දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරාගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දමිළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගේ රජයට මහත් සේ සහයෝගයක් දැක් වූ, යාපනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයා මෙන්ම යාපනය නගරාධිපතිවරයා ද වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ ඇල්ෆ්‍රඩ් දොරෙයියප්පා ය.
ඇල්ෆ්‍රඩ් දොරෙයියප්පා යාපනයේ ජනප්‍රිය පුද්ගලයෙක් විය. ඔහු යාපනය නගරවාසී ජනතාවගේ ආදරය දිනාගත්තෙක් විය. ඔහු ජනතාව දිනාගත්තේ මුහුණට මුහුණලා කෙරුණ වාග් සංග්රාමයන්ගෙන් නොව සුහද සාකච්ඡා හා ගැටුම් නිරාකරණයෙනි. තවද ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය හා ඇයගේ දේශපාලන පූර්වගාමියා වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක කිට්ටුවෙන්ම ඇසුරු කළ ඔවුනගේ හිතෛෂිවන්තයෙකි. ඔහු සිංහල දමිළ ජනතාව ගේ එකමුතුව සඳහා ක්‍රියා කළ බලවතෙක් ද විය. ඔහුගේ දේශපාලන ශෛලිය සඳහා ආණ්ඩුවේ අනුග්‍රහය ලබාගැනීම ඔහුට ගැළපුණු අතර, ඒ නිසා ඔහු ශ්රීලනිපය සමග පෙළගැසුණේය.
1972 මැයි මස 22 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂවලින් සැදුම්ලත් සමගි පෙරමුණ ආණ්ඩුව විසින් පළමු ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමත්, ඒ තුළින් මෙරට ඒකීය රාජ්‍යයක් බව යළිත් තහවුරු කිරීමත්, සිංහල බස රාජ්‍ය භාෂාව කිරීම ඇතුළු කරුණු කාරණා නිසා ඊට එරෙහිව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් මෙහෙය වූ විරෝධතාවන්ට එරෙහිව උතුරේ දී රජය වෙනුවෙන් පෙනී සිට කටයුතු කළේද , ඇල්ෆ්‍රඩ් දොරෙයියප්පා ප්රමුඛ පිරිස් ය . ඒ අනුව එස්.ජේ.වී. චෙල්වනායගම්, අප්පාපිල්ලේ අමිර්තලිංගම් යන දමිළ ජාතිකවාදී නායකයන් විසින් මෙහෙය වූ දෙමළ එක්සත් පෙරමුණ සහ එම සංවිධානයේ අනුප්‍රාප්තිකයා ලෙස කටයුතු කළ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් මෙහෙය වූ දේශපාලනයට එරෙහිව දොරෙයියප්පා කටයුතු කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් දින දෙකකට පසුව එනම් මැයි 24 වැනිදා යාපනයේ දෙමළ එක්සත් පෙරමුණෙන් මහජන රැලියක් පවත්වන ලද අතර, යාපනය නගරය පුරා කළුකොඩි ඔසවා විශාල විරෝධතා ව්‍යාපාරයක් ද අරඹා තිබිණි. මෙම රැලියේ මුලසුන හොබවන ලද්දේ එස්.ජේ.වී. චෙල්වනායගම්ය. එසේම ඒ. අමිර්තලිංගම් ද ඊට සහභාගි විය.
දෙමළ එක්සත් පෙරමුණේ තරුණ සංවිධානය නියෝජනය කළ නායකයෙකු වූ කාසි ආනන්දන් සිය කතාවක දී - 1972 ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය දුන් දමිළ මන්ත්‍රීන් සියලු දෙනාව ස්වභාවික රෝගයකින් මියයාමට ඉඩ නොදිය යුතු බවත්, ඔවුන් මරා දැමිය යුතු ජාති ද්‍රෝහීන් බවත්, සඳහන් කළ පුවතක්, එම පෙරමුණේ සතිපතා නිල පුවත්පත වූ “වනි සුතන්දිරම්” හි 1972 මැයි 28 වැනිදා පළවිය.
මෙම තර්ජනය හුදෙක් වචනයකට පමණක් සීමා නොවූ එකක් බැව් - 1972 දෙසැම්බර් 19 වැනිදා දොරෙයියප්පා ගේ නිවසට සන්නද්ධ කණ්ඩායමක් විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට උත්සාහ කර තිබීමෙන් සනාථ වුණි. දොරෙයිප්පාට මඩ ගසා අපකීර්තියට ලක්කිරීමේ සිදුවීමක් 1974 ජනවාරියේ යාපනයේ පැවති අන්තර්ජාතික දමිළ පර් යේෂණ සමුළුවේ දී සිදුවිය. සංවිධායකයෝ සමුළුව කොළඹ දී පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණත්, පසුව එය යාපනයේ පැවැත්වීමට ප්‍රධාන සංවිධායක ආචාර්ය මහාදේව ඇතුළු සංවිධායක මණ්ඩලය තීරණය කළහ.
සමුළුව යාපනයට මාරු කෙරුණ කල්හි දෙමළ එක්සත් පෙරමුණ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහකිරීම නොවැළැක්විය හැකිවිය.
පර් යේෂණ සාකච්ඡා මාලාව දියත් කෙරුණේ ශ්‍රේෂ්ඨ දමිළ පඬිවරයෙක් වූ එක්ස් තන්නිනායගම් පියතුමා විසිනි. යාපනයේ පැවති මේ සමුළුව පිළිබඳ මහත් මහජන උද් යෝගයක් විය. ජනවාරි 3 වැනිදා සිට 9 වැනිදා තෙක් වීරසිංහම් ශාලාවේ දී මේ විද්වත් සමුළුව පැවැත්විණි. විදේශීය නියෝජිතයන්ට සවන් දීමට විශාල ජනතා කැමැත්තක් තිබුණු බැවින් මහජන රැස්වීම 10 වැනිදා සවසට යොදා ගන්නා ලදී. ඒ අනුව 9 වැනිදා අවසන් වීමට නියමිත රැස්වීම සඳහා වූ පොලිස් අවසරය 10 වැනිදා තෙක් දීර්ඝ කරන ලදි. අවසන් මහජන රැස්වීම ශාලාවේ එළිමහන් රංග පීඨයට ගෙන යාමට සංවිධායකයෝ අවසාන මොහොතේ තීරණය කළෝය. ඔවුහු එළිමහන් රංග පීඨය ලබා ගැනීමට අවසරය ගැනීම සඳහා යාපනය පුරපති ඇල්ෆ්‍රඩ් දොරෙයියප්පා හා නාගරික කොමසාරිස් හමුවීමට උත්සාහ කළහ. එහෙත් එය සාර්ථක නොවීය.
සංවිධායකයෝ ශාලාවෙන් පිටත භූමියෙහි තාවකාලික වේදිකාවක් සූදානම් කළහ. එය කන්කසන්තුරේ පාරට ද, යාපනය නගරාංගණයට ද, මුහුණලා ඉදිවිය. අවසන් සමුළුවේ කථිකයන්ට සවන්දීම සඳහා පනස් දහසක පමණ පිරිසක් පාරේ ද, නගරාංගණයේ සිට යාපනය කොටුවේ දියඅගල තෙක්ම රොද බැඳ ගෙන සිටියහ. ප්‍රමාද වී රාත්‍රි 8ට පමණ රැස්වීම ආරම්භ විය. සභාපති ආචාර්ය විද්‍යානන්දන් සහයෝගය දීම පිළිබඳව පොලීසියට ස්තුති කළේය. ප්‍රථම කථිකයා වූයේ දකුණු ඉන්දියාවෙන් පැමිණි මහාචාර්ය නයින මොහොමඩ් ය. රැස්වීම අවසානයට ළඟාවන විට කැරැලි මර්දන ඇඳුම්වලින් සැරසුණු පොලිසිය කඩා පැන්නේ රැස්වීම කඩාකප්පල් කිරීමේ අරමුණෙනි. ඔවුහු අහසට වෙඩි තැබුහ. බියට පත් සෙනඟ සීසී කඩ දිව ගියහ. වෙඩි පහරවල් වැදී රැස්වීම් භූමියට ඉහළින් වූ විදුලි රැහැන් කැඩිණි. ඒ සමග ඇතිවූ කලබලය හේතුවෙන් කැඩී එල්ලෙමින් පැවති විදුලි රැහැන්වල ගැටී විදුලි සැර වැදීමෙන් සිවිල් වැසියෝ හත් දෙනෙක් මියගියහ. කෙසේ වුවද මෙම ඛේදවාචකයට දොරෙයියප්පා කිසි ලෙසකින් හෝ සම්බන්ධ බවට අල්පමාත්‍ර හෝ සාක්ෂියක් නොවීය. එහෙත් ආණ්ඩුව සමග සිටීම නිසා නගරාධිපතිවරයා ඉබේටම ගොදුරක් බවට පත්විය.
එදිනම රාත්‍රියේ දෙමළ එක්සත් පෙරමුණේ ආධාරකරුවෙකු යැයි හඳුනාගන්නා ලද පුද්ගලයෙකු මෙහෙයවන ලද කණ්ඩායමක් විසින් මහවීදියේ තිබුණු ශ්‍රී.ල.නි.ප. කාර්යාලයට පහර දෙන ලදී. සිවිල් වැසියන් ගේ මරණ සම්බන්ධයෙන් වූ ඛේදවාචකයට වගකිවයුතු බවට දොරෙයියප්පාටත්, ආණ්ඩුවටත් චෝදනා කිරීමේ ප්‍රබල ව්‍යාපාරයක් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලදී. එසේම දමිළ ජනතාවගේ දැඩි විරෝධයට හේතු වී තිබුණ 1974 දී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇතිකර තිබූ දිස්ත්‍රික් කෝටා ක්‍රමයට හා ප්‍රමිතිකරණ ක්‍රියාවලියට අදාළව ආණ්ඩුව පාර්ලිමේන්තුවට නිල වාර්තාවක් ඉදිරිපත් කළේය. දිස්ත්‍රික් කෝටා ක්‍රමය හා ප්‍රමිතිකරණ වැඩපිළිවෙළ නිසා විශ්වවිද්‍යාලවල විද්‍යා අංශවල දමිළ සහභාගිත්වය සීඝ්‍ර ලෙස පහත වැටී තිබුණු අතර, එම තත්ත්වය දමිළ ශිෂ්‍යයන්ගේ දැඩි විරෝධයට හේතු වී ආයුධ සන්නද්ධ අරගලයක් මගින් දමිළ රාජ්‍යයක් දිනා ගැනීමේ අරමුණ වෙනුවෙන් පෙනී සිටින සටන්කාමී තරුණ සංවිධාන ගණනාවක් උතුරු ප්‍රදේශයේ ගොඩනැගී තිබුණි.
මේ අනුව මෙම සිදුවීම් යාපනයේ ගොඩනැගෙමින් තිබුණු දේශපාලන සංත්රාසය තවදුරටත් උණුසුම් කිරීමට හේතුවී තිබුණි . අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය උතුරේ සංචාරය කරන ලෙස දොරෙයියප්පා ආරාධනා කළ විට මැතිනිය එය සතුටින් පිළිගත්තාය. ඒ අනුව දොරෙයියප්පාගේ පාක්ෂිකයන් විසින් 1974 ඔක්තෝබර් 5 දින යාපනය නගරයට එන අගමැතිනියව තොරණ ගසා පිළිගන්නා ලදී. යාපනයේ අලවලින්, ලූනුවලින් හා මිරිස් කරල්වලින් හැදූ මල්මාලා ඇයගේ ගෙලට වැටුණි. ඇය ප්‍රධාන රැස්වීම් වේදිකාවට යාමට වාහනයෙන් බසින විට එම පාර දෙපස සිටි කාන්තාවෝ සිය දිගු කොණ්ඩය පාරේ අතුරා, ඔවුන් ගේ කොණ්ඩය මතින් පිය නගන ලෙස ඇගෙන් ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත් යාපනය නගරයට ආ අගමැතිනියට විරෝධය පළකිරීමේ විරෝධතා ව්‍යාපාරයක් දෙමළ එක්සත් විමුක්ති තරුණ සංගමය විසින් දියත් කරන ලදී. මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරන වැඩපිළිවෙළේ නායකත්වය ගෙන තිබුණේ පසුකලක දී දෙමළ ඊළම් කොටි සංවිධානයේ නිර්මාතෘවරුන් බවට පත් වූ ප්රභාකරන්, පද්මනාදන් සහ බාලසිංහම් යන තරුණයන් තිදෙනාය. විරෝධතා රැස්වීම්වල දී, අගමැතිනිය යාපනයේ දී උත්සවාකාරයෙන් පිළිගැනීමට කටයුතු සංවිධානය කර තිබුණු යාපනය පුරපති ඇල්ෆ්‍රඩ් දොරෙයියප්පා ද්‍රෝහියෙකු ලෙස හඳුන්වා දෙන ලදී.
දොරෙයියප්පාට විරුද්ධව ද්වේෂය ගොඩනැංවීමේ ස්වභාවය එසේ විය. ජාතිවාදී හැඟීම් තිබූ අයට මේ ප්‍රතිචාරය ගිලගැනීමේ කිසිදු අපහසුවක් නොවීය. මෙය ගමන් ගන්නේ කොතැනකට ද යන්න ඔවුහු නොඇසූහ. සටන් කාමයේ එළිපැත්තෙන් සිටි තරුණයන් ගේ සිත්වල රෝපණය වූ කල්හි මෙය මිනීමැරීමට පෙලඹීමක් විය.
ඇල්ෆ්‍රඩ් දොරෙයියප්පා ගේ පුරුද්දක් වී තිබුණේ සෑම සිකුරාදා සැන්දෑවකම පොන්නලායි වර්ධරාජා පෙරුමාල් කෝවිලට ගොස් යාච්ඤා කිරීමටය. මෙම පුරුද්ද යාපනයේ බොහෝ දෙනෙකු සේම කොටි නායක වේලුපිල්ලේ ප්‍රභකරන් ද දැන සිටියේය. සුපුරුදු ලෙස 1975 ජුලි 27 වැනි දින තම සගයන් දෙදෙනෙකු සමග මෝටර් රියකින් කෝවිල වෙත පැමිණි අවස්ථාවේ දොරෙයියප්පාට වෙඩි තබා ඝාතනය කරන ලදී. මෝදුවෙමින් තිබූ කොටි සංවිධානය පිහිටු වූ ඝාතක කල්ලිය අතර ප්රභාකරන් ද සිටියේය. දොරෙයියප්පා සමග පැමිණි සගයෙක් වන යෝගනාදන් ගේ සාක්ෂිය මෙහි දී දැක්වීම වැදගත් වේ.
“කෝවිල ආසන්නයේ මෝටර් රථය නැවැත් වූ වහාම ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි ඝාතකයෝ දොර සතරේ මෝටර් රථයේ දොරවල් තුනක් වෙත ආහ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ දොරෙයියප්පා සහ ඔහුගේ සගයන් දෙදෙනා මරා දැමීමය. ඔවුන් දෙදෙනා ගෙන් යෝගනාදන් පසුපස දොරක් තුළින් බිමට බට කල්හි මිටි තරුණයෙක් තමා දෙසට පිස්තෝලයක් එල්ල කරමින් වෙවුලමින් සිටි බව දුටුවේය. යෝගනාදන් තරුණයා පසෙකට තල්ලු කර බිම පෙරළා දමා ළඟම තිබූ සිසිල් බීම විකුණන කඩයකට දිව ගියේය. අනෙක් සගයා වූ රාජරත්නම්ට තුවාල සිදුවූ නමුත් ඔහුට ද දිව යෑමට හැකි විය. වෙඩි පහක් හෝ හයක් පත්තු විය. නගරාධිපතිවරයා බිම ඇද වැටෙනු දැක බියට පත්ව සිටි පත්කුණම් නමැති රියැදුරාට රියෙන් බසින්නට අණ කිරීමෙන් පසු තරුණයෝ දොරෙයියප්පාගේ ම මෝටර් රථයට නැගී වේගයෙන් පලා ගියහ. මිනීමරුවන් ගිය කල්හි කඩය හිමි කාන්තාව ඔහුට එළියට එන ලෙස කතා කළාය. ඔහු වහා දොරෙයියප්පා වැටී සිටි ස්ථානයට දිව ගියේය. ඔහුට දැකගත හැකි වූයේ වතුර ඉල්ලා කෑ ගසන දොරෙයියප්පා ය. ඔහු මියයන මිනිසා ගේ හිස තම උකුළ මත තබාගෙන පැන් උගුරක් ඔහුගේ කටට වත් කළේය. එවිට දොරෙයියප්පා අවසන් හුස්ම හෙළීය.”
අවුරුදු ගණනාවකට පසු ප්රභාකරන් ගේ පින්තූරයක් දුටු යෝගනාදන් එදා තමා ඉදිරියේ වෙවුලමින් පිස්තෝලයක් දිගු කරගෙන සිටි මිටි තරුණයා ප්රභාකරන් ලෙස හඳුනා ගත්තේය. යාපනය නගරාධිපතිවරයා වූ දොරෙයියප්පා වෙඩි තැබීමට ගිය කණ්ඩායමට මහේන්ද්‍රන් හෙවත් මහත්තයා, සතාසිවම් හෙවත් සෙල්ලක්කිලි, සිවකුමාරන්, චාල්ස් ඇන්තනි හෙවත් සීලන් හා ක්රිෂ්ණ කුමාර් හෙවත් කිට්ටු යන අය ද ගොස් තිබෙන බව පසුව තොරතුරු අනාවරණය විය.
ඇල්ෆ්‍රඩ් දොරෙයිප්පාට ජීවත්වීමට තිබූ අයිතිය උදුරා ගැනීමේ ක්‍රියාව - දමිළ දේශපාලනය ශෝකාන්ත ක්‍රියාදාමයක් දිගේ ගමන් කරවීමේ මූලාරම්භය විය. දොරෙයියප්පාගේ ඝාතනයෙන් මුළු ශ්‍රී ලංකාවම කම්පාවට පත්වූයේ කිසිදු ජාතිභේදයකින් තොරව ය.
එම්. තාරික්