තම හොඳම මිත්‍රයා අබ්බගාතයෙකු කිරීම පිළිබඳව වරදකරුවකු කළ අයකුට දඬුවම වශයෙන් ඔහුද එවැනිම අබ්බගාතයෙකු කිරීමට සෞදි අරාබියාවේ අධිකරණයක් තීන්දුකර ඇති බව අඟහරුවාදා පුවත්පත්වල පළ විය.
ගතානුගතිකත්වය ඉහළින්ම පිළිපදින සෞදි රජය අනුගමනය කරන්නේ ඉස්ලාමීය ෂරියා නීතිය බවද ඒ යටතේ ඉඳහිට පෞරාණික "ඇසට ඇසක් " යන උපහැරණයෙන් කියවෙන ආකාරයේ දඬුවම් ක්‍රියාත්මක කෙරෙන බවද එම ප්‍රවෘත්තිය කියයි.
මෙම දඬුවම නියමකර ඇත්තේ අලි අල් කවාහිර් නම්වූ 24 හැවිරිදි සෞදි අරාබියා තරුණයෙකුටය. මීට වසර 10යකට පෙර වයස අවුරුදු 14 රේදී අල් කවාහිර් තමන්ගේ මිතුරෙකුට පිහියෙන් ඇන තුවාලකර ඇත. කශේරුකාවට වැදුන එම පිහිපාරින් ඔහුගේ මිතුරා සදාකාලික අබ්බගාතයෙක් බවට පත්විය.මේ සඳහා අල් කවාහිර්ට හිරදඬුවමක්ද ඔහුගේ මිතුරාට වන්දි වශයෙන් ඇමෙරිකා ඩොලර් මිලියනයක් ගෙවීමටද නියම විය. පසුගිය වසර 10කම සිරගතව සිටි අල් කවාහිර්ට එතරම් මුදලක් වන්දි වශයෙන් ගෙවීමට කිසිම හැකියාවක් නොමැති බව පෙනීගොස් ඇති නිසා මේගැන කළයුත්තේ කුමක්දැයි තීරණය කිරීමේ අයිතිය අධිකරණය විසින් අබ්බගාතව සිටින ඔහුගේ මිතුරාට පවරා ඇත. මේගැන සලකා බැලු ඔහුගේ මිතුරා නිර්දේශකර ඇත්තේ තමාට සිදුවු අන්දමේම අතවරයක් ඔහුගේ මිතුරාටද විඳවීමට සලස්වන ලෙසටයි.
තම පුතා මෙම පීඩාවෙන් බේරාගැනීමට අවශ්‍ය වන්දි මුදල සොයාගැනීම සඳහා අල් කවාහිර්ගේ වියපත් මව දැඩි උත්සාහයක් ගත්තද ඇයට පිහිටවීමට කිසිවෙක් ඉදිරිපත්වුයේ නැති බවද එම වාර්තාවේ සඳහන්ව තිබුණි.
මෙම අධිකරණ තීන්දුව අනුව අල් කවාහිර්ගේ කොඳු නාරටිය එන්නතක් භාවිතා කර අඩපණ කිරීමටත් එමගින් ඔහු සදාකාලික අබ්බගාතයෙකු කිරීමටත් පියවර ගනු ඇතැයිද එම පුවත්පත වාර්තා කරයි.
මෙවැනි ඉතා අමානුෂික දරුණු ක්‍රියාවලියක් අනුගමනය කිරීම වධ හිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ ගිවිසුමේ සඳහන් වගන්ති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව මේ පිළිබඳව අදහස්දක්වන ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ඈන් හැරිසන් පවසා ඇත.
එම පුවත්පත් වාර්තාවේ දක්වා ඇති පරිදි 2010 දී මෙලෙසින්ම දබරයකදී සිදුවූ බරපතල ආබාධයක් වෙනුවෙන් වරදකරුවූවකුට එවැනිම තත්වයේ දඬුවමක් ලබාදී ඇත.
මීටපෙර ඇසිඩ් ප්‍රහාරයකින් දෙනෙත් අන්ධකිරීමේ වරදට දඬුවම් ලැබුවකුගේ දෙනෙත් සෞදි ආරෝග්‍යශාලාවකදී ශල්‍යකර්මයක් මගින් උලුප්පා දමා ඇත.
මෙවන් අමානුෂික දඬුවම් ලබාදෙන සෞදි අරාබියාවේ අධිකරණ පද්ධතිය සහ නඩු විභාගයන්ද රහසිගතව පැවැත්වෙන බවත් සැකකරු බොහෝ අවස්තාවල නිසි නීතිඥ නියෝජනයක් නොලැබෙන බවත් කියන මානව හිමිකම් සංවිධාන මෙවැනි ක්‍රියාදාමයන් තරයේම හෙළාදැකිය යුතු බවද පවසයි.
ඔවුන් පෙන්වාදී ඇත්තේ ලෝකයේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කෙරෙන රටවල් අතර සෞදි අරාබියාව ඉහලින්ම ඉන්නා බවයි.
සාමාන්‍යයෙන් එම රටේ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරෙන්නේ ප්‍රසිද්ධියේ හිස ගසා දැමීමෙනි. මේ අවුරුද්දේ පසුගිය ගෙවීගිය මාස තුන ඇතුලත සෞදි අරාබියාවේ හිස ගසාදැමීම් 8ක් සිදුකර ඇතිබව පුවත් පත් වාර්තා වල දක්වා ඇත.
තමන්ගේ නිර්දෝෂී භාවය පිළිබඳව අනේක අප්‍රමාන ගැනවිලි කියාපාමින් මරණ දඩුවම වෙනස් කරන ලෙසට වසර අටක් තිස්සේ විවිධාකාරයේ ඉල්ලීම් ඉදිරිපත් කෙරුනද තමා භාරයේ සිටි මාස හතරක ළදරුවකු මරාදැමීමේ වරදට ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවක් වූ රිසානා නෆීක් පසුගිය ජනවාරි මාසයේ හිසගසා මරාදමනු ලැබීය.