ආගමික මනස දේශපාලනයට උගස් කළ ජන්ප්‍රිය බුද්ධාගම


බුදුදහම දර්ශනයක් ද, ආගමක්ද, නැත්නම් ඥානමාර්ගයක් ද යන්න පිළිබඳව විවාදාත්මක මතවාද රාශියක් ඇත. කෙසේ වුවද පොදුජන සමාජයේ බුදුදහම පිළිගන්නේ ආගමක් ලෙස බව පැහැදිලිය. එනම් ජීවිතය දෙස ගැඹුරින් බැලීමට නව මගක් පෙන්වන ආගමක් ලෙසය. වඩාත් පැහැදිලිව දැක්වුවහොත් බුදුදහම සැබැවින්ම ජන ආගමක තත්ත්වයෙහි පවතින්නකි. 

මෙම ජන ආගම (Folk Religion)  අද එම තත්ත්වයට වඩා සමාජ ව්‍යාපාරයක ස්වරූපයට පත්ව ඇතැයි යන අදහස නූතනයෙහි ප්‍රචලිතව පවතී. ඒ නිසාම මෙරට බුදු දහමෙහි මේ දිනවල සිදුවෙමින් පවතින්නේ කුමක් ද යන්න නූතන ලංකා සමාජයේ සැබෑ මුහුණුවර හඳුනාගැනීමේ ප්‍රවේශයක් ලෙස තේරුම් ගන්නා නිදහස් මතධාරීන් පිරිසක් දක්නට ලැබේ. ඔවුන් පෙන්වා දෙන මූලික තර්කය සමකාලීන සිංහල බුද්ධාගම ක්‍රියාත්මක වන ආකාරය බලන විට එය ලෞකික සහ ලෝකෝත්තර ප්‍රවණතාව අතර සමාජ සහජීවනයට මෙන්ම සමාජ ගැටුමට ද ඉවහල් වන ආකාරයෙන් හැඩගැසෙන බවය. මෙය සංකීර්ණ තත්ත්වයකි. මෙම සංකීර්ණ ආගමික මුහුණුවර හඳුනාගැනීමේ සංකල්පවේදයක් ලෙස ජනප්‍රිය බුද්ධාගම හඳුනාගත හැක. 

අලු‍ත් ආගමික පුද පූජා. මතවාද, පිළිවෙත් රැසක් ශාසනික සම්ප්‍රදාය යට ඇතුළු වෙමින් ආගමේ සම්ප්‍රදායික මුහුණුවර වඩාත් විචිත්‍ර ස්වරූපයක් ගෙන තිබේ. මෙලෙස බුදුදහම මතවාදිමය වශයෙන් පැවති තත්ත්වය වඩා වෙනස් මඟකට යොමු කර ගැනීමේ යම් යම් උත්සාහයන් අදින් දශක 05 කට පමණ පෙර ද අපට හඳුනාගත හැකි වේ. ඉන් පළමු කණ්ඩායම නම් හෙන්රි ඕල්කොට්, කේ.ඇන්. ජයතිලක, ඊ.ඩබ්. අධිකාරම්, ගුණපාල මලලසේකර ආදීන්ගෙන් සමන්විත කණ්ඩායමයි. මොවුන් උත්සාහ ගත්තේ බෞද්ධ දර්ශනය සහ ධර්මය, බටහිර විද්‍යාවටත්, හේතුවාදී චින්තනයටත් අනුකුල බව පෙන්වීමටය.

දෙවැනි මතවාදී පිරිසට අයත් වූයේ භික්ෂු පිරිසකි. එනම්, උඩකැන්දවල සරණංකර, හේන්පිටගෙදර ඥානසීහ, කොටගම වාචිස්සර, බඹරැන්දේ සිරිසීවලි ආදී හිමිවරුන්ය. ඔවුන්ට අවශ්‍ය වූයේ බෞද්ධ සමාජ දර්ශනය, මාක්ස්වාදී සම්ප්‍රදායේ සමානාත්මතාව මත පදනම් වූ සමාජවාදය සමග අනන්‍ය වූ චින්තන ධාරාවක් බව පෙන්වීමටය. මෙම මතවාද දෙකම කාලීන වශයෙන් ජනප්‍රිය වූවද, එමගින් බුදු දහම ප්‍රජාතන්ත්‍රවාදී මානව හිතවාදී සමාජ කතිකාවක් බවට පත් වීමට අවශ්‍ය සංකල්පවේදයක් නිර්මාණය කිරීමට දිගුකාලීන වශයෙන් බලපෑවේ නැත.

බුදුසමයේ ප්‍රභේද තුනක්

ශ්‍රී ලාංකීය බුදුසමයේ මෙම මූලික ධාරා දෙකට අමතරව මෙරටේ ආගම පිළිබඳ සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයන්හි නියැළුණ විද්වතුන් දෙදෙනෙකු වූ රිචර්ඩ් ගොම්බ්‍රිච් සහ ගනනාථ ඔබේසේකර මෙරට බුදුසමයේ වරින්වර ඇති වූ විපරිණාමයන් හඳුනාගැනීමේ දී එය ප්‍රධාන තෙකොටසකට බෙදා හඳුනාගනිති. අපගේ මූලික සාකච්ඡාව වන ආගමේ නූතන වෙනස තේරුම් ගැනීමේ ප්‍රවේශයක් ලෙස මෙම හඳුනාගැනීම වැදගත්ය. ඔවුන්ට අනුව බුදු දහමේ හඳුනාගත හැකි ප්‍රධාන කොටස් තුනකි.
එනම්,

• සම්ප්‍රදායික බුදුසමය හෙවත් ග්‍රාමීය බුදුසමය
• ප්‍රොතෙස්තන්ත්‍ර බුදුසමය
• නූතන නාගරික බුදුසමය
 

ග්‍රාමීය සම්ප්‍රදායික බුදුසමය, බුදුදහම මෙරටට හඳුන්වාදුන් කාලයේ පටන් ඉතා විශාල වෙනස්කම්වලට භාජනය නොවී අද වෙන තෙක්ම පවතින්නකි. දෛනික ජීවිතයේ ලෞකික බලාපොරොත්තු පදනම් කර පත් ප්‍රාදේශීය ඇදහිලි ක්‍රම හා සම්මිශ්‍රිත ගැමියන් විසින් මෙම සම්ප්‍රදායික ග්‍රාමීය බුදුසමය පවත්වාගෙන යන ලදි. ප්‍රොතෙස්තන්ත්‍ර බුදු සමය 19 වන සියවස අග භාගයේ සිට 20 වන සියවසේ මුල් භාගයේ මෙරට පැවැති සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වමින් සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට සමගාමීව වර්ධනය වූ බුදු දහමේ වෙනස්වීමේ ස්වභාවයයි. අනගාරික ධර්මපාල ජාතික චරිතයක් ලෙස හඳුනාගන්නේ මෙම අවධියේදීය. 

තෙවනුව නූතන නාගරික බුදුසමය ලෙස සැලකිය හැකි, පවතින වර්තමාන ආර්ථික දේශපාලනික යථාර්ථය හමුවේ, නාගරික මධ්‍යම හා අඩු ආදායම්ලාභී ප්‍රජාව ආශ්‍රිතව ගොඩනැගී පවතින ජනප්‍රිය බුදු දහමයි. විශේෂයෙන් නාගරික දුගීකම, ගැමි සමාජයේ ගැටලු‍, දේශපාලනීකරණය සහ නීතියේ ආධිපත්‍යයේ බිඳවැටීම ආදී සමාජ ආර්ථික තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වමින් මෙම ජනප්‍රිය බුදු දහම ඇදහීම්, කල්ලි (Cult)  ලෙස මුළු රට පුරාම වර්ධනය වූ අතර සන්දර්ශනාත්මක බෝධි පූජා, භාවනා වැඩ සටහන්, කතරගම, සූනියම්, භද්‍රකාලී, ලක්ෂ්මී ආදී ලෞකිකත්වයට බර වූ දෙවි දේවතාවියන් මූලික කරගෙන සිදු වූ ගැමි නාගරික මධ්‍යම හා පහළ මධ්‍යම පන්තික ආගමික පිබිදීම ලෙස මෙය හඳුනාගැනේ. අනෙක් අතට මෑතකදී මෙරට ඇති වූ නව පන්ති පෙළ ගැස්මට අනුකූලව යම් යම් සුවිශේෂ ආරාම, මහමෙව්නා බෞද්ධ මධ්‍යස්ථාන රට පුරා ව්‍යාප්ත වීම මෙහිම හඳුනාගත හැකි තවත් ලක්ෂණයකි. 

මෙහිලා අපගේ අවධානයට යොමු වන්නේ නාගරික ග්‍රාමීය භේදයකින් තොරව මුළු රටේම ජනකාන්ත රැල්ලක් ලෙස පැතිර යන මෙම ජනප්‍රිය බුදු දහමේ සමාජීය බලපෑම් කෙබඳු ද යන්නය.

පාරිභෝජන මනස සහ තරගය

නූතන මිනිසාගේ මනස පාරිභෝජන මනසක් ලෙස හඳුනාගැනීම නිවැරදිය. එනම් තමාට ලබාගත හැකි දේ ලබාගැනීම ජිවිතයේ ඒකායන අදිටන කරගනිමින් කටයුතු කිරීමය. මෙම පරිභෝජන මනස නිර්මාණය කිරීමට බලපෑ මූලික කරුණ ද මෙම සමාජයෙන්ම තේරුම් ගත හැක. එනම් අවශ්‍යතා හා ආශා පිළිබඳ පවතින මනෝරාජික තත්ත්වයයි. ජිවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය මූලික අවශ්‍යතා යටපත් කරගෙන පුද්ගලයා තුළ ආශාවන් රැසක් දලුලා ලියලන වෙළෙඳ පරිසරයක නූතන මිනිසා හිර වී සිටීම මින් අදහස් කරේ. මෙසේ ආශා පසුපස දිවයෑම ඈත පෙනෙන කඳු වළල්ලක් දෙස බලමින් ඒ දෙසට දිවයන, එහෙත් කිසි දිනක ඒ අසලට ළංවිය නොහැකි තත්ත්වයක් හා සමානය. එසේ වුවද මේ ආශා පසුපස දිවයන පිරිසේ විශාලත්වය නිසාම ඒ පිළිබඳව තියුණු තරගයක් සමාජය විසින්ම නිර්මාණය කර තිබීම ද මේ සමඟම හඳුනාගත හැකි දෙයකි. 

අධ්‍යාපනය, ගෘහ ජීවිතය, රැකියාව, විවාහය, ඥාති සබඳතා ආදී සියල්ල විෂයෙහිම මෙය එක ලෙස පොදු වූවකි. මෙම තරගයෙන් ජයගෙන තම අපේක්ෂිත ඉලක්කය ඉටු කරගත්තෝ ඉන් තෘප්තිමත් නොවී තව තවත් එම තරග දිවයන අතර තරගයෙන් පරාජය වී බලාපොරොත්තු කඩ වූ විශාල පිරිසක් ද තවදුරටත් එමගෙහිම දිව යති. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වී ඇත්තේ මොවුන් තුළ සුවිශේෂ මානසිකත්වයක් නිර්මාණය වීමය. මේ මනෝ මූලික තත්ත්වය ජනප්‍රිය බුද්ධාගම ඔස්සේ සටහන් කර ගත හැකිය යන විශ්වාසය ද ඒ සමඟ පැන නගී. හුදකලාව කරනු ලබන භාවනාමය කටයුත්තකට වඩා සමාජ සිතුම් පැතුම් ඇති විශාල පිරිසක් හා එක්ව කරන පුද පූජාවලට නූතනයේ වැඩි නැඹුරුවක් පවතින බව අපි දනිමු. පිච්ච මල් ලක්ෂයක පූජා, අටපිරිකර දහසක් පුජා කිරීමේ පූජා, බෙහෙත් ඖෂධ පූජා, වර්ණවත් ධජ පතාකවලින් චෛත්‍යයන් වැසීමේ අවස්ථා, බෝගස් විසිතුරු සළුපිළිවලින් සැරසීම, ශීත ගඟු‍ල වැනි සුවිශේෂ තැන්වල ජලයෙන් බෝගස් නැවීමේ පූජාවල මෙම පොදුවේ දුක නැති කර ගැනීමේ සාමූහික උත්සාහයන් දැකිය හැකි වේ. මෙම පූජා පසුපස ඉතා සියුම් ලෙස පවතින මුදල් උපයාගැනීමේ ව්‍යාපාරමය නැඹුරුව ද ඒ සමඟම අවධාරණය කළ යුතුය. 

වෙළෙඳ භාණ්ඩ

වෙළෙඳ සමාජයක සියල්ලටම මිලක් නියම වීම ස්වාභාවිකය. බලවත් ධාතූන් වහන්සේලා ඇතැයි කියන රන් ආලේපිත සුවිශාල කරඬු වන්දනාවෙහි පැහැදිලිව මේ සම්මාදම දැකිය හැක්කේ බුදු කුටියෙහි නොව දෙනෝ දහසක් ගැවසෙන මග දෙපසවීම විශේෂ කරුණකි. නූතන බෝධි පූජාව හැඩගැසී ඇත්තේද බෝධියට දක්වන ආගමික වන්දනය පදනම් කරගෙන නොව තමන්ගේ ගෘහීය හා පුද්ගලික අවශ්‍යතා රැසක් ඉටු කරගත හැකි අදෘශ්‍යමාන බලයක් බෝධියේ ඇතැයි යන විශ්වාසයෙන් බව නොරහසකි. අනෙක් අතට ජනප්‍රිය බුදු දහම පුද්ගල පෞරුෂයන්ද එයට අනුරූපීව වෙළෙඳ භාණ්ඩ ලෙස සමාජයට ඉදිරිපත් කරනු ලබන බව ද පෙනී යයි. මෙම ආගමික ව්‍යාපාරවල නියැලී කටයුතු කරන තරුණ යතිවරුන් තමාගේ රුව විවිධ රූපාලංකාර යොදා කෘත්‍රිම ලෙස හැඩ ගස්වාගෙන එයින් ජන මනස ආකර්ෂණය කර ගැනීමට උනන්දු වන බව නොරහසකි. මේ සියල්ලම ජනප්‍රිය බුදුදහමේ මූලිකාංගයන්ය. අනෙක් අතට මෙය ද නූතන වෙළෙඳ සමාජයේම තවත් එක්තරා පැති කඩකි. 

මෙබඳු තත්ත්වයක් දක්නට නොලැබුණ හැට හැත්තෑව අසූව දශකත්‍රයෙහි ද විචිත්‍ර ධර්ම දේශකයන් වහන්සේලා වැඩ සිටියහ. ඔවුන් සැබැවින්ම විචිත්‍ර චරිත වූයේ ඔවුන්ගේ රුව හෝ තමා සන්තක පරිභෝග වස්තූන් නිසා නොව ගැඹුරු දහම් සරලව ජනතාවට දෙමින් ජනමනස පෝෂණය කළ නිසාය. ගුවන්විදුලි මාධ්‍ය පමණක් තිබූ ඒ යුගයේ, වජිරාරාමයේ පියදස්සී හිමි, හෙණ්ඩියගල සීලරතන හිමි, නාරද හිමි පිටකෝට්ටේ සෝමානන්ද හිමි, පල්ලාවෙල සද්ධාතිස්ස හිමි වැනි යතිවරුන් පිළිබඳ ගෞරවාන්විත මතක තවමත් අප තුළ ඇත්තේ ඒ නිසාය. 

බෝධි වන්දනාව මුල්වරට පොදුජන සමාජය වෙත රැගෙන ගිය පානදුරේ අරියධම්ම හිමියන් තම ළයාන්විත බස් වහරෙන් ජනතා සිත්හි ඇති කළ ශ්‍රද්ධාව කිසිවිටෙක වෙළෙඳ භාණ්ඩයක් කර නොගත්තා පමණක් නොව එවකට සමාජයේ හොඳ සමාජ පාලන උපක්‍රමයක් ලෙසද උන් වහන්සේගේ ඉදිරිපත් කිරීම් වැදගත් මෙහෙයක් ඉටු කළ බව කිව හැක. අද එබඳු චරිත වෙනුවට දක්නට ලැබෙන්නේ මනෝරාජික ලෝක වලට ශ්‍රාවකයන් ගෙන යන වෙනස් ආකාරයේ චරිතයයි කිව හැක. ආධ්‍යාත්මික කාරණා එකින් එක නැති වී ගොස් හිස්වුණ සමාජයක එබඳු නිසරු චරිත උඩට මතු වී පැමිණෙනවා පමණක් නොව එම පිරිස ඉල්ලා සිටින ඔවුන් මාර්ගඵලලාභීන් සේ සිතන අතිවිශාල ජන පිරිසක් නිර්මාණයවීම ද ස්වභාවයකි. මෙම වෙනස්වීම පිළිබඳව කරනු ලැබූ සමාජ 
පර් යේෂණ රැසක් ඇත. 

රාජ්‍යය හා ආගම

මෙරට බුදු දහම පිළිබඳව සමාජ විද්‍යාත්මක නිරීක්ෂණ රැසක් සිදු කළ සමාජ විද්‍යාඥයකු වූ එස්. ජේ. තම්බයියා 1973දී පළ කළ අදහසක් මෙහිදී මට සිහිපත් වන්නේ එය එදාට මෙන්ම අදටත් සදා කල්හි වලංගු නිසාය. ඔහු පෙන්වා දුන්නේ බෞද්ධ පුනරුද ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස 1753 දී වැලිවිට සරණංකර හිමියන් ථෙරවාදී බුදු සසුන නැවත පිහිටුවීම, සියම් මහ නිකායේ ආරම්භය පමණක් නොව එහි අතුරු ප්‍රතිවිපාක ද හඳුනාගත හැකි බවය. එනම් ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ ධනය‍, කුලය, ඥාතිත්වය ප්‍රාදේශිකත්වය, පදනම් කරගත් බෞද්ධ අධිකාරිවාදයක් මෙරටේ ස්ථාපිත වූ බවය. මෙම තත්ත්වය  දේපොළ උරුමය යටතේ ධනය මූලික කරගත් මහා විහාර සමුහයක් බිහිවීමට බලපෑවේ යැයි ඔහු තර්ක කරයි. (ඔහු මේ සඳහා යොදාගන්නා පදය Monastic Landlordism  නම් වේ). ගනනාථ ඔබේසේකර, රිචඩ් ගොම්රිච් වැනි සමාජ විද්‍යාඥයන් තමන්ගේ බුදුදහමේ පරිවර්තනය (Buddhism Transformed)  නම් කෘතියෙන් ද මෙම පරිවර්තනය විග්‍රහත්මකව සාකච්ජා කොට ඇත.

ජනප්‍රිය බුද්ධාගම පිළිබඳ කරනු ලබන විමසුමක දී අවධාරණය කරනු ලබන තවත් කරුණක් වන්නේ රාජ්‍යය හා ආගම අතර පවතින කිට්ටු සම්බන්ධතාවයි. තවත් ලෙසකට දැක්වුව හොත් රාජ්‍යය මූලිකත්වයෙන්  කරනු ලබන ආගමික පිළිවෙත් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියයි. සිය දේශපාලන පැවැත්ම සාධාරණීකරණය කිරීමටත්, වෙනත් වෙනත් ධනෝපායන මාර්ගයන්ගෙන් උපයනු ලැබූ ධනය හා එම මාධ්‍යයන්ට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමටත්, මෙසේ රජයන් විසින් බෞද්ධ ආගමික පිළිවෙත් අත්පත් කර ගැනීම් සිදු වන බව හඳුනාගත හැක. රාජ්‍ය වෙසක් උත්සව, රාජ්‍ය කඨින පූජා උත්සව මෙන්ම දේශපාලනඥයන්ගේ පෞද්ගලික කීර්තිය හා බලය සඳහා කරනු ලබන ආශීර්වාද පූජා, බෝධි පූජා නොයෙක් දුර බැහැර ස්ථානවල ඉදිකරන පැරණි චෛත්‍ය හා සිද්ධස්ථාන අනුකරණ, වෙසක් උත්සව සඳහා ධනවක් ව්‍යාපාරිකයන්ගේ සහාය ඇතිව කරන සැරසිලි ඉන් සමහරකි. මෙය හඳුනාගත යුත්තේ ආගම ධනය හා රාජ්‍ය යන ත්‍රිත්වයේ අලු‍ත් ඒකාබද්ධවීමකින් ජනකාන්ත බුදු දහමක් හඳුන්වා දීමක් වශයෙනි. නිරාගමික සමාජයක් පිළිබද අදහස අද සමාජයට පැමිණීමට තුඩුදුන් පසුබිම මෙය යැයි සිතිය හැක. 

කෙසේ වුවද මේ තත්ත්වය තවත් පැත්තකින් විග්‍රහාත්මක තේරුම් ගැනීමට ද පුළුවන. ඉහත පෙන්වා දුන් ආකාරයට පරිභෝජනවාදී සංස්කෘතියක ගිලුණු සමාජ වටපිටාවක, වෙළෙඳ අරමුණු පෙරදැරි කරගත් ජීවන රටාවක, බොහොමයක් බහුතරයක් නූතන භික්ෂූන් සැබෑ බෞද්ධ ඉගැන්වීම් වලින් බැහැරව ජනප්‍රිය මතවාදවල සුධාරක චරිත බවට පත්වෙද්දී දිගු කලක් සමාජයට ජීවය දුන් බෞද්ධ පරමාදර්ශ පිළිබඳ මතවාදිමය හිදැසක් (Ideological Gap)  සමාජයෙහි නිර්මාණය වීමය. මෙම හිදැස නිර්මාණය වීම අනිවාර්ය සමාජ ප්‍රතිඵලයකි. ඉන් පසුව සිදුවන්නේ ජනප්‍රිය බුද්ධාගමේ තවත් අපූර්ව එළිදැක්වීමකි. එනම් එම හිදැස යටකී වෙළෙඳ යන්ත්‍රණය විසින් අත්පත් කර ගන්නා අතර අවසානයේ දේශපාලකයන් විශාල මුදලක් හා බලයක් යොදවා එම හිදැස මිලදී ගනිමින් “භික්ෂු මනස”‍ තමාට තමාගේ පැවැත්මට හිතකර පරිදි හැඩ ගස්වා ගැනීමට ක්‍රියාත්මකවීමක් දක්නට ලැබීමය. 

කාලානුරූප වෙනසක් සඳහා රට, ජාතිය, ආගම වෙනුවෙන් ජාතියේ මුර දේවතාවුන් ලෙස පෙනී සිටිනවා යන මතවාදයෙන් සත්‍ය වශයෙන්ම නියෝජනය වන්නේ ශූර දේශපාලනඥයන්ගේ අදෘශ්‍යමාන හස්තය බව පැහැදිලිව පෙනී යයි. මෙවැනි ශෝචනීය ඉරණමකට නූතනයේ බහුතරයක් භික්ෂූන් වහන්සේලා පත්වීම තවත් පැත්තකින් විමසා බැලිය හැක. එනම් 1956 දී මෙරට සිදු වූ දේශපාලන පරිවර්තනය තුළ භික්ෂූන් වහන්සේලා විසින් ඉටු කරනු ලැබූ දැවැන්ත දේශපාලන භුමිකාවය. එහිදී ඔවුහු දේශපාලඥයන්ගේ නියෝජිතයන් නොවී සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පස් වැදෑරුම් බලවේගයක ප්‍රබල පාර්ශ්වයක් නියෝජනය කළහ. නූතනයෙහි පංච මහා බලවේගයද ව්‍යාකූල වී විසිරී ඇති තත්ත්වයකි දක්නට ලැබෙන්නේ. එදා සඟ වෙද සහ ගුරු යන කොටස් මූලික වශයෙන්ම සමන්විත වූයේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින ඉඩම් හිමි ස්ථරයට හා පොදුවේ නාගරික අවශ්‍යතාවලට විරුද්ධව සිටි ග්‍රාමීය සුළු ධනේශ්වරයෙනි. එහෙත් අද තරුණ භික්ෂූන් වහන්සේලා මතු වන්නේ නියම ග්‍රාමීය සුළු ධනේශ්වරයට වඩා පහළින් තිබෙන ස්තරවලින් නිසා ගැමි සමාජයේ සමාජ විෂයෙහි භික්ෂුවට තිබෙන බලපෑම අතිශයින් අඩු වී ඇත. ඒ නිසාම ඔවුහු පහසුවෙන් බලකාමී දේශපාලඥයන්ගේ ගොදුරු බවට පත්වෙති. 

මේ සමග භික්ෂූ භූමිකාව වෙළෙඳ ආයතන සහ සමාජ මාධ්‍ය විසින් පවරාගැනීමද දැකිය හැක. මෙවැනි සමාජයක බෞද්ධ සමාජයෙහි පැහැදිලිව දැකිය හැක්කේ අතිශයින් චින්තනමය දරිද්‍රතාවක් (Poverty of Philosophy)  යැයි කිව හැක. මේ පිරිසට තමාට අභිමුඛ වන මෙම සමාජ දේශපාලන ආර්ථික අසාධාරණයෙන් මතුවන ගැටලු‍ කෑලි කෑලිවලට කඩා විවරණය කර ගැනීමේ විමසුම් ඥානයක්  අනෙත් අතට ජාතිය ආගම් උලු‍ප්පා පෙන්වමින් ඉතා සියුම් ලෙස ජාතිවාදී විෂබීජ පතුරුවන, එහෙත් ජාති ප්‍රේමීන් ලෙස පෙනී සිටින දේශපාලකයන් අතිමහත් බහුතරයක් විසින් පිළිගනු ලැබීම ද මෙම චින්තනමය දරිද්‍රතාවෙහිම ප්‍රතිඵලයකි. ලංකාව වැනි දකුණු ආසියානු රටවල මෙම තත්ත්වය බහුල ලෙස දක්නට ලැබෙන බව පැහැදිලිය. ජනප්‍රිය බුදුදහම මෙබදු පසුබිමක් නිර්මාණය වීමෙහිලා එක්තරා ප්‍රබල මග පෙන්වීමක් නොකළේ යැයි කිසිවෙකුට කිව නොහැක. 

මෙබඳු පසුබිමක් යටතේ නූතන සමාජයට අර්ථවත් පරිදි බුදු දහම යොදාගත හැක්කේ කෙසේද යන ප්‍රශ්නය අපි ගැඹුරින් සාකච්ඡා කළ යුතු වෙමු. නූතන සමාජය නවීකරණය වෙමින් පවතින බව අපි දනිමු. පශ්චාත් කාර්මික සමාජයක් ලෙස හඳුනාගැනෙන මෙම සමාජයෙහි අපට පෙනෙන්නේ තාක්ෂණික මෙවලම් සංස්කෘතියක සෘජු ආභාසයකට නතුවන තරුණ පිරිසකි. එය කිසිවකුට වෙනස් කළ නොහැකි තත්වයකි. අප එයට බුද්ධිමත්ව මුහුණ දිය යුතුය. පැරණි වැඩිහිටි පරපුර සතුවූ අගනාකම් සහ සාරධර්ම නව පරපුර නියෝජනය කරන නව තාක්ෂණික දැනුම් සම්භාරය යන දෙඅංශයම අපට වැදගත් වේ. එහෙත් අද අගනාකම් වලින් පිරිපුන් මහලු‍ වැඩිහිටියන්ට බොහෝ කාර්යයන්හිදී දූ පුතුන් මත රඳා පැවතීමට සිදුවී නැද්ද? 

තාක්ෂණික ඥානය පමණක් සමාජයේ තේරුම් ගැනීමේ ඒකායන මග වී තිබේ. මේ තත්වය වෙනස්විය යුතුය. පින්ලන්තය වැනි රටවල අද මෙම තත්ත්වය වෙනස් කිරීම අධ්‍යාපනයෙන් ආරම්භ වී ඇත. ඩිජිටල් ක්‍රියාකාරකම් අතිශයින් සීමා කොට යළිත් පොත පත දෙසට යොමුවන ශාස්ත්‍රීය නැඹුරුවක් අද පින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දෙමින් සිටී. අද මෙරටෙහිද නව අධ්‍යාපන ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. ආගම පැත්තෙන්ද අලු‍ත් වෙනසකට අප සූදානම් විය යුතුය. ජනප්‍රිය බුදුදහම අර්ථවත්ව සහ කාලානුරූපව තේරුම් ගැනීමෙන්, යොදාගැනීමෙන්, අපට ද අද මේ සමාජය ගමන් කරන අපැහැදිලි මාවත එක්තරා ආකාරයකට වෙනස් කළ හැකි යැයි සිතීම සහේතුකය. ඒ සඳහා සංවාදශීලි අර්ථවත් දහම් කතිකාවතක අවශ්‍යතාව නූතනයෙහි පැන නැගී ඇත.