බුරුල් වූ හදිසි නීතිය



ඉකුත් අගෝස්තු 20 වැනිදා ගැසට් පත්‍ර හතරක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාවට නංවන ලද හදිසි තත්ත්වයෙන් ආණ්ඩුව අපේක්ෂා කළ ප්‍රතිඵල ලැබී තිබේද? එසේ කුමක් හෝ යහපත් ප්‍රතිඵලයක් ලැබී තිබේ නම් ඒ මොනවාද?

එසේ කිසිදු යහපත් ප්‍රතිඵලයක් ලැබී නැත්නම් ඉන් අදහස් කෙරෙන්නේ එම හදිසි නීතිය තවදුරටත් පවත්වා ගෙන යාමේ ප්‍රයෝජනයක් නැති බවයි. එසේ නම් සහල් හා සීනි සඳහා නියම කරන ලද පාලන මිල පසුගිය 27 වැනිදා ඉල්ලා අස්කර ගත්තා සේ ආණ්ඩුව හදිසි නීතියද ඉවත්කර ගන්නේද?

හදිසි නීතිය සාමාන්‍ය නීතිය මෙන් සැමදා පවත්වාගෙන යා හැක්කක් නොවේ. හදිසි නීතිය යනු  එක්තරා ආකාරයක මර්දනකාරී නීතියකි. ඒවා සාමාන්‍ය  ජනතාවට එරෙහිව යොදා ගන්නා බවක් මෙතෙක් මේ රටේ පනවනු ලැබූ කිසිදු හදිසි නීතියකින් කියවී නැත. ඒවා ප්‍රකාශයට පත් කළ ආණ්ඩුවද එසේ ඒවා සාමාන්‍ය ජනතාවට එරෙහිව යොදා ගන්නා බවක් පවසා නැත. එහෙත් එය ආයුධයකි. එය ඕනෑම කෙනකුට එරෙහිව යොදාගත හැක්කකි.

නිදහසින් පසු ජාතිවාදී කෝලාහල, ආයුධ සන්නද්ධ කැරැලි, කුමන්ත්‍රණ වැනි තත්ත්වයනට මුහුණ දීම සහ මෙතෙක් පැවැති ආණ්ඩු හදිසි නීතිය පවා ඇත. එහෙත් මූලික අරමුණ ඒවා වුවද සෑම ආණ්ඩුවක්ම පාහේ එම හදිසි නීති තම අයිතීන් ඉල්ලා  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන්නන් හා ශිෂ්‍ය අරගල මර්දනය සඳහා ද යොදාගෙන තිබේ.

හදිසි නීතිය පැනවීමේදී ඒ ඒ ආණ්ඩු ඊට හේතු වශයෙන් යහපත් අරමුණු ප්‍රකාශ කරන හෙයින් මූලික වශයෙන් ජනතාවගෙන්  බහුතරය ඊට විරුද්ධ වන්නේ නැත. ඊට විරුද්ධ වන්නේ විරුද්ධ පක්ෂයි. ඒ පවතින ආණ්ඩුව එම නීතිය තමන්ගේ උද්ඝෝෂණ ආදියට එරෙහිව ද යොදා ගන්නා හෙයිනි.

වෙනෙකක් තබා ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර යුද්ධය පැවති කාලයේදී එම අනාරක්ෂිත  තත්ත්වය  යටතේ පනවනු ලැබූ හදිසි නීතියටද ඒ ඒ කාලවල සිටි විරුද්ධ පක්ෂ එරෙහිවී  ඇත.

මේ අතර ඇතැම් අවස්ථාවලදී ඇතැම් ආණ්ඩු දේශපාලන අරමුණු සඳහා ද හදිසි නීතිය යොදාගෙන තිබේ. උදාහරණයක් වශයෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් පාර්ලිමේන්තුවට යොමු නොකොට හදිසි නීතිය උපයෝගී කොට ගෙන සංශෝධනය කළේය. ඒ උතුරු හා නැගෙනහිර පළාත් පරිපාලනමය වශයෙන් ඒකාබද්ධ කිරීම සඳහා.

1987 දී ඉන්දු-ලංකා ගිවිසුමේ වගන්ති අනුව සම්මත කරන ලද පළාත් සභා පනත අනුව උතුරු හා නැගෙනහිර පළාත්  ඒකාබද්ධ කළ යුතුව තිබුණේ දෙමළ සන්නද්ධ සංවිධාන තමන් සතු ආයුධ රජයට භාරදීමෙන් පසුවය. එහෙත් කොටි සංවිධානය පමණක් ආයුධ භාර දීමට එකඟ වූයේ නැත. එම සංවිධානය 1987 සැප්තැම්බර් මාසයේදී එම සංවිධානයේ යාපනයේ නායක රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් උපවාසයක් කොට මියයාමත් සමඟ එකල මෙරට සිටි ඉන්දීය හමුදාවට හා ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව පහරදීම් ආරම්භ කළේය.

ඒ තත්ත්වය යටතේ ඉන්දු - ලංකා ගිවිසුම යටතේ උතුරු  හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ නොහැකි විය. එහෙත් එසේ කළ යුතු බවට ඉන්දියාව කළ බලපෑමට යට වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හදිසි නීති ප්‍රතිපාදන යටතේ පළාත් සභා පනත සංශෝධනය කළේය. ඒ අනුව දෙමළ සංවිධාන නිරායුධ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ  වී ඇතැයි ජනාධිපතිවරයා සෑහීමකට පත්වන්නේ නම් පළාත් දෙක ඒකාබද්ධ කළ යුතු විය. එදා උතුරු  හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ  කෙරුණේ එසේය.

1971 අප්‍රේල් කැරැල්ලට මසකට පෙර එම වසරේ මාර්තු 6 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ තරඟකාරී කල්ලියක් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහරදීමත් රටේ තැන තැන ජවිපෙ සාමාජිකයන්  බෝම්බ තනමින් සිටියදී හා සඟවා තිබියදී ඒවා පුපුරා යාමත් නිසා ඇගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මිය 1971 මාර්තු 16 වැනිදා හදිසි නීතිය පැනවූවාය. එසේ පැනවූ හදිසි නීතියට කැරැල්ලක් මර්දනය කිරීමේ අරමුණට වඩා දරුණු අරමුණුද ඇතුළත් විය. එනම් මරණ පරීක්ෂණයකින් තොරව මළසිරුරු වළලා දැමීමට හා පුළුස්සා දැමීමට ආරක්ෂක අංශවලට බලයදීමක් ඉන් සිදුවිය. මෙය ඉවක් බවක් නැතිව මිනිස් ඝාතනයට දෙන ලද බලපත්‍රයක් මෙන් විය.

මෙවැනි අතීත සිදුවීම් නිසා හදිසි නීතිය පිළිබඳව දේශපාලන අවබෝධයක් ඇති කිසිවකුගේ ප්‍රසාදයක් නැත. වත්මන් හදිසි නීතිය පනවනු ලැබුවේ ඒ පසුබිම තුළය. එම හදිසි නීතිය පනවනු  ලැබීමට බලපෑ ආසන්නතම වටපිටා තත්ත්වය  වූයේ ව්‍යාපාරිකයන් කණ්ඩායමක් සහල්, සීනි වැනි ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා, භාණ්ඩ හිඟයක් මවා ඒවායේ මිල දෙතුන් ගුණයකින් ඉහළ දැමීමය.

පසුගිය වසරේ අවසානය  වනවිට රටේ සීනි කිලෝවක මිල වූයේ රුපියල් 110ක් පමණය. මෙම මිල  අඩුකිරීමට යැයි කියමින් ඒ වනවිට දැඩි මූල්‍ය දුෂ්කරතාවකට මුහුණ දී සිටි රජය සීනි කිලෝවක් සඳහා රුපියල් 50ක්ව තිබූ ආනයන  බද්ද ශත 25 දක්වා අඩු කළේය. මෙය ආනයන බද්ද මුළුමනින්ම ඉවත් කිරීමක් බඳුය. එසේ බදු අඩු කළ ආණ්ඩුව සීනි කිලෝව සඳහා රුපියල් 85ක මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළේය.  එහෙත් ව්‍යාපාරිකයෝ එම ගැසට් පත්‍රය නොසලකා හැර අඩු කළ බදු මුදල් වාසිය ද ලබාගෙන සීනි මිල වැඩි කළහ. සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 220 දක්වා ඉහළ ගියේය.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිවක් කළේ නැත. තමන්ට කළ හැකි දෙයක් නැතැයි ඇමැතිවරයෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එහෙත් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනත හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිපනත මගින් මෙම තත්ත්වය පාලනය කිරීමට බලධාරීන්ට නීතිමය බලය දී තිබිණි. සීනි ආනයනය කළවුන් දන්නේ නම් ඔවුන් නීතියට කොටු කිරීමට හැකියාව තිබිණි. එසේ සිදු නොවීය.

පසුගිය අගෝස්තු මාසය වනවිට රටේ සහල් හිඟයක් තිබිය නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන දෙස බලවිට පෙනේ. එසේ තිබියදී ආණ්ඩුව ගැසට් පත්‍ර මඟින් කිලෝව රුපියල් 98ට මිල නියම කරන ලද සහල් රුපියල්  140 ඉක්මවා යාමට හේතුවක් නැත. ඇතැම් සහල්වල මිල කිලෝව රුපියල් 230 දක්වා ඉහළ ගියේය.

ආණ්ඩුව අගෝස්තු 30 වැනිදා හදිසි නීතිය පැනවූයේ මෙම තත්ත්වය පාලනය කිරීමට යැයි කියමිනි. ඒ සඳහා ගැසට් පත්‍ර හතරක් ප්‍රකාශයට පත් කෙරිණි.  එකකින් පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා තමන් හදිසි නීතිය පනවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයට පත් කොට තිබිණි. මහජන ආරක්ෂක පනත යටතේම ප්‍රකාශයට පත් කරන ලද තවත් ගැසට් පත්‍රයක් මගින් එම හදිසි නීතිය ක්‍රියාත්මක වන ආකාරය නිවේදනය කරනු  ලැබ තිබිණි.

ඉන්පසු එදිනම ප්‍රකාශයට පත් කරන ලද තුන්වැනි ගැසට් පත්‍රයකින් හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා පත්කරනු ලැබීය. සිව්වැනි ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබීය. සිව්වැනි ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ තිබුණේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේය. එමගින් අත්‍යාවශ්‍ය සේවා වශයෙන් සැලකෙන්නේ කුමන සේවාද යන්න ජනාධිපතිවරයාගේ ආඥාවක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණි.

නව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා එම තනතුරට පත්වූ වහාම අනවසරයෙන් පවත්වාගෙන යනු ලබන සීනි සහ සහල් ගබඩා වටලා සඟවා තබා ගනු ලැබ තිබූ සිනි හා සහල් ටොන් දහස් ගණනක් අත්අඩංගුවට ගන්නට පියවර ගත්තේය. එහෙත් ඉහතින් දැක්වුණු දෙවැනි ගැසට් නිවේදනය යටතේ එම භාණ්ඩ රාජසන්තක කිරීම නොව මිලදී ගැනීමට රජයට සිදුවිය. මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සහල් සහ සීනි සඳහා පාලන මිල නියම කරමින් සැප්තැම්බර් 3 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එහෙත් එමගින් සීනිවල මිල වශයෙන් නියම කරනු ලැබ තිබුණේ කිලෝවකට රුපියල් 50කට ආසන්න බදු සහනයක් ව්‍යාපාරිකයන්ට දෙමින් ආණ්ඩුවම මීට පෙර නියම කරන ලද රුපියල් 85 නොව ඊට වඩා රුපියල් 37ක් පමණ වැඩි මිලකි.


කෙසේ  වෙතත් ව්‍යාපාරිකයෝ සහ සහල් මෝල් හිමියෝ එම  මිලට භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කළහ. අනවසර ගබඩා වැටලීම්ද නතර විය.  වෙළෙඳපොළේ යළිත් භාණ්ඩ හිඟයක් ඇතිවිය. සහල් මෝල් හිමියන්ගේ සහයට ඇතැම් ගොවීහුද ඉදිරිපත් වූහ. ඔවුන්ගේ තර්කය වූයේ රජයේ සහතික මිලට සහල් විකුණන්න ගියොත්  මෝල් හිමියන් තමන්ගෙන් මිලට ගන්නා වී වල මිල පහත වැටෙනු ඇති බවය.

 අවසානයේදී සහල් මාෆියාව මට්ටු කරන බව ඇමැතිවරුන් කළ ප්‍රකාශ හාස්‍යයට ලක් කරමින් ආණ්ඩුවම සැප්තැම්බර් 27 වැනිදා සහල් හා සීනි සඳහා වූ පාලන මිල ඉවත් කර ගත්තේය. ඒ සමඟම මහා පරිමාණ සහල් මෝල් හිමියෝ සහල් සඳහා  තමන්ගේ මිල ප්‍රකාශයට පත් කළහ. එය රජය ප්‍රකාශයට පත් කර  තිබූ පාලන මිල හා ව්‍යාපාරිකයන්  කලින් අතිවිශාල ලාබයක් ලබමින් සහල් විකුණූ මිල යන දෙක අතර වූ මිලක් විය. රජය පසුබැස ඇති තත්ත්වය යටතේ ජනතාවට එම මිල පිළිගැනීම හැර කළ හැකි අන් දෙයක් නැත.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ප්‍රකාශනයේ මෙසේ සඳහන් වේ.‘‘ශ්‍රී ලංකාව වසංගත තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙසේ කිරීම අවස්ථානුකූල යැයි මා අදහස් කරන හෙයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන මම... අත්‍යවශ්‍ය  ආහාර සැපයීම  සඳහා වන හදිසි නීති රෙගුලාසි ශ්‍රී ලංකාව  මුළුල්ලේම දෙදහස් විසි එකක්වූ අගෝස්තු මස 30 වැනි දින මේ මොහොතේ සිට ක්‍රියාත්මක විය යුතු යැයි මේ ප්‍රකාශයෙන් ප්‍රකාශ කරමි.’’

ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා  නිසි පරිදි පවත්වාගෙන යාම පමණක්ම හදිසි නීතියේ අරමුණ බව පැහැදිලිය.

එසේම හදිසි නීතිය ක්‍රියාත්මක ආකාරය පැහැදිලි කරන ගැසට් පත්‍රයේ ආරම්භයේ මෙසේ සඳහන් වේ. ‘‘සහල්, සීනි  ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම, බෙදා හැරීම, අඩපණ කිරීම, අධික මිල ගණන් අය කිරීම හා පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරන වෙළෙඳපොළ අක්‍රමිකතා ඇති කිරීම ආදී කටයුතු වැළැක්වීම සඳහා සහ පාරිභෝගික ජනතාවගේ සුබසිද්ධිය සඳහා කටයුතු කිරීම මෙම නියෝගයේ අරමුණ  වේ.
ඒ අනුවද හදිසි නීතියේ එකම අරමුණ හිඟයකින් තොරව භාණ්ඩ ලබාදීම හා අධික මිල මඟින් ජනතාව සූරාකෑම වැළැක්වීම බව  පැහැදිලිය. එහෙත් එම හදිසි නීතිය යටතේ රජය ගන්නා ලද  ක්‍රියාමාර්ග පරාජය විය. ව්‍යාපාරිකයෝ ජයගත්හ. ඔවුන් රජයේ පාලන  මිල රජයටම  ඉල්ලා අස්කර ගන්නට සැලැස්වූයේ මෙම හදිසි නීතියේ අරමුණට පටහැනිවූ භාණ්ඩ සැඟවීම  මඟිනි.

මේ අනුව වත්මන් හදිසි නීතියේ ප්‍රධාන අරමුණ ඉටු කළ නොහැකි බව රජයම පිළිගෙන  ඇති බව පෙනේ.  එසේ නම් මෙම හදිසි නීතිය තවදුරටත් අවශ්‍යද යන ප්‍රශ්නය මතුවේ. දැන් මෙම හදිසි නීතියෙන් කළ  හැක්කේ ඇමැතිවරුන්ම මාෆියාවකැයි හැඳින්වූ ව්‍යාපාරිකයන් හා මෝල් හිමියන් මට්ටු කිරීම නොව අත්‍යවශ්‍ය සේවා ලෙස හඳුන්වනු ලැබ ඇති ක්ෂේත්‍රවල සේවකයන් තම අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණය කළහොත් ඒවා මැඬලීමය. ඒ සඳහා ප්‍රතිපාදන මෙම ගැසට් නිවේදනවල සඳහන්ය. එය ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වී යැයි යමෙක් පවසන්නේ නම් එය දේශපාලන වශයෙන්  ද්වේශසහගතය. එහෙත් ආණ්ඩුවට එසේ සේවක ඉල්ලීම් මර්දනය කරන්නට අවශ්‍ය නම් මෙම හදිසි නීතිය යොදා ගත හැකි බවද පිළිගත යුතුව තිබේ.

හදිසි නීතිය ක්‍රියාත්මක ආකාරය පැහැදිලි කරන ගැසට් පත්‍රය අනුව අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරනු ලැබ ඇති ක්ෂේත්‍රවල වැඩ වර්ජකයන් ‘‘තම සේවය එකෙනෙහිම අවසන් කළ බව හෝ ඉන් ඉවත්වූ ලෙස’’ සැලකිය යුතුය. ඊට අතිරේකව වරදකට  වරදකරුද විය යුතුය.

මෙම හදිසි නීතිය එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේද අවධානයට ලක්වී තිබේ. මානව හිමිකම් පිළිබඳ එ.ජා.මහ කොමසාරිස් මිචෙල් බැචලේ පසුගිය සැප්තැම්බර් 13 වැනිදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාචික වර්තාවෙන් පවසා තිබුණේ මෙම හදිසි නීති රෙගුලාසි ඉතා පුළුල් බවත් එය සිවිල් කටයුතුවල හමුදාවේ භූමිකාව තවත් පුළුල් කළ හැකි බවත් ඇගේ කාර්යාලය මෙම හදිසි නීතිය ක්‍රියාත්මක වන ආකාරය ඉතා සමීපව නිරීක්ෂණය කරන බවත්ය.

ඇය පවසන ආකාරයට මෙමගින් සිවිල් කටයුතු තුළ හමුදාවේ භූමිකාව තවදුරටත් පුළුල් වන්නේ කෙසේද යන්න පැහැදිලි නොවුවද අරමුණ ඉටුකර ගත නොහැකි  හදිසි නීතියක් තවදුරටත් පවත්වාගෙන යාමේ තේරුමක් නම් නැත.

(*** එම්.එස්.එම්. අයුබ්)