වෙළෙඳපොළ අර්බුදයේ ඇතුළාන්තය


ලංකාවේ ආර්ථිකය ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් පහළට වැටීම දැන් කාලයක් තිස්සේ සිදුවන දෙයකි. මීට වසර තුනකට පෙර 2018 ඔක්තෝබරයේ සිදු වූ අගමැති පුටු මාරුවක් නිසා රට තුළ හටගත් අවිනිශ්චිත තත්ත්වය හමුවේ මෙම ඉරණමට ලංකාව මුහුණ පෑවේය. ඉන් පසුව නැවතත් 2019 අප්‍රේල් 21 සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ද ලංකාවට ඒ අමිහිරි තත්ත්වයට මුහුණ පෑමට සිදු විය. 2019 දෙසැම්බරය වනවිට අප බී. ශ්‍රේණියෙන් සී ශ්‍රේණියට වැටී සිටියේය. ‘‘සී’’ ශ්‍රේණියට පැමිණි කල්හි රටක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ලෝකයේ මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ගැනීමේ හැකියාව අහිමි වීමය. නොඑසේව කෙසේ හෝ ණය ගත්තත් ඒ අධික පොලියකටය.

අනෙක් අතට බලයට පැමිණෙන විටම ආණ්ඩුව අනුගමනය කළ බදු ප්‍රතිපත්තියේ විශාල වෙනස හිතුවක්කාර තීරණයක් විය. මා ඊට හිතුවක්කාර යැයි කියන්නේ තීන්දුවට අදාළ විශ්ලේෂණයක් අදටත් අපට දකින්නට නැති නිසාය. තිබෙන්නේ විවිධ මත පමණි. එසේ නිශ්චිත විශ්ලේෂණයක් නොමැතිව ප්‍රතිපත්තිමය තීන්දු ගත්විට සිදුවන්නේ ලෝකයේ ආර්ථික ඇගයීම් කරන ආයතනවලට. ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් ජනිත නොවීමය. ප්‍රතිපත්තිමය ආයතන විශ්ලේෂණ මිස මතවාද සැලකිල්ලට ගන්නේ නැත.

ණය පාලනය කිරීමේ නීති මත අනාගතයේ ගෙවිය යුතු ණය වෙනුවෙනුත් මුදල් එකතු කරගැනීමට 2015-2019 අතර කාලයේ දී ආණ්ඩුවට හැකි විය. එවිට එම මුදල් වියදම් කිරීමට නොහැකි අතර සංචිතවල එකතු වේ. එය ඩොලර් බිලියන දෙකක පමණ ඉහළ එකතුවකි. මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ගත නොහැකි තත්ත්වය මත වුවත් ආණ්ඩුව ගෙවීමට ඇති ණය ගෙව්මේ මේ පසුබිමේය. එවිට සිදු වූයේ ගෙවීම් කරන වාරයක් පාසා සංචිත පහළ බැසීමය. එහි ප්‍රතිඵලය වූයේ 2020 දී ලංකාවේ මූල්‍ය සංචිත ශීඝ්‍රයෙන් පහළ වැටීමය. 2021දී වූයේ එහි දිගුවකි.

කොවිඩ් වයිරසය සමග සංචාරක කර්මාන්තයේ වැටීමෙන් තත්ත්වය තවත් නරක්වෙද්දී ආණ්ඩුව එළඹියේ ආනයන සීමා කරන පිළිවෙතකටය. ඩොලර් රටින් එළියට යන මං අවුරන පිළිවෙතකටය.
අනපේක්ෂිත ලෙස ලොව පුරා ව්‍යාප්ත වූ වසංගතයක් හමුවේ ආණ්ඩුවක් ක්ෂණිකව ගත් තීරණයක් හැටියට කෙනකුට එය උපකල්පනය කළ හැකිය. එහෙත් වසංගතය ආරම්භ වී මේ වනවිට වසර එකහමාරකට වැඩි කාලයක් ගතව තිබේ.

එසේ ගත වූ කාලය නිරීක්ෂණය කරද්දී අපට නම් පෙනෙන්නේ ආණ්ඩුව දිගුකාලීන වැඩසටහනක් වෙනුවෙන් ක්‍රියා කර නැති බවය. ඊට හොඳම නිදසුන නම් 2020 වසරේ දී විදේශ විනිමය සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති 18 වතාවක් වෙනස් කර තිබීමය. ඊට හේතුව වූයේ දිගුකාලීන සැලැස්මකින් තොරව තීන්දු ගැනීමය. විශ්ලේෂණයක් නැති තැන ගන්නා තීන්දු වරදී.

එවිට ඒවා නැවත නැවතත් වෙනස් කිරීමට සිදුවේ. මිල පාලන ගැසට්ටු ඊට හොඳ නිදසුනකි. මෙසේ බලද්දී ආණ්ඩුව මේ මොහොතේ මුහුණ දී ඇති මූලික ගැටලුවක් වන්නේ විශ්ලේෂණාත්මක සැලැස්මක් අනුව තීන්දු නොගැනීමය. මේ නිසා සිදුවන්නේ විනිමය අර්බුදය තවත් උග්‍රවීමය. හිතවත් රටවලින් විනිමය හුවමාරු කරගැනීම වැනි ක්ෂණික පියවරවලට යන්නේ ද ඒ නිසාය. එහෙත් මේවා ඉතා කෙටිකාලීන වැඩය.

නිදසුනකට ඉන්දුනීසියාව වසර සියයක දී ගෙවීමට ණය ගනිද්දී ලංකාව බංගලාදේශයෙන් ණය ගන්නේ මාස හයකින් නැවත පියවීමේ පොරොන්දුවෙනි. මෙය ණය ගෙවීම සම්බන්ධයෙන් විසල් වෙනසකි. එවිට අද දවස ගෙවා ගත්තත් මාස හයක දී අප මුහුණ දෙන්නේ උග්‍ර වූ ප්‍රශ්නයකටය. මේ යන ගමන නිසා සිදුවන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාව තව තවත් පහළ වැටීමය.

විදේශ සංචිත පහළ වැටෙනවිට ආණ්ඩුවට ගත හැකි ප්‍රධාන පියවරක් වී තිබෙන්නේ ආනයන සීමා කිරීමය. අනවශ්‍ය ආනයන යන දෙවදන භාවිතයට ආවේ ඒ අනුවය. එහෙත් මෙය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයකි. ලංකාවේ සියලු ආනයන හුදු පරිභෝජනය සඳහා නොවේ. අපනයනයට අවශ්‍ය නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය සැලකිය යුතු තරමක් සපයා ගන්නේ ද ආනයනවලිනි. ලංකාවේ ඇඟලුම් සැකැසුව ද ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය වන රෙදි සපයාගන්නේ ලංකාවට ආනයන කිරීමෙනි. මෙවැනි නිදසුන් තව බොහෝමයකි.

ලෝකයේ නිෂ්පාදන සැපයුම් දාමයෙහි තනි රටේ කටයුතු නැති තරම්ය. එනිසා ආනයන අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන යනුවෙන් වර්ගීකරණය පහසු නැත. ඒ තීන්දුවත් නිසි විශ්ලේෂණයකින් තොරව ගතහොත් දේශීය කර්මාන්ත රැසකට එය ද මරු පහරක් වනු ඇත. මේ දවස්වල විදේශ විනිමය සම්බන්ධයෙන් ගන්නා තීන්දු නැවතත් නිතර වෙනස් වෙනු පෙනේ. එයින් පැහැදිලි වන්නේ කුමක් ද? ඒවා නිසි විශ්ලේෂණයකින් ප්‍රතිවිපාක ගැන සිතා ගත් ඒවා නොවන බවය. තීන්දුවක් ස්ථාවර වන්නේ නිසි විශ්ලේෂණය නිසාය. තීන්දු අස්ථාවර වන්නේ විශ්ලේෂණයක් නැති නිසාය.

එවිට සිදුවන්නේ නැති ප්‍රශ්න නිර්මාණය කරගන්නා තැනට ප්‍රතිපත්ති සම්පාදනය තල්ලුවීමය. කොවිඩ් යනු ස්වභාව ධර්මයෙන් හටගත් ප්‍රශ්නයකි. එහෙත් මේවා එවැනි ස්වභාවික ප්‍රශ්න නොවේ.

ක්‍රියාමාර්ගවලින් නිර්මාණය කරගත් කෘතිම ප්‍රශ්නය. ස්වභාව ධර්මයෙන් හටගන්නා ප්‍රශ්න යම් පමණකට හෝ පාලනය කරගත හැක්කේ ප්‍රතිපත්තිමය තීන්දු මගිනි. එහෙත් දැන් සිදුව තිබෙන්නේ ඒවා තීව්‍ර කර ගැනීමය. විදේශ සංචිත අවුල යනු එසේ වැරැදි පිළිවෙත් නිසා තීව්‍ර කරගත් ප්‍රශ්නයකි. එය කොපමණ අර්බුදයකට ගොස් ඇතිදැයි කිවහොත් මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්හි නිරත ආයතන අනාවැකි පළකරන්නේ 2022 අග වනවිට ලංකාවට ණය ගෙවීමේ හැකියාව අහිමි වනු ඇති බවටය.

අප කළ විශ්ලේෂණ අනුවත් මේ වසරේ අග වනතුරු ලංකාවට ණය ගෙවීමේ හැකියාව තිබේ. ප්‍රශ්නය හටගන්නේ ලබන වසරේදීය. වසර අග දී සංචිත බිංදුවට වැටීමේ අවදානම අපට පෙනේ. එසේ වුවහොත් රටට කිසිදු දෙයක් ආනයනය කිරීමට හැකියාවක් නැත. දැනටත් එවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ආණ්ඩුව ඊට දැනට අනුගමනය කරන පිළිවෙත වී තිබෙන්නේ නියම කරන විනිමය අනුපාතයට වෙළෙඳපොළට ඩොලර් නොසැපයීමය. විනිමය අනුපාතිකය වනාහි ද මිලකි. ඩොලරයක් මිලදී ගැනීමට වැය වන රුපියල් ගණන යැයි කිවහොත් මෙය තේරුම් ගත හැකිය.  

ඩොලරය සම්බන්ධයෙන් ආණ්ඩුව මිලක් කියනවා නම් ඒ මිලට ඩොලර් සැපයිය යුතුය. ඒ සැපයීම නොවන්නේ නම් එය නියම මිල ද කියා ගැටලුවක් ඇතිවේ. මහ බැංකුවෙන් පිටත අවකාශයේ වෙළෙඳපළේ දී ඩොලරයක් රුපියල් 220, 230 හා 240 ලෙසින් මිල නියම වන්නේ ඒ අනුවය. ඇත්තටම රුපියල සම්බන්ධයෙන් එවැනි විශාල කඩා වැටීමක් විය නොහැකිය. මේ සිදුව තිබෙන්නේ මූල්‍ය වෙළෙඳපොළෙන් ඩොලර් ගැනීමට ඇති අපහසුව නිසා කෘතිම මිලක් නියම වීමකි. එය සාමාන්‍ය මිනිසුන්ට තවත් මෙසේ පැහැදිලි කළ හැකිය. සහල්වලට වෙළෙඳපොළ මිලක් තිබේ. එහෙත් නියඟයක් පවතින පසුබිමක හාල්වල මිල වැඩිවේ. හේතුව නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ ප්‍රශ්නයයි. ඩොලරයට සිදුවී තිබෙන්නේ ද එයයි.  

ජාත්‍යන්තර මූල්‍ය මාර්ගෝපදේශ ආයතන සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැක්ම සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තිබේ. නිදසුනකට ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස බලන්නේ මුදල් හෙවත් ණය ලබා ගැනීමේ කෝණයෙනි. එයින් ණය නොලැබෙන්නේ නම් වෙනතක් බැලීමට ආණ්ඩුව කටයුතු කරනවා විය හැකිය. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු හුදු හුදෙක් ණය මූලාශ්‍රයක් වශයෙන් සිතීමම ප්‍රතිපත්තිමය වරදකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනුවෙන් රටකට ලැබෙන්නේ හුදු ණය පමණක් නොවේ. ජාත්‍යන්තර විශ්වාසයයි. එයින් ලැබෙන්නේ රටක ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ සහතිකයයි. ඒ මත සිට ඉන්පසුව ලංකාවට ලෝක මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ගත හැකිය. එය මේ මොහොතේ ලංකාව මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අවුලෙන් එළියට එන්නට මාර්ගයක් පාදන පියවරකි. සැබැවින්ම ලංකාව වැටී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නට අවශ්‍ය වන්නේ හුදෙක් මුදල්ම පමණක් නොවේ. එය ‘විශ්වාසය’ යැයි මම නම් කරමි.

මහ බැංකුවේ නව අධිපති ලෙස පත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා සාර්ව ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය සඳහා සයමාසික පෙරදැක්ම නමින් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේය. මේ වැඩපිළිවෙළ ගැන කබ්රාල් මහතාටත් මහ බැංකුවටත් විශ්වාසයක් තිබිය හැකිය. එහෙත් වැදගත් ප්‍රශ්නය වන්නේ ඒ ගැන ලෝකයටත් ජනතාවටත් විශ්වාසයක් තිබේ ද යන්නයි. කබ්රාල් මහතා සැලැසුම ඉදිරිපත් කරමින් අපනයනකරුවන් ලැබෙන මුදල් රුපියල්වලට හැරවිය යුතු යැයි තරවටුවක් කරයි. ආනයනකරුවන් ද ආනයන සීමා කරගත යුතු යැයි තරවටුවක් කරයි.

මේ තරවටුවලදීම ජනතාවට විශ්වාසයක් ඇතිවන්නේ නැත. එවිට ආණ්ඩුව කරන්න හදන්නේ කුමක්දැයි සැකයක් මතුවේ. මෙහි අප දකින්නේ කෝවිඩ් ව්‍යාප්තියේ දී අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු නොගෙන ජනතාවට දොස් පැවරීමට සමාන තත්ත්වයකි. එහෙත් මේ දොස් පැවරීම ගැන ආර්ථික විද්‍යාත්මකව බැලූ විට ආනයනකරුවන් හා අපනයනකරුවන් සිය තීන්දු ගන්නා බව පෙනෙන්නේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති නිසාය. හෙට විකුණන්නට අවශ්‍ය දේ අද ආනයනය කරන්නා තවත් මාසයකට අවශ්‍ය දේ ආනයනය කර සංචිත කරගන්නවා නම් එතැන ඇත්තේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ සැකයකි.

අස්ථාවරභාවයකි. ආනයනකරුවන් හා අපනයනකරුවන්ට තරවටු කිරීමෙන් ඒ සැකය දුරුකරලිය නොහැකිය. ව්‍යාපාරිකයන් සිය ඩොලර් රුපියල්වලට හරවන්නේ නැත්තේ අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඒවා නැවතත් ඩොලර්වලට හරවා ගැනීම සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතභාවය නිසාය.

ආණ්ඩුව තේරුම් නොගන්නා කරුණ වන්නේ මෙම විශ්වාසය ගොඩ නොනැගීම විසින් ප්‍රශ්නය තවත් උග්‍ර කරනු ලබන බවයි. එනම් ජාතික වශයෙන් රට අභ්‍යන්තරයෙහි ව්‍යාපාරිකයන් හා ජනතාවට ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති කළ ජාත්‍යන්තර වශයෙන් ද විශ්වාසයක් ඇතිවන්නේ නැත. ආණ්ඩුව යථාර්ථය පිළිගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ගන්නා තැනකට ගියහොත් මෙසේ අහිමි වූ විශ්වාසය සැලකිය යුතු ලෙස වර්ධනය කරගැනීමට හැකිය. විශ්වාසය යනු චෝදනා ලබා සිටින්නෙකු නිදහසට කියන කාරණා නොවේ. වැරැදි නිවැරැදි කරගැනීම සඳහා යෝජනා කරන වැඩපිළිවෙළ සෙසු පාර්ශ්ව විසින් පිළිගනු ලැබීමය. එසේ බලද්දී ජාත්‍යන්තර තලයේ පමණක් නොව ජාතික තලයේදී ද විශ්වාසයක් ගොඩ නගා ගැනීමට ආණ්ඩුවට හැකි වී නැත. ආණ්ඩුව දැනට කරන විග්‍රහ සහ සැලසුම් සකස් වී තිබෙන්නේ මේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නය තේරුම් නොගෙනය. එවිට සිදුවන්නේ මේ සැලසුම් ද සියල්ල වැරැදී යාමය. එයින් රට තව තවත් අර්බුදයටම තල්ලු කරනු ඇත.

මේ වනවිට රටේ සාමාන්‍ය ජනතාව උද්ධමනය ඉහළ යෑමේ තත්ත්වයෙන් දැඩි පීඩාවට පත්ව සිටිති. උද්ධමනය ඉහළ යද්දී ආදායම වැඩි නොවීම විශාල ප්‍රශ්නයකි. අනෙක් අතට වැඩි මිලකට හෝ ගැනීමට වෙළෙඳ පොළේ භාණ්ඩ නැත්නම් එය කවර තත්ත්වයක් ද? ප්‍රශ්න කීපයක්ම මීට හේතු වන අතර ණය ප්‍රශ්නය ද ඊට ගැට ගැසේ. ඩොලරය මිල අධික වන විට ආනයනකරුවන්ට එය බලපායි. බැංකුවෙන් ඩොලර් ගත නොහැකි නම් ඔවුන්ට කළු කඩයෙන් හෝ ඩොලර් මිල දී ගැනීමට සිදුවේ.

ඩොලරයට වැඩි මිලක් ගෙවා භාණ්ඩ ආනයනය කළ විට දේශීය වෙළෙඳපොළේ දී යළි ඒවායේ මිල වැඩිවේ. ඒ මිල ගෙවන්නට සිදුවන්නේ පාරිභෝගිකයාටය. එහෙත් මේ උද්ධමනය ආණ්ඩුවට වාසිය. ආණ්ඩුව මේ වනවිට ලෝක වෙළෙඳපොළෙන් ගත නොහැකි ණය පංගුව ආවරණය කරගන්නේ සාමාන්‍ය ජනතාවගෙනි. භාණ්ඩවල මිල ඉහළ යෑම නිසා වැඩි මිලක් ගෙවීමට සිදුවුව ද ජනතාව බැංකුවේ කළ ඉතිරිවීම්වලට ලැබෙන්නේ එකම පොලියකි. මෙය ආණ්ඩුවට වාසියකි.

නිදසුනකට 2002 වනවිට රටේ ණය ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් තිබුණේ සියයට 105 ක් වශයෙන් ඉහළ අගයකය. මේ අගය පහළට ගෙන ඒමේ දී රජයට වැදගත්ම සාධකයක් වූයේ උද්ධමනයයි. 2010 පමණ වනවිට එය අතිශය තීව්‍ර වූ අතර උද්ධමනය අඩු කර ගත්තේ මෑතකදීය. ගිය වසරේ සිට නැවතත් එය වැඩි වෙමින් තිබේ. මෙහිදී අප දකින්නේ ජනතාවගේ හා රජයේ අවශ්‍යතා පරස්පරවීමකි. උද්ධමනය ජනතාවට ප්‍රශ්නයක් වුවත් ණය බරින් මිරිකෙන අවස්ථාවක එය රජයට වාසියක් වීම ඊට හේතුවයි. ඉතින් ජනතාවගේ ප්‍රශ්නය විසඳන්නට ගිය විට ණය ප්‍රශ්නය උග්‍ර වන අතර ණය ප්‍රශ්නය උග්‍ර වන විට නැවතත් ජනතාවගේ ප්‍රශ්න උග්‍ර වේ. මෙවැනි අවස්ථාවක ආශ්චර්ය විසඳුමක් නැති බව අවධාරණ කටයුතුය. විසඳුමක් සොයන විට කාට හෝ රිද්දන්නට සිදුවේ. කවුරු හෝ ඒ වන්දිය ගෙවිය යුතුය. එහෙත් ආණ්ඩුව කරන්නේ විසඳුම් වෙනුවට අලුත් ප්‍රශ්න ද නිර්මාණය කරගැනීමය.

පොහොර ප්‍රශ්නයේ දී වෙරිටේ රිසර්ච් ආයතනය රට පුරා ගොවීන් 1040 දෙනකු සම්මුඛ කරගෙන සමීක්ෂණයක් කළේය. එහිදී ඔවුන්ගේ පිළිතුරේ මුඛ්‍යාර්ථය වූයේ කාබනික වගාව හොඳ වුවත් මේ කාලයේ දී පොහොර සපයා ගත නොහැකි වුවහොත් අස්වැන්න අඩුවීම නොවැළැක්විය හැකි බවයි. සියයට පනහකට වැඩි පිරිසක් කීවේ අස්වැන්න සියයට හතළිහකට වඩා අඩුවන බවයි. ගොවීන්ගේ ආදායමත් අඩු වී මහජනතාවට වැඩි මිලක් ආහාරවලට ගෙවීමට සිදුවේ.

අනෙක් අතට රසායනික පොහොර නතර කර ඒ වෙනුවට රසායනික පොහොරවලින් නිෂ්පාදනය කළ ආහාර ආනයනය කරන්නට සිදුවේ. මෙයින් ගොවීන්ටවත් ජනතාවටවත් වැඩක් නැත. වාසිය විදේශ සමාගම්වලටය. මේවා ණයට අදාළ නොවන කෘතිම ප්‍රශ්නයකි. නිතර ප්‍රතිපත්ති වෙනස්කිරීමෙන් අවිනිශ්චිතභාවයක් නිර්මාණය කිරීම ද එවැනිම කෘතිම ප්‍රශ්නයකි. එවිට ව්‍යාපාරිකයන් කරන්නේ අවිනිශ්චිතභාවයට පිළිතුරක් හැටියට ලාභ රේට්ටුව ඉහළ දැමීමය. එය නැවතත් ගෙවන්නේ මහජනයාය. මෙවැනි ඉරණමක් මැද මහ බැංකු අධිපතිවරයා තම කතාවේදී කීවේ ලංකාව යනු ආශ්චර්යමත් රටක් බැවින් ආශ්චර්යවත් දේ සිදුවිය හැකි බවය. එහෙත් ආර්ථික විද්‍යාවට අනුව නම් එවැනි ආශ්චර්යක් කළ හැකි පුද්ගලයකු හෝ ආයතනයක් අපට පෙනෙන්නට නැත. ආශ්චර්යක් වනතුරු වැය කරන කාලය විශ්ලේෂණාත්මකව මේ ප්‍රශ්නය දෙස බැලීමට වැය කළහොත් අඩුම තරමින් විසඳුමකට පාරක් කපාගත හැකිය. නොඑසේව රට අවුලෙන් අවුලට යෑම නොවැළැක්විය හැකි වනු ඇත.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)