ලංකාවේ මෙතෙක් බිහිවූ ශක්තිමත්ම සහ වැඩිම ජනතා විශ්වාසය දිනාගත් ආණ්ඩුව වර්තාමන ආණ්ඩුව බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා අද (01දා) පැවසීය. ඒ ජාතික ජන බලවේගයේ මලයගම් ජනතාව වෙනුවෙන් පැවති මැයි රැලිය අමතමිනි. මෙම රැළිය ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑලියෙදි පැවැත්විණ.

 

මෙහිදි අදහස් දැකුවූ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා කියා සිටියේ,

මතක තියාගන්න ලංකාවේ හැදිලා තියන ශක්තිමත්ම සහ වැඩිම ජනතා විශ්වාසය දිනා ගන්නා ආණ්ඩුව මේක. මේ මලයගම් ජනතාව ආණ්ඩුව පිලිබද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විශ්වාසය තියනවා. අපි උතුරට ගියොත් ඒ ජනතාව විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව, අපි නැගෙනහිරට ගියොත් එහෙ ජනතාව විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව, අපි දකුණ සියලු‍‍ ජනතාව විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව, ඒ කියන්නේ මොකක්ද ලංකාවේ පළමු වතාවට වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් මේ රටේ ගොඩ නැගිලා තියනවා.

මේ ආණ්ඩුව පත් වෙලා අවුරුදු එක හමාරකට කිට්ටු වෙන්න ඇවිත් තියනවා. මේ කාලයතුල ආණ්ඩුව ලෙස අපි තීන්දු තීරණ බොහෝමයක් අපි ගත්තා. බොහොමයක් වැඩ කටයුතුවලට අපි මුල් පියවර තිබ්බා. ඒ හැම එකේම ප්‍රථිඵලය කුමක්ද? අපේ අරමුණ මොකක්ද? අපේ ඉලක්කය මොකක්ද? අපේ රටේ වැඩ කරන ජනතාවට ඉතාමත් හොද ආදායම් මාර්ගයක්, ඉන්න නිවහනක්, අපේ දරුවන්ට හොද අධ්‍යාපනයක්, නීතියක් තිබෙන රටක්, ජාතික සමගිය තිබෙන රටක් ගොඩනැංවීමයි.

අපි තීන්දු අද දෙකක් ගත්තා. එක්ක ජනතාව වෙනුවෙන් තින්දු, අනික පාලකයන්ගේ වරප්‍රසාද කපන තීන්දු. වෙනදා ආණ්ඩු ගන්න තින්දු මොනාද? පාලකයන්ගේ වරදාන වරප්‍රසාද වැඩි කරගන්නා තීන්දු, ජනතාවට පීඩාව ගෙනත් දෙන තින්දු. හැබැයි අද එකේ අනිත් පැත්ත. තීන්දු ගන්නවා පාලකයන්ගේ වරප්‍රසාද කපන්න, තීන්දු ගන්නවා වැඩ කරන ජනතාවගේ ජීවන තත්වය උසස් කරන්න.

එහෙනම් මොකක්ද මේ ආණ්ඩුව? මේ ආණ්ඩුව තමයි ගොඩ නැගී තියෙන වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව. ලංකාවේ පළමු වතාවට වැඩ කරන ජනතාව ප්‍රමුඛ කොටගෙන, වැඩ කරන ජනතාව ඉලක්ක කරගෙන, වැඩ කරන ජනතාවගේ ඉදිරිය වෙනුවෙන් ආණ්ඩුවක් හදලා තියනවා. ”

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කරලා තියෙනවා. පරීක්ෂණ විශාල ප්‍රමාණයක් දියත් කරලා තියෙනවා. ජනතාව කලබල නැහැ. ඒ ගොල්ලෝ කලබලයි. අල්ලස් කොමිසම ශක්තිමත් කරලා තියෙනවා. අල්ලස් කොමිසමේ ඉඩ මදි කියලා කිව්වා. අපි හිටපු ඇමති කෙනෙකුගේ ගෙයක් අරන් දුන්නා. අල්ලස් කොමිසටම. දැන් පරීක්ෂණ ටික යනවා. අපි ආයතන ශක්තිමත් කරලා දුන්නා. නීති හදලා දුන්නා. ජනතාව කලබල නැහැ. ඒ ගොල්ලෝ කලබලයි. හිටපු ඇමතිවරුන්ගේ ගෙවල් අධිකරණ බවට පත් කළා නඩු අහන්න. එදා කාලා බීලා හිටපු ගෙවල්වලට දැන් එනවා සාක්ෂි දෙන්න. අධිකරණ හදලා, ශක්තිමත් කරලා තියෙනවා. ජනතාව කලබල නැහැ. ඒ ගොල්ලෝ කලබලය. මම සහතිකයක් දෙන්නම්. මේ 2026 වසර ලංකා ඉතිහාසයේ දූෂිතයන්ට වංචනිකයන්ට, හොරුන්ට හිර ගෙවල් නියම කළ වසර බවට පත් වෙනවා. මේ මැයි මාසේම 10 දෙනෙකුගේ නඩු තියෙනවා අධිකරණයේ. ඊයේ නඩු තීන්දුවක් ලබා දෙන්න දින නියම කළා. ඒ තීන්දුව මැයි මාසයේ එනවා. මොකක්ද සිදුවෙමින් තිබෙන්නේ.? වේගයෙන් අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන්, කුඩු ව්‍යාපාරිකයන්, පාතලයින්, හිරේට යමින් තිබෙනවා. නඩු අහමින් තිබෙනවා. ඒ ගොල්ලන් කලබල වෙනවා. කලබල වුණේ නැත්නම් තමයි පුදුමේ. නීතිය දොරකඩට ඇවිත් තියෙනවා. මේ සෑම අපරාධකාරයෙක්ම නීතිය හමුවට ගෙන යාම සඳහා ඔබ අපිට ජන වරමක් ලබා දුන්නා. අපි ඒ ජනවරම අනුව කටයුතු කරනවා. පරම්පරාවෙන් ජනාධිපතිවරුන් ද පරම්පරාවෙන් අගමැතිවරුන් ද අපි මනින්නේ නැහැ. හිටපු ජනාධිපති ද හිටපු අගමැති ද හිටපු ජනාධිපතිගේ බිරිඳ ද ජනාධිපතිගේ පුතා ද හිටපු ජනාධිපතිගේ බෑනා ද හිටපු ජනාධිපතිගේ මස්සිනා ද කියලා භේදයක් නැහැ. නීතිය සමානව ළඟට එනවා.”‍

 

මෙම අවස්ථාවට නුවරඑලිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ සාමාජිකයන් රැසක් සහභාගි වී සිටියහ.

 

 

ජායාරූපය සහ සටහන නෝර්වුඞ් රංජිත් රාජපක්ෂ