
(සුජිත් හේවාජුලිගේ)
දූෂණ චෝදනා සම්බන්ධයෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයට අදාලව කතානායක පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරන් දෙදෙනාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ හෙට (18) සහ අනිද්දා (19) පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඒ.එච්.එම්.ජී අබේසිංහ මහතා එම රියදුරන් දෙදෙනාට මෙම දැනුම්දීම කර ඇත්තේ පාර්ලිමේන්තුවේ අධ්යක්ෂ (පරිපාලන) මාර්ගයෙනි.
පාර්ලිමේන්තුවේ NC 4923 රථය බාර ගැනීම හා එම රථය යොදා ගෙන ඇති රාජකාරී සම්බන්ධ සියලු තොරතුරු, 2025 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වාවූ ධාවනයන්හි සාරාංශ මෙන්ම මේ වසරේ ජනවාරි මස 07 වැනිදා එම රථය රිය අනතුරට පත්වීමට අදාල ලේඛනද සමග කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මෙලෙස දැනුම්දී ඇත.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කතානායකවරයාට එරෙහිව 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත යටතේ මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා කළ පැමිණිල්ලක් අනුවය.
ඔහු මෙම පැමිණිල්ල කළේ පසුගිය පෙබරවාරි මස 02 වැනිදාය.
කතානායකවරයාට නිල වශයෙන් හිමිවන්නේ වාහන දෙකක් පමණක් වුවද අනුමැතියකින් තොරව මාධ්‍ය අංශයක් පිහිටුවා එම අංශයට පාර්ලිමේන්තුවේ වාහනයක් නීති විරෝධී ආකාරයට ලබාගෙන තිබූ බව කුලරත්න මහතා කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන්විය.
මෙම වාහනය අනතුරට ලක්ව ඇත්තේද කතානායකවරයාගේ කටයුතු සඳහා යොදවා ගෙන තිබියදී බවත් අනතුරට පත් වාහනය අලුත් වැඩියා කිරීමට රක්ෂණයේ මුදලට අමතරව පාර්ලිමේන්තුවේ මුදල්ද වැය කර ඇති බවත් ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පාර්ලිමේන්තු ප්‍රවාහන අංශයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ද පසුගියදා ප්‍රශ්න කෙරිණ.
අල්ලස් , දූෂණ සහ අක්‍රමිකතා චෝදනා පදනම් කරගෙන කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් විශ්වාසභංග යෝජනාවක් පසුගියදා ඉදිරිපත් කෙරිණ. එම යෝජනාවට චෝදනා 50ක් ඇතුළත් කෙරුණු අතර නිල බලයෙන් හිමි වාහන දෙකට අමතරව තවත් වාහනයක් නීති විරෝධීව පාවිච්චියට ගෙන අැතැයි යන්න එහි සදහන් එක් චෝදනාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd