
අතීතයේ දී අද මෙන් නීතිඥයෙකු හෝ නොතාරිස්වරයෙකු ඉදිරියේ ඉඩම් ඔප්පු ලියා දීමක් සිදු වුයේ නොමැත. සිය මව හෝ පියා විසින් මායිම් පෙන්වා ඉඩම ලබා දෙන අතර, කිසිදු ලියවිල්ලක් ලබාදීමක් සිදුනොවීය. මෙවැනි අයුරින් ඉඩම් ලබාගත් පවුල් අතර දෙමාපියන් මිය යෑමත් සමග ඉඩම් ආරවුල් සිදුවේ. මෙම අවස්ථාවන් හි දී මෙම ඉඩම් ආරවුල් බේරුම් කිරීම පිණිස එකල පැවති එක් ක්‍රමවේදයක් වුයේ - කතරගම දේවාලයට ගොස් ආරවුල් ඇති කරගත් අය ලවා දේවාලය ඉදිරිපිට ඇති දිවුරුම් ගලේ දිවුරුම් දීමයි. මෙහි දී ඉඩම අයිතියක් නොමැති පුද්ගලයා කතරගම දෙවියන්ට බය නිසාත්, දේව ශාපය ලැබෙන නිසාත්, කිසිදු අයුරකින් මෙම දිවුරුම් ගලේ දිවුරුම් නොදෙන අතර - මෙහි දී සත්‍ය ජය ගන්නා පුද්ගලයාට සිය ඉඩමේ අයිතිය ලැබී තිබේ.
මේ කතාව කවුරුත් වැඩිය නොදන්නා, තවමත් විවිධ පුද්ගලයින් රහසින් දිවුරුම් දීම සිදු කරන ඒ දිවුරුම් ගල පිළිබඳවයි.
ක්‍රි.පු 161-137 දක්වා අපේ රට පාලනය කල දුටුගැමුණු මහා රජතුමා එළාර රජු සමග යුද්ධයට යෑමේදී කඳ සුරිඳුන් හමුවේ සිදු වූ භාරයක් අනුව යුද්ධයෙන් ජයගත් දුටුගැමුණු මහා රජතුමා අද වර්තමානයේ ඇති කතරගම මහා දේවාලය සාදවා ඉර හඳ පවතිනා තුරා කඳ සුරිඳුන්ට පුද කටයුතු සිදු කිරීම පිණිස කතරගම දේවාලය ඉදිකර ඇති බව සඳහන්වේ.
මෙම දේවාලය ඉදිවීමත් සමග කතරගම දෙවියන් ජනහදට ළංවූ ප්‍රධානම දෙවියකු ලෙස හඳුන්වන්නට හැකි අතර, කුඹුරු ගොවිතැන සිදු කරන ගොවියා සිය ප්‍රථම වී සහල් ටික බුදුන්ට පූජා කර කොටසක් ඉඳුල් නොකර කතරගම දෙවිඳුන්ට වෙන්කර දේවාලයට රැගෙනවිත් පූජා කරන අතර, හේන් ගොවියන් ද තම හේනේ මුලින් ලබා ගත් එළවළු අස්වනු කතරගම දෙවියන්ට පූජා කිරීම අදටත් සිදුවේ.
මෙයට අමතරව අලුත් වාහනයක් ගන්නා බොහෝ අය පොල් මලක් ගසා ගෙන කතරගමට පැමිණ දෙවියන් ගේ ආශිර්වාදය හා රැකවරණය හිමි කර ගැනීම අදටත් සිදුවේ.
යම් අයෙකු රෝගාතුර වූ විට දී ලෙඩ සුව කරදෙන ලෙස ඉල්ලා කතරගම දෙවියන්ට පඬුරක් ගැට ගැසීම ලාංකික ජනතාව විසින් අදටත් සිදු කරනු ලබයි.
මෙයට අමතරව - “කතරගම දෙවියන්ටම පෙනියන්.”, “දෙයියෝ සාක්කී.”, “කතරගම දෙවි පිහිටයි.”, “දෙයියොම බලාගනිං.”, “දැනගෙන ගියොත් කතරගම නොදැනගියොත් අතරමග.” වැනි යෙදුම් ව්‍යවහාරයේ දී අපේ ජනයා අදටත් යොදා ගනු ලබන්නේ කතරගම දෙවියන් මුල් කරගෙන ය. මේ අයුරින් කතරගම දෙවියන් අප ලාංකික ජනයා අතර නිතර දෙවේලේ අදහන දෙවියකු වන අතර, කතරගම දෙවියන් පිළිබඳව විවිධ හාස්කම් සහිත රසවත් කතා රැසක් පවතී. කතරගම දෙවියන් මුල් කර ගෙන දුටුගැමුණු රජතුමා ද යුද්ධය ජයග්‍රහණය කළ අතර, 1818 කැරැල්ල පැවති සමයේ දී වීර කැප්පෙටිපොල නිළමේතුමා, කොහුකුඹුරේ රටේරාල, වැනි විරුවන් ද කතරගම දෙවියන් ගේ ආශීර්වාදය ලැබ එවක පැවති යුද්ධයන් ජය ගෙන ඇත.

කතරගම දෙවියන් විධිධ වෙස් ගෙන ජනයා අතරට පැමිණෙන අතර, වැරදිකරුවන්ට නිසි දඬුවම් දෙන දෙවියකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුලයි. සුර අසුර යුද්ධයේ දී අසුරයින් සමූලඝාතනය කිරීමේ කාර්යය ඊෂ්වර දෙවියන් විසින් කතරගම දෙවියන්ට බාර දීමෙන් පසු - අසුර සංහාරයක් කර, සුර රාජ්‍යයක් පිහිටුවා දේව සේනාධිපති තනතුරක් භාර ගෙන ඇත. ඉනික්බිති කතරගම දෙවොල් බිමේ රැඳෙමින් ජීවමානව වැඩ සිටින දෙවියකු වශයෙන් ද කටයුතු කර ඇත.
විවිධ නඩුහබවල දී විවිධ හේතු නිසා නිශ්චිත තීන්දුවක් ලබා දීමට නොහැකි වූ ආරවුල් නිරාකරණය කිරීමේ ක්‍රමවේදයක් ලෙස, ගම් මුලාදෑනින් හා රජවරුන් ද - කතරගම දේවාලයේ දී දිවුරුම් දීම නිර්දේශ කර ඇත.
ඇතැම් පුද්ගලයින් පහසුවෙන් අනාවරණය කරගත නොහැකි අයුරින් කූඨ ක්‍රම උපයෝගී කරගෙන සිදුකර ඇති සොරකම්වලදී ද, සොරකම් නොවන වෙනත් නිරවුල් කිරීමට දුෂ්කර ආරවුල්වලදී ද මෙම දිවුරුම් ගැනීම සිදුකර ඇත. බලධාරියෙකුගේ හෝ බේරුම්කරුවෙකුගේ නිර්දේශය නැත්නම් නියෝගය අනුව දිවුරුම් දීමට පැමිණෙන පාර්ශ්ව දෙකෙන් නිර්දෝශී නොවන පුද්ගලයා කිසිදු අයුරකින් දෙවියන් හමුවේ දිවුරුම් දීම සිදු නොකරන අතර, එහිදී තමන් වරදක් කලා මුසාවක් කළා යැයි පාපොච්චාරණය කළ අවස්ථා ද රැසක් පවතී.
මේ එවැනි සිදුවීමකි. තිස්සමහාරාමයේ මුතියංගම ප්‍රදේශයේ එක් අක්කා නඟෝ දෙදෙනෙක් එක් කුඹුරකට ගහ මරාගැනීමට තැත් කිරීම නිසා, 1969 දී පොලිසිය විසින් හම්බන්තොට අධිකරණය අබියසට පමුණුවනු ලැබීය. මෙහි දී අක්කා නඟෝ දෙදෙනාම පැවසුවේ තම මෑණියන් විසින් තමන්ට මෙම කුඹුර ලබා දුන් බවයි. මෙම දෙදෙනාටම මෙම කුඹුරට සම්බන්ධ කිසිදු ලියවිල්ලක් නොතිබුණු අතර, පසුව අධිකරණය මගින් කතරගම දේවාලයට ගොස් දේවාලය ඉදිරිපිට ඇති දිවුරුම් ගලේ අත් දෙක තියා දිවුරණ ලෙස නියෝග කෙරුණි.
කතරගම දෙවියන් විධිධ වෙස් ගෙන ජනයා අතරට පැමිණෙන අතර, වැරදිකරුවන්ට නිසි දඬුවම් දෙන දෙවියකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුලයි. සුර අසුර යුද්ධයේ දී අසුරයින් සමූලඝාතනය කිරීමේ කාර්යය ඊෂ්වර දෙවියන් විසින් කතරගම දෙවියන්ට බාර දීමෙන් පසු - අසුර සංහාරයක් කර, සුර රාජ්‍යයක් පිහිටුවා දේව සේනාධිපති තනතුරක් භාර ගෙන ඇත.
අධිකරණයේ තෝල්කයා ද මෙම අවස්ථාවට එක් වූ අතර, මෙම දිවුරුම් ගලට පැමිණි කාන්තාවන් දෙදෙනාට වෙන වෙනම තමන්ට මැණියන් දුන් කුඹුර බව “කතරගම දෙවියම්පල්ලා” කියා දිවුරන ලෙස තෝල්කයා දැන්විය. මෙහිදී පළමු කාන්තාව “කතරගම දෙයියම්පල්ල අම්මා මට දුන් කුඹුර” කියමින් දිවුරූ අතර, දෙවැනි කාන්තාවට ද දිවුරණ ලෙස තෝල්කයා පැවසීය. එහි දී ඇය දිවුරුම් දීම ප්‍රතික්ෂේප කර කුඹුර තමන්ට අයිති නැති බවත්, කුඹුර මාරුවෙන් මාරුවට වගා කර ගැනීමට අවස්ථාව දෙන ලෙස තම නංගි ගෙන් ආයාචනා කරනු ලැබීය.
මේ තවත් අතීත කතාවකි. ඒ ද, අධිකරණ නියෝගයක් ප්‍රකාරව දුන් දිවුරුමකි.

නිවසකට පැමිණි ඥාතියකු විසින් රන්භාණ්ඩ තොගයක් සොරකම් කළත්, එය සොයාගැනීමට නොහැකි විය. නිවසට වෙනත් කිසිවකු පැමිණ නැති අතර, පැමිණි එකම පුද්ගලයා තම ඥාතියා බව ප්රත්යක්ෂ කරගත් නිවෙස් හිමියෝ ගම් මුලාදෑනියාට කරුණ කීහ. ප්‍රශ්න කිරීමෙන් ගැටලුව නිරාකරණය කිරීමට නොහැකි වූ තැන ගම්මුලාදෑනියා මෙම දෙපිරිස කතරගම දේවාලය ඉදිරිපිටට පැමිණ දිවුරුම් ගලේ දිවුරවනු ලැබීය. මෙහිදී ඥාතියා තමන් රන් භාණ්ඩ සොරා නොගත් බවට දිවුරුම් දෙනු ලැබුවේය.
ගත වූයේ දින 21 කි. මහා වැස්සක් සමග හෙණයක් ගසා බොරුවට දිවුරූ රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයා මිය ගිය අතර, ඔහුගේ මළගම අවසන් කර තම සැමියා සොරා ගත් සියලුම රන් භාණ්ඩ ඔහුගේ බිරිඳ විසින් අයිතිකරුවන්ට ලබා දෙනු ලැබුවාය.
විභාග කොට තීන්දු ලබාදීමට දුශ්කර ඇතැම් පැමිණිලිවලදී, බ්‍රිතාන්‍ය පාලකයින් පවා කතරගම දේවාලයේ දිවුරුම්ගලට මේ ආකාරයෙන් දිවුරුම්දීම් සඳහා එවා තිබූ අවස්ථා කොතෙකුත් ඇතැයි කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක පවසයි.
1944 දී එක් පුද්ගලයෙක් තම බිරිඳට වස කවා මරා දමනු ලැබීය. මෙම පුද්ගලයා පිළිබඳව සැක සිතුණු ඥාතීන් මේ බැව් පොලිසියට දන්වනු ලැබූහ. පසුව මෙය ඔප්පු කර ගැනීමට නොහැකි වූ තැන මෙම පුද්ගලයා කතරගම දිවුරුම්ගල වෙත රැගෙන විත් තිබුණි. මෙම දිවුරුම් දෙන්නා ප්‍රථමයෙන් මැණික් ගඟේ දිය නා පිරිසිදු වන අතර, මැණික් ගඟේ සිට දිය රෙද්ද පිටින් දිවුරුම්ගල ළඟට පැමිණි සැක කරු මහා හයියෙන් කෑගසා “අනේ මව මරන්න එපා. මෙන්න මාව මරණවෝ මම තමයි රංඑතනා මැරුවේ. අනේ මාව මරන්න” එපා යැයි කියා පිස්සුවෙන් මෙන් දොඩවනු ලැබූ බව කතරගම දේවාලයේ පාරම්පරික මහා බෙත්මේ ලේකම් දයානන්ද අධිකාරි පවසයි.

මෙයට අමතරව අනියම් සම්බන්ධතා ඇති ගැහැනු පිරිමි අය ද මෙම දිවුරුම් ගලේ දිවුරුම් දීම අදටත් සිදුවේ. තම සැමියාගේ වෙනත් සම්බන්ධයක් අසුවුව හොත් එය නවතා දමන ලෙස දිවුරුම් ගලේ දිවුරුම් දී නතර කළ අවස්ථා ද ඇති අතර, හොර සැමියන් සමග ගොස් ඇති වූ සැක සහිත සිද්ධීන්වලට ද සිය බිරින්දෑවරුන් රැගෙන එන සැමියන් ද සිය බිරින්දෑවරුන් සමග මෙම දිවුරුම් ගලේ තමන් එවැන්නක් යළිත් සිදු නොකරන බවට දිවුරුම් දීමද සිදු කර ඇත.
කතරගම දෙවියන් හමුවේ කිසිදු අයක් බොරුවට දිවුරුම් සිදු නොකරති. අදත් කතරගම දේවාලයේ පාරම්පරික කපු මහතුන් සිය කපුකම ගන්නා විටදී දේව මාලිගාවේ රහස් කිසිවකුට නොකියන බවට දිවුරුම් දෙනු ලබන අතර, පත්වන බස්නායක නිලමේවරු ද මෙම දේවාලයේ රහස් පිට කිසිවකුට පවසන්නේ නැති බවට දිවුරා පොරොන්දු වෙති. වසර 2000කට පෙර සිට මෙම දිවුරුම් දීම කතරගම දේවාලයේ සිදුකර ඇති අතර, අදත් මෙම දිවුරුම් ගල කතරගම දේවාලයේ ප්‍රධාන වාහල්කඩට ආසන්නයේ දකුණු පැත්තේ අතීත ශ්‍රී විභූතියක් ලෙස දිස්ව පවතින අතර, කතරගම ගැමියන් ද විවිධ ගැටලු සිදු වූ විට රහසින් පැමිණ දෙවියන් ඉදිරියේ දිවුරුම් දීම අදත් සිදුවේ.
කතරගම – කේ. ඩී. දේවප්‍රිය