
ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීම බැලූ බැල්මට මුදල් ඉතුරුකිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් සිදුකළේ යැයි සිතෙන සරල පරිපාලන කටයුත්තක් ලෙස නිරීක්ෂණය වන නමුත් එය රටක උපායමාර්ගික චින්තනය පිළිබඳ බොහෝ දේ හෙළි කරන ව්‍යුහාත්මක සංසිද්ධියකි.
මන්ද යත්, රාජ්‍යයක හමුදා සඳහා ඇති ඉහළම සම්බන්ධීකරණ ස්තරය කිසිම සාධනීය විකල්පයක් නොමැතිව විසුරුවා හරින විට පැනනගින ප්‍රශ්නය වන්නේ ආරක්ෂක අංශවල කාර්යක්ෂමතාව පමණක් නොව“එම රාජ්‍යයට වත්මන් සංකීර්ණ සන්නද්ධ සහ වෙනත් මාදිලියේ ගැටුම් පිළිබඳ සැබැවින්ම අවබෝධයක් ඇතිද යන්නයි. මෙය හුදු ආණ්ඩුකරණයෙන් ඔබ්බට ගොස් අවබෝධ කරගත යුතු කාරණයකි.
සම්බන්ධීකරණය
ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර කිසි විටෙකත් අලංකාර හෝ සංකේතමය කාර්යාලයක් නොවීය. එසේම මෙම ධුරයේ ජන්මය උග්‍ර දේශපාලන අභිලාෂ මුදුන් පමුණුවා ගැනීම සඳහා සිදුවූවක් බව යමෙකුට තක්සේරු කළ හැකිය. මන්ද බොහෝ දෙනකු මෙහි සැබෑ ඉතිහාසය ගැන නොදන්නා බැවිනි. නමුත් මෙම ධුරය රාජ්‍යය අවශ්‍යතාවලට අනුව උපන්, දරුණු සිවිල් යුද්ධයක උණුසුම තුළ ගොඩනැගුණු එකකි. එම යුද්ධයේදී යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර තිබූ වෙන්වූ අණදීමේ ව්‍යුහයන් අකාර්යක්ෂම වූවා පමණක් නොව, අතිශය අවදානම් ද විය. කොටි සංවිධානය සමග පැවති ගැටුමේදී, සම්බන්ධීකරණ දෝෂ හුදු අධ්‍යාපනික වාද විවාද හෝ හිස් වාචාල වාග්මාලා යොදා ගනිමින් කාලය කා දමන දේශපාලන සංවාද නොව ඒවා සතුරා විසින් ක්ෂණිකව ප්‍රයෝජනයට ගත් මෙහෙයුම් දුර්වලතා විය. ඒවායෙහි වන්දිය අතිවිශාල විය.
ඒබැවින්, පළමුව ඒකාබද්ධ මෙහෙයුම් විධානය, දෙවනුව ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාංශය, තෙවනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ක්‍රමිකව වෙනස් කරනු ලැබූ මෙම ආයතනයේ මූලික අරමුණ වූයේ ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් රාජ්‍යය ආයතන හදිසි අවස්ථා යටතේ එ්කාබද්ධ යාන්ත්‍රණයක් යටතට ගැනීමය. එය යුද්ධයෙන් පසුවද ප්‍රයෝජනවත් විය. විශේෂයෙන් කොවිඩ් වසංගතය අවස්ථාවේ මින් කැපීපෙනෙන වගකීමක් ඉටුවිය. ඒකාබද්ධ මෙහෙයුම් විධානයේ පළමු ප්‍රධානියා ලෙස කටයුතු කළේ පසුකාලීනව කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කළ ජෙනරාල් වී. අයි. වීරතුංගය.
බරපතළ අවදානමක්
ඉගෙනගත යුතු ඉතිහාස පාඩම් රාශියක් තිබියදීත්, මෙම ධුරය අහෝසි කිරීම විවිධාකාර දේශපාලන තර්ක-විතර්ක මගින් සාධාරණීකරණය කළ හැකිය. එහිදී අතිරේක වියදම් යැයි පාලනාධිකාරිය විසින් හඳුන්වනු ලබන පිරිවැය අඩු කිරීම, විධාන දාම සරල කිරීම සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ බලය මධ්‍යගත කිරීම වැනි කරුණු මෙහිදී ඉදිරිපත් කළ හැකිය. කඩදාසි මත සහ සුන්දර දේශපාලන තර්ක අතර එය සරල සහ පිරිසිදු කටයුත්තක් ලෙස පෙනේ. නමුත් ප්‍රායෝගිකව එය පැරණි දුර්වලතා නැවත ඇති කිරීමේ බරපතළ අවදානමක් නිර්මාණය කිරීමකි. හදිසි අවස්ථාවලදී මුහුණදීමට සිදුවන සජීවී මෙහෙයුම් පරිසරයකදී හමුදා ඒකාබද්ධ කිරීමේ කාර්යය හුදු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයකට කළ හැකිය යන උපකල්පනය මත පිහිටා මෙවැනි තීන්දු ගත්තා විය හැකිය.
අදාළ තීන්දුව පිළිබඳ හිටපු හමුදාපතිවරයෙක් ලේඛකයාට මෙසේ කීවේය. ”ආරක්ෂක කාර්ය මණ්ඩල ප්‍රධානී පනත අහෝසි කිරීමෙන් පසු ආරක්ෂක කාර්ය මණ්ඩල ප්‍රධානී හෝ ජාතික ආරක්ෂක උපදේශකයකු නොමැති රටවල් කිහිපයෙන් එකක් අපි. දැවැන්ත ජාතික ව්‍යසනයක් හෝ විපතක් සිදුවුව හොත් සන්නද්ධ හමුදා සහ පොලිසිය සම්බන්ධීකරණය කිරීමට සහ ක්‍රියා කිරීමට ව්‍යවස්ථානුකූල කිසිවකු නෑ. මෙය බරපතළ ප්‍රතිවිපාක සඳහා සමස්ත රාජ්‍යය අයාලේ හෙළීමක්. බත් මුට්ටියේ වැලි කැට කිහිපයක් තිබ්බොත් එක පරෙස්සමින් අයින් කර අනුභව කරනවා මිස මුට්ටිය පොළොවෙ ගහන්නේ නෑනේ.”
ක්‍රියාකාරී ව්‍යුහ අඩපණ කිරීම
මෙම සන්දර්භය යටතේ මෙය පැහැදිලිව තේරුම් ගත යුතුය. මෙම ධුරය කිසි විටෙකත් සිවිල් පාලනය වෙනුවට හඳුන්වාදුන් විකල්පයක් නොවේ. එම තර්කය බොහෝ විට මෙහි ඇති වැදගත්කම තේරුම්ගැනීමට ඇති නොහැකියාව සඳහා සිදුවූ දෙයක් ලෙස අනුමාන කළ හැකිය. සැබැවින්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය සිවිල් බලය සහ හමුදා ස්වාධීනත්වය අතර පිහිටුවූ සම්බන්ධීකරණ ව්‍යුහයකි. එය හමුදාවේ “මොළය” නොව, එහි සම්බන්ධීකරණ “ස්නායු පද්ධතිය” විය. එම කාර්යය වෙනුවට වෙනත් ක්‍රියාකාරී ව්‍යුහයක් නොමැතිව එය ඉවත් කිරීම ප්‍රතිසංස්කරණයක් නොව“ආදේශනයක් නොමැතිව අනවබෝධයෙන් සිදු කරන ජනප්‍රියවාදී දේශපාලන අභිලාෂයක් මුදුන්පත් කරගැනීමකි.
ආරක්ෂාව ගැන ගැඹුරින් සිතන රටවල් දශක ගණනාවක් තිස්සේ මෙවැනි ධුරයක ඇති වැදගත්කම තේරුම් ගෙන ඇත. එක්සත් රාජධානියේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර එරට ත්‍රිවිධ හමුදා උපායමාර්ගික දැක්මක් යටතේ එකමුතුව ක්‍රියාත්මක වීම සහතික කර ඇත. එක්සත් ජනපදයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී සෘජු යුද අණදීමක් නොකරන නමුත්, යම් කිසි කාරණයක් සිවිල් නායකත්වයට යොමු කිරීමට පෙර ඊට අදාළ විවිධ හමුදා දෘෂ්ටිකෝණ එකට සම්බන්ධ කරන්නේය.
ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉතාම මෑත කාලයක එනම් 2019 දී හඳුන්වා දුන් අතර 2021 හෙළිකොප්ටර් අනතුරකින් මියයන තෙක් එම ධුරයේ සේවය කළ පළමු හමුදා නිලධාරියා වූයේ ජෙනරාල් බිපින් රාවට්ය. ”ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා යනු සමස්තයේ එකතුවට වඩා වැඩි යමක් සාක්ෂාත් කර ගැනීම සඳහා දරන උත්සාහය වන සහජීවනය පිළිබඳ සමස්තයකි. සේවා තුනක සහජීවන යෙදුමේ එකතුව (1 + 1 + 1 = 3) සඳහා නොවේ, නමුත් එකතුව 5 හෝ 7 විය යුතුය,” සිය ධූරයේ කටයුතු ආරම්භ කරමින් ජෙනරාල් රාවට් ප්‍රකාශ කළේය. මීට අමතරව ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරක්ද ස්ථාපිත කර ඇත.
නොගැඹුරු තක්සේරුවක්
එසේම, සැලකිය යුතු තරම් බරපතළ ගැටුම් නැති නමුත් ඔස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි රටවලද ඒකාබද්ධ ආරක්ෂක නායකත්ව ව්‍යුහ ක්‍රියාත්මක වේ. එය ස්ථාපිත කොට ඇත්තේ එම රටවල ඇති මූල්‍ය බලය නිසා නොව එම ධුරය රාජ්‍ය ආරක්ෂාවට අවශ්‍ය ධුරයක් ලෙස අවබෝධ කරගෙන ඇති හෙයිනි . මන්ද නවීන යුද්ධය භූගෝලීය තල මත පමණක් නොව, සයිබර් යුද්ධ, සමුද්‍රීය ආරක්ෂාව, චන්ද්‍රිකා නිරීක්ෂණ සහ වේගවත් මෙහෙයුම් මත පදනම් වන බැවිනි. ඒ නිසා මෙම ධුරය විලාසිතාවක් ලෙස නොව ක්‍රියාකාරී අවශ්‍යතාවක් නිසා පවත්වාගෙන යෑමට සිදුවී තිබේ.
ඊට ප්‍රතිවිරුද්ධව, ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින්නේ වෙනත් දිසාවකට බව පෙනේ. නිවැරදි විකල්පයක් නොමැතිව දිනෙන් දින සංකීර්ණ වන කලාපීය සහ ගෝලීය ආරක්ෂක පරිසරයකදී සම්බන්ධීකරණ යාන්ත්‍රණය ඉවත් කිරීමෙන් විද්‍යමාන වන්නේ මෙම විෂය ගැන ඇති නොගැඹුරු තක්සේරුවයි. එහි කදිම නිදසුනක් නම්, ඉන්දීය වරායෙන් පිටත් වූ ඉරාන නාවිකයන් රැගත් නෞකාවකට ශ්‍රී ලංකා මුහුදේදී ඇමරිකානු හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරයයි. ප්‍රහාරය එල්ල කිරීමන් පසු ඒ ගැන මෙරට ආරක්ෂක අංශ පළමුව දැනුම්වත් වූයේ ඇමෙරිකානු පැසිෆික් විධානයෙන් කළ දැනුම්දීමකින් පසුව බව මෙරට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රසිද්ධ ජනමාධයකට ප්‍රකාශ කළේය. එහිදී ශ්‍රී ලංකාවේ හැසිරීම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් තවමත් ප්‍රශ්න කරන කාරණයකි. මේ නිසා ජාතික ආරක්‍ෂාවට අදාළ ව්‍යුහයේ බරපතළ වෙනස්කම් කරන විට අඩුම තරමින් ඒගැන හැදෑරිය යුතුය. අනෙකුත් රටවල් ඒකාබද්ධ අණ ව්‍යුහ ශක්තිමත් කරන අතර මෙරට ආණ්ඩුව යුද්ධයෙන් පසු ආරක්ෂක ව්‍යුහයට ඉහළ මට්ටමේ ඒකාබද්ධකරණයක අවශ්‍යතාවක් නැති බව පෙන්වමින් සිටී. නමුත් ජාතික ආරක්ෂාව යනු යුද්ධ කිරීම පමණක් නොවන බව තේරුම් ගත යුතුය.
යුද්ධයේදී යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර තිබූ වෙන්වූ අණදීමේ ව්‍යුහයන් අකාර්යක්ෂම වූවා පමණක් නොව, අතිශය අවදානම් ද විය. කොටි සංවිධානය සමග පැවති ගැටුමේදී, සම්බන්ධීකරණ දෝෂ හුදු අධ්‍යාපනික වාද විවාද හෝ හිස් වාචාල වාග්මාලා යොදා ගනිමින් කාලය කා දමන දේශපාලන සංවාද නොව ඒවා සතුරා විසින් ක්ෂණිකව ප්‍රයෝජනයට ගත් මෙහෙයුම් දුර්වලතා විය. ඒවායෙහි වන්දිය අතිවිශාල විය.
මෙම තීරණය තවත් ගැඹුරු දේශපාලන යථාර්ථයක්ද හෙළි කරයි. එනම් ආරක්ෂක ව්‍යුහ කඩාබිඳ දැමීම බොහෝ විට උපායමාර්ගික අවශ්‍යතාවට වඩා දේශපාලන අභිලාෂ මත හැඩගැස්වෙන බවයි. මේ හා සමාන සිදුවීම් රැසක් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සිදුවී ඇත. වඩාත් කැපී පෙනන උදාහරණය නම් ශ්‍රී ලංකා යුදහමුදාවේ බුද්ධි අංශයට සිදුකර ඇති බරපතළ හානියයි. විවිධ දේශපාලන අවශ්‍යතා සපුරාගැනීම සඳහා එම විෂය ගැන දන්නා සියල්ලම පාහේ එම ආයතනයෙන් විසිකර දමා ඇත. මෙවැනි තීන්දුවල වන්දිය ගෙවීමට සිදුවන්නේ කිසිවකුට අනුමාන කළ නොහැකි අවස්ථාවකය.
රාජ්‍යයක් මුහුණ දෙන තර්ජනවල ස්වභාවය නොවෙනස් බව සිතීම ජාතික ආරක්ෂාවෙහි භයානකම ගැන ඇතිකර ගන්නා වැරදි අවබෝධයකි. අද ශ්‍රී ලංකාවේ ආරක්ෂක පරිසරය අභ්‍යන්තර කැරලි මත නොව, සමුද්‍රීය ආරක්ෂාව, කලාපීය බල අරගල, ජාත්‍යන්තර අපරාධ ජාල, සයිබර් දුර්වලතා සහ දේශගුණික අවදානම් ආදී පෘථුල භූගෝලීය තත්ත්වයන් මත පදනම් වේ. මේ කිසිවකට තනි ආයතනවලට මුහුණ දිය නොහැකි අතර ඒවා සියල්ලටම ඒකාබද්ධ ප්‍රතිචාර අවශ්‍ය වේ. එසේම ඕනෑම හදිසි අවස්ථාවලදී තම අරමුණු ඉටු නොවන්නේ නම් මිතුරු යැයි අප අනුමාන කරගෙන සිටින කිසිදු රාජ්‍යයක් අපේ සහායට පැමිණෙන්නේ නැති බව තේරුම් ගතයුතුය.
ආරක්ෂක කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරය ශ්‍රී ලංකාවේ පරිපූර්ණ එකක් නොවූ බව සැබෑය. එයට දේශපාලන සංවේදීතා සහ සීමා තිබුණි. එය දේශපාලනික අවශ්‍යතා වෙනුවන් භාවිත කෙරිණ. නමුත් ක්‍රියාකාරී විකල්පයක් නොමැතිව එය සම්පූර්ණයෙන් ඉවත් කිරීම පරිපාලන සරලතාව, උපායමාර්ගික පැහැදිලිකම ලෙස වරදවා වටහා ගැනීමකි. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ අපේම මිනිසුන්ගේ රුධිරයෙන් මේ රටේ මිනිසුන්ට ඉගැන්වීමට උත්සාහ කළ දේ පයිසයකට මායිම් නොකර කටයුතු කිරීම කෙතරම් අභාග්‍යක්ද යන්න කාලය විසින් තීන්දු කරනු ඇත.
නිලන්ත ඉලංගමුව

