පින්තූරයෙන් කියාදෙන මලයග පරම්පරාවේ නොසිඳෙන කඳුළු


කන්ද උඩරට දමිළ ජනයා ඉන්දියාවෙන් සංක්‍රමණය වූයේ හරියටම මීට වසර 200 කට පෙරය.

බ්‍රිතාන්‍යයන් විසින් ඇරඹුණු තේ වගාව සඳහා වැඩි ශ්‍රමික පිරිසක්, අවම පිරිවැයක් යටතේ යෙදවිය යුතු වූ නිසා ඉන්දියාවෙන් දෙමළ ජනයා වැඩි වැඩියෙන් රැගෙන විත් තේ වතුවල පදිංචි කරවීම සිදුවිය.

ඊට පෙර බ්‍රිතන්‍යයන් ඇරැඹූ කෝපි වගාව “හැමිලියා වැස්ට්‍රාටික්ස්” නම් වූ දිලීර රෝගයක් වැලඳී විනාශවීමෙන් පසු සිංකෝනා වගාකොට එය ද අසාර්ථක වීමෙන් අනතුරුවය තේ වගාව ආරම්භ කර ඇත.

වතුකරයේ මෙම ජනතාව හැඳින්වීමට අනාදිමත් කාලයක සිට භාවිත කළේ “වතු දෙමළ* යන නාමයයි. ඉන්දියානු දෙමළ, කඳුරට දෙමළ, යනුවෙන් හඳුන්වනු ලැබුවේ ද අඩු ආදායම් ලාභී අව වරප්‍රසාදිත ජන කොට්ඨාසයක් වූ මෙම පරම්පරාගත දෙමළ ප්‍රජාවයි. ලංකාව වාස භූමිය කරගෙන සියවස් දෙකක් ඉක්මවා ගිය ද, තවමත් පවතින සමාජ සංස්ථාව තුළ අවමාන සහ අසාධාරණකම් රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව  පෙනීයන්නේ ඔවුන්ගේ අනන්‍යතාව පිළිබඳව අදටත් පවතින නිරාකරණය කරගත නොහැකි වූ ගැටලු‍ හේතුවෙන් යැයි හැඟේ. ඉතා අවම පහසුකම් යටතේ තම ජීවිකාව ගෙනයන අහිංසක ජනතාව ගේ සුබ සිද්ධිය උදෙසා පැවැති කිසිදු රජයකින් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා දැයි නොවිමසා බැරි කාරණයක් වන්නේ ඒ නිසාමය.

අපේ රටේ පුරවැසියන් ලෙස කඳුකර දෙමළ ජනතාවට ද ඔවුන්ට අනන්‍යය වූ අනන්‍යතාවක් තිබිය යුතු අතර, එය ඔවුන්ගේ මූලික අයිතිවාසිකමකි. පුරා අවුරුදු දෙසීයක් තිස්සේ ඔවුන් අත්විඳින සමාජීය, දේශපාලනමය අසාධාරණකම් සුළුකොට තැකිය නොහැකිය. ඉන්දියානු සම්භවයකින් පැවතෙන බව පොදු පිළිගැනීම වුවත්, පොදු දෙමළ කුලකයකට එම පිරිස් ඇතුළත් කිරීම ඉතා කඩිනමින් සිදුවිය යුතු කාරණාවකි. මන්ද සියවස් දෙකක සිට අපේ රටේ ආර්ථිකයට උරදෙමින් එය ගොඩනැගීමට තම දහඩිය, කඳුළු පමණක් නොව ජීවිත පවා කැපකළ, ඒ මිනිසුන් ඉන්දියානු කුලකයකට පැවරීම මින් ඉදිරියටවත් නොවිය යුතු කාරණාවකි.

පසුගියදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පැවැති 200 ප්ලස් “අරගලයෙන් ඔබ්බට” ඡායාරූප ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, බදුල්ලේ ඌව ශක්ති කේන්ද්‍රය සහ හැටන් ස්ව ශක්ති කේන්ද්‍රය මූලික වීමෙනි. එම කාර්යභාරයේ පර්‌යේෂකයකු සහ සම්බන්ධීකාරකවරයකු ලෙස කටයුතු කරන්නේ ප්‍රවිණ කිවියර ළහිරු කිතලගම ය.

මෙම ප්‍රදර්ශනයේ මුඛ්‍යතම අරමුණ වූයේ ද මලයහ දෙමළ මිනිසුන්ගේ ජීවිතය පිළිබඳව සමාජය තුළ සංවාදයකට මග පාදමින් ඒ හරහා සමාජ දේශපලනමය ප්‍රතිසංස්කරණයකට මග පාදාගැනීමයි. ඔවුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට පොදු සමාජයට බලපෑම් කිරීමටයි. ඒ සඳහා ඔවුන් තෝරාගන තිබුණු මාධ්‍යය වූයේ ඡායාරූපයයි. එම ජන ජීවිතය තුළ අත්විඳි සහ අත්විඳින අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් ඡායාරූපයක් තුළින් මතු කොට පොදු සමාජයට ඔවුන්ගේ කර්කශ ජීවිතය පිළිබඳව අවබෝධයක් ලබාදීමයි. ඒ මහඟු‍ කර්තව්‍යයට ඡායාරූපයෙන් උර දී තිබුණේ බදුල්ලේ පී. සගීදරන්, එස්. කේතීෂ්වරන්, ජේ. ධනූෂ්, එම්. ධනුෂිකා, එම්.ජේ. නිර්දේෂ්, ජී. පියන්තනී, නුවරඑළියේ එස්. අශ්විනී, කේ.ජී. බෙවර්ලි පීටර්, එම්. ටානියා, පී. මික්ෂීලා, කේ. ලකීෂාන්, එස්. ප්‍රතික්ෂන් යන තරුණ තරුණියෝ ය.

අදටත් ලියුමක් එන්නේ වත්තේ ලිපිනයට

 

එස්. ප්‍රතික්ෂන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුවෙකි. ඔහු උපදින්නේ කොළඹ වුවද හැදී වැඩෙන්නේ නුවරඑළියේය. ප්‍රතික්ෂන්ගේ පියාගේ මව උඩරට වතුකරයේ කාන්තාවක වන අතර මව ද වතුකරයේ කාන්තාවකි. ප්‍රතික්ෂන් ඉපදී වසර දෙකක් පමණ ගතවන විට කොළඹ හැර යන්නේ තම පියා විදේශගත වීමත් සමගය. ඒ මවගේ උපන්‍ ගම වූ නුවරඑළියටය. ඔහු අධ්‍යාපනය ලබන්නේද තම ජීවිතය ගෙවන්නේ ද නුවරඑළියේ බැවින් එම ජන ජීවිතය, ඔවුන්ගේ අවශ්‍යතා, ගැටලු‍ සියල්ල ඔහුට හුරුය.

“අපේ නෑදෑයන් වැඩි පිරිසක් ජීවත් වුණේ වතු නිවාස ආශ්‍රිතව. ඒ නිසා මට ඒ ජීවිතය හොඳට හුරු පුරුදුයි. බොහෝ දෙනෙකුට නුවරඑළිය කිව්වාම මැවෙන චිත්‍රය නෙමෙයි එහි ඇතුළට ගියාම ජීවිතවල තිබෙන්නේ. සමහරුන්ට හැඳුනුම්පතක්වත් නැහැ. ලිපිනයක් නැහැ. ඒ වගේම තමයි ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ටිකවත් නැහැ. ඒ අපේම මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් තමයි මම මේ වගේ කර්තව්‍යකට එක්වන්නේ. මුලින්ම එකතු වුණේ තේ කහට ප්‍රදර්ශනයට. වතුකරයේ අපි සැබෑවටම අත් විඳින කටුකත්වය පිටස්තරයාට පෙන්නන්න අපට අවශ්‍යයි. ඇතමුන් මොන තරම් සුන්දර කතා සිදු කළත් මේ  ජන කොට්ඨාසය ගැන හද පත්ලෙන්ම හටගත් අවංක හැඟීමක් නැහැ.”

 

ප්‍රතික්ෂන් තම සහෝදර පිරිසක් සමඟ...

 

ප්‍රතික්ෂන් පවසන පරිදි මේ වනවිටත් වතුකරයේ අධ්‍යාපන ක්‍රමය යම් තරමකට වෙනස් වී ඇති අතර ගුරුවරු, වෛද්‍යවරු, නීතිඥවරු පවා ඒ තුළින් බිහිවී සිටිති. නමුත් ඒ ඉහළ තලවලට පැමිණි බොහෝ දෙනකු පසුකාලීනව වතු සමාජය අමතක කර ඇති අතර ඔවුන්ගෙන් පවා වතු සමාජය ප්‍රතික්ෂේප වන අවස්ථා ද ඇත.

“පාසල් අධ්‍යාපනය තමයි මූලිකම දේ. ඒ වුණත් බොහෝ දෙනා අතරමග පාසල් ගමන නතර කරනවා. ඒ ඔවුන්ට ඉගෙන ගන්න අවශ්‍ය මූලික පහසුකම් ටිකවත් නැති නිසා. පොඩි වයසෙන්ම මොකක් හරි රස්සාවක් කරන්න බලන්නෙ. ඊට පස්සෙ අඩු වයසෙන්ම විවාහ වෙනවා. විශේෂයෙන්ම ගැහැනු ළමයින් අනාරක්ෂිතයි. සමහර ගෙවල්වල අම්මා විදේශගත වෙලා. ගැහැනු ළමයින්ට නිසි මගපෙන්වීමක් කරන්න කවුරුවත් නැහැ. මේවා ඇත්ත කතා. තරුණ පරපුරක් ලෙස අපේ අරමුණ වී තිබෙන්නේ අඩුම තරමේ මෙම ජනතාවට මූලික අයිතිවාසිකම් ටිකවත් ලබාදීමට කටයුතු කරන්නයි.”

පී. සගීදරන්ගේ උපන් ගම බදුල්ලයි. ඔහු උපත ලබන්නේ මොරගොල්ල වතු යායේය. ඔහුගේ මවුපියන් ද දන්නා කාලයේ සිටම තම ජීවිත ගෙවා දමන්නේ මොරගොල්ල වත්තේ ය. වතු පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ සගීදරන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන්නේ බදුල්ලේ පාසලකිනි. මෝටර් රථ අලු‍ත්වැඩියාව පිළිබඳව පාඨමාලාවක් හැදෑරූ ඔහු මේ වනවිට ඡායාරූපකරණයේ නියැළෙන තරුණයෙකි.

හැම තැනකම දෙමළ කියා මතු කර පෙන්වනවා

 

“මම ඉපදෙන්නේ ලැයිමේ. අපි ජීවත් වුණේ දහයයි දහය කාමරේක පවුලෙ හැමෝම. ලැයිමෙ ඉන්නකම් අපිට ප්‍රශ්න කියන්නේ මොකක්ද කියලා ඒ තරම් දැනුණෙ නැහැ. ඒත් එතැනින් එළියට ආවට පස්සෙ තමයි අපි මොන තරම් ප්‍රශ්න ගොඩක ද ඉන්නේ කියලා තේරුණේ. ප්‍රධානම දේ තමයි අපිට ස්ථීර ලිපිනයක්වත් නැහැ. අදටත් ලියුම් එන්නේ වත්තෙ නමට. මගේ නම තියෙන කී දෙනෙක් තව ඉන්නව ද? මේ වෙද්දි දුරකථන පහසුකම් තියෙන නිසා පණිවිඩයක් දැන ගන්න පුළුවන්. ඒත් ලියුමකින් ලැබිය යුතු දෙයක් අදටත් ලැබෙන්නේ නැහැ.”

“ඒ වගේ තමයි අපිත් කැමතියි මේ සමාජය ඇතුළේ සාමාන්‍ය පුරවැසියො වගේ ජීවත්වෙන්න. ඉහළට යන්න. ඒත් අපිට අවශ්‍යතාවකට වත්තෙන් ලියුමක් ගන්න වුණත් හරිම අමාරු වැඩක්. ඒ හේතුවෙන් ගොඩක් තරුණ පිරිස් එකම තැනක හිරවෙලා ඉන්නේ. ඉස්සර වත්ත පිරිසුදු කරන එක පවා කරන්නේ වත්තෙ පාලකයන් යටතේ. දැන් ඒවා මොනවත් නැහැ. මරණයක් වුණොත් වාහනයක් දෙනවා එච්චරයි. ඡන්ද කාලෙට දේශපාලයෝ එනවා. පස්සෙ හොයාගන්නත් නෑ. මේ ප්‍රශ්න අපි මොනතරම් කතා කරලා තිබුණත් විසඳුම් නම් ලැබිලා නෑ.”

සගීදරන් පවසන පරිදි උඩරට වතුකරයේ ප්‍රශ්න නිමා කරන දිනයක් අහලකවත් නැත. අධ්‍යාපනය ලැබීමට දරුවන්ට කැමත්තක් තිබුණ ද වතු පාසල් පැවැත්වෙන්නේ සාමාන්‍ය පෙළ හෝ නවය ශ්‍රේණිය දක්වා පමණි. ඉන් එහාට ඉගෙන ගැනීමට අවශ්‍ය නම් නගරයට යා යුතුය. එය ඉතා දුෂ්කර ගමනක් මෙන්ම අවදානම් ගමනක් වන්නේ තාමත් මෙම ප්‍රදේශවල හරිහැටි පාරවල් ඉදිවී නොමැති කම හේතුවෙනි. කැලෑ පාරවල් ඔස්සේ කිලෝ මීටර් ගණන් දුර ගෙවා ප්‍රධාන පාරට ආවත් ඇතැම් බස් රථ පවා නවත්වන්නේ නැත. ඒ දෙමළ දරුවන් හේතුවෙනි.

“අපි ඉපදුණේ වත්තක කියන්න ලජ්ජා නැහැ. ඒත් මේ සමාජයේ හැම තැනම දෙමළ කියන එක මතු කරනවා. එහෙම කරන්නේ ඇයි කියන ප්‍රශ්නය අපිට තියෙනවා. පාසලක නමක් වුණත් භාවිත කරද්දි දෙමළ කියන කෑල්ලත් දානවා. මම කියන්නේ එහෙම වෙන්න ඕන නැහැ. මලයග දෙමළ ප්‍රජාව ලෙස අපිටත් අපේකම එක්ක මේ රටේ ජීවත් වෙන්න ඉඩ ලබා දෙන්න කියලයි අපි හැමදාම කියන්නේ.”

එස්. අශ්විනිගේ උපන්ගම නුවරඑළිය කොටපොළයි. උසස් පෙළ කලා අංශයෙන් හැදෑරූ ඇය මේ වනවිට රාජ්‍ය නොවන සංවිධානයකට සම්බන්ධ වී සිටින්නීය. ඇය ද සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලද්දේ වත්තේ පාසලෙන් වන අතර, නගරයේ පාසලකට යන්නේ උසස් පෙළටය.

“ඇත්තටම අපිට වත්තෙ ඉන්නකොට අපේ ජීවිතේ මොන වගේ එකක් ද කියන එක ගැන හරි අවබෝධයක් තිබුණේ නැහැ. එතැනින් එළියට ගියාට පස්සෙ තමයි ඒක හරියටම තේරුණේ. ගෑනු ළමයෙක් විදියට වතුකරයේ ජීවිතය හරිම වෙනස් එකක්. ඒක මම අත්විඳලා තියෙනවා. අපි ජීවත් වුණේ කුඩා කාමරයක් වගේ පොඩි කෑල්ලක. මේ හැම ගෙයක්ම ඒ වගේ. වැඩිවියට පත්වුණු ගෑනු ළමයකුට හරියට ඇඳුමක් මාරු කරගන්නවත් තැනක් නැහැ. ඒ වගේම මේ නිවාස පේළිවලට එක වැසිකිළියයි තියෙන්නේ. ඒක තියන්නෙ වෙනම තැනක. අපිට රෑට වැසිකිළියට යන්න ඕන වුණම තව කෙනෙක් ඉන්නම ඕනෑ. නැත්තම් ඇත්තටම ගැහැනු ළමයින්ට අනාරක්ෂිතයි.”

ඡායාරූප ප්‍රදර්ශනයට එක්වූ තරුණ කණ්ඩායම

ඇය පවසන පරිදි තේ වතුවල දලු නෙලීමට යන කාන්තාවන්ට හදිසි අවස්ථාවක දී ශරීර කෘත්‍යයන් සිදු කිරීමට පවා වැසිකිළියක්, කැසිකිළියක් හෝ ඉදිකර ඇත්තේ නැත. උදේ පාන්දරින් නිවෙසින් පිටවන ඔවුන් සවස් ජාමයේ සිය නිවෙස් වෙත පැමිණෙන තුරු එය දරා ගෙන සිටිය යුතුය.

වතුකරය තුළ කාන්තාවන් මුහුණ පා ඇති ලොකුම ගැටලු‍ව නම් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුව තිබීමයි. ඒ ගැටයට බොහෝ කාන්තාවන් හසුවී ඇත්කේ තම දරිද්‍රතාව හේතු කොට ගෙනය. මේ ණය උගුලේ වැටෙන කාන්තාවන් අන්තිමට නවතින්නේ කොතැනදැයි සිතාගත නොහැක.

“ගොඩක් ගැහැනු අය රට රැකියාවලට යන්නේ මේ ණය ගෙවාගන්න. එතැනදි දරුවන් දාලා යන්නේ ආච්චි, සීයා ළඟ. දැන් වෙද්දි වතු නිවාසවල අනු පවුල් වැඩියි. ඒ නිසා ප්‍රශ්නත් වැඩියි. ඊට පස්සෙ මේ දරුවන්ගෙ අධ්‍යාපනය මග හැරෙනවා. අඩු වයසින් විවාහ වෙනවා. ගොඩක් ළාබාල පිරිමි ළමයි මත්ද්‍රව්‍යවලට පුරුදු වෙලා. මේ හැම ගැටලු‍වටම මුල මේ ප්‍රජාව සමාජයේ වෙනස් කොටසක් ලෙස සැලකීම. අපේ ජනතාව මේ රටේම මිනිස්සු කියා නිසි තැන දෙනවානම් මේ ගැටලු‍ බොහෝමයක් අවසන්.”

අපට අහිමි දේවල් අපි දැක්කේ වත්තෙන් පිටතට ගියාම

අශ්විනී සම්බන්ධ වී සිටින්නේ රාජ්‍ය නොවන සංවිධානයකට බැවින් ඇය වතුකරයේ යුවතියක යැයි සමාජය තුළ කොන් කිරීමක් නොවුණ ද ඇය පවසන්නේ බොහෝ අවස්ථාවල වතුකරයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට පිවිසෙන තරුණ තරුණියන් යම් කොන් කිරීමකට ලක්වන බවයි. තරුණ පරපුරක් පිරි උගත් සමාජයක වුවද එවන් පසුබිමක් ඇති බව පැවැසීම මහත්වූ ඛේදවාදකයකි.

“අපිත් මේ රටේ මිනිස්සු කියා පිළිගන්න. අඩුම තරමේ ලිපිනයක් වත් දෙන්න. මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වසර 200ක සිට මහා කැප කිරීමක් අපේ මිනිස්සු කළා. ඉදිරියටත් කරනවා.” අශ්විනි ගේ ඉල්ලීම මුළු මහත් මලයග ප්‍රජාව වෙනුවෙනි.

පසුගියදා රත්නපුරයේ කරපිංච ශාන්ත ජෝකිම් දෙමළ මහා විද්‍යාලයේ පැවති 2025 සබරගමු පළාත් තෛපොන්ගල් උත්සවයට එක්වූ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්  ප්‍රකාශ කර තිබුණේ වසර දෙසීයක ඉතිහාසයක් හිමි මෙම මිනිසුන් වෙනුවෙන් මලයග (උඩරට) යන නාමය භාවිත කිරීමට රජය තීරණය කර ඇති බවයි. ඒ මෙම ජනතාව වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන හරහා පැවති රජයන් ගෙන් ඉල්ලීම් කර තිබුණු හෙයිනි. එය කට වචනයකට සීමා නොවී ඉටුවීම තුළ ඔවුන්ගේ අරමුණු කරා යාමට මඟක් පෑදෙනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි.

සුජිත් ප්‍රසංග