මොළය ‘ඕෆ්’ කරගන්න කලාව


එදිනෙදා ජීවිතයේ කාර්යය කටයුතු හා අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් නිසා ඔබ සිටින්නේ විඩාබරව ද? ඒ විඩාව නිසා ඔබ හෙම්බත් වී සිටිනවා ද? 

21 වැනි සියවසේ කාර්යබහුල ජීවිතයක් ගත කරන අප කවුරු කවුරුත් හෙම්බත් නොවී ඇතැයි කියන්නේ කෙසේ ද? අපේ ජීවිත, අපේ රැකියා නූතනයේ අතිශයින්ම සංකීර්ණ වී ඇත. නන් විධි ප්‍රතිවිරෝධතා මැද ඒ සියල්ල අතික්‍රමණය කරමින්, සියලු ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කාගේත් අරමුණය. ඒ කෙසේ වෙතත් විඩාබරව හෙම්බත්වීම හේතුවෙන්, කායිකව මෙන්ම මානසිකව ද අප දුර්වල වෙයි. එය හොඳ දෙයක් නොවේ. 

ලෝකයේ සේවාවන්හි නියුක්ත සාතිශය බහුතරයක් සිටින්නේ කායිකව මෙන්ම මානසිකව ද හෙම්බත්ව යැයි වෛද්‍යවරු පවසති. අප අපට දැනෙන ආතතිය අපගේ මිතුරා කර ගත යුතු යැයි සිතයි. එහි වරදක් නැත. ඇතැම්විට ඒකාකාරී ජීවිතයේ, අපට අපේ අරමුණු කරා ළං වීමට ඒ ආතතිය ඉවහල් වන අවස්ථා ද ඇත. ඒත් එහි සෘණාත්මක පැත්තක් ද ඇත. මානසික සෞඛ්‍යයට එහි ආතතිය දරුණු ලෙස බලපෑම් එල්ල කරයි. ආතතිය දෙගුණ තෙගුණ වන්නේ කාංසාවට මුල පුරමිනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙසේ හෙම්බත් වූවන්ගේ සංඛ්‍යාව සියයට 43 කි. ඉන්දියාවේ මෙය සියයට 59 කි. දකුණු කොරියාවේ සියයට 70 කි. 

නෙදර්ලන්ත වැසියන් මෙම ’හෙම්බත්වීම’ ට විසඳුමක් සොයාගෙන ඇත. එය හැඳින්වෙන්නේ ’නික්සෙන්’ යනුවෙනි. නික්සෙන් යනු කිසිවක් නොකර සිටීමය. නික්සෙන් යන වදන නිර්මාණය වී ඇත්තේ ඕලන්ද නැතිනම් ලන්දේසි වදනක් ලෙස ගැනෙන ’වනිනික්ස්’ යන වදනින්ය. ’නික්ස්’ යන්නෙහි අරුත, ’මොකවත් නැහැ’, නැත්නම් ’හිස්’ යන්නය. ඒ අනුව නෙදර්ලන්ත වැසියන්, විශේෂයෙන් එරට තරුණ තරුණියන් - භාවිතයට ගන්නේ ’කලාවිනික්සන්’ ය. එනම් ’කිසිවක් නොකර සිටීමේ කලාව’ ය. වෙහෙසකාරී දෛනික ජීවිතයෙන් මොහොතක් මිදී, පියවරක් පසුපසට තබා, නිශ්චලව සහ විවේකීයව සිටීම - ’මිනික්සෙන්’ ය. මෙම නික්සෙන් සංකල්පය දිගු කලක් තිස්සේ ඕලන්ද (ලන්දේසි) සංස්කෘතියේ කොටසක් ලෙස පැවතුණ ද, එය නවීන ගෝලීය ජීවන රටා ප්‍රවණතාවක් ලෙස ප්‍රචලිත වී ඇත්තේ මෑත කාලයේය. නිවැරදිව කීවොත් 2010 වසර අවසානයේ ය. 

කාර්ය බහුලත්වය සහ නිරන්තර ඵලදායීතාව අගය කරන නූතන සමාජයේ, මානසික ආතතිය ඉහළ යෑමට නොයෙක් විදිහේ නව ක්‍රම කරළියට පැමිණෙද්දී, නික්සෙන් ඒ අතරින් ප්‍රමුඛ ස්ථානයට පත්ව තිබේ. ’කිසිවක් නොකර සිටිනවා’ යන්න අර්ථ දක්වන්නේ කෙසේ ද? එය පහසු නැත. හේතුව අප සැවොම පාහේ, සෑම මොහොතකම කුමක් හෝ දෙයක් කරමින් සිටින හෙයිනි. සැබවින්ම අප නිදා සිටිද්දී පවා යම් ක්‍රියාකාරකමක නියුක්ත වෙයි. ඒ කෙසේ වෙතත් නික්සෙන් යනු අරමුණකින් තොරව යමක් නොකර සිටීමය. එහිදී සිදුවන්නේ මනස නිස්කලංකව තබා ගැනීමකි. එයින් අදහස් වන්නේ ඔබ බිත්තියක් හෝ එවැනි වස්තුවක් දෙස ඔහේ බලා සිටිනවා යන්න නොවේ. එමෙන්ම නික්සනේ යනු භාවනානුයෝගීව සිටීමක් ද නොවේ. භාවනානුයෝගීව සිටියදී ද ඔබේ මොළය ක්‍රියාත්මක වෙයි. 

‘නික්සනේ යනු මනස නිදහස්ව, විවේකීයව තබා ගැනීමය. මොළයේ ක්‍රියාකාරීත්වය ඉබේට සිදුවීමට ඉඩ දීමය. එසේ කිරීමේ දී මොළය ’ඕෆ්’ කර දැමීමක් සිදු වේ. නික්සනේ හෙවත් මොකවත් නොකර සිටීමේ කලාව ප්‍රගුණ කිරීමේ දී සංගීතයට සවන් දිය හැකිය. විනෝදාංශයක් ලෙස ගෙතීම් (නිටිං) කළ හැකිය.

නික්සෙන් හෙවත් කිසිවක් නොකර සිටීමේ කලාව තම තමන්ට රිසි පරිදි වෙනස් කර ගැනීමට හැකියාව ඇත. ජනේලයකින් පිටත පරිසරය, ගහකොළ, හෝ නෙතට ප්‍රිය යම් නිශ්චිත වස්තුවක් දෙස බලා සිටීම කළ හැකිය. සිතුවිලි බැහැර කරමින් කිසිදු විශේෂ අරමුණක් නැතිව ඇවිදීම වැනි දේ පවා නික්ස‍නේය. 

විකාරයක් විහිළුවක් යැයි පෙනුණත්, නික්සෙන් හෙවත් කිසිවක් නොකර සිටීමේ කලාව මේ වන විට ලොව කාගේත් අවධානයට ලක්වී අවසන්ය. මෙම කලාව උගන්වන පාඨමාලා පවා යුරෝපා රටවල ඇත. කිසිවක් නොකර සිටින හැටි ඉගැන්වීමට විශේෂඥයෝ ද බිහිවී සිටිති. මේ පාඨමාලාවලින් උගන්වන්නේ, කිසිවක් නොකර සිටින්නේ කෙසේ දැයි යන්නය. 

ජාත්‍යන්තර මාධ්‍ය (විශේෂයෙන් 2019 වසරේ දී) මෙම සංකල්පය පිළිබඳව අවධානය යොමු කිරීමත් සමග, මේ ගැන ලොකු කතිකාවක් නිර්මාණය විය. ලන්දේසි කතුවරියක වන ඕල්ගා මේකින් විසින් 2021 දී පළ කළ  “නික්ස‍නේ හෙවත් කිසිවක් නොකර සිටීමේ ලන්දේසි කලාව” නමැති කෘතිය ලොව අතිශය ජනප්‍රිය ය. එයින් මෙම සංකල්පය තවදුරටත් ලොව පුරා ප්‍රචලිත කිරීමට විශාල දායකත්වයක් සැපයීය. නෙදර්ලන්ත ජාතිකයන් ලෝකයේ වඩාත්ම සතුටින් සිටින ජාතීන් අතර ඉදිරියෙන් සිටින පිරිසකි. ඔවුන්ගේ ජීවිතයේ සමබරතාවට සහ විවේකයට දෙන වැදගත්කම මෙම සංකල්පය සමඟ බැඳී පවතී. නික්ස‍නේ සංකල්පයේ උපත නෙදර්ලන්තයේ දී සිදුවුවත්, මෙවැනි සංකල්පයක් ලොවට ඉදිරිපත් කර ඇත්තේ නෙදර්ලන්ත වැසියන් පමණක් නොවේ. ඩෙන්මාර්ක් වැසියෝ ද මේ වනවිට මීට යොමු වී සිටිති . ඩෙන්මාර්ක් වැසියන් මෙම ’කිසිවක් නොකර සිටීමේ කලාව’ හඳුන්වන්නේ ’හියු-ගූ’ යනුවෙනි. හියු-ගූ යනු නිවසට සීමා වී, බැරෑරුම් කිසිවක් නොකර, සුවපහසුව නිවසට වී සිටීමය. මේ හා සමාන’ලෝ ගොම්’ යනුවෙන් තවත් කලාවක් ද ඇත. විලෝගොම් යනු ස්වීඩන් වැසියන් විසින් පිළිපදින මොකවත් නොකර සිටීමේ කලාවය. කිසිවක් නොකර මනස විවේකීව තබා ගනිමින්, මනස සන්සුන් කර ගැනීම ’ලෝ ගොම්’ ය.

‘නික්සෙන් හෝ හියු-ගූ හෝ  ලෝගොම් හෝ කවර නමකින් හැඳින්වූව ද ඒ සෑම දෙයකම අවසන් ඉලක්කය වන්නේ කාර්ය බහුල විඩාබර ජීවිතයට’සැනසිල්ලක්’ අත්කර දීමය. හැල්මේ දුවන ජීවිතයට තිරංග තද කිරීමකි. බටහිර මනෝ විද්‍යාඥයන්ට අනුව කිසිවක් නොකර සිටීම මගින් සිදුවන්නේ සිතට කයට විවේකයක් ලබා දීමය. මෙම කෙටි විවේකය අපේ මනස නිරවුල් කරයි. ඉන්පසු අපට හොඳින් සිතීමට සලස්වයි. අපේ නිර්මාණශීලී හැකියාව තීව්‍ර කරයි. එමගින් අත්වෙන මානසික හා කායික වාසි බොහෝ වෙයි. නික්සෙන් කලාව ප්‍රගුණ කිරීමෙන් වයසට යෑම අඩුවෙයි. මනස නිරෝගී නම්, මනස නිරවුල් නම්, සිතින් මෙන්ම ගතින් ද ඔබ තරුණ වෙයි. ඊට හේතුව නිරවුල් නිරෝගී මනස ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන බැවිනි. 

පෙර සඳහන් කළ පරිදි කාංසාව තුරන් වෙද්දී, ආතතිය පහවී යද්දී, ඔබේ නිර්මාණශීලී හැකියාව ඉස්මතු වෙයි. ව්‍යවහාර බසින් කියන්නේ නම්  ඔබේ ’මූඩ්’ ධනාත්මකව වෙනස් වෙයි. බටහිර රටවල බොහෝ දෙනා ’නික්ස‍නේ හෙවත් කිසිවක් නොකර සිටීමේ කලාවට’ යොමු වන්නේ මේ නිසාය. නමුත් එය පහසු කටයුත්තක් නොවේ. ’කිසිවක් නොකර සිටීම’ අපට අසීරුය. කාර්යාලයේ, කම්හලේ සේවය නිම කොට ’නිවසේ සේවයට’  යන කාන්තාවක හෝ මවක, නික්සෙන් වැනි කලාවක් ප්‍රගුණ කරන්නේ කෙසේ ද? 

සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ මොළය හැඩ ගැසී ඇත්තේ සිතුවිලි උත්පාදනය වී යමක් කිරීම වෙනුවෙන් ය. නික්සෙන් ’කලාවක්’ යැයි කියන්නේ ඒ නිසාය. එය ප්‍රගුණ කරමින් ඒ සම්බන්ධයෙන් කලාකරුවකු වීම, සැමට කළ හැකි දෙයක්  නොවේ. එය කළ හැක්කේ ඊට සුවිශේෂී ශක්‍යතා ඇති තැනැත්තන්ට පමණි. නික්සෙන් යනු ඵලදායිතාව සහ කාර්යබහුලත්වය උත්කර්ෂයට නංවමින් අධිවේගයෙන් දුවන නූතන සමාජයේ පුද්ගලයාට – සිය ගතෙහි හා මනසෙහි විවේකයේ සහ සැහැල්ලුවේ අවශ්‍යතා‍ව සිහිපත් කරන, ඊට හෘදයාංගමව ආමන්ත්‍රණය කරන මෘදු සිහි කැඳවීමක් නැත්නම් පණිවුඩයකි.
බීබීසී ඇසුරිනි.

ලු‍සිත ජයමාන්න