ප්‍රේමදාස සංවර්ධන මොඩලය


හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වැනි අනුස්මරණය අදට (01) යෙදේ.

මේ ලිපිය ඒ නිමිත්තෙනි...

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත් බොහෝ අයගේ මතකයේ තිබෙනවා නොඅනුමාන ය. මෙරට සමාජයේ මෑතකාලීන දේශපාලන ප්‍රවණතා අධ්‍යයනය කරන්නකුට මග හැර යා නොහැකි සංවර්ධන සම්ප්‍රදායක්  එකතු කළ විශිෂ්ට ගණයේ දේශපාලනඥයෙකු ලෙසින් ඔහු එක් පැත්තකින් අගය කරන බව සැබෑවක්ය.

එයින් එපිටට තල ගණනාවකම සාකච්ඡා කළ හැකි මැදිහත්වීම් ගණනාවක්ම ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් පෙන්නුම් කෙරේ. මා මෙම ලිපියේ සාකච්ඡා කරන්නේ බහුවිධ පරාසයක විසිරී පවතින ඔහුගේ ජනතා සේවය පිළිබඳවය. ඒ සියල්ලෙන් පෙන්නුම්  කෙරෙන එක් නිගමනයක් වන්නේ මෙරට සමාජයට නව සංවර්ධන මොඩලයක් ඔහු වෙතින් යෝජනා වූ බවය. වඩාත් ශාස්ත්‍රීය භාෂාවෙන් කියන්නේ නම් පශ්චාත් යටත් විජිත ශ්‍රී ලාංකික දේශපාලනයේ බටහිර ආකෘතින් මෙරටට ගලපාගත් සහ ස්වදේශිකත්වය මුල්කරගත් නව සංවර්ධන මොඩලයක් ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ  ක්‍රියාකාරිත්වයෙන් ගොඩනගා ගත හැකි බවයි.

ඔහුගේ ගුණානුස්මරණය වඩාත් ඵලදායක වන්නේ එවැනි පදනමකින් ප්‍රේමදාස මැදිහත්වීම (Premadasa intervention )  කියවීමෙන්ය.

 

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට නව අරුතක්

මගේ නිරීක්ෂණයේ පළමු කාරණය වන්නේ ප්‍රේමදාස මහතා මෙරට ප්‍රජාතන්ත්‍රීය ආකෘතිය පිළිබඳව ඉදිරිපත් කර තිබූ වැදගත් අදහසක්ය.  යටත් විජිත පාලනය නිමාවීමත් සමග මෙරට හඳුන්වා දුන් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ හෙවත් ‘ජනතාවගේ අභිමතයෙන් පත්වන පාලනය’ පිළිබඳ සංකල්පය සමහර නායකයන් පාවිච්චි කළේ වසර 05 වතාවක් ජනතාවගේ එකඟතාව ලබාගෙන ‘තමන් කැමති දෙයක්’ සිදුකිරීමේ ක්‍රමවේදයයි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථය වසර 05කට එක් වතාවක් පමණක් ජනතාවගේ අභිමතය විමසීමට සිදු කරන භාවිතාවක් බවට පත් වුණේ ඒ ආකාරයටය. ප්‍රේමදාස මහතා මේ කාරණය පිළිබඳව වෙනත් හැදෑරීමක සිටි බව පෙනී යන්නේ ඔහු 1973 වර්ෂයේ කොළඹ රොටරි සමාජයේ පැවැත්වූ ප්‍රමුඛ දේශනය දෙස බැලූවිටය.

විශේෂයෙන්ම ඔහු යෝජනා කරන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්දායක භූමිකාව, වසර 05කට වරක් ඡන්දය පාවිච්චි කිරීමෙන් නවතින්නේ නැතිව, සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා රජය ගනු ලබන ප්‍රතිපත්ති තීරණ සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන් සඳහා නිරන්තර සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක කළ යුතු බවයි. ප්‍රේමදාස මැතිතුමා 1970 දශකයේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙසින් ඉදිරිපත් කළ මේ අදහස 1990 දශකයේ දාර්ශනික වශයෙන් සාකච්ඡා වන Deliberative Democracy  හෙවත් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ න්‍යායට ඉතාමත් කදිමට ගැළපෙන සංකල්පයකි. මේ අදහස ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් ලෙසින් ප්‍රේමදාස මහතා 1989 හඳුන්වා දුන් ග්‍රාමෝදය මණ්ඩල ක්‍රියාන්විතය තේරුම් ගත හැකි බව මාගේ අදහසය.

ප්‍රාදේශීය සභාව ලෙසින් එක් පැත්තකින් නව ග්‍රාමීය / නාගරික පාලන ව්‍යුහයක් ගොඩනගමින් ග්‍රාමීය හා නාගරික පුරවැසි සහභාගිත්වය නිර්මාණය කළ ප්‍රේමදාස මහතා තමන්ගේ ග්‍රාමෝදය සංකල්පයෙන් එම ක්‍රියාදාමයේ කුඩාම එ්කකය වන ගම  ‘‘සංවාදශීලි මණ්ඩපයක්’’ බවට පරිවර්තනය කළේය.  ගමක් තුළ සිටින ප්‍රජා නායකයන් වන ආගමික නායකයන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ විදුහල්පතිවරුන්, ග්‍රාමීය ප්‍රජා මූල සංවිධානවල ප්‍රධානින් ඇතුළු කණ්ඩායම් නායකයන් එක් කර ග්‍රාමෝදය මණ්ඩලය පිහිටවනු ලැබුවේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ ග්‍රාමීය ආදර්ශය  හෙවත් ‘‘මොඩල් එකක්’’ ලෙසින්ය. එසේම  ජනසවිය වැඩසටහනට ප්‍රජා ක්‍රියාකාරීත්ව කොටසක් එක් කිරීමට තේරුම් ගත යුත්තේද එතුමන් ගේ චින්තනයේ තිබූ ‘‘inclusive’’හෙවත් ඇතුළත්වීම්වාදී මානසිකත්වයයි. රටේ ජනතාව දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදයට ගැට ගැසී ඇති තත්ත්වයක් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවතට සමාජය ගමන් ගන්නා බව ඔහුගේ තේරුම් ගැනීම වූ බව පැහැදිලිවම පෙනීයන කාරණයකි. ඒ හේතුවෙන් ජනතාව ප්‍රතිපත්තිකරණ  ක්‍රියාවලියෙන් බැහැර කෙරෙන බව ඔහු පිළිගත් කාරණයක් විය. ජනසවිය වැඩසටහන තුළ හුදු ආර්ථික  පරිත්‍යාගයක් ලබාදීමේ ක්‍රියාවලියක් නොව ජනතාව අතර සංවාදය වර්ධනය කරන සහ සංවර්ධන ක්‍රියාදාමයන්ට සහභාගි කරවන මොඩලයක් ගොඩනැගුණේ ඒ අනුවය.

 

 ශුභසාධනය සහ සමාජ ආරක්ෂණය

ප්‍රේමදාස මැතිතුමාගේ සංවර්ධන මොඩලය තුළ පෙන්නුම් කෙරුණු තවත් ඉතාමත් වැදගත් දෙයක් වූයේ සමාජ ශුභසාධනය (social welfair)සහ සමාජ ආරක්ෂණය  (social security) යන දෙක දෙකක් ලෙසින් ස්ථානගත කිරීම්ය. බොහෝ දේශපාලනඥයන් මෙය දකින්නේ එකක් ලෙසින්ය. ඒ නිසා එක පැත්තකින් සමාජ ශුභසාධනය යනු  ‘‘දුප්පතුන්ට තිබෙන දෙයක් ’’ වැනි මිථ්‍යා අදහස් වර්ධනයවීමට හේතුවන්නේ එය සමාජ ආරක්ෂණයේ කොටසක් ලෙසින් දැකීම නිසාය. රටක සමාජ ශුභසාධනය ලෙසින් අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර රාජ්‍යයේ මැදිහත්වීමෙන් ගොඩනැගිය යුත්තේ ඒවා රටේ සෑම පුරවැසියකුටම පරිහරණය කළ හැකි සේවා ලෙසින්ය. සමාජ ශුභසාධනය යනු එක කොටසක් අභිමුඛව සිදු කරන  සේවයක් නොවේ. සමාජ ආරක්ෂණය යනු එයට වඩා වෙනස් කාරණයකි. එහි අදහස වන්නේ සමාජයේ නැති බැරි සමාජ කණ්ඩයම් සවිබල ගැන්වීම හරහා ප්‍රධාන සමාජ ප්‍රවාහයට එකතු කිරීමය. ජනසවිය වැනි වැඩසටහන් මගින් ක්‍රියාත්මක කළේ එවැනි සමාජ ආරක්ෂණ වැඩසටහනකි.

එපමණක්ද නොවේ. ජනසවිය වැඩසටහන තුළ එක් පැත්තකින් සමාජයේ යටිතලයේ ජනතාවගේ පෝෂණය පිළිබඳව නව දෘෂ්ටිවාදයක් ගොඩනැගුණු අතර තවත් පැත්තකින් ආයෝජනය, ඉතිරි කිරීම සහ ආර්ථික සංවර්ධනය පැත්තෙන් නව මාවතක් විවෘත කෙරිණි. 1948 න් පසුව සෑම ආණ්ඩුවක්ම සමාජ ශුභසාධනය සහ සමාජ ආරක්ෂණය එකිනෙකට පටලවා ගනිමින් සිදුකළ ක්‍රියාකාරිත්වය නිශ්චිත ආකෘතියකට ගමන් කළේ ජනසවිය දර්ශනය  (Janasawiya philosophy) හරහාය. ඊට පසු කාලයේ හඳුන්වා දුන් සමෘද්ධි, දිවිනැගුම, අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ  යෝජනා ගමන් කළේ ඉහතින් නිර්මාණය කරන ලද දර්ශනය ඔස්සේය.

 

නිවාස හරහා අයිතිය සංකල්පය

ප්‍රේමදාස මැතිතුමන්ගේ සංවර්ධන ආකෘතිය තුළ ප්‍රමුඛතම ක්ෂේත්‍රයක් වූයේ නිවාස ගොඩනැගීමේ ව්‍යාපෘතියයි. 1977 වර්ෂය වන විට මෙරට නිවාස සංස්කෘතිය පැවතියේ ඉතාමත් කනගාටුදායක තැනකය. එක පැත්තකින් සමාජයේ එක් කොටසකට නිවාසයක් ඉදිකිරීමට ඉඩමක් තිබුණේ නැත. තවත් පැත්තකින් කුඩා ඉඩම් කැබැල්ලක් හිමි අයෙකුට නිවාසයක් ගොඩනැගීමට අවශ්‍ය මූල ධනයක් (capital) තිබුණේ නැත. මේ අවශ්‍යතා දෙක (ඉඩම හා මූලධනය) යම් ආකාරයකින් සපයා ගත හැකි සමහරෙකුට නිවාසයක් ගොඩනැගීමේ අවශ්‍යතාවක් තිබුණේ නැත. ඒ හේතුවෙන් 1980 දශකයේ මුල කාලයේ රට පුරා පෙනුණේ කුඩාරම්, පැල්පත්, තහඩු නිවාස, පිදුරු සෙවිලි කළ නිවාස වැනි ඉතාමත් ප්‍රාථමික ආකාරයේ නිවාසවලින් පිරී ගිය ගම්මානයන්ය. ප්‍රේමදාස මහතාගේ සංවර්ධන මොඩලයේ නිවාස පිළිබඳ මැදිහත්වීම රටේ තිබූ එම ‘පැල්පත්  මානසිකත්වය’ සම්පූර්ණයෙන්ම විප්ලවීය ආකාරයෙන් වෙනස් කළේය. එපමණක් නොව එදා නිවාසය හරහා අයිතිය පිළිබඳ නව සංකල්පයක් රට තුළට ගෙනාවේය. අයිතිවාසිකමක් නොමැති ජනතාවක් හැසිරෙන්නේ වගකීම් විරහිත ආකාරයෙන්ය. හුදු නාස්තිකාර ජීවිතය සහ බීමත්කම වැනි අවර ගණයේ  ඇබ්බැහිවීම් වැඩි වන්නට එක් හේතුවක් වූයේ එම සමාජ තීරුවේ ජනතාව ‘‘අයිතිවාසිකම්’’ පිළිබඳ පදනම් සිතීමක් (Foundational thinking) නොමැතිවීමය.

ප්‍රේමදාස සංවර්ධන මොඩලයේ නිවාස සම්බන්ධ අදහස වනුයේ  ‘‘නිවාස හරහා නව අයිතියක්’’ සමාජ ගත කිරීමයි. එම සංකල්පය හරහා පීඩිත සමාජයේ ‘‘ලෙහුණු ජීවිත’’ ගත කළ සමහර කොටස් සමාජ හා පවුල් බැඳීම් තුළට කැඳවාගෙන ඒමට මෙම නිවාසය පිළිබඳ අයිතිවාසිකම තදින් බලපෑවේය.

එසේම රට තුළ නිවාස ඉදිකිරීම නව පැෂන් එකක් බවට ඉහළ සමාජ තීරුව වෙත සන්නිවේදනයවීමත් මෙම නිවාස වැඩපිළිවෙළ හරහා සිදුවිය.  1977 රජයේ ප්‍රමුඛතම වැඩසටහනක් ලෙසින් 1978—83 කාලය තුළ  නිවාස ලක්ෂයක් ගොඩනැගීමත් මේ  ක්‍රියාදාමයේ ජයග්‍රාහී තත්වය පෙන්නුම් කළේය.

 

 නුපුහුණු ශ්‍රමය විදේශ සංචිත බවට

1990 වර්ෂයෙන් පසුව මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධාන ආදායම් මාර්ගය  බවට පත් වූයේ ඇඟලුම් ආයතනයයි. එය ප්‍රේමදාස මහතාගේ මූලික සංකල්පයක් හා වැඩපිළිවෙළක් මත ආරම්භ වූ ක්‍රියාදාමයක් බව බොහෝ අද දන්නා කරුණක්ය.

මෙම වැඩසටහන දෙස බලන බොහෝ අය දකින්නේ ඒ හරහා රටට එන ඩොලර් ප්‍රමාණය පමණය. එහෙත් එහි තවත් වැදගත් කොටසක් වන්නේ රට පුරා විසිරී තිබෙන යම් ආකාරයක නුපුහුණු ශ්‍රමය ක්‍රමානුකූලව පුහුණු ශ්‍රමයක් බවට පත් කරමින් රැකියා මාර්ග දහස් ගණනක් රටේ අගනගරයෙන් එළියේ ගම්මානවලට ලැබීමය. ධනය නිර්මාණය කිරීම වගේම ධනය බෙදී යාම එක වගේම වැදගත්ය. විශේෂයෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදි ආර්ථික ආකෘතියක් තුළ ධනය බෙදී යාමේ ක්‍රියාදාමය ඉතාමත් වැදගත් තැනක් ගනී. ඒ අර්ථයෙන් ප්‍රේමදාස සංවර්ධන මොඩලය තුළ සමාජය වෙතට බෙදී ගිය අවස්ථා නිර්මාණය කිරීමට විශාල අවධානයක් ලබාදුන් බව ප්‍රකාශ කිරීම නිවැරැදිය.

 

සංවර්ධනයේ තුන්වැනි මාවතක්

ඒ අනුව පෙනී යන කාරණය වන්නේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ මූලික දේශපාලන මැදිහත්වීම ආර්ථික සංවර්ධන ක්ෂේත්‍රයේ නව පිම්මක් මේ රට තුළට යෝජනා කළ බවයි. අන්තවාදි වාමාංශයක් සහ අන්තවාදි දක්ෂිණාංශයක් යන දෙපැත්තම රටට ගෙන දුන්නේ පරාධීන හා පරාදිත ප්‍රතිපත්ති මොඩලයක්ය. එයින් එළියට යා හැක්කේ සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථ නව මාවතක් හරහා බව ප්‍රේමදාස සංවර්ධන මොඩලයේ පදනම විය.

ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වූ නොබෙල් ත්‍යාගලාභී අමාත්‍ය  සෙන් (Amtya sen) වරක් ප්‍රකාශ කළේ ආර්ථික සංවර්ධනය යනු රටක ආර්ථික ක්‍රියාකාරකම් සඳහා වූ නිදහස නිෂ්පාදනය කිරීම බවයි. ප්‍රේමදාස සංවර්ධන මොඩලයේ පදනම වූයේ  ඈත ග්‍රාමීය සමාජයත් ගැට ගසා ගත් පළල් ආර්ථික අවකාශයක අවස්ථා නිෂ්පාදනය කිරීමය. ඒ අනුව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නව මානයක් හරහා සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් බවට ගොඩනැගීමත් සමාජ සුබසාධනය සහ සමාජ ආරක්ෂණය නිසි ලෙස වෙන් කරගනිමින් සමාජ ආරක්ෂණය හරහා ආයෝජන වපසරියක් නිර්මාණය කිරීමත් නිවාස සංකල්ප සමගින් අයිතිය පිළිබඳ නව සමාජ සම්මුතියක්  ගොඩනැගීමත් ග්‍රාමීය විසිරුණු, නුපුහුණු ශ්‍රමය යොදා ගනිමින් ධනයේ අවස්ථා සමාජය තුළ බෙදී යන පදනමක් නිර්මාණය කිරීමත් හරහා සංවර්ධනයේ තුන්වැනි මාවතක් ස්ථාපිත කිරීමත් ප්‍රේමදාස සංවර්ධන මොඩලයේ පදනම වූ බව මගේ අදහසයි.

ප්‍රේමදාස මැතිතුමාගේ මරණයෙන් වසර 32ක් ගතවන මේ මොහොතේත් රට අපේක්ෂා කරනුයේ එවන් නව සංවර්ධන මාවතක් වෙතට ගමන් කිරීම බව පැහැදිලිය. ඒ සඳහා ඉදිරිගාමි වන්නට මැදිහත්වීම එතුමන්ට ලබාදෙන සුවිශේෂතම උපහාරය බව පවසනු කැමැත්තෙමි.

 

(***)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී /
මහාචාර්ය චරිත හේරත්