හිතා මතා කරන ආකෘතික හරඹවලින් කෘතියේ ජීව ගුණය නැති වෙනවා


ශ්‍රී ලාංකික නූතන නවකතාව තුළ සිය අනන්‍යතාව ප්‍රකට කිරීමට සමත් වූ ප්‍රතිභා සම්පන්න ලේඛිකාවක වන කැත්ලීන් ජයවර්ධන මෙරට සාහිත්‍යයට එක් කළ නිර්මාණ දායකත්වය සුළුපටු නොවේ. ඇය ලියූ ‘ඉවුරු’ නවකතාව මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම නවකතාවට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.

කැත්ලීන් ජයවර්ධන ලේඛිකාව සමඟ මෙවර වීමංසා සංවාදය පැවැත්වෙන්නේ ඒ නිමිත්තෙනි.


• ‘ඉවුරු’ නවකතාව කොටස් තුනකින් යුක්තයි. මේ නවකතාවේ චරිත හරහා ඔබ ප්‍රබල සමාජ දේශපාලන යටි පෙළක් ගොඩනගනවා. ඔබේ දේශපාලන ස්ථාවරය ගැන ඉඟියක් මෙයින් ප්‍රකට වෙනවා ද? සාහිත්‍යකරුවා පක්‍ෂ දේශපාලනයට සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතු යැයි ඔබ විශ්වාස කරනවා ද?

“සාහිත්‍යකරුවකුට තමන්ගේ දේශපාලන ස්ථාවරය වුණත් නිර්මාණාත්මකව ඉදිරිපත් කළ හැකියි. ඒත් මගේ පෞද්ගලික විශ්වාසයට අනුව එය ප්‍රකට විය යුත්තේ පක්‍ෂ දේශපාලනය හරහා නොවෙයි. ‘ඉවුරු’ පොත ගැන වරක් සුනන්ද කරුණාරත්න කවියා ප්‍රකාශ කළේ මේ නවකතාව කියැවූවකුට පොතේ කර්තෘ ඉන්නේ කොතැන ද මොන ඉවුරේ ද මොන මතවාදයේ ද යන්න තේරුම් ගන්නට බැරි බවයි.

මිනිසා කියන්නේ දේශපාලන සත්වයෙක් කියන අදහස අපට බැහැර කරන්න බෑ. ඕනෑම පුද්ගලයකුට දේශපාලන මතවාදයක්, දර්ශනයක් තිබෙනවා. එකඟ විය හැකි ප්‍රතිපත්ති ඇති දේශපාලන පක්‍ෂයකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සාහිත්‍යකරුවාටත් තිබෙනවා. ඒත් සාහිත්‍යකරුවා දේශපාලන වේදිකාවකට ගොඩවිය යුතු ද කියන එක නම් මේ වනවිට මට ප්‍රශ්නයක්. සාහිත්‍යකරුවා විවිධ දේශපාලන වේදිකාවලට ගොඩවීම එතරම් ශෝභන දර්ශනයක් විදිහට නෙවෙයි මට නම් පේන්නේ.

‘ඉවුරු’ පොතෙන් මට මතු කරන්න ඕනෑ වුණේ මධ්‍යස්ථභාවයේ අගයයි. පොතේ ප්‍රධාන චරිතය වන දේවමිත්තා මෙහෙණිය වගේම ෂර්ලි පියතුමා, කන්‍යා සොහොයුරිය ආදීන්ගේ කියුම් කෙරුම් හරහාත් යම් කිසි දේශපාලනයක් විදාරණය වෙනවා. ඒත් පොතේ ප්‍රමුඛ චරිතය වන මෙහෙණිය සමාජ දේශපාලන ක්‍රියාකාරකම් හඳුනාගන්න උත්සාහ කරන්නේ අමුතුම මානයකින්. නව මානයකින්. වම් ඉවුරු, දකුණු ඉවුරු හෝ මොනම ඉවුරක්වත් දැන් මේ රටේ සක්‍රීයව පවතිනවා ද කියන ප්‍රශ්නය මෙහිදී මතු කෙරෙනවා.

නිර්ප්‍රභූන්ට සම අවස්ථා උදා කර දීම කියන්නේ ධනහිමියන්ට වෛර කිරීම ද වගේ ප්‍රශ්නත් ඒ අතර තිබෙනවා. දේවමිත්තා මෙහෙණිය කියන්නේ කන්‍යා සොහොයුරියන් හා පල්ලියේ පියතුමන් සමඟත් සමීප සම්බන්ධයක් පවත්වන්නට බිය නොවන බෞද්ධ භික්‍ෂුණියක්. මධ්‍යස්ථව දයා කරුණාවෙන් යුතුවයි ඇය සියල්ලන් සමඟම හැම ගනුදෙනුවකම යෙදෙන්නේ. අප ජීවත් වන මේ සමාජයේ එවැනි චින්තනයක් සහිත පුද්ගලයන් දක්නට ලැබෙන්නේ විරළ වශයෙන්.

උදාහරණයක් ගත්තොත් යුද සෙබළා කියන්නේ එක් කණ්ඩායමකට රණවිරුවෙක් තවත් කණ්ඩායමකට කුලහේවායෙක්. මේ මතවාදවලින් අන්තවාදයෙන් බැහැරව මනුෂ්‍යයකු ලෙසයි මෙහෙණිය සෙබළා හඳුනාගන්නේ.”


• මේ නවකතාවේ ඔබ ගොඩනඟන ආකෘතික නව්‍යතාව විශේෂ එකක්. කපුටකු පවා මේ නවකතාවේ සක්‍රීය චරිතයක් නිරූපණය කරනවා. මිනිස් චරිතයකින් කිව නොහැකි ප්‍රබල යථාර්ථයක් ඔබ මේ හරහා මතු කරනවා. ආකෘතික නව්‍යතාව සහ චරිත ගොඩනැගීමේ සූක්‍ෂමතාව කොහොම ද නවකතාවකදී මතු විය යුත්තේ?
    
“නවකතාවකදී නිර්මාණකරුවා භාවිතයට ගන්නා භාෂාමය ඇතුළු උපක්‍රම ‘ආඛ්‍යාන විධි’ ලෙස සැලකෙනවා. ඕනෑම නවකතාවක ආකෘතිය තීරණය කෙරෙන්නේ නවකතාවේම අන්තර්ගතය මගින්. යථාර්ථයේ හා අද්භූතවාදයේ සංකලනයෙන් බිහි වුණ අපූරු කෘති අපට බොහෝවිට කියවන්න ලැබෙන්නේ ලෝක සාහිත්‍යයෙන්. ලේඛකයාට හෝ නිර්මාණයට ලේබල් ඇලවීම ගැන මගේ ඒ තරම් ප්‍රසාදයක් නැතත් විචාරකයන් මේ කෘති හඳුන්වන්නේ පශ්චාත් නව්‍යවාදී නිර්මාණ ලෙසයි. ඒවා විශිෂ්ට කෘති බවට පත්වන්නේ සම්මත ආකෘති බිඳ දැමීම හේතුවෙන්ම නොවේ යැයි මම සිතනවා.
    
ලෝක සාහිත්‍යයේ සමහර ලේඛක ලේඛිකාවන් අප සිටි තැනින් ඉහළට ඔසවා තැබීමට ඉණිමගක් සපයා දී ඇති බවයි මගේ විශ්වාසය. ඒ නිසා එවැනි ලේඛක ලේඛිකාවන්ගෙන් වගේම විවිධ සාහිත්‍ය ශානරවලිනුත් ආභාසය ලැබීමේ වරදක් නෑ. හැබැයි එය අනුකරණය නම් නොවේ. අනුකරණයේදී කෘතියක ජීව ගුණය වියැකී යන්නේ සිතා මතා කරන ආකෘති හරඹ නිසයි. එය පාඨකයාටත් තේරුම් යනවා.
    
කොළඹ හා තදාසන්න ප්‍රදේශ පසුබිම්ව ලියැවුණ ‘ඉවුරු’ නවකතාවෙන් පාඨකයාට හමුවන කපුටා පිටකොටුවේ බෝ ගසක නිත්‍ය වාසස්ථානය කරගන් කොළඹ කාක්කෙක්. ඒත් මේ අසාමාන්‍ය කපුටා අමරණීයත්වයේ ආශිර්වාදය ලැබූ සාක්‍ෂරතාව ඇති සත්වයෙක්. අතීත වර්තමාන සමාජ දේශපාලන තත්ත්ව දෙස කර දික් කර කර බලමින් හා ඒවා සසඳමින් මේ කපුටා තමාගේ නිරීක්‍ෂණය ඉදිරිපත් කරනවා. කපුටා චරිතයකට යොදාගන්න මම කල්පනා කළේ කතාවේ තේමාවට එවැනි අවශ්‍යතාවක් පැන නැඟුණ නිසයි. මගේ ධාරා නවකතාවටත් ගන්ධබ්බ චරිතයක් ගොඩනැඟුණේ නවකතාවේ අන්තර්ගතයට අදාළවයි. එහිදී තිරිසන් සතුන්ට සිදුවන ආසාධාරණය ගැන කියන්න ඔවුන් හා සංවාදයේ යෙදෙන චරිතයක් නිර්මාණය කළ යුතුව තිබුණා. ඒ හාස්කම කළ හැකි වන්නේ ගන්ධබ්බයකුටම මිස වෙන කෙනකුට නොවේ.”


• ලේඛකයකුගේ සමාජ හා මානව දෘෂ්ටිය අතිශයින් වැදගත්. පවත්නා සමාජයේ මුල් බැසගත් සමාජ, දේශපාලනික, ආගමික හා ජාතික සාම්ප්‍රදායික දෘෂ්ටීන් වෙනුවෙන් ඔබ මේ නවකතාවේ නව දෘෂ්ටියක් මතු කරනවා. ලේඛකයකුට මේ මැදිහත් වීම කෙතරම් අවශ්‍ය ද?
    
“ලේඛකයාගේ දෘෂ්ටිය වැදගත් නැතැයි ඇතැම් අය කියනවා. ඒ වෙනුවෙන් තර්ක විතර්කත් ඉදිරිපත් කරනවා. ඒත් මා විශ්වාස කරන්නෙත් ලේඛකයාගේ දැක්ම වැදගත් බවයි. ලෝක ස්වභාවය තුළ වුණත් තර්කය හසුකරගත නොහැකි අතාර්කික පෙදෙස් තියනවා. ඒ සැඟවුණ ගුප්ත පෙදෙස් හසුකරගත හැකි වන්නේ සංවේදනාවලටයි. සමාජයේ මුල් බැසගත් ආගමික, දේශපාලනික මතවාද දෘෂ්ටිවාද අවිචාරයෙන් පිළිගත යුතු යැයි මා විශ්වාස කරන්නේ නෑ. ඒවා ප්‍රශ්න කිරීමේ අයිතියක් ඇත්තේ සාහිත්‍යකරුවාට පමණක් නොවෙයි. ඕනෑම මනුෂ්‍යයකුට, ඕනෑම පුරවැසියකුට ඒ අයිතිය තියෙනවා. විමර්ශන බුද්ධිය කියන්නේ මනුෂ්‍යයාට පමණක් පොදු සොබාදහමේ වරප්‍රසාදයක්.

ඒත් ප්‍රශ්නය වන්නේ බහුතර මනුෂ්‍යයන් එය පාවිච්චියට නොගැනීමයි. ඔවුන් වඩාත් කැමැති වන්නේ එහෙයියන් වන්න. ඕනෑම කෙනකුට ඕනෑම දිශාවකට ඔවුන් දක්කාගෙන ගිය හැකියි. කිසියම් පුද්ගලයකුට තමාගේ ආගමික විශ්වාස, සංස්කෘතික අනන්‍යතාව රැක ගැනීමේ අයිතිය ඇතත් ඒ අයිතිය පවතින්නේ වෙනත් කෙනකුට වෙනත් ආගමිකයකුට කායික හෝ මානසික පීඩාවක් සිදු නොවන සීමාව දක්වා බවයි මගේ විශ්වාසය. ඒත් ආගමේ නාමයෙන් භීක්‍ෂණ, ඝාතනය පැතිරුණු අවස්ථා තිබෙනවා. ශාස්තෘ දහම් පවා මේ වනවිට කෙතරම් විපර්යාසයකට විකෘතියකට පත්වී ඇද්ද කියන ප්‍රශ්නයට අපූරු පිළිතුරක් සපයන ඛලීල් ජිබ්රාන් නම් විශිෂ්ට චින්තකයාගේ අවධාරණයක් මා ඉවුරු පොතට පූර්විකාවක් වශයෙන් යොදාගත්තා.”


• ඔබේ බොහෝ නවකතා මතුපිට කතාවට එහා ගිය දාර්ශනික පදනමක පාඨකයා රඳවනවා. හැබැයි බොහෝ පාඨකයන් හා විචාරකයන් ඒ දාර්ශනික තලය තේරුම් ගැනීමට අසමත් වූ බවයි පෙනෙන්නේ?
    
“මගේ නවකතාවල ඔබ ඔය කියන දාර්ශනික පසුතලයක් ඇත්නම් විචාරකයා එය තේරුම් ගැනීමට අසමත් වුණත් බුද්ධිමත් පාඨකයාට එය ග්‍රහණය කරගැනීමට අපහසු වුණේ නැතැයි මම සිතනවා.

නවකතාවක යටි පෙළින් යම් ජීවන සත්තාවක්, ලෝක සත්තාවක් ප්‍රකට විය යුතු බවයි මා විශ්වාස කරන්නේ. නවකතාකරුවා දාර්ශනිකයකු විය යුතු බව නොවෙයි ඉන් අදහස් කරන්නේ. ඒත් කිසියම් ප්‍රතිශතයකින් හෝ ඔහු චින්තකයකු විය යුතු බවයි මගේ හැඟීම. විශිෂ්ට නවකතාවකින් බොහෝ විට මට මුණගැසෙන්නේ නිර්මාණකරුවා ඉක්මවා ගිය චින්තකයෙක්. ඒ කාලෙ ලියෝ තෝල්ස්තෝයිගේ, දොස්තයෙවුස්කිගේ පොත් කියවනකොට වගේම මේ කාලෙ ගාර්ෂියා මාර්කේස්ගේ, හරුකි මුරකාමිගේ, ඉසබෙල් අයියන්දෙගේ පොත් කියවනකොටත් මේ චින්තකයා එහෙම නැත්නම් නව චින්තකයෙක් මට මුණගැසෙනවා. අපේ රටේ මහා ගත්කරු ලෙස සැලකෙන මාර්ටින් වික්‍රමසිංහයන් වුණත් නවකතාකරුවකුට වඩා චින්තකයකුට ළංවන බවයි මට නම් පෙනී යන්නේ. ඒ චින්තනය හඳුනා නොගැනුණේ මේ රටේ චින්තකයන් විරල නිසයි. මෙතැනදී මා චින්තකයන් ලෙස අදහස් කරන්නේ ශාස්ත්‍රාලයීය උගතුන් නොවෙයි.”


• අප කලින් කතා කළ නවකතාවේ නිර්මාණාත්මක හා දාර්ශනික තලයට ඔබෙන් ගත හැකි හොඳම උදාහරණයක් වන්නේ ඔබේ ‘සත්‍යකාම’ නවකතාවයි. සත්‍යකාම නවකතාව සාහිත්‍ය සම්මාන ප්‍රදානයන් තුළ පවා මතුව ආවේ නැහැ. ඒත් මෙවර එහි ඉංග්‍රීසි පරිවර්තනය (කේ.ඒ.එන්. පෙරේරා) මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වූ කෘති දෙක අතරට ආවා. මේ ගැන මොකද හිතන්නේ?
    
“ඔබේ ප්‍රශ්නයේ එක් කොටසකට පමණයි මට පිළිතුරු දිය හැකි වන්නේ. ඒ, සත්‍යකාම නවකතාව සම්මාන ප්‍රදානවලින් යටපත් වීම සම්බන්ධයෙන් කිසිවක්ම කියන්නට මට නොහැකි නිසා. කොහොම වුණත් ‘සත්‍යකාම’ ඉංග්‍රීසි පරිවර්තනයට ඇගැයීමක් ලැබුණු විට මට ඇති වුණේ සතුටක්. ‘ඉවුරු’ සම්මානය තරමටම ඇතැම් විට ඊට ද වැඩි යැයි කියන්නට හැකි තරම් ප්‍රමෝදයක්. පොත පරිවර්තනය කළ ප්‍රවීණ පරිවර්තක කේ.ඒ.එන්. පෙරේරා මහතා මේ වැඩේ කළේ මගේ ඉල්ලීමකටවත් ප්‍රකාශකයකුගේ ඉල්ලීමකටවත් නොවෙයි. පොත කියැවීමෙන් තමා ලැබූ චමත්කාරජනක හැඟීම නිසා බවයි ඔහු පැවැසුවේ.
    
මගේ සාහිත්‍ය ජීවිතයේ සාහිත්‍ය ඉතිහාසයේ වැඩිම හා උපරිම පාඨක ප්‍රතිචාර හිමිකරගත් කෘතිය වන්නේ ‘සත්‍යකාම’යි. අවුරුදු දොළහකට පෙර එළි දුටු ඒ පොත සම්බන්ධයෙන් අදටත් පාඨකයන් ප්‍රතිචාර දක්වනවා. සත්‍යකාමට මෙවැනි ඇගැයීමක් ලැබීම ඒ පාඨකයන්ගේත් සතුටට හේතු වන බව නිසැකයි.”

(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)