41 වසරකට පෙර යුරෝපය සසල කළ ළිඳට වැටුණු දරුවා


ළිඳකට දරුවකු වැටීමෙන් දින ගණනාවක් ඒ තුළ සිරවීමෙන් දුක් විඳින හැටි දැක ලෝකයම කම්පා වූ පුවතක් මෙයට හතළිස් එක් වසරකට පෙර උතුරු ඉතාලියේ ‘‘ප්‍රස්කාති’’ නමැති පිටිසර ගමකින් වාර්තා විය.   

උතුරු ඉතාලියේ එදා සිදුවූ පුවත උතුරු මොරොක්කෝවේ පිටිසර ගමකින් අද වාර්තා වෙන්නේ පෙර පුවතට බොහෝ සම්බන්ධකම් ඇතිවය. ඉතාලි දරුවාගේ නම ‘‘රම්පි’’ය. මොරොක්කෝවේ දරුවාගේ නම ‘‘රයන්’’ය. උතුරු ඉතාලියේ ප්‍රස්කාති (FRASCATI) ගම්මානය කඳුකර පිටිසර ගමකි. උතුරු මොරොක්කෝව් රිෆ් පළාතේ ලෙජ්රාන් (IGHRAN) ගම්මානය ද කඳුකර මෙන්ම පිටිසර එකකි.   


ඉතාලියේ රම්පි (අල්ප්‍රේදෝ රම්පි) වැටුණේ අඩි 100කට වඩා ගැඹුරු වූ නළ ළිඳකටය. මොරොක්කෝවේ රයන් (RAYAN AWRAM) ​ ​​ ​ෙඔෟරම් දරුවා වැටුණේත් අඩි 105ක් ගැඹුරැති නළ ළිඳකටය. දෙදෙනාගේම වයස ද එක හා සමානය.   


ඉතාලියේ කතාව නැවත මෙසේ සිහිපත් කරමු.   


අල්ප්‍රේදෝ රම්පිගේ කතාව 

 
උතුරු ඉතාලියේ නාපොලි (නේපල්ස්) නගරය ප්‍රධානය කොටගත් ප්‍රස්කාති (FARS CAT) කඳුකර ගම්මානය රම්පි ඉපදුන ගමයි. දෙහි, දොඩම්, ඔලිව් හා මිදි ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග විය. දරුවාගේ පියා ෆර්ඩිනාන්ඩෝ රම්පි නම් විය. මව ෆ්‍රන්කාරම්පි නම් වූවාය. දෙදෙනාම වැඩ කළේ වගා බිම්වලය. ගෙදර දී ඔලිව් තෙල් හිඳීම, ගෙවත්තේ පළතුරු, එළවළු වෙළෙඳපොලට ගෙන යාම හා අළෙවිය ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි.   


පවුලේ සිටි එකම පුතෙකි. ඔහුගේ නම අල්ෆ්‍රෙර්දෝ රම්පි නම් විය. ඔහු උපතේදීම හදවත් රෝගියෙකි. මේ සිදුවීම වන විට ඔහු ප්‍රතිකාර ලබා යම්තම් සුවපත් වූවා පමණි. ඔහු උදේ වරුවේ පාසල් ගොස් සවස ගෙවත්තේ එහෙ මෙහෙ යාම සාමාන්‍ය දෙයකි.   


රම්පිගේ මුත්තා විසින් තනන ලද ගොඩනැගිලක් අසල සිඳීගිය පරණ නළ ළිඳක් තිබුණේය. සෙල්ලමින් දුව පැන ගිය රම්පිට ඒ ගැන නිනව්වක් තිබුණේ නැත. අම්මා හැම විටම සිටියේ දරුවා දිහා ඇස් යොමා විමසිල්ලෙනි. එහෙත් මේ මොහොතේ අම්මා (බිසාරි) මොහොතක් එහා මෙහා වුණාය. අල්ප්‍රේ​​දෝ රම්පි කෑ ගසන හඬ අම්මාට ඇසුණ මුත් දුව එනවිට ඔහු පේන්නට සිටියේ නැත. 

 
ආටිසන් ටියුබ් වර්ගයේ ළිඳකට වැටුණු දරුවා මුලින්ම හරහට හිර වී සිටියේය. මේ ළිඳේ පළල අඟල් 18 කි. තවත් පහළට යද්දී අඟල් දහසයකටත් වඩා අඩුය. මුලින් හරහට හිරවුණ දරුවා හිමිහිට රූට රූටා පහළටම යන්නට විය. අම්මා තම පුතා ළිඳට වැටුණ බව දැනගෙන කෑ ගසන්නටත්, විලාප දෙන්නටත් පටන් ගත්තාය.   
පුස්කාති ගමේ වැසියෝ වහ වහා දිව එන්ට වූහ. අල්ප්‍රේ​දෝ බේරා ගැනීමට බොහෝ දෙනෙකු ඉදිරිපත් වූහ. පිරිසක් ගුහා සම්බන්ධ කාර්මිකයන් සොයා ගියෝය. තවත් අය කැණීම්කරුවන් සොයා ගියෝය. පිරිසක් පොලීසියට ද, තවත් පිරිසක් කැර්බිනේරි පොලීසියට ද දිව්වෝය. ටික වේලාවක් යත්ම, ගිලන් රථ, පොලිස්, හමුදා වාහනවලින් ප්‍රදේශය පිරෙන්නට විය. මේ පුවත ප්‍රස්කාතිය පුරාම පැතිර යත්ම වැසියෝ කුමක් හෝ උදව්වක් තමාගෙන් දරුවාට කළ යුතු යැයි සිතා දන්නා දන්නා හැමටම ටැලි​ෆෝන් කරන්නට වූහ. රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකා, පත්තර කාරයෝ ආවේ උදව් කරන්නට නොව තොරතුරු ලබා ගන්නටය.   
පැයක් යන්නට පෙර මුළු ඉතාලියේම ප්‍රධාන පුවත වූයේ අල්ප්‍රේදෝ නළ ළිඳට වැටී සිරවීමයි. දරුවා බේරා ගැනීමට ඉතාලි රජයේ ඇති නවීනතම යන්ත්‍ර සූත්‍ර යෙදවීය. විශේෂ පොලිස් බලඇණි ආවේ සෙනඟ හසුරවන්නටය. විශේෂඥ වෛද්‍යවරු ඉතා සියුම් උපකරණ නළ ළිඳට යවා දරුවාගේ හදවතේ තත්ත්වය සෙවීමට උත්සාහ ගත්හ. තවත් විශේෂ පිරිසක් දරුවාට ඔක්සිජන් යවන්නට වූහ. මේ දරුවා හදවත් රෝගයකින් පෙළුන අයෙකි. ළිඳට වැටෙන විටත් ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියෙකි.   
අල්ප්‍රේදෝ ගොඩ ගැනීමට ඔහු වැටුණ ළිඳ අසලින් තවත් ළිඳක් හාරන්නට පටන් ගත්තේය. එය හාරාගෙන යද්දී විශාල කළුගලක් හමුවිය. කළුගල පිපිරවීම ද කළ නොහැක්කේ දරුවා රෝගියෙකු නිසාය. අධික ශබ්දය ඔහුට ඉතා අහිතකරය.   


දහවෙනි බදාදා දවස පුරාම හැරෙන්නටවත් බැරි පුංචි සීතල ගුහාවක හිරවුණ පුංචි අල්ප්‍රේදෝ යන්ත්‍ර මාර්ගයෙන් කතා කළේය.   


‘‘මමා.... මමා.... ඊයෝ නොන් පොසීබිලේ....’’   
(අම්මේ මට ඉන්ඩ බෑ)   
‘‘බාස්ත... බාස්ත...’’   
(ඇති ඇති මට බෑ)   


විශේෂඥ වෛද්‍යවරු නළ මාර්ගයෙන් දරුවාට ඔක්සිජන් හා දියර ආහාර යැවීමට උත්සාහ ගත්හ.   
FRANKA BISARI (ප්‍රෑන්කාබිසාරි) දරුවාගේ මව විලාප දෙමින් කීවේ ‘‘... මගේ පුතා බය නෑ... ඔහු ධෛර්යවන්තයි...’’ කියාය. අවුරුදු හයක ළමයෙකු වුවත් ඔහුට හොඳ බුද්ධියක් ඇති බව මව කීවාය.   
වැඩි වේලාවක් යන්නට පෙර ඉතාලි ජනාධිපති සන්​ෙද්‍රා් පර්තීනි (SANDRO PERTINI) හෙලිකොප්ටරයකින් එතැනට පැමිණියේය. ඔහු ඒ වනවිට අසූ හතර වැනි වියේ පසු වූවෙකි.   


‘‘... මරනාසන්නව සිටියත්... සීතලෙන් හිටියත් කෙසේ හෝ මේ දරුවා ගොඩ ගන්න...’’ ජනාධිපතිතුමා බැගෑපත්ව ආයාචනා කළේය. ඉතාලි ජනාධිපතිවරයා දූවිල්ලේන් හා මඩෙන් නෑවුන ඇඳුමෙන් යුතුව අව්වේ සිට දරුවා ගොඩ ගැනීමට උත්සාහ කරන්නවුන්ට සහාය දුන්නේය. ඔවුන් ධෛර්යවන්ත කළේය. පපා... පපා... යැයි දරුවා කෑ ගසන හඬ වරින්වර ශබ්ද විකාශනයෙන් ඇසෙන්නට විය. එකොළොස් වැනිදා බ්‍රහස්පතින්දා වනවිට ළිං පතුලේ සිටි දරුවා කැඩුන වචනවලින් හා කෙඳිරි​ ගාමින් කිසිවක් පවසන අයුරු ශබ්ද යන්ත්‍රවලින් ඇසුණේය.   


මකුළු මිනිසා (SPIDER MAN) නොහොත් ආන්ජෙලෝ නම් වූ කුඩාම සිරුරක් ඇති පුද්ගලයෙකු ගෙනවුත් ළිං පතුළට යාමට සැලැස් වූ නමුත් ඔහු ටික දුරක් ගොස් ආපසු ආවේය. මේ පුද්ගලයා ද ළිදේ හිරවන්නට ගොස් බේරා ගත්තේ ඉතා අපහසුවෙනි.   


මිකේලි කරේතා නම් වූ තිස් පස් හැවිරිදි තරුණයෙකු තම ජීවිතය ගැන නොතකා දරුවා බේරා ගැනීමට කැමැත්තෙන් ඉදිරිපත් වුවත් ඔහුට ද ඒ කටයුත්ත කිරීමට නොහැකි විය.   
අවසාන වතාවටත් උත්සාහ දැරූ (මකුළු මිනිසා) ඇන්ජලෝ ළිඳට බැස දරුවා සමීපයට ගිය ද ඔහුගේ අත අල්ලා එළියට ඇද ගැනීමට ඔහුට ශක්තියක් නොවිණි. ඉතාලියේ රූපවාහිනී සේවාවන් දිගින් දිගටම සජීවීව මේ පුවත වාර්තා කළේය. ජනතාව රූපවාහිනී අසලට වී දරුවා දැන් ගොඩගනි තැයි සිතා රූපවාහිනී දෙසම බලාගෙන උන්හ. ගෙවල්වල කෑම බීම පවා ඉවුවේ පිහුවේ නැත. ඇතැම්හු ​රැකියාවලට පවා ගියේ නැත.   
දින දෙකක් තිස්සේ දරුවා වැටුණු ළිඳ ළඟම සිටි ඉතාලි අගමැතිවරයා තුන්වැනි දවසේ රෝමය බලා ගියේය. ඔහු වතිකානුවට ගොස් රෝගාතුව සිටි පාප් තුමා ද හමුවිය. පාප්තුමා වතිකානුවේ සිට දරුවා වෙනුවෙන් යාඥා කළේය. ඔහුගේ ජීවිතයට ආශිර්වා ද කළේය.   


‘‘ළිඳකට වැටුණ කුඩා ළමයෙක්වත් ගොඩ ගැනීමට බැරි ආණ්ඩුවක්. ආර්ථික පරිහානියෙන් පෙළෙන ඉතාලි ජනතාව කෙසේ ගොඩගැනීදැ’’යි ඉතාලියේ විරුද්ධ පක්ෂ නායකයා මෙය දේශපාලන ප්‍රශ්නයක් බවට පත්කර ප්‍රශ්න කළේය.   


මේ වනවිට රෝමයේ පමණක් රූපවාහිනී නාලිකා දෙසීයක් පමණ තිබුණේය.   
පළමුවෙනි දවසේ රූපවාහිනී නාලිකා තුන හතරක කණ්ඩායම් පැමිණි අතර දෙවැනි තුන්වන දවස්වන විට සියයකට වැඩි ගණනක් ශිල්පීහු පැමිණ සිටියහ. ඔවුන්ට ඕනෑ වුණේ දරුවා බේරා ගැනීමට සහාය දීමට නොව දරුවා පණ අදින හැටි, දුක් විඳින හැටි රටට පෙන්වීමටයි. ගුවන් විදුලි නාලිකාවල නිෂ්පාදකවරුන්ට ඕනෑ කර තිබුණේ තමන්ගේ මයික්‍රෝපෝනය ළිඳ තුළට බස්සවා දරුවාගේ කෙඳිරිය පටිගත කර ගැනීමටය. දරුවාගේ සිද්ධිය මාතෘකා කරගෙන විරුද්ධ පක්ෂය රෝමයේ විශාල රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.   
ජනාධිපති, අගමැති, විවිධ ඇමැතිවරු විශාල පිරිසක් රජයේ සියලුම ආධාර ඇතිව මේ දරුවා ගොඩ ගැනීමට දැරූ ප්‍රයත්නය අසාර්ථක විය. ඉතාලි හමුදා නායකයා රටට මේ පිළිබඳ ප්‍රකාශ කළේ ‘‘මේ සිදුවීම සම්බන්ධව කළ හැකි හැම දෙයක්ම කළා..’’ යන්නයි. දරුවා පණ පිටින් ගොඩ ගන්නමයි අපි එක සිතින්ම කටයුතු කළේ. අපි අපේ හිතට එකඟව වැඩ කළා. යැයි ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. මේ දරුවා ළිඳට වැටීමේ සිදුවීම රට කළඹන දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වුණි.   


ළිඳ අයිතිකරුට නඩු   


ළිඳේ වැටී ගොඩ ගැනීමට නොහැකිව මියගිය පුංචි අල්ප්‍රේදෝ රම්පිගේ මරණය ඉතාලි ජනතාවගේ අරගලයක් බවට පත් වුණේය. රජය කළේ ළිඳ අයිතිකරු ළිඳ කැපූ තැනැත්තා සහ තවත් කීපදෙනෙකු මිනීමැරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමයි.   


දරුවා බේරා ගැනීමට තැත් කළ සියලුම රජයේ නිලධාරීන් තම තනතුරුවලින් වහාම ඉල්ලා අස්විය යුතු යැයි ඉතාලි ජනතාව කියා සිටියහ. එම ජනමතය පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය මගින් නිතර නිතර ප්‍රචාරය කළේය.   


ළිඳ අයිතිකරු ළිඳ කැපීමට උපදෙස් දුන් අම්ඩෝ පිසෙන්ගා නමැති අය මිනීමැරීම් චෝදනා යටතේ අත්අඩංගුවට ගත් අතර ළිඳ කැපූ ප්‍රැන්කෝ එයිම් සහ ළිඳ අවට ප්‍රදේශය ශූද්ධ කළ එලියෝ අම්බර්ටීනි ඇතුළු තවත් හතර දෙනෙකු ද මෙම මරණයට හවුල්කාරයන් ලෙසට පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. රෝමයේ ගිනි නිවන හමුදාපති එල්වීසේ මහතා ද විනිශ්චයකාරවරයෙකුගේ දෝෂාරෝපණයට ලක් වුණි.   
දරුවා වැටී මියගිය ළිඳ අවට ප්‍රදේශය තහනම් කලාපයක් කර තිබූ අතර ළමයා ගොඩ ගැනීමට උත්සාහ කළ සියලුම උපකරණ ද තහනම් කර තිබුණි. දරුවාගේ මව බිසාරි රම්පි මහත්මිය ‘‘මම කිසිවෙකුටත් දොස් පවරන්නේ නෑ... මගේ පුතා බේරා ගැනීමට බැරි වුණේ කාගේත් එකමුතුකමක් නොවූ නිසාත් එකම මතයක නොසිටි නිසාත් යැයි මාධ්‍යයට කියා සිටියාය. ඉතාලියේ විශේෂඥ වෛද්‍යවරුන් කීප දෙනෙකු ළිං කුහරයේ සිරවී සිටි දරුවා දුරකතන යන්ත්‍ර මගින් පරීක්ෂාකර බලා කීවේ ‘‘... දැන් අල්ප්‍රෙරේදෝ... මිය ගිහිල්ලා...’ කියාය. රැස්ව සිටි ජනතාව එවර එකවර ‘‘... උඹලා බූරුවෝ...’’යනුවෙන් හඬ නැගූ බව ඉතාලියේ ජනමාධ්‍ය වාර්තා කළේය.   


මේ ප්‍රදේශය තහනම් කලාපයක් බවට පත් කළ ද, මියගිය දරුවා තවමත් ළිඳ ඇතුළේ සිටියේය. ඉතා මහන්සි ගතියකින්, මලානික පෙනුමකින්, රතු වූ දෙනෙත් ඇතිව අල්ප්‍රේර්දෝ රම්පියෝ අම්මා සහ තාත්තා පමණක් ළිං පඩිය අසල සිටියෝය.   


ඉතාලියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැතිවරයා දරුවාගේ මළ සිරුර ගොඩ ගැනීම සඳහා මේ වනවිට රටවල් පහකින් ආධාර උපකාර ඉල්ලා පණිවුඩ යවා තිබුණි. අැමෙරිකාව, බ්‍රිතාන්‍ය, බටහිර ජර්මනිය, ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය එම රටවල් පහයි. ඉතාලියට යාබද රට වූ ස්විට්සර්ලන්තය ප්‍රථමයෙන්ම මේ පිළිබඳ සොයා බැලීමට නියෝජිතයෙකු එවූ බව පුවත්පත්වල සඳහන්ව තිබුණේය.   


එහෙත් ඔවුන් පැමිණෙන විට ඉතාලි රජය දරුවා​ ගොඩට ගෙන පරීක්ෂණවලට පවා යොමුකර තිබුණි. දරුවාගේ අවසන් කටයුතු විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් සිදුවිය.   


ඉතාලි අගමැති සන්ද්‍රයෝපර්තීනිගේ යෝජනාවක් අනුව මියගිය දරුවාගේ සිහිවටනයක් අද ද රෝම නගරයේ දකින්නට තිබේ.

 

 

පී. ඇම්. සේනාරත්න

 


ළමයා වැටී හිරවී සිටි අයුරු

ඇල්ප්‍රදෝ දරුවා වැටී මිය ගිය ළිඳේ හා ඔහු බේරා ගැනීමට අඩ් 10ක් ඈතින් හාරන ලද ළිඳේ රූ සටහනකි මේ. දරුවා වැටුණු ළිං කටේ පළල අඟල් 18 කි. ගැඹුර අඟල් 118 කි. පතුලට වන්නට පළල අඟල් 10ක් පමණ වෙයි. ළිං පතුලට නොවැටුණු දරුවා ළිං කුහරයක සිරවී දින තුනක් තිස්සේ ඉකිබිඳිමින් සිටිද්දී ඔහු බේරා ගැනීමට මහ කළුගල් විදගෙන මිනිසුන් ගමන් කළ ආකාරය මෙහ දැක්වෙයි. දරුවාගේ හදවත ගැස්ම නැවතීමත් සමගම ඔවුන් දැරූ සියලුම ප්‍රයත්න නිෂ්ඵල විය. 1981 ජුනි මස 13 වෙනි සෙනසුරාදා ඇල්ප්‍රදෝ දරුවා මිය ගියේය.

 


ළිඳේ වැටී මියගිය ඉතාලි දරුවා වෙනුවෙන් ස්මාරකයක්

ළිඳට වැටී ගොඩ ගැනීමට නොහැකිව මියගිය රටක් හෙල්ලූ ‘‘අල්ප්‍රේදෝ රම්පි’’ හය හැවිරිදි දරු සිඟිත්තාට ගෞරව දැක්වීම සඳහා අල්ප්‍රේදෝ සිහිවටනය නමින් විශාල සිහිවටනයක් ඉතාලියේ අගනුවර වන ‘‘රෝමයේ’’ ඉදිකර තිබේ. ඉතාලි ජනාධිපති සන්ද්‍රයෝ පර්තීනි, මියගිය දරුවාගේ මව බිසාරි රම්පි සහ පුංචි අල්ප්‍රේදෝ යන දෙදෙනාගේ රූප තුනකින් සැදුම් ලත් මෙම විශාල සිහිවටනය නිමවා ඇත්තේ මුර්ති ශිල්පී අන්තෝනියෝ කොතිජි මහතා විසිනි.