නිධානයේ ‘අයිරින් ගේ’ අනුවේදනීය මතකය සොයා ‘අමුණුමුල්ල’ නිධන්ගනට ගිය ගමන


හෙළ සිනමා නිළි රැජින මාලනි යයි. ඉකුත්දා ඇය අඳුරින් පිරි සැඳෑවක සොඳුරු මතක සැමරුම් රැසක් අප හදවත් හි ශේෂ කරමින්, දම් පැහැති මල් යායක් වෙත නික්ම ගියාය. මාලනි ෆොන්සේකා මෙරට ජනප්‍රිය ධාරාවේ වාණිජ සිනමාවේ පමණක් නොව, කලාත්මක සිනමාවේ ද විසල් චරිතයකි. 

ඇගේ සිනමා ගමන් මගෙහි කඩඉම් මතක ගණනාවකි. ඒ අතරින් “නිධානය” සිනමා සිත්තම නිතැතින් සිහිපත් කළ හැකිව තිබේ. නිධානය චිත්‍රපටයෙහි අනුවේදනීය අවසානය සහිත රූ පෙළ රූගත කොට ඇත්තේ මාතලේ සතර කෝරළයත්, සත් කෝරළයේ කුරුණෑගලත්, නුවර කලාවියේ අනුරාධපුරයත් එකිනෙක යා කරවන බිම් තීරයකදීය. ඒ දඹුල්ල ගලේවෙල නගරයට කිලෝමීටර් හයක් පමණ මෙපිටින් පිහිටි “දමුණුමුල්ල” නම් ගම් පියස කේන්ද්‍ර කොට ගෙනය. එහි පිහිටි “ගැරඬිගල රජමහා විහාරයේ” ගල්තලාවක් මතදී, මින් වසර පනහකට ඔබ්බෙන් “අයිරින්ගේ” ඛේදනීය අවසානය රූගතව ඇත. එහිදී “විලී” පපුව පසාරු වී යනසේ පිහියෙන් ඇන“අයිරින්” ඝාතනය කරනුයේ - කළු ගල පැළී නිධානයේ දොර විවර වේය යන අපේක්ෂාවෙනි. එහෙත් එවැන්නක් නොවුණා පමණක් නොව සිදුවූයේ ඛේදයකි. 

දමුණුමුල්ල, ගලේවෙල නගරය සහ සුප්‍රකට කලාවැව එකිනෙක යාවන සේ ඉදිව ඇති ප්‍රධාන මාර්ගයේ දී මුණගැසෙන ගම්මානයකි. තවමත් පිටිසර සිරියාවෙන් මෑත් නොවුණු මෙහි, වියපත් ගැමියන් සමහරෙකුට එවක නිධානය රූ ගත කළ අන්දම හොඳින් මතකය. වසර පනහකට එපිටින් ගාමිණී ලා, මාලනී ලා, ලෙස්ටර් ලා එවක මෙහි පැමිණි අන්දම තවමත් ඔවුන්ගේ මතක මාත්‍රයන් තුළ ශේෂව පවතී. ඒ රස මතකයන් සොයා ඉකුත් දිනක අප දමුණුමුල්ල ගම්මැද්දට ගියෙමු. හැටපස් වියැති “සමන් බණ්ඩාර”  මේ අතීත රස මතකයන් සොයා යන ගමනේ දී මුණගැසුණු අහිංසක ගැමියෙකි. සිනමා සිතුවමේ රූප රාමු අතර අප දකින තැන් දමුණුමුල්ල ගම්මැද්දේ දී සොයා දීමට ඔහු ගත්තේ අපමණ වෙහෙසකි. සමන්, කාලයේ මතක මාත්‍රා අතර මැකී ගිය රසවත් අතීතය යළි සිහිපත් කළේ මෙපරිද්දෙනි. 

“එතකොට මේ හරිය එකම කැලෑව. හරි අමාරුවෙන් තමයි කට්ටිය ගල් උඩ නැග ගෙන රූපගත කෙරුවේ. ඒ කාලේ මේක අපිට හරි පුදුම වැඩක්. ලොකු කැමරා ආම්පන්න උස්ස ගෙන ඉංග්‍රීසියෙන් කතා කර කර කරපු දේවල් මට දැනුත් මතක් වෙනවා. මට මතකයි, කණ්නාඩි දෙකක් දාගත්ත, ඒ තරං උස නැති අහිංසක පෙනුමක් තිබ්බ මහත්තයෙක් තමයි ඉංග්‍රීසියෙන් කතා කර කර කට්ටියට උපදෙස් දුන්නේ. වැඩිම වුණොත් ඒ කට්ටිය මේ පැත්තේ දවස් හතරක් විතර ඉන්ඩ ඇති. අවුරුද්දකට හමාරකට විතර පස්සේ අපේ ගම් පළාතේ ගහපු චිත්‍රපටය පෙන්නනවා කියන ආරංචිය ආවා. අපි චිත්‍රපටිය බලන්ඩ ගියේ කැකිරාවේ රාණි හෝල් එකට. ඒ කාලේ අපි චිත්‍රපටි බලන්ඩ යන්නේ ගලේවෙලට, මැල්සිරිපුරට නැත්නම් කැකිරාවට. චිත්‍රපටිය බැලු‍වට පස්සේ තමයි තේරුණේ නිධානයක් ගන්ඩ බිල්ලක් දෙන සිද්ධියක් තමයි අපේ ගමේ ගහලා තියෙන්නේ කියලා. එදා හය හමාරට චිත්‍රපටිය බලලා අපි කොල්ලෝ කට්ටිය ලංගම බස් එකෙන් ගෙදර ආපු හැටි තාම මතකයි.” 

ගාමිණී- මාලනී නිධානයේ රූප රාමුවක

මිනිස් චෛතසිකයන් හි ස්වභාවය සියුම් ව ප්‍රක්ෂේපණය කරමින් අනුවේදනීය අවසානයක් කරා ප්‍රේක්ෂකයා රැගෙන යන “නිධානය” මෙරට මුල් කාලීන සිනමාවේ ස්වර්ණමය මතකයකි. නිදහසින් එපිට යුගයේ දී මුණගැසෙන ප්‍රකට සහ සම්භාවනීය සාහිත්‍යධරයෙකු වූ “ජී.බී. සේනානායක” හෙවත් ගුණතිලක බණ්ඩා සේනානායකයන්ගේ කෙටි කතාවක් ඇසුරින් මෙරට පුරෝගාමී සිනමාවේ දී “ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්” නිධානය සිනමාවට නැඟීය. ඒ කෙටි කතාවක් අනුසාරයෙන් සිනමාවට නැඟූ ප්‍රථම සහ එකම සිංහල සිනමා කෘතිය ලෙසින් වාර්තා තබමිනි. ජී.බී. සේනානායකයන් 1946 වර්ෂයේ දී පළකරන ලද “පළිගැනීම” නම් කෙටි කථා සංග්‍රහයට නිධානය කෙටිකථාව ද අන්තර්ගතව තිබිණි. 

“ඈ සොයාගැනීමට මා නොගත් ආයාසයක් නැත. මම මාස ගණනක් ම කොළඹ නෘත්‍ය ශාලාවලට දිනපතා ගියෙමි. මා නෘත්‍ය ශාලා වලට ගියේ නෘත්‍ය බැලීමට නොව ඈ සොයා ගැනීම සඳහා ය. මම නෘත්‍ය ශාලා වලට ගොස් එහි ටිකට් විකුණන තැන පසෙක සිට ගෙන එහි එන තරුණ කාන්තාවන් ගේ මුහුණු දෙස මහත් සෝදිසියෙන් බැලිමි. මා නෘත්‍ය ශාලා වලට ආ කාන්තාවන් ගේ මුහුණු බැලු‍වේ ඔවුන් ගේ රූප සෞන්දර්ය බලන අටියෙන් නොව, ඇය හඳුනාගත හැකි ලකුණු ඔවුන් ගෙන් එකියක ගේ මුහුණෙහි හෝ ඇත් දැයි දැනගැනීම සඳහාය. මම කොළඹ නගරයෙහි නෘත්‍ය ශාලාවලට පමණක් නොව කාන්තාවන් රැස්වෙන වෙනත් තැන්වලට ද ගියෙමි. එහෙත් මට ඇය සොයා ගත නොහැකි විය. ඉක්බිතිව මා ගම්වලට ගියේ විශේෂයෙන්ම ගොයම් කපන කාලයෙහිය. ගොයම් කපන කුඹුරුවල ද, ගැහැනු රැස්වෙන වෙනත් තැන්වල ද මම මුහුණු පිරික්සමින් සැරිසැරීමි. එහෙත් මට ඇය සොයා ගත නොහැකි විය.” 

ජී.බී. සේනානයකයන් නිධානය කෙටි කථාව අරඹනුයේ එපරිද්දෙනි. “නිධානය” කෙටිකතාවෙහි ප්‍රධාන චරිතය වන“විලී අබේනායක”ගේ ස්වයං පාපොච්චාරණය, නිධානය කෙටිකතාවට පාදක වී ඇත. ණය බරින් මිරිකී ගිය, පිරිහුණු රදල පවුලකට අයත් විලී අබේනායක, නිධානයක් පිළිබඳ උනන්දු වෙයි. එලෙස නිධානයක් ගැන ඔහු දැනුවත් වෙන්නේ පැරණි පුස්කොළ පොතක එන විස්තරයක් කියවීමෙනි. නිධානය ලබාගැනීමට නම් - නළලෙහි ද, නහය අගද, කම්මුලෙහි ද අනුක්‍රමයෙන් කුඩාවී යන උපන් ලප ඇති ස්ත්‍රියක් බිලිදීමට අවශ්‍යය. එවන් ස්ත්‍රියක සොයා සැරිසරන විලී අබේනායක, අවසානයේ “අයිරින්” නම් ඉහත ලක්ෂණ සහිත ස්ත්‍රිය සොයා ගනී. ඇයව විවාහ කරගන්නා විලී අබේනායක, ඈට මහත් සේ ප්‍රේම කරන අතර ඇය ද අතිමහත් සේ ඔහුට පෙරළා ප්‍රේම කරන්නීය. 

ණය බර වැඩිවී දේපළ ද අහිමිව යෑමේ අවදානම් තත්ත්වයක් ඇතිවූ විට, විලී ගේ සිතෙහි ඇයව මරා නිධානය ලබා ගැනීමේ අදහස නැවතත් මතුව එයි. ප්‍රේමය අබිබවා දිළින්දෙකු වීමේ අවමානය පිළිබඳ හැඟීම දැඩි වීම හේතුවෙන් අවසන ඇයව මරා නිධානය ලබා ගැනීමට ඔහු තීරණය කරයි. කැලයෙහි උස් පර්වතයක මුඳුනෙහි ඇති ගල් දොරක් අබියසට යන විලී, අයිරින් හා එක්ව බහිරව පූජාව පවත්වයි. පිරුවට හැඳ, මන්ත්‍ර කියමින් පූජා පවත්වන ඔහු, අවසන පිහියකින් ඇන අයිරින් මරා දමයි. නියමිත ආකාරයට වත්පිළිවෙත් කොට අයිරින් ද බිලිදුන් නමුදු නිධානය සඟවා ඇති ගල් ගුහාවේ ගල් දොර නොඇරෙයි. අතිශයින්ම කම්පාවට පත්වෙන විලී අබේනායක ජීවිතාශාව අත්හරියි. ජී.බී. සේනානායක ගේ නිධානය කෙටිකතාව සැකෙවින් එලෙසය. නිධානය එතරම් දිගු කෙටි කතාවක් නොවෙනවා සේම, එහි එකදු හෝ දෙබසක් අන්තර්ගත නොවීම ද විශේෂත්වයකි. 

නිධානය සිනමාවට නැගීමේ දී, එහි තිර පිටපත හා දෙබස් ලියනුයේ තිස්ස අබේසේකරයන් විසිනි. කෙටි කතාව තුළ සහ සිනමා සිත්තම තුළ පැහැදිලි වෙනස්කම් කිහිපයක් දැකිය දැකි වුවත්, එමගින් සිනමා ජීව ගුණය වැඩිවී ඇති බවක් මිස, අඩු වූ බවක් නොපෙනේ. නිදසුනක් ලෙස, නිධානය කෙටි කතාවේ විලීට අයිරින් මුණගැසෙනුයේ දුම්රියේ දී ය. එහෙත් චිත්‍රපටයේ දී ඔහුට ඇය මුණගැසෙනුයේ ගං තොටකදීය. එමගින් නෙතට නෙතක් මුණගැසීමේ මොහොතකට අපූර්ව සෞන්දර්යාත්මක බවක් එක් කරයි.

නිධානය වැනි දෙස්, විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ සිනමා පටයක් නිර්මාණය වූ අන්දම සියැසින් දුටුවන් අතරින් අද ජීවත්ව සිටිනුයේ කිහිප දෙනෙකු පමණි. “දමුණුමුල්ල” ගමේ පවා ඒ අතීතය සිහිපත් කළ හැකි ගැමියන් සිටිනුයේ එකෙකු දෙන්නෙකු පමණි. ඔවුන් සොයා ගැනීම ද ඉතා වෙහෙසකර කටයුත්තකි. එහෙත් ඔවුන් මුණගැසීම නිධානයක් අත්පත් වූවා වැනි අත්දැකීමක ආශ්වාදය දනවයි. යන්තමින් අවුරුදු දහයේ දොළහේ කොලු‍ ගැටයෙකුව සිටි අවදියේ ලැබූ මේ අත්දැකීම දමුණුමුල්ල ගමේ හැටහය වියැති “බී.එම්. කරුණාරත්න” ගේ මතකයේ ද ශේෂව පවතී. ඔහු මෙසේ කීය. 

“ගමේ පන්සලේ ගල් තලාව හරියේ චිත්‍රපටියක් ගහනවා කියන ආරංචියට මේ අහල පහළ ගම්වල කට්ටියත් ගියා බලන්ඩ. මට ඒ වෙන කොට අවුරුදු දහයක් දොළහක් විතර ඇති. අනේ අපිත් ගියා බලන්ඩ. ලොකු සෙනගක් හිටියා. මට හොඳට මතකයි මාලනී ෆොන්සේකා, ගාමිණී ෆොන්සේකා එහෙම ඇවිල්ලා හිටියා. ඒ කාලේ නළු නිළියන්ට සැලකුවේ දෙවි ගොල්ලන්ට වගේ. ලොකු පිළිගැනීමක් තිබ්බා. අනිත් එක, ඒ කාලේ රූපවාහිනී එහෙමත් තිබ්බේ නෑනේ. රේඩියෝ එක විතරයි මොන ආරංචියක් හරි දැන ගන්ඩ තිබ්බේ. රෝඩියෝ යන්ත්‍රත් හැම ගෙදරකම තිබ්බේ නෑ. දැන් වගේ පත්තර තිබ්බෙත් නෑ. ඉතිං ඒ හින්දා චිත්‍රපටි කිව්ව හම ගම්වල මිනිස්සුන්ට ඒක පිස්සුවක් වගේ තිබ්බේ.” 

1970 වර්ෂයේ ජූලි මාසයේ දී අරඹා ඇති නිධානය සිනමා පටයේ රූගත කිරීම්, ස්ථාන කිහිපයකට පමණක් සීමා වී තිබීම එහි සිනමාත්මක ජීව ගුණය තීව්‍ර කිරීමට හේතු වී ඇති බව නිරීක්ෂණය වේ. මිනිත්තු 98 ක් පුරා දිවයන නිධානයේ වැඩි කාලයක් රාජගිරිය “ඔබේසේකර වලව්ව” නම් නිවසේ දී රූගත කිරීම් සිදුකොට ඇත. මිනිත්තු දහයකටත් අඩු කාලයකට සීමාවූ රූප රාමු කිහිපයක් ගැනීමට පමණක් අගනුවර සිට මේ සා දුරක් පැමිණීම එක්තරා අන්දමක පුදුමයකි. එකලෙහි පැවැති විවිධ දුෂ්කරතා පිළිබඳව අවධානය යොමු කරන විට, ඒ විස්මය තවත් තීව්‍ර කරයි. එහෙත් ගමේ තුරුගොමු , ගල්පව් අතරේ රූගත වූ නිධානය සිනමා සිත්තම දමුණුමුල්ල ගැමියන් එකෙකු දෙන්නෙකු ගේ හෝ මතකයේ නිධන්ගතව තිබීම වාසනාවකැයි මට හැඟුණේ ගමන අවසානයේ දීය. මේ නිර්ව්‍යාජ ගැමියන්ගේ මතකයන් විවිධ රසයන් ගෙන් පිරී තිබේ. එවක සැබෑම චිත්‍රපට ලෝලියෙකු වූ “නෝමන් අධිකාරි”  සිහිකළේ මෙවැනි අතීතයකි. 

“ඒ කාලයේ අපිට තිබ්බ ලොකුම විනෝදයක් තමයි චිත්‍රපටි බලන එක. මට හොඳට මතකයි ඔය නිධානේ කියන චිත්‍රපටියේ එක කෑල්ලක් ගහන්ඩ කට්ටිය මෙහේ ආවා. මට ඒ වෙනකොට අවුරුදු එකොළහක් විතර ඇති. ඒ ගොල්ලන්නට ඕනැ වෙලා තිබ්බේ ගල් පර්වත වලින් වටවෙච්ච තැනක රඟපාන කෑල්ලක් ගන්ඩ. මාලනී ෆොන්සේකා, ගාමිණී ෆොන්සේකා එහෙම එනවා කියන ආරංචියට අපි කොල්ලෝ කට්ටිය එකතු වෙලා ගියා බලන්ඩ. ඇත්තටම ඒ කාලේ මාලනී ෆොන්සේකා හැබෑම ලස්සනයි. ගාමිණී ෆොන්සේකා නම් ටිකක් ආඩම්බරයි වගේ පෙනුනේ.”

1997 වර්ෂයේ දී සිංහල සිනමාවට වසර පනහක් පිරීම නිමිත්තෙන් චිත්‍රපට සංස්ථාව මගින් පනස් වසරක සිනමාවේ හොඳම සිනමා කෘති දහයක් තෝරා ප්‍රකාශයට පත් කරන ලද්දේය. එහිදී එතෙක් මෙරට සිනමාවේ වඩාත් ප්‍රශස්තම සිනමා කෘතිය ලෙස ප්‍රකාශයට පත් කරනු ලදුයේ “නිධානය” සිනමා සිත්තමයි. “නිධානය” අන්තර් ජාතික සම්මානයට ද පාත්‍ර වූ සිනමා පටයකි. ඉතාලියේ වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී එයට “රජත සිංහ” සම්මානය හිමි විය. ප්‍රංශයේ “සිනේමතෙක්” ආයතනය විසින් ලෝක සිනමාවට සිය වසරක් පිරීම නිමිති කරගෙන 1995 දී ලෝක සිනමාවේ හොඳම චිත්‍රපට 100 හි නම් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ නම් 100 අතරට “නිධානය” ද ඇතුළත් වූයේය. 1999 දී කොරියාවේ 4 වැනි පූසාන් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ 20 වැනි සියවසේ ආසියාවේ නිර්මාණය වූ හොඳම චිත්‍රපට 13 න් එකක් ලෙස ද “නිධානය” නම් කළේය

“බිලි පූජාව කළ නමුත් පර්වතයෙහි වූ දොර නො හැරුණේ ය. මම උමතු වූවෙකු මෙන් මතුරන්නට වීමි. එහෙත් ගල් දොර නො හැරිණ. මම ගලෙහි වූ යකඩ මුද්ද දෑතින් අල්ලා මගේ මුළු ශක්තිය ම යොදා ඇද්දෙමි. එහෙත් දොර නොසෙලවුණේ ය. ඉක්බිතිව මම උස් හඬින් බහිරවයාට කළ යාච්ඤාවෙන් ද පලක් නොවීය. මම ගල් දොර පරීක්ෂා කරන්නට වීමි.  එය ගල් දොරක් නොව පර්වතයෙහි මතුපිට කෙටූ සතරැස් කොටුවක් පමණ ය යන සැකය මා තුළ ඇති විය. පුස්කොළ පොතෙහි සඳහන් කොට ඇත්තේ වෙන පර්වතයක ඇති ගල් ගෙයක් ද යන සැකය ද මා තුළ ඇති වූයේ ය. තවත් ගල් ගෙවල් ඇත්දැයි බැලීමට මා තුළ ආශාවක් නොවීය. දැඩි ශෝකයක් හට ගත්තේය. මට ඈ දෙස තවත් බැලිය නොහැක.” 

අවසන් රූ පෙළ රූ ගතවූ ගල් තලාව අද දිස්වෙන අන්දම

සාහිත්‍යකරුවා සේම සිනමාකරුවා ද නිධානය අවසන් කරනුයේ එවැනි ශෝකී, අනුවේදනීය හැඟීමක් මිනිස් සිත්හි ජනිත කරවමිනි. එවක නිධානය ගොඩගැනීමට දමුණුමුල්ලට පැමිණි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් හෝ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා හෝ දෙබස් ලිවූ තිස්ස අබේසේකර හෝ අද අප අතර නැත. සිනමා තේමාව මනාව කුළුගන්වන දේශීය සිනමා සංගීතයේ කඩඉමක් සේ සැලකිය හැකි නිධානය සංගීතවේදීයා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ද ජීවිත ගමනට සමුදී කලක් ගතවී හමාරය. එපමණක් නොව, සිනමා සිත්තමට විචිත්‍රවත් රූ පෙළක් දායාද කළ කැමරා ශිල්පී එම්.එස්. ආනන්දන් ද අද නැත. නිධානය සිනමා පටයේ දී දකින ශාන්ති ලේඛා, ට්‍රිලීෂියා ගුණවර්ධන වැනි ප්‍රකට රංගන ශිල්පිනියන් ද ජීවිත ගමනට සමුදී අවසන්ය. මේ මොහොත සියැසින් දුටු ගැමියන් වැඩිදෙනෙකුද අද එහි නැත. නිධානය සහපිරිවරට එක්වීමට “මාලනි ෆොන්සේකා” ද ඉකුත්දා අප අතැර ගියාය.  මිය යන්නට මාස කිහිපයකට ඉහතදී නිධානයේ මතකයන් පිළිබඳව මා විසින් කළ විමසීමක දී ඇය පැවසුවේ මෙවැනි කරුණු පෙළකි. 

“මට හරියටම ගම මතක නෑ. ඒත් කොහොම හරි ගලේවෙලට කිට්ටු ගමක තමයි චිත්‍රපටියේ අවසාන හරියේ කොටස් රූගත කෙරුවේ. ඩොක්ට පීරිස් ඒ හරිය තෝර ගෙන තියෙන්නේ වටේම කැලෙන් වැහිච්ච ගල් තලාවක් තිබ්බ නිසා. අපි වාහන වල ගිහිල්ලා කැලේ මැද්දෙන් සෑහෙන දුරක් පයින් තමයි එතෙන්ට ගියේ. ඒ කාලේ ඒ පැත්තේ පාරවල් එහෙම හරි දුෂ්කරයි. ගොඩක් ගුරු පාරවල් තමයි තිබ්බේ. අලි පවා හිටියා පාරවල්වල. අපි ආවා කියන ආරංචියට ඒ අවට ගම්මානවල මිනිස්සු සෑහෙන්ඩ ආවා. ඇත්තටම ඒ කාලේ හරිම සුහදයි ඒ මිනිස්සු. දැන් වගේ නෙමෙයි. අපිව බලන්ඩ තිබ්බ ඕනෑකම හින්දමයි එහෙම ආවේ. අපි දවස් දෙක තුනක් තමයි එහේ හිටියේ.” 

බුල්නෑව ප්‍රදීප් රණතුංග

නිධානය චිත්‍රපටයේ වැඩි කාලයක් රූගත කිරීම් කළ ඔබේසේකර වලව්ව නම් පැරණි නිවස