
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොරියානු ජනරජයේ ජාතික සභාව නියෝජනය කරමින්, ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගයේ (CPE) දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා හමුවූහ.
පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව, ජනගහන ප්‍රතිපත්ති, අධ්‍යාපනය සහ ආර්ථික හුවමාරු යන ක්ෂේත්රයන්හි දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
කොරියානු දූත පිරිස කොරියානු ජාතික සභාවේ බුද්ධි කමිටුවේ සභාපති සහ ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගයේ උප සභාපති ලී යැං-සු (Lee Yang-soo) මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණියහ. එම දූත පිරිසට එම ලීගයේ සාමාජික ක්වාක් සෑං-ඊඔන් (Kwak Sang-eon) මහතා, කොරියානු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ උප සභාපති කිම් සෝ-හී (Kim So-hee) මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති යූන්-ජුං කිම් Youn-Jung Kim මහත්මිය ද ඇතුළත් වූහ.
1989 වසරේදී පිහිටුවන ලද ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගය, දේශගුණික විපර්යාස, ජනගහනය සහ ළමා සුබසාධනය සම්බන්ධ ගෝලීය අභියෝගවලට මුහුණදීම සඳහා ජාත්‍යන්තර පාර්ලිමේන්තු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කරයි.
2027 වසරේදී ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරීම සැලකිල්ලට ගනිමින්, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාව දෙපාර්ශ්වයම මෙහිදී අවධාරණය කළහ.
ශ්‍රී ලංකාවට මෑතකදී බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී අවධානය යොමු කළේය. විශේෂයෙන්ම, දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් යටිතල පහසුකම්වලට සහ කෘෂිකාර්මික ඉඩම්වලට සිදුවූ සැලකිය යුතු හානි පිළිබඳව ඔහු සඳහන් කළේය.
එමෙන්ම, උපත් අනුපාතය පහළ යාම සහ වේගයෙන් වයස්ගත වන ජනගහනය ඇතුළු ශ්‍රී ලංකාව මුහුණ දෙන ජනගහන අභියෝග පිළිබඳව ද ඔහු කරුණු පැහැදිලි කළේය. මෙම තත්ත්වයන් අනාගතයේදී යැපෙන්නන්ගේ අනුපාතයට සහ ශ්‍රම බලකාය සපයා ගැනීමේදී සැලකිය යුතු බලපෑමක් ඇති විය හැකි බව ද පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය සහ එය ශක්තිමත් කිරීමේදී පවතින අභියෝග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd