂණ වංචා මගින්, විවිධ ජාවාරම් මගින් මුදල් ඉපයූ අපි මෙවැනි නිවාස මිලදී ගනු ලබන්නන් අතර සැළකිය යුතු පිරිසක් සිටි. ඒ අතර හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම වර්තමානයේ දේශපාලනයේ නිරතවන දේශපාලනඥයෝ ද වෙති. එසේම සංස්ථා සභාපතිවරු, නීතිඥයෝ මෙන්ම වෛද්‍යවරු ද සිටිති. විශේෂයෙන්ම මැති ඇමැතිවරුන් මෙම නිවාස මිලදී ගෙන තිබෙන්නේ තමන්ගේ නමින් නොවේ. තමන්ගේ දුර ඥාතිකම් ඇති හෝ විශ්වාසවන්තම හිතවතෙකුගේ නමටය.   


මෙලෙස මුදල් ඉපයූ මගක් පෙන්විය නොහැකි සියයට විස්සක තිහක පමණ පිරිසක් නිවාස මිලදී ගන්නා විට ඉතිරි 60-70ත් % අතර ප්‍රමාණයක් නිවාස මිලදී ගනු ලබන්නේ ව්‍යාපාරිකයන්ය. රටේ ආර්ථිකය කඩා වැටෙද්දී, ජනතාවගේ ආර්ථිකය කඩා වැටෙද්දී, එක්තරා පෙළැන්තියකගේ පමණක් ආර්ථිකය ශක්තිමත් වූයේ කෙසේ ද?   


මහබැංකු වාර්තාව අනුව නිවාස මිලදී ගනු ලබන්නන්ගෙන් 78%ක් තමන්ගේම මුදල්වලින් මෙම නිවාස මිලදී ගනු ලබන අතර 22% ක් බැංකු ණය මත ලබා ගනී. එහෙත් ඉදිකිරීම් සමාගම්හි අභ්‍යන්තර තොරතුරු අනුව මෙම නිවාස මිල දී ගනු ලබන ව්‍යාපාරිකයන්ගෙන් 80%ක් හෝ 90%ක් පමණ බැංකු ණය මත මෙම නිවාස මිලදී ගනු ලබති. ඔවුන් එසේ කරනුයේ බැංකු ණය පොලී අනුපාතය පසුගිය කාලය තුළ පහළ දමා ඇති හෙයින් තමන්ගේ මුදල් මෙවැනි කාර්යයක් වෙනුවෙන් හිරකරනවාට වඩා ඒ මුදල් වෙනත් අයෝජනයකට යොදවා අඩු පොලියට බැංකු ණයක් ලබා ගැනීම වාසි සහගත වන බැවිනි.   


කිසියම් පුද්ගලයෙකු සතුව ඩොලර් තිබේ නම් ඒවා බැංකුවල තැන්පත් කරන්නැයි ද එසේ තැන්පත් කළහොත් ඩොලරයේ වටිනාකමට වඩා වැඩි වටිනාකමක් රුපියල් වලින් ගෙවනු ලබන බව ද රජය ප්‍රකාශ කළේය. එසේ ඩොලර් තැන්පත් කරන්නන්ගෙන් ඒවා ඉපැයූ මාර්ගය පිළිබඳව විමසිමක් නොකරන බව ද ප්‍රකාශ විය. ඒ අනුව ද අයථා මාර්ගවලින් මුදල් උපයන ලද පුද්ගලයන්ට ඒවා බැංකුවල තැන්පත් කිරීමට මෙන්ම එම මුදල් ස්ථාවර තැන්පතු ලෙස තැන්පත් කර ඇපයට තබා ණය ලබා ගැනීමේ පහසුව ද ලැබිණ. සුපිරි මහල් නිවාස සංකීර්ණවලින් නිවසක් හෝ දේපොළක් මිලදී ගැනීමේ දී මේ කුමන ක්‍රමයකට මුදල් යොදවන්නෙකුට වුවද තම ආයෝජනය ගැටලුවකින් තොරව සිදුකළ හැකිය.   


මහ බැංකු වාර්තාවලට අනුව බලනවිට කොවිඩ් වසංගතය තුළ සුපිරි මහල් නිවාස මිල දී ගැනීම සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බව පෙනේ. එසේම එසේ මිල දී ගනු ලැබු නිවාස වලින් සැලකිය යුතු ප්‍රමාණයත් මිලියන විසිපහට වැඩි නිවාසය. කොවිඩ් වසංගතය ආරම්භ වූ 2020 වසරේ තෙවැනි කාර්තුව වන විට මිලියන විසිපහට වැඩි නිවාස අලෙවී වී තිබුණේ 14%කි. එහෙත් 2021 දෙවැනි කාර්තුව වන විට එය 24%ක් දක්වා ද තෙවැනි කාර්තුව වන විට 32% දක්වා ද ඉහළ නැග තිබේ. එසේම මිලියන පනහට වැඩි නිවාස අලෙවිය ද සමස්ත අලෙවියෙන් සියයට අටක් දක්වා ඉහළ නැග තිබේ. ඒ අනුව මෙම ආදායම් ඉහළ යාම කොවිඩ් තුළ තත්ත්වය පදනම් කරගෙන සිදුව ඇති බව දැකගත හැකිය. කොවිඩ් වසංගතය තුළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීමේ දී පවා වංචා දුෂණ සිදුව ඇති බවට පසුගිය කාලයේ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල විය.   

 

 

 මුදිතා දයානන්ද