රූට පිස්සු හැදෙන නාරංගල කඳු මුදුන


 
තාරුණ්‍යය කෙනෙකුගේ ජීවිතයේ විචිත්‍ර වර්ණවත් අවධියකි. ආදරය කරන්න හා විඳින්න, නිදහසේ සැරිසරන්න සහ ඇතැම් විටෙක ත්‍රාසය හා භීතිය ද මුසු කොට ජීවිතය විඳින්න වැනි දෑ ට තාරුණ්‍යය තුළ ඇත්තේ අසීමිත ඉල්ලුමක් හා පොපියන චමත්කාරය හඹා යන ඉමහත් අභිරුචියකි.  
 
බැලූ බැලූ අතින් දිස්වෙන ඇළදොළ , ගංගා, දිය ඇලි, සහිත හරිත පැහැයෙන් විසිතුරු වූ ගහකොළින් සපිරි කඳුවැටි ඌව පළාතට ආගන්තුක නොවේ.  
 
බදුල්ල, කන්දේගෙදර නාරංගල කඳුවැටිය ද - තාරුණ්‍යයේ අත්දැකීම් ජීවිතවලට එක් කරගන්නට, ජීවිතය විඳින්නට මග බලා සිටින ජීවිතවලට තරු ලකුණු පෙන්වන අපූරු ගමනාන්තයකි.
 
ඌව පළාත තුළ ඇති සිය ගණනක් වූ කඳු අතර පළාතේ දෙවැනියට උස කන්ද ලෙස සැලකෙන නාරංගල කන්ද තාරුණ්‍යය අත් විඳින්නන්ට පමණක් නොව - රස මිහිර දනවන සුන්දර ස්මරණයන් ආවර්ජනයට රුචි  මැදිවියේ පසුවන්නන්ට ද අපූරු තෝතැන්නකි. මෙය රාත්‍රී කඳවුරු බැඳ විනෝදවන පිරිස් අතර වඩාත් ප්‍රසිද්ධ ස්ථානයක් ව ඇත්තේ ඒ හේතුව නිසා විය යුතුය.
 
ගමන් මග 
 
නාරංගල කන්ද තරණය සඳහා මාර්ග දෙකකි. එකක් කීනකැලේ හරහාය. අනෙක ලෙජරවත්ත හරහාය.
 
කීනකැලේ මාර්ගය ගමනට පහසුය. ආරක්ෂිතය. බදුල්ල නගරයෙන්     කීනකැලේ, කන්දෙගෙදර හෝ අළුගොල්ල බලා දිවෙන බස් රථයක නැගී මුලින්ම කන්දේගෙදරට පැමිණ එතැන් සිට බස් රථයකින් හෝ ත්‍රීවීල් රථයකින් කීනකැලේ වෙත පැමිණිය යුතුය. අනතුරුව කීනකැලේ මංසන්ධියෙන් වම් පසට දිවෙන කීනකැලේ දේවාල මාර්ගය ඔස්සේ ගමන් කර එතැන් සිට හමුවන නිවාස හා තේ වතු මැදින් නාරංගල කඳුවැටිය දක්වා දිවෙන අඩිපාර ඔස්සේ කිලෝමීටර් තුනක් පමණ කඳුවැටිය තරණය කර එහි මුදුනට ළඟා විය හැකිය.
 
දෙවනුව කී ලෙජර්වත්ත මාර්ගය තරමක් දුෂ්කරය. බදුල්ල සිට ලෙජර්වත්ත දක්වා බස් රථයකින් පැමිණ - එතැන් සිට නාරංගල කන්ද තරණය කිරීම අනෙක් මාර්ගයයි. කෙසේ වෙතත් කීනකැලේ මාර්ගය  වඩාත් පහසු හා ආරක්ෂාකාරී මාර්ගයවීම නිසා නාරංගල තරණය කරන බහුතරයක් තෝරාගන්නේ කීනකැලේ මාර්ගයයි. ලෙජර්වත්ත මාර්ගයේ ගමන් කරන අය නැති තරම් ය.
 
මෙම මාර්ග දෙකෙන් කවර මාර්ගයක් අදාළ කරගත්ත ද  කන්දේගෙදර සිට කීනකැලේ හා ලෙජර්වත්ත  ප්‍රදේශ වෙත  දිවෙන මාර්ග ඉතා පටු හා කඳු බෑවුම් සහිත මාර්ගයන්වීම හේතුවෙන් එහි වාහන හැසිරවිය යුත්තේ  ඉතා  කල්පනාකාරීවය. කෙසේ වෙතත් ලෙජර්වත්ත මාර්ගය සාපේක්ෂව දුෂ්කරය. දුරින් ද වැඩිය. ඒ නිසා බොහෝ දෙනෙකු නාරංගල යන්නේ කීනකැලේ මාර්ගය ඔස්සේය. එහෙත් කීනකැලේ මාර්ගය ඔස්සේ කන්ද තරණය කර ලෙජර්වත්ත දෙසින් කන්ද බහින පිරිස් ද නැතුවාම නොවේ.
 
මෙම මාර්ගවල ධාවනය කෙරෙන බස්රථවල රියැදුරන් පිළිබඳව  මෙහි දී ප්‍රසංශනාත්මකව කතා කළ යුතු වන්නේ - කෙතරම් දුෂ්කර මාර්ගයක් වුවද, ඉතා ආරක්ෂාකාරි ව වගකීමෙන් යුතුව ඔවුන් සිය බස්රථ හසුරුවමින් ජනතාව අදාළ ගමනාන්ත වෙත එහා මෙහා රැගෙන යෑමට හසළ නිපුණතාවක් ඇත්තවුන් යැයි හැඟෙන බැවිනි. 
 
 
පෞද්ගලික වාහනයක ගමන් ගන්නේ නම් මෙබඳු අවදානම් මාර්ගයක ගමන් කරන විට මත්පැන් භාවිතය ගැන ඔබට සිතන්නටවත් අයිතියක් නොමැත. සියයට සියයක්ම අවධානය යොමු විය යුත්තේ මාර්ගය කෙරෙහිය. යතුරුපැදිය හා ත්‍රීවීල් රථය ද මේ ගමනට ඉතා පහසු වාහන ලෙස දැක්විය හැකිය.
 
නාරංගල ගමනේ දී  අපේ ගමන් මග වැටී තිබුණේ කීනකැලේ ගමන් මාර්ගය ඔස්සේය. කීනකැලේ අවසන් බස් නැවතුම්පොළ තෙක් පැමිණි අපි එතනින් වම්පසට වැටුණු දේවාල මාර්ගය ඔස්සේ යතුරුපැදිවලින් මඳ දුරක් ගමන් කළෙමු. ඉදිරියට තිබුණේ ගල් ගැලවී වළගොඩැලි වලින් යුත් දුෂ්කර මාර්ගයකි. එහි සිටි පිරිස් පැවසූ අන්දමට පා ගමනින් යෑම අපට පහසුවක් විය. පානීය ජලය මෙන්ම අවශ්‍ය ආහාර පාන ආදිය  අතින් කටින් එල්ලාගෙන මාර්ගයේ ගමන් කිරීම තරමක් දුෂ්කර වුවත්  උදෑසනින්ම ගමන් ආරම්භ කිරීමත්,  ඒ වන විට පැවැති මඳ සිසිල් සුළං රැල්ලත් හේතුවෙන් ගමන එතරම් විඩාවක් නොවිණි. පැවැති මඳ වර්ෂාව ද අමතර ආශීර්වාදයකි. අවට බැලූ තෙක් මානය පුරා විහිද ගිය තේ වතු මෙන්ම තේ දලු නෙළන ළඳුන් ද නෙතඟට රසඳුනකි.
 
කඳුවැටිය දක්වා මාර්ගය කිලෝමීටර්  තුනකට ආසන්නය. එහෙත්  මහන්සිය කිලෝමීටර් දහයක් තරම්ය. ගල් ගොඩැලි මතින් කඳුවැටිය දෙසට එක්වරම විහිද ගිය මාර්ගයේ ඇතැම් තැනක ආතතිය මහගිරිදඹය මෙන්ය. එවන් තැන්වල ගමන් කළ යුත්තේ පරිස්සමින්ය. එහෙත් බොහෝ තැන්වල පහසුවෙන් ගමන් කළ හැකිවීම වාසනාවකි.
 
පහළ ගමේ අයට නම්  කඳුවැටිය පාමුල සිට කඳුවැටිය මුදුනට යෑමට ගතවන්නේ විනාඩි විස්සක් වැනි කාලයක් බව ඔවුන් පැවසුවත් අපට නම් ගමනට පැය දෙක තුනක් ගත වූයේ, අපේ ඇත්තන් ගේ ගොළුබෙලි ගමන නිසාය. දෑස් මානයේ සිට ක්ෂිතිජය දක්වා විහිද ගිය අපූරු පරිසරය විඳිමින් ගමන්කිරීම ද ඊට හේතු විය.
මාර්ගයේ ඇතැම් තැන්වල ගල් පඩිපෙළවල් ඇතත් කොයි මොහොතක හෝ ගලක් දෙකක් ඇඟට පෙරළෙන්නට ඇති ඉඩකඩ නිසා ගමන යා යුත්තේ එක සීරුවටය. හිස් අතින් කඳුනැගීම පහසු වුවත් කූඩාරම් ඇතුළු අපේ කළමනා අමතර කරදරයකි. ඒ නිසාම කඳු නගින අය අත්‍යවශ්‍යම දේ ගෙන යාම නුවණට හුරුය. තේවතු යාය අවසානයේ ඇති මානා වගාවත්, තැන තැන පිහිටි ගහකොළත් කඳුවැටියට අපූර්වත්වයක් එක්කරයි.  
 
නාරංගල කඳුවැටිය
 
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හාලිඇළ, සොරණාතොට හා කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට මායිම්ව නාරංගල කඳුවැටිය පිහිටා ඇත.
 
ඌව පළාතේ කඳු පන්ති අතර උසම කඳුවැටිය සේ සැලකෙන නමුණුකුළ කඳු වැටියට පමණක් දෙවැනි වන නාරංගල කඳුවැටියේ උස මීටර් 1500 ක් පමණ වේ. කඳු මුදුණේ හැඩය නාරං ගෙඩියක් සේ දිස්වීම හේතුවෙන් මෙම කඳුවැටියට නාරංගල කන්ද ලෙස පුරාණයේ සිටම   හඳුන්වන බව කඳුවැටිය පාමුල පිහිටි ලෙජර්වත්ත ගමේ උදවිය අප සමග පැවසූහ.
 
කඳුවැටියට ඒමට ඇත්තේ අඩි පාරකි. අඩි පාර අවසන් වන්නේ කඳු වැටිය  මුඳුනෙන් ය. පැමිණෙන පිරිස් කූඩාරම් ඉදිකිරීම සඳහා එහි තැනිතලා බිම් කොටසක් භාවිත කරති. එහෙත් බොහෝ තැන්වල ඇත්තේ පහළට විහිද ගිය බෑවුම් ය. පරිස්සම නුවණට හුරුය.
 
ඓතිහාසික පසුබිම
 
නාරංගල කඳුවැටියට ඇත්තේ බුදුන් දවස දක්වා දිවෙන්නා වූ දිගු ඉතිහාසයකි. එම නිසා මෙය සුන්දරත්වයන් අතින් සේම ඓතිහාසික වශයෙන් ද වැඩි වැදගත්කමක් දක්වන කඳු වැටියකි. ඒ නිසාම නාරංගල කඳුවැටිය හා බැඳුණු ජනප්‍රවාදයන් ද බොහොමයකි.
 
එක් ජනප්‍රවාදයක් බුදුරජාණන් වහන්සේ ගේ ලංකා ගමන දක්වා වූ ඉතිහාසය වෙත දිවයන්නකි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූයේ අදින් වසර 2600 කටත් පෙර ය. උන්වහන්සේ ලංකාවට වැඩම කළේ බුද්ධත්වය ලබා මාස නවයකට පසුව එළඹුණු දුරුතු පොහෝ දිනක දී ය. උන්වහන්සේ මහියංගණයට  වැඩම කරවීමෙන්   පසුව සිය සිරිපා සටහන නාරංගල කඳු මුදුණේ තැබීමේ බලාපොරොත්තුවෙන් එහි වැඩම කළ ද පොහෝ දිනය දා කඳුවැටිය පාමුල  ගම්මානවල පිරිසක් ගවයින්ට තඩි බාමින් සීසානු දැකීමෙන් එම අදහස අත්හැර පිටව ගිය බව කියැවේ. ගවයන්ට අමානුෂික ලෙස පහර දෙන අයුරුත්, සීසෑමේ දී පනුවන් විශාල ප්‍රමාණයක් ගොවියන්ගේ නගුල්වලට සහ උදලු‍තලවලට කැපී වෙන් වනු දැකීමෙනුත් උන්වහන්සේ දැඩි  සංවේගයට පත්වූ බව ද, එම ජනප්‍රවාදවල වැඩිදුරටත් සඳහන් වේ.
 
මෙමගින් ගම්‍ය වන අනිත් කරුණ වන්නේ, අදින් වසර 2600 කට පෙර පවා නාරංගල කඳු පන්තිය අවට කෘෂිකර්මය සිය ජීවනෝපාය කරගත් පිරිසක් විසූ බවය. එසේම එකල ද මෙහි ජනාවාස පිහිටා තිබූ බවට ද මෙයින් සාක්ෂි සැපයේ.
 
තවත් ජනප්‍රවාදයකට පාදක වන්නේ වළගම්බා රජ සමයයි. එය ක්‍රිස්තු පූර්ව105-89 දක්වා දිවයන්නකි. එකල පරසතුරු ආක්‍රමණයන්ට මුහුණ දී ගත නොහැකිව  පලාගිය වළගම්බා රජු ඇතුළු පිරිස නාරංගල කඳුවැටියේ දකුණුපස පිහිටි බෝගොඩ විහාරය ආශ්‍රිත ප්‍රදේශයේ රැකවරණය ලබමින් බොහෝ කාලයක්  එහි ගත කළ බව  සඳහන්ය. එම වකවානුවේ බෝගොඩ විහාරයේ සිට දෝව රජමහා විහාරය දක්වා  උමඟක් ගොඩනැඟූ බවත්, එයින් එක මාර්ගයක් නාරංගල කන්ද මුඳුන දක්වා වැටී තිබූ බවත්, එම ජනප්‍රවාදවල සඳහන්ය.
 
බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ 1817 ඔක්තෝබර් සිට 1818 නොවැම්බර් දක්වා ඇවිළු‍ණු පළමු නිදහස් අරගල වකවානුවේ දී සේනා පුහුණුවීම් හා රැස්කිරීම සඳහා මෙන්ම ඔවුන් ගේ රැකවරණයට නාරංගල කඳුවැටිය ආසන්නයේ පිහිටි ලෙන් සමූහයක් උපකාරී වී ඇතැයි ද ජනප්‍රවාදවලින් කියැවේ.
 
නාරංගල කඳු පංතිය ආසන්නයේ පුරාණ විහාරස්ථාන මෙන්ම පුරාවස්තු බොහොමයක් දැකීම ද මෙම ජනප්‍රවාදයන් සනාථ කරවන්නේය. නාරංගලට ආසන්නව පිහිටි ඓතිහාසික බෝගොඩ පාලම හා බැඳුණු නාරංගල ප්‍රදේශයේ  ගැමියන් ගේ මුවග නිතර රැව්දෙන පහත සඳහන් කවි සීපදය ද මේ කතා වඩාත් තහවුරු කරවන්නේය. 
 
නාරංගල කඳු මුඳුනින් කැපූ දැවේ
ඒක ඇවිත් ලු‍ණුගල්ලේ කෙතේ දැවේ
පිනෙන් පහළ වුණාය බෝගොඩට දැවේ
විෂ්ණු සමන් දෙවියෝ පිහිටවපු දැවේ
 
 
මනස්කාන්ත වටපිටාව 
 
ඌව පළාත තුළ පිහිටි සිය ගණනක් වූ කඳු වැටි අතුරින් මෙම කඳුවැටිය දෙවෙනි වන්නේ නමුණුකුළ  කඳුවැටියට පමණක් බව අපි කීවෙමු. ඒ නිසාම නාරංගල කඳු වැටියට ගොඩ වූ විට දැක ගන්නට ලැබෙන්නේ ඈත ක්ෂිතිජය තෙක් පැතිර ගිය මනස්කාන්ත දර්ශනයකි. වලාකුළුවලින් තොර දිනවල දී මඩොල්සිම, පූනාගල, නමුණුකුළ කඳුවැටි දෑස් අබියසය. මහියංගණ කොත් කැරැල්ල සේම ඒ අවට පිහිටි රන්දෙණිගල ඇතුළු මහවැලි ජලාශ රැසක් ද කඳු මුඳුනට පැහැදිලිව දිස්වේ.
 
සැලකිල්ලෙන් බලා සිටියහොත් පළාත් ගණනාවකට අයත්   ඈතින් පිහිටි ගම් නගර රැසක් ඈත ක්ෂිතිජය දක්වාම දර්ශනය වන්නේ හරි අපූරුවටය. දුම්බර මිටියාවතේ නකල්ස් කඳු වැටිය, අලු‍ගල්කන්ද, පිදුරුතලාගල හා නමුණුකුළ ඇතුළු කඳු හා නිම්න බොහොමයක් මීට දර්ශනය වන බව අපේ මගපෙන්වන්නා සාලිය අප සමග පැවැසීය.
 
රාත්‍රී කාලයේ දී නාරංගල කඳු මුඳුණේ දර්ශනය සිත් වසඟ කරවන තරම්ය. පැය ගණනක් වුව ද සතර දිග් භාගය දෙස නෙත් නොහෙළා බලා සිටිය හැකිය. රාත්‍රී කාලයේ දී  විදුලියෙන් ආලෝකවත් වූ හතර අත අපූරු දර්ශන තළය ඒ තරමට ම චමත්කාරය. රාත්‍රී කඳවුරු බඳින බොහෝ දෙනකු ඒ හැරුණු විට සැලකිල්ලෙන් බලා සිටියහොත් තවත් ඈතින් පිහිටි ගම් නගර රැසක් ඈත ක්ෂිතිජය දක්වාම දර්ශනය වන්නේ හරි අපූරුවටය. 
 
කඳු නගින්නන් නාරංගලට මෙතරම් ඇලු‍ම් කරන්නේ ඇයි?
 
කන්ද පහසුවෙන් තරණය කළ හැකි වීමත් කඳු මුදුණේ ඇති විශාල වූ දර්ශන පරාසයත් කඳු නැගීමට ප්‍රිය කරන බොහෝ දෙනෙකු නාරංගලට පැමිණීමට හේතුවක් වී තිබේ.
 
වසරේ දින365 පුරාවට ම මෙහි පැමිණෙතත් ප්‍රදේශයට මහ වැසි ඇදවැටෙන නොවැම්බර් - ජනවාරි මාසවල මෙහි පැමිණීම කූඩැල්ලන් ගෙන් හා වැස්සෙන් තරමක් හිරිහැර විඳින්නට සිදුවන කාල සමයකි.
 
විටින් විට එක යායට හමායන වලාකුළු තීරය සේම, මීදුම් සේලය විඳගන්නට නාරංගල අපූරු තැනකි. බොහෝ දෙනා මෙහි කඳවුරු බැඳ රැය පහන් කිරීමට තවත් හේතුවක් වී ඇත්තේ උදෑසන නැගෙනහිර අහසේ සිදුවන හිරු උදාවේ මැවෙන අපූර්ව චමත්කාර දර්ශනයයි. ඊට ලොබ බඳින පිරිස් එහේ මෙහේ දුවමින් එම දසුන් සිය කැමරා කාචවල සටහන් කරන්නට වෙහෙසෙන්නේ එය අවසන් හිරු උදාව යැයි සිතමිනි.    
 
කඳවුරු රාත්‍රිය
 
නාරංගල තරණය කරන බොහෝ දෙනකු එහි පැමිණෙන්නේ කඳවුරක් බැඳ එහි රාත්‍රිය ගත කරන්නටය. කඳු මුඳුනේ රාත්‍රිය ගත කිරීම ගතට, සිතට සුවදායක වූවත් එලෙස පැමිණෙන ඔබ මතකයේ තබා ගත යුතු කරුණු කාරණා රැසකි.
 
කඳු මුඳුන මත කිසිදු ජල මූලාශ්‍රයක් නැති බව ඔබ තරයේම සිහි තබා ගත යුතුය. ආහාර පිළියෙළ කර ගැනීම ඇතුළු දෛනික කටයුතු සඳහා අවශ්‍ය ජලය පහළ ගම්මානයේ සිට කඳුමුඳුන වෙත රැගෙන යෑමට ඔබ වග බලාගත යුතුය. අවශ්‍ය ජල පහසුකම් නොමැතිවීම නිසා රාත්‍රියට ඉතා සුළු ආහාරයක් පිළියෙල කරගැනීමට වග බලා ගැනීම නුවණට හුරුය.
 
කඳවුරු කුටි හෝ කඳවුරු රාත්‍රියක් ගත කිරීමට අවශ්‍ය ටෙන්ට්, ජල බඳුන්, බාබකිවු මැෂින්, කැරොකේ උපකරණ ඇතුළු සියලුම දෑ කුලියට ගන්නට පහළ ගම්මානවල පහසුකම් සපයා තිබීම ද විශේෂත්වයකි.
 
නාරංගල කන්ද යනු මහ ගස් වලින් තොර මිටි පඳුරුවලින් සමන්විත විවෘත භූමියක් වීම නිසා දිවා කාලයේ දී මෙහි පවතින්නේ දැඩි රශ්මියකි. එම නිසා කන්ද තරණය කළ යුත්තේ දැඩි අව් රශ්මියෙන් එල්ල වන පීඩාවන් ද විඳගමින්ය.  සිසිල් දේශගුණයත්  මඳ සුළං ප්‍රවාහයත් නිසා යම් සිසිලසක් ඇඟට දැනුණ ද එක දිගට හිරු රශ්මියෙන් එල්ලවන පීඩනය දරා ගන්නට ඔබට සිදුවෙයි. ඒ නිසා කඳවුරු බඳින්නට සැලසුම් කරන්නේ නම් ඔබ කන්ද තරණය කළ යුත්තේ සවස් වරුවේය.
 
එසේත් නැතහොත් උදෑසන කන්ද තරණය කොට දිවා සමය එළැඹෙද්දී කන්ද බැසිය යුතුය. විශාල වශයෙන් සංචාරක පිරිස් පැමිණීම නිසා කඳවුරු බඳින්නන්ට ගිනිමැල ගසා ගැනීම සඳහා අවශ්‍ය දර සොයාගැනීම ද තරමක් අපහසුය. එම නිසා එම අවශ්‍යතාවන් ද ඔබ කලින් සැලසුම් කරගන්නේ නම් ඔබට පහසුවක් වනු ඇත. එසේම ඔබ ගිනිමැල ගසන්නේ නම් අවට මානා වගාවට ගින්න පැතිර නොයන ලෙස ගිනිමැල ගැසීම සිදු කිරීමට වග බලා ගත යුතුය. වැසි දිනවල දී නම් කඳවුරු තුළට රිංගන කූඩැල්ලන් කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය.
 
එසේම වැසි හා මන්දාරම පවත්නා දිනවල දී කඳුවැටිය වසාගන්නා මිහිඳුම් සේලය හේතුවෙන් අවට දර්ශන පථය අවහිර වෙයි. එවැනි අවස්ථාවන්හි දී මෙන්ම දැඩි අඳුරේ දී කඳුවැටියේ එහා මෙහා යාම අනතුරකට අත වැනීමක් වනු ඇත.  
 
නාරංගල අද 
 
සති අන්ත දිනවල දී  දිවයිනේ සිව් දෙසින් සංචාරක පිරිස් මෙහි පැමිණ කඳවුරු බඳිති. ඇතැම් දිනවල පිරිස සියය ඉක්මවයි. ඉහළ යන සංචාරක සංඛ්‍යාව නිසාම මෙරට බොහෝ සංචාරක ස්ථානවල සුන්දරත්වයට අත්වන්නා වූ ඛේදජනක ඉරණම නාරංගලට ද අත් වෙමින් පවතින අයුරු දැක අපි කම්පා වීමු. 
 
සංචාරක පිරිස් රැගෙන එන බිස්කට් කවර ඇතුළු ආහාර ද්‍රව්‍යවල ඇසුරුම්, බියර් කෑන්, මත්පැන් බෝතල් තැන තැන ගොඩ ගසා ඇත්තේ නාරංගල කඳු වැටියේ සුන්දරත්වය මතු පරම්පරාවට අහිමි කරමිනි. ඇතැම් සංචාරක පිරිස් යහපත් චේතනාවෙන් මෙම කැළිකසළ එක් කොට ගිනි තැබීමට පුරුදු වී සිටිති. එහෙත් එය ද නුවණට හුරු කාරණාවක් නොවේ. මෙලෙස ගිනි තැබීමේ දී මතුවන ගිනි පුලිගු  ඇතැම් විට පාවී ගොස් කඳුවැටිය වසා සිටින මානා වගාවට ඇවිළයාමෙන් එය විශාල ගිනිගැනීම් දක්වා වර්ධනය වූ අවස්ථාවන් රැසක්ම වාර්තා වූ බව පහළ ගම්මානවල ජනතාව අප සමග කියා සිටියේ දැඩි සංවේගයෙනි. කඳුවැටියේ ඉහළ ජල පහසුකම් නොමැතිවීම නිසා බොහොමයක් සංචාරක පිරිස් එහි පාමුල ඇති ස්වභාවික ජල මූලාශ්‍ර වෙත පැමිණ ඒවා ද අපවිත්‍ර කරන බවට නාරංගල පහළ ගම්මානවල ජනතාව චෝදනා මුඛයෙන් කතා කරති.
 
ඒ නිසාම මෙහි පැමිණෙන ඔබ කළ යුතු හොඳම දෙය වන්නේ ඔබ කන්දකට රැගෙන යන දෑ ඔබ විසින්ම පහළට රැගෙන විත් නිසි ලෙස බැහැර කිරීමයි. 
 
නාරංගල යනු ඔබට, මට අයිති වස්තුවක් නොවේ. එය මතු පරපුරට සේ ම නූපන් දරුවන්ටත් අයිති මේ රටේ මහඟු සම්පතකි. එය ඔවුන් වෙනුවෙන් රැකදිය යුත්තේ ද ඔබ ම ය.
 
විශේෂ ස්තූතිය කන්දේගෙදර සාලිය හසන්තට
 
වියලු‍ව නිශාන්ත කුමාර