දුටු පමණින් සිත සැනසෙන මිහිපිට දෙව්ලොවක් බලන්න යන්න කැමති ද? මේ ගමන ගිහින් තියන බොහෝ පිරිසකට ඒ ගැන මතක් වෙද්දි සිතට, මෙන්ම ගතටත් අමුතුම ප්‍රබෝධයක් සැනසීමක් දැනෙනවාට සැක නැහැ. ගිහින් තියන අයට නැවත නැවතත් යන්න ආස හිතෙන, ඒ ගැන අහල දැකලා තියන අය නොඉවසිල්ලෙන් යන්න බලන් ඉන්න මනස්කාන්ත පරිසරයකින් හෙබි කුඹල්වෙල මහමෙව්නා අසපුවට යන්නයි මේ සූදානම.
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මනරම් කඳුගැටයක පිහිටා ඇති මේ අසපුව තිබෙන්නේ ඇල්ල ප්‍රදේශයේ මුහුදු මට්ටමේ සිට මීටර් 1300 ක් පමණ ඉහළ කඳු මුදුනකට වන්නටයි. අක්කර හතළිස් අටක් පුරා පැතිරුණු මේ අසපුවේ වැඩ සම්පූර්ණයෙන් නිම වී ඇති බව කියැවෙන්නේ 2004 වසරේදීයි. බදුලු යන ඕනෑම අයකුට මේ සුන්දර ස්ථානය දැකගැනීමට පැමිණිය හැකි නිසාම ඔබේ බදුලු ගමනේ ස්ථාන අතරට මේ මනරම් අසපුවද එකතු කරගැනීමට අවස්ථාව තිබේ. ඉතා ඉහළ මට්ටමක පිහිටා ඇති මේ පුණ්‍ය භුමිය සැබවින්ම දෙව්ලොවකට සමානකළ හැක්කේ එහි නිර්මාණාත්මක පිහිටීම මෙන්ම ඉතා උස් ස්ථානයක පිහිටා තිබීම නිසයි. කෙසේ නමුත් මෙම කුඹල්වෙල මහමෙව්නා අසපුව ශ්‍රී සත්බුදු මහා සෑ විහාරය ලෙසද හඳුන්වනු ලබයි.
ඇල්ල බැලීමට පැමිණෙන ඔබට පයින්ම මෙම විහාරස්ථානයට යා හැකි වුවද එය තරමක් දුර ගමනක් බැවින් ත්‍රිරෝද රථයකින් ඔබට මේ විහාර මන්දිරය තිබෙන ස්ථානයට ගමන්කිරීම පහසු වේ.
ශ්‍රී බෝධි පර්වතය ලෙස මෙම පුදබිම හඳුන්වනු ලබන්නේ මෙම පුදබිමේ බෝධීන් වහන්සේලා ගණනාවක් රෝපණය කර තිබීම නිසයි. අක්කර ගණනාවක් පුරා පැතිරයන මේ පුන්‍යභූමිය පුරා බැතිමතුන්ට වැඳ නමස්කාර කර ගැනීම සඳහා බුද්ධ ප්‍රතිමා, මන්දිර අලංකාරවත් ලෙස ඉදිකොට තිබෙනවා දැකගත හැකිය. පහළ සිට බලනවිට ඉහළ අහසේ තිබෙන මන්දිරයක් මෙන් පෙනෙන මෙහි එනම් අඩි 120ක් උසැති ස්ථූපයේ පොළොව මට්ටමේ අඩි 120ක් පමණ උසකින් ප්‍රධාන බුද්ධ මන්දිරය ලෙස සත්බුදු විහාර මන්දිරය නිර්මාණය කර තිබේ. එමෙන්ම මෙහි දැකගන්නට ලැබෙන තවත් සුවිශේෂී අවස්ථා බොහෝමයකි. මේ භූමිය පුරා පැතිරුණු සත් බුදු විහාර මන්දිරයේ එක් එක් සත්බුදු රජාණන් වහන්සේලා උදෙසා වෙන වෙනම ප්‍රතිමාවන්ද දැකගත හැකි වේ. බුදුන් වහන්සේ සමනොළ ගිරි හිස සිරිපා තැබීම සිත්තම් කර තිබෙනවා වගේම නවීන වර්ණ සංකලනයන් භාවිතයෙන් සිතුවම් වූ අති දර්ශනීය සිතුවම් රාශියක්ද මේ පුණ්‍ය භූමියේදී අපට දැකගැනීමට ලැබීම තවත් විශේෂත්වයකි.
මෙහි දක්නට ලැබෙන සැබෑ බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිකරන, ජීවමානව වැඩසිටිනවා මෙන් දක්නට ලැබෙන මෙම සත්බුදු ප්‍රතිමා වහන්සේ නමකගේම තායිලන්තයෙන් රැගෙන ආ සැබෑ රන් ලෝහ පත්‍ර ආලේපකර තිබෙන බව සඳහන් වේ. සත්බුදු මන්දිරයේ භූමිය කුඹුක් ලෑලි අතුරා නිමකර තිබෙන අතර මෙහි උළුවස්ස ලංකාවේ දෙවැනියට උසම උළුවස්ස ලෙසද හඳුන්වනු ලබයි. මේ සියල්ල සත්බුදු මන්දිරයට එක් කරන්නේ වඩාත් අලංකාරයකි.
වලාකුළු සිප වැලඳගන්නා චෛත්‍ය රාජයාගේ මනස්කාන්ත දර්ශනය මෙහි යන ඕනෑම අයෙකුගේ සිත නිවන දර්ශනයකි. විශේෂයෙන් සන්ධ්‍යා වලා පෙළ අවරට යනවිට මේ පුන්‍යභූමිය පුරා පවතින සිසිලස, ආලෝකය, නිහැඬියාව මිහිපිට දෙව්ලොවකට සමාන කිරීම මොන තරම් අරුත්බර දැයි කෙනෙක්ට, ඔබට සිතෙනු ඇත. මිනිස් කටහඬින් තොරවූ විට එහි පවතින නිහැඬියාව සහ වටපිටාව රැගෙන එන නිස්කලංක බව මෙහි සිටින ඕනෑම කෙනකුට මනා සේ සිත සංවර කරගැනීමටත් සන්සුන් කරගැනීමටත් මහත් ඉඩහසරක් සලසනු ඇත.
සුදෝ සුදු පැහැයෙන් විරාජමානව සිටින ස්තූප වහන්සේ නමුණුකුළ කඳු පන්තියේ පිහිටි ඌව පළාතේ උසම සෑයක් ලෙසද හඳුන්වනු ලැබේ. එය මහියංගණ සෑයේ උසට ද සමාන වන බව අපට අසන්නට ලැබුණි. මෙහි ප්‍රධාන ධාතු ස්තූපයක් සහ ඒ වටා තවත් පරිවාර ස්තූප ද නිර්මාණය කර තිබෙනවා දැකගන්නට ලැබේ.
භාවනා යෝගී භික්ෂූන් වහන්සේලා...
සිත නිවා සනසන මේ කුඹල්වෙල භාවනා අසපුව වඩාත් සුවිශේෂී වන්නේ භාවනා යෝගීව වැඩ සිටින භික්ෂූන් වහන්සේලාටයි. භාවනා කිරීම සඳහා සුදුසු පරිසර වටපිටාව නිසා මෙහි භික්ෂූන් වහන්සේලා මෙන්ම භාවනා කිරීමට කැමැත්තක් දක්වන ඕනෑම අයකුට රිසි සේ භාවනා කළ හැකිය. පොහොය දිනවලදී මෙන්ම නිවාඩු දිනයන්හී දී බස්රථවලින් විශාල පිරිසක් පැමිණෙන මේ අසපුව නිතරම දන්සල් වලින්ද අඩුවක් නොවීය.
අසපුව නිර්මාණය වී තිබෙන අවට දක්නට ලැබෙන විශාල වන වගාව ද ඇසට රැගෙන එන්නේ නැවුම් සිසිලසකි. එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන අතර, එය අක්කර ගණනාවක් පුරා විහිදී ගිය වන වගාවකි. මෙම වන වගාව සහිත කන්ද කුඹල්වෙල මහමෙව්නා අසපුව කන්ද නැතිනම් බෝධි පර්වත කන්ද ලෙසද බොහෝ පිරිසක් හදුන්වනු ලබයි. මෙම වන වගාව නිරන්තරයෙන් ගිනිගැනීම් සිදුවන නිසා එයින් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ෆයිනස් ගස් වෙනුවට විශාල ප්‍රමාණයේ ගස් එනම් දෙල්, කොස්, මී ගස්, කුඹුල් වැනි සිසිලස සහිත ශාක වර්ග සිටුවා තිබේ.
ඒ වගේම සොභා සෞන්දර්යෙන් අනූන වූ මේ පරිසර පද්ධතිය ඊටම අවේණික වූ සතා සිවුපාවන්ට මෙන්ම වැලිමීයන්, ඉත්තෑවන්, හාවන්, මී මින්නන්, රිලව්, උරගයින්, විවිධ පක්ෂීන්, සමනලුන් ආදී බොහෝ සත්වයින්ට නිවහනක් වී ඇත.
ඉතින් බදුලු යන ඔබට මේ සුන්දර පරිසරය මෙන්ම දෙව්ලොවක් හා සමාන වූ මේ සුන්දර මහමෙවුනා අසපුව දැකබලාගැනීමටද අවස්ථාව තිබේ.
නයනා උදයංගනී